ගින්දර නිල් කරුවලේ මහනුවර උඩුදුම්බරින් ගමන ආරම්භ කර 18 වංගුව බැසගෙන එද්දී උදා හිරු රන් රැසින් පරිසරය නහවමින් සිටියේය. පදියතලාව පසුකර මහඔය හන්දියන් වමට හැරී ඉද්ද ගැසුවාක් වැනි අරලගංවිල පාරේ නාඳුනන කඳු නෙතින් පිරිමදිමින් පවනට බඳු වේගයෙන් අපි කන්දෙගමට පිවිසුණෙමු.
යෝධ දානිගල පාමුල කන්දේගම රජමහා විහාරය අසලින් වනගත මාවත නිදහසේ එලා තිබිණි. අප අබියස දිස් වූයේ හරිත පාෂාණ ගොමුවකි. අප විසින් රැකි නිශ්ශබ්දතාව හා විමසිලිමත් ඉවසීම නිසාම සියොතුන්ට පමණක් නොව කෘමි සතුන්ට පවා ඔවුන්ගේ ලෝකයට ආගන්තුකයන් වූ අපගේ ආගමනය කිසිදු බාධාවක් වූයේ නැත. ඉපැරණි රහස් රැසක් සඟවාගෙන සිටි ගිරි ලෙන් තුළින් අපට දැනුණේ එළිමහනේ නොමැති සිසිලසකි. අප ඒ ලෙන් තුළ සැඟවූ රහස් සෙවීමෙන් වැළකී ගලින් ගල මත පා තබමින් සෙමින් ඉහළට පියමන් කළේ යන මඟ තුරුලියට වන හානිය අවම කිරීමට වගබලා ගනිමිනි.
සිත සමාධි ගත කළ සැතපෙන බුද්ධ ප්‍රතිමාව
නිහඬ බව පිරි පරිසරයේ රැඳි බොහෝ සුමියුරු හඬින් අපගේ සවන් පිරි යද්දී ගිරි මුදුනේ සිට වැටෙන සිහින් දිය රේඛා කිහිපයක් අපගේ සරතැස ක්ෂය කළේය. සුළඟ සිය මායාමය රහස් තැන්පත් කළ තුරුපත් අවකාශයේ පා කොට හැරියේය. එහෙත් මෙතෙක් දුර දරාගෙන ආ සමාධිය පුපුරවා ගියේ ක්‍රෑර මිනිසුන් විසින් රාජධානියේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව සහාසික ලෙස විනාශ කර තිබෙනු දැකුමෙන් අප සිත් වෙළාගත් කම්පාව නිසාවෙනි. සියලු දේ නැසෙනසුලු බව දහමින් උගත් බැවින් අකම්පිතවූ සිත නැවත හරිත ගුල්මයේ ගිලුණේ මේ ලිපිය ඔබට ඇස ගැසෙනා මොහොතේදී එම විසල් සැතපෙන බුද්ධ ප්‍රතිමාව ප්‍රතිසංස්කරණයට ලක් කර ඇති බව දැන ගන්නට ලැබීමෙනි.
දළ බෑවුම සහිත රළු මඟ බර අඩි තබමින් පහළ බැස නැවත ශීඝ්‍ර නැඟුමක යෙදෙන්නට සිරුර සැහැල්ලුව තබාගැනීම සහ නිවැරදි ශ්වසන උපක්‍රම උපයෝගී කරගත් නිසා විඩාපත් බවක් නොදැනුණි. මොර, මිල්ල, නුග, වීර, බුරුත හා පළු ආදී තුරු තුමෝ කලට වෙලාවට ඔක්සිජන් ද මඳනල ද පෙරා දෙමින් අප තවත් දිරිමත් කළහ. අතිශය දුෂ්කර නොවූ විසිතුරු ගිරි තරණය හා සමවැදී විහඟ සංධ්වනිය විඳ තුරු තුරුල මණ්ඩලාකාර දනවන ගිරිකූඨය පියවර කිහිපයකින් අප පැතලි මුදුනත හොවාගනිද්දී නෙත් සීමාව ඉක්මවා අංශක 180ක සාර භූ සිතුවම ඇසිල්ලක මා විහඟ සේනාවක සාමාජිකයකු බවට පත් කළේය. ගිරිතරණයේ මිහිර මැවූ පියාපත් නිසාම කැමරාව ද මග හැරිණි. නීල ගගනත ස්වේත මේඝනාවන් මවා පිටසක්වළ ගල පිටට අප සාදරයෙන් පිළිගත්තේය.
රහතුන් වහන්සේලාගේ සංඝාරාම සංකීර්ණයේ නටබුන්
එදවස සද්ධාතිස්ස රජදවස රහතුන් වහන්සේලාගේ සංඝාරාම සංකීර්ණයක සාධනීය නටබුන් සහිත සොයාගත් ලෙන් 60ක් අතරින් ලෙන් 10ක ක්‍රි. පූ 3 වැනි සියවසේ ශිලා ලේඛන ඉන්දියානු පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂර හා සම වන බවත් බ්‍රාහ්මීය නොවන දුටුගැමුණු රජුගේ රාජ්‍ය සංකේත වන තරු ලකුණ හා මාළුවා සංකේතයත් සුවිශේෂී විය. ලෙන් සමුහයෙන් දෙකක ප්‍රාග් එතිහාසික මානවයන් විසින් හෝ පුරාණ ආදිවාසීන් විසින් කළ බවට පිළිගත් සිතුවම් කිහිපයක් ඇති බව කියැවුණද ඒ ගැන විධිමත් පුරාවිදු පර්යේෂණ සිදු විය යුතු බව සැරිසරන්නන්ගේ අදහස වේ.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි නැඟෙනහිර තෝතැන්නට මුහුණලා නැඟී සිටි අරලගංවිල හෙක්ටයාර 1,800 සර්පිලාකාර පර්වතයකි. වයඹ දිගින් දිඹුලාගල, ඊසානෙන් තොප්පිගල, දකුණෙන් මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් ද පෝෂණය ලබන දානිගල නැඟෙනහිරින් මඩකලපුව දෙස බලා සිටී. නිල්ගල, රතුගල, දානිගල ඌවේ පුරාණ ආදිවාසී මුලස්ථාන වේ. මූල්ලේගම, පායිල, ඉඩම්බෝව, දමනේගම, කළුවින්න, කොස්ගහවැල්ල, ඇඹිලින්න, ගල් මැද සහ බලන යන ස්ථාන ඌව පළාතේ ආදී මානව ජනාවාස ලෙස හඳුනා ගනිමු. දානිගල කන්ද, බටානේහෙල, අරාවේ හෙල යනුවෙන් ශිඛරය කඳවුරු 3කින් සමන්විත වේ.
සටහන හා ඡායාරූප – රුවන් මීගම්මන
(දානිගල ගුවන් ඡායාරූපය අන්තර්ජාලයෙනි)