ශ්‍රී ලංකාවේ සුන්දරත්වය නොයෙක් වර ලොව විවිධ සම්මානවලට පාත්‍ර වී ඇත. පසුගියදා ඒ සම්මාන පොත අලුත් වූයේ ලන්ඩනයේ පැවති 23 වැනි Wanderlust Reader Travel Awards -2024 සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාව ලොව වඩාත්ම කැමති දූපත (Most Desirable Island) බවට පත්වෙමිනි. ඒ සෑම සම්මානයක්ම, ඇගැයුමක්ම ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා විශේෂයෙන් ඉවහල් වන බව නොරහසකි.
සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් පමණක් නොවේ. මෙරට මුහුදූ තීරයේ ජීවත් වන්නන් පමණක් නොව රට අභ්‍යන්තරයේ ජීවත් වන විශාල පිරිසක් ද සංචාරක කර්මාන්තය සිය ජීවනෝපාය බවට පත්කර ගෙන සිටී. ත්‍රිරෝද රථ රියැදුරන්, සංචාරක මඟ පෙන්වන්නන් සහ හෝටල් ක්ෂේත්රය ඇතුළු තවත් මාර්ග කීපයක් ඔස්සේ ඔවුහු එසේ සංචාරක කර්මාන්තයේ නිරතව සිටිති.
අප කියන්නට යන්නේ එවැනි සුලබ ක්ෂේත්රවලට වඩා වෙනස් ක්ෂේත්රයක්, වෙනස් මඟක් ඔස්සේ යමින් සංචාරක ආකර්ෂණය දිනාගැනීමේ වැඩපිළිවෙළක් දියත් කළ ව්‍යවසායක කාන්තාවක ගැනය. ඇය, උණවටුන පදිංචි වසන්තා හේවගේ ය.
ශ්‍රී ලංකාවේ ආහාරපාන කෙරෙහි විදේශීය සංචාරකයන් විශේෂ රුචිකත්වයක් දක්වන බව කවුරුත් දන්නා කරුණකි. එම ආහාරපාන තවදුරටත් සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමට වසන්තාගේ සිතේ අලුත් අදහසක් උපන්නේය. ඒ, දේශීය ආහාරපාන පිසින ආකාරය මෙන්ම ඒවා පිළියෙන කරන ආකාරය ද සංචාරකයන්ට ප්‍රදර්ශනය කිරීම පමණක් නොව එම ආහාර පිළියෙල කිරීමට සහ පිසීමට ඔවුන්ට පුහුණුවක් ලබා දීමටය. ඒ සඳහා ඇය අවන්හලක් ද පවත්වාගෙන යන්නීය. උණවටුන වැල්ලේ දේවාලය අසල පිහිටි ‘වසන්තාස්’ අවහන්හල වෙත අප යන විටත් වසන්තාගේ ඉවුම්පිහුම් දැකගැනීමට සහ ඇයගෙන් ඉගෙන ගැනීමට සංචාරකයන් කිහිප දෙනකුම එහි පැමිණ සිටියහ. මෙවැනි වැඩසටහනක් ඇරඹීමේ අරමුණ පිළිබඳව අප වසන්තා හේවගේ ගෙන් කරුණු විමසුවෙමු.
” සංචාරක කර්මාන්තය කියන්නේ මේ වනවිට අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. හුඟක් දෙනා එයින් ආදායමක් උපයා ගන්නේ කාමර කුලියට දීම වගේ වගේ දේකින්. නමුත් මට හිතුණා ඊට වඩා අලුත් දෙයක් කරන්න ඕනේ කියලා. එහෙම දෙයක් ගැන කල්පනා කරද්දි තමයි මට හිතුණේ අපේ රටට එන විදේශිකයන්ට අපේ දේශීය ආහාරපාන සකසන ආකාරය පුරුදු කළ යුතුයි කියලා.
මම මුලින්ම මේ අදහස මගෙ සැමියට කිව්වම එයත් ගොඩක් සතුටු වුණා. ඒ අනුව තමයි අපේ අවන්හලේ විදේශීය සංචාරකයන් වෙනුවෙන් දේශීය ආහාරපාන හදන්න පටන් ගත්තේ. සංචාරකයන් වැඩි දෙනෙක් කැමැති අපේ එළවළු, අල, බතල, වම්බටු මෝජු සහ පපඩම්වලට. සමහර විදේශිකයෝ අපි කෑම උයන හැටි බලන්නත් ආසයි. ඒ ගැන විස්තර අහනවා. ඒ නිසාම මට හිතුණා අපේ කෑම උයන හැටි පුරුදු කරන්න පන්තියකුත් පටන් ගන්න ඕනි කියලා. ඒ අදහස ක්‍රියාත්මක කළාට පස්සේ මට හිතුණා ඒක මොන තරම් ජනප්‍රිය ද කියලා. කෑම හදන්න උගන්වන පන්තියට විදේශීය කාන්තාවෝ ගොඩක් එනවා, ඒ වගේම සමහර විදේශික පිරිමි අයත් ඇවිත් මම කෑම හදන හැටි බලාගෙන ඉන්නවා. සමහර අවස්ථාවල අපේ අවන්හලට ඇවිත් ඔවුන්ම ඔවුන්ට අවශ්‍ය අපේ කෑම වර්ග උයාගෙන කනවා. ඒ වගේම මට හරිම සතුටුයි, ලෝකයේ හොඳම හෝටල් සියය අතරට මගේ අවන්හලත් තෝරාගෙන තිබීම ගැන. මගේ දුව ඉන්නේ ඉතාලියේ. මම එහේ ගිහිල්ලා ඒ රටේ අයටත් අපේ දේශීය කෑම උයන හැටි පුහුණු කරලා තියෙනවා.”වසන්තා හේවගේ පැවසුවේ සතුටිනි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් සිය ඉවුම් පිහුම් පන්තිය තවදුරටත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව ද වසන්තා පැවැසුවාය. ඒ වෙනුවෙන් සංචාරක කර්මාන්තය සමබන්ධ සියලු දෙනාගේ අවධානය සහ සහයෝගය ඇය අපේක්ෂා කරන්නීය.
දකුණු පළාත් සංචාරක, එස්. දියගහගේ