ස්වභාවික මරණයකින් මිස අන් කිසිදු ආකාරයකින් තම ජීවිතය උදුරා ගැනීමට කිසිවකුට නොහැකි බව තරයේම විශ්වාස කළ ‘කියුබාවේ ගිනි සිළුව‘ හෙවත් ෆිදෙල් කස්ත්‍රෝ මිය ගොස් මේ නොවැම්බර් 25 වැනිදාට වසර අටක් සපිරේ.
අවුරුදු 90ක්ම ජීවත්ව සිටි මේ අසහාය විප්ලවවාදියා 2016 නොවැම්බරයේ 25 වැනිදා රාත්‍රියේ හවානා නුවරදී ජීවිතයෙන් සමුගත්තේ ඔහු විශ්වාස කළ අයුරින්ම ස්වභාවික මරණයකිනි. සතුරන්ගේ ඝාතන උත්සාහයන් 600කට වැඩි ප්‍රමාණයකින් දිවි බේරා ගැනීමට තරම් වාසනාවන්ත වූ මේ වයසට නොගිය විප්ලවවාදියාගේ දේහය මිහිදන් වූයේ හවානා සිට සන්තියාගෝ නුවර ඔස්සේ කිලෝමීටර් 900ක් වැඩි දුරක් ජනතා හරසර මැදින් රැගෙන යෑමෙන් පසුවය.
‘ෆිදෙල් කස්ත්‍රෝගේ දෙබිඩි ජීවිතය‘ කෘතියෙන් හෙළි වන තොරතුරු
කවුරුත් ආදරයෙන් කට පුරා ‘ෆිදෙල්‘ නමින් ආමන්ත්‍රණය කළ ලෝක විප්ලව ඉතිහාසයේ වෙනම පරිච්ඡේදයක් ලියා තැබූ ෆිදෙල් කස්ත්‍රෝ ගැන ඔහු ජීවත්ව සිටි කාලයේදී මෙන්ම මරණින් පසුවත් ලෝක ප්‍රජාව අතර විවිධාකාරයේ තොරතුරු හුවමාරු වුවද, ‘ෆිදෙල් කස්ත්‍රෝගේ දෙබිඩි ජීවිතය‘ නමින් ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා විසින් ලියන ලද කෘතියෙහි ඊට වඩා වැඩි දෙයක් තිබිණි. ෆිදෙල්ගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස ගත කළ අවුරුදු 17ක අත්දැකීම් ඇසුරෙන් එම කෘතිය රචනා කරනු ලැබුවේ ජුවාන් රෙනාල්ඩෝ සැන්චෙස් විසිනි. ඔහු එම කෘතිය ලියා තැබුවේ ෆිදෙල්ගේ මරණයට වසරකටත් පෙරය.
ඔහු ෆිදෙල් හඳුන්වනු ලැබුවේ තනිකරම අසාමාන්‍ය මිනිසකු හැටියටය. කිසිසේත්ම සමාන දෙයක් නැත. හැම අතින්ම විශේෂිත මිනිසකු හැටියටය. ඔහු කියන්නේ ඕනෑම දරදඬු පුද්ගලයකු හෝ වේවා කණ්ඩායමක් හෝ වේවා පහසුවෙන් හසුරුවිය හැකි එකම මිනිසා ෆිදෙල් බවය. සිය සගයන් හෝ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා කිරීමේදී තමා නිවැරැදි බව ඔවුන්ට ඒත්තු ගැන්වෙන තුරු එකම දේ නැවත නැවත කියවීම ෆිදෙල්ගේ පුරුද්දක් බව ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයාගේ අදහසය. කිසිම විෂයක් සම්බන්ධව කිසිවකුට විරුද්ධ වීමට නොහැකි තරමට ඔහු නිවැරැදි වූ බවත් ඔහු වැරැදි බව ඒත්තු ගැන්වීමට හෝ ඔහුගේ අදහස් මඳකින් හෝ වෙනස් කිරීමට කිසිවකු උත්සාහ දරන්නේ නම් එය ‘මාරාන්තික වරදක්‘ මිස අන් කිසිවක් නොවන බවත් ජුවාන් රෙනාල්ඩෝ සිය කෘතියෙහි ලියා ඇත්තේ අත්දැකීම් ඇසුරෙනි. එසේ වුවත් ෆිදෙල් යනු කේන්තිකාරයකු නොවන බවත් සිය කෘතියෙන් පවසන ජුවාන් රෙනාල්ඩෝ, ඔහු සමඟ ගත කළ අවුරුදු 17ක දීර්ඝ කාලයේදී ෆිදෙල් කේන්තියෙන් පුපුරනු දුටුවේ අවස්ථා දෙකකදී පමණක් බවත් සිය කෘතියට ඇතුළත් කිරීමට අමතක කර නැත. 1993දී ඔහුගේ දියණිය ඇලීනා පක්ෂය හැර යෑම දැනුම් දීම ඉන් එක් අවස්ථාවකි.
පළමු වෙඩි මුරය
ෆිදෙල් කස්ත්‍රෝ ගැන ලොවම කතා කළේ 1959 කියුබානු විප්ලවයේදී වුවත් ඔහු ගැන ලතින් අමෙරිකානු රටවල අවධානය යොමු වූයේ නම් ඊටත් කාලයකට පෙරය. 1945දී නීතිය හැදෑරීමට හවානා විශ්වවිද්‍යාලයට ඇතුළුවීමෙන් පසුවය. අමෙරිකාවට එරෙහිව ඔහු සිය පළමු වෙඩි මුරය දැල් වූයේ එහිදීය. 1946දී එවකට කියුබාවේ ජනාධිපතිවරයා වූ රාමෝන් ග්රව්ගේ පාලනය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් ඔහු කියුබානු රජයටත් අභියෝග කළේය. අනතුරුව ඔහු ග්රව්ගේ පාලනයට එරෙහිව යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා හඬ නැඟූ දහස් සංඛ්‍යාත ජනතාවට ඉදිරි පෙළ නායකයකු බවට පත්වූ අතර, ඔහුට පළමු මරණ තර්ජනය එල්ල වූයේ ග්රව්ගේ මැරයන්ගෙනි. විශ්වවිද්‍යාලයෙන් වහාම ඉවත් නොවන්නේ නම් මරා දමන බවට ජනාධිපතිවරයාගේ මැරයන් කළ තර්ජනය නිසාම අවි ආයුධවලින් සන්නද්ධ වීමට ෆිදෙල්ට සිදුවූ අතර, ඊටත් වසර ගණනාවකට පසු කියුබානු ජනතාවට නිදහස ලබා දීමට කළ අරගලය ජයගන්නා තුරුම ඔහු අවි බිම තැබුවේ නැත. අමෙරිකාවට අවශ්‍ය විදිහට කියුබාව හැඩ ගැස්වූ ඒකාධිපති හමුදා නායක ෆුල්ගෙන්සියෝ බැටිස්ටාගේ රජයට එරෙහිව 59 විප්ලවයට පණ දුන් මේ සටන්කාමියාට කියුබානු ඉතිහාසය උඩු යටිකුරු කිරීමට සහාය වූයේ අන් කිසිවකු හෝ නොව විප්ලව කරන්නටම උපන් චේ ගුවේරාය. මෙක්සිකෝවේදී පළමු වරට ෆිදෙල්ට මුණ ගැසුණු චේ ගුවේරා කියුබානු විප්ලවයේදී ෆිදෙල්ගේ කදිම සගයා බවට පත්විය.
කියුබානු විප්ලවයෙන් සමාජවාදයට නව ශක්තියක් ගෙන දුන් ෆිදෙල් කස්ත්‍රෝ ධනවාදයේ අනන්තයටම ගිය අමෙරිකාවේ එළිපත්තේ හිඳ සිය විප්ලවීය දේශපාලන ජීවිතය හැඩ ගස්වා ගැනීම පුදුමයක් නොවන්නේ ඔහු ගැන හොඳින්ම දැන සිටි අතළොස්සකට පමණි. කියුබාවේ සිට කිලෝමීටර් සියයකට වඩා වැඩි දුරක් නැති ලෝක පොලිස් කාරයා නමින් හඳුන්වනු ලැබූ ලෝක ධනවාදයේ බලවත්ම රට වන අමෙරිකාවට ඔහු නිතර නිතර අභියෝග කළ අතර, සිය දේශපාලන හැසිරවීමේ දිග පළල අපූරුවට කියා දුන්නේය. එනිසාම ඔහු ඝාතනය කිරීමට සී.අයි.ඒ. සංවිධානය නොගත් උත්සාහයක් නැති තරම්ය. මේ බලසම්පන්න වාමාංශික නායකයා ඝාතනය කිරීමට සී.අයි.ඒ. සංවිධානය වාර 600කට වඩා උත්සාහ ගත් බව බොහෝ වාර්තාවලින් හෙළිදරවු විය. එහෙත් ඒ කිසිදු තර්ජනයකට ඔහු මැඬ පැවැත්වීමට හැකි වූයේ ද නැත.
කියුබානු විප්ලවයෙන් පසු 1976 දක්වා ඔහු එරට අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර, අනතුරුව 2006 දක්වා කියුබාවේ ජනාධිපතිවරයා ලෙස පත් වූයේ අමෙරිකාවේ ජනාධිපතිවරු 11 දෙනකුට දැඩි හිසරදයක් ගෙන දෙමිනි. ලෝක දේශපාලනයේ විවිධ හැලහැප්පීම් කන්දරාවකට නොසැලී මුහුණ දෙමින් අඩසිය වසක් කියුබාව පාලනය කළ මේ අසහාය නායකයා 2006දී රාජ්‍ය බලය සිය සොහොයුරු රාවුල් කස්ත්‍රෝට පවරා විවේක ගත්තේ රෝගී තත්ත්වයට පත්වීම නිසාය.
ඇතැමුන්ට ඔහු කියුබානු විප්ලවයේ අසහාය නායකයා වූ අතර, රැඩිකල්වාදී තරුණයන්ට විප්ලවයේ සලකුණක් විය. ලක්ෂ සංඛ්‍යාත කියුබානු ජනතාව ඔහු හඳුන්වනු ලැබුවේ ‘කියුබාවේ ගිනි සිළුව‘ නමිනි. මේ ආදරණීය විප්ලවකාරයා කාන්තාවන් අතරත් අතිශය ජනප්‍රියත්වයට පත්වී සිටි නිසාම තවත් සමහරු ඔහුට කීවේ ‘රෝමාන්තික විප්ලවවාදියා‘ කියාය. කෙසේ ආමන්ත්‍රණය කළද, ෆිදෙල් යනු ලෝක දේශපාලන ඉතිහාසයේ වෙනම පරිච්ඡේදයක් ලියා තැබූ සුවිශේෂී චරිතයකි. ලෝක දේශපාලනයට විප්ලවය කරන හැටි කියා දුන් පුරාවෘතාන්තයකි.
ෆවුස් මොහොමඩ්