ලොව සංවර්ධිත, ධනවත් රාජ්‍යයන් මෙන්ම නැඟී එන ආර්ථිකයන් හිමි රාජ්‍යයන් ද ගෝලීය තලයේ එකම වේදිකාවක මුණගැසුණු සුවිශේෂී සමුළුවක් නොවැම්බර් මස 18, 19 දෙදින ඉතා උත්කර්ෂවත් අන්දමින් බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවරදී පැවැත්විණි.
ඒ, G 20 කණ්ඩායමේ රාජ්‍ය නායකයන්ගේ 19 වන සමුළුවයි. ගෝලීය රාජ්‍ය නායකයන් 19ක් සමඟ යුරෝපීය සංගමය (EU) හා අප්‍රිකානු සංගමය (AU) මෙයට සහභාගි විය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරස්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, චීන ජනපති Xi ජින්පින්ග්, එක්සත් රාජධානියේ අගමැති කියා ස්ටමර්, අමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් හිටපු ජනපති ජෝ බයිඩින් ද මෙක්සිකෝවේ නව ජනපතිනි Claudia Sheindaum ද මෙම සමුළුවේ සම්භාවනීය රාජ්‍ය තාන්ත්‍රිකයන් අතරට එක් වූහ. රුසියන් ජනපති පුටීන් වෙනුවෙන් මෙම සමුළුවට රුසියන් විදේශ අමාත්‍ය Sergey Lavrov සහභාගි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
G 20 19 වැනි සමුළුවේ සත්කාරක රාජ්‍යය ලෙස බ්‍රසීලය කටයුතු කළ අතර, බ්‍රසීල ජනපති Luiz Lula da Silva, ලෝක රාජ්‍ය නායකයන් ඉතා උණුසුම්ව පිළිගන්නා ආකාරය විදෙස් මාධ්‍ය දිගින් දිගටම වාර්තා කළේය. බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවරට ලොව ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයන් මෙසේ රැස්වීම, වත්මන් ඉහළ ආතතිමය භූ දේශපාලනික වටපිටාව තුළ ඉතාම සුවිශේෂී තත්ත්වයක් ලෙස ගෝලීය රාජ්‍ය තාන්ත්‍රිකයන් විග්රහ කර තිබිණි. මැදපෙරදිග යුද වාතාවරණය, යුක්ක්‍රේන යුද්ධය ආදී ගෝලීය යුධමය තත්ත්වයන් උච්චස්ථානයට පත්ව ඇති මොහොතක ලොව විශාලතම ආර්ථිකයන් හිමි රාජ්‍යයන් එකට එක්වීම ඉතා වැදගත් හා කැපී පෙනෙන කරුණක් බව ලොව භූ දේශපාලනික විද්වතුන්ගේ අදහසයි. බ්‍රසීල ජනපති Luiz Inacio Lula da Silva G 20 සමුළුව ආරම්භ කළ අතර, සමාරම්භක කථාවේදී ඔහු දුප්පත්කම හා කුසගින්න තුරන් කිරීම, දේශගුණික විපර්යාසයන්ගේ ගෝලීය බලපෑම ආදිය පිළිබඳ ලෝක නායකයන් තීරණාත්මක ක්‍රියාමාර්ගයකට එළඹීම යන කරුණු තුන පිළිබඳ අවධාරණය කළේය. .
මෙහි මූලාරම්භය සනිටුහන් කරමින් G 20 19 කණ්ඩායමේ රාජ්‍යයන් 18, යුරෝපීය සංගමය සහ අප්‍රිකානු සංගමය ප්රකාශනයකට අත්සන් තැබූ අතර, G 20 රාජ්‍යයන් අතරින් මෙයට අත්සන් නොතැබූ එකම රාජ්‍යය වූයේ ආර්ජන්ටිනාවයි. බ්‍රසීලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, සමුළු ප්රකාශනය නැවත සාකච්ඡාවට බඳුන් කිරීමට ඇතැම් රාජ්‍යයන් කැමැත්තෙන් පසුවන බවයි. ඒ යුද්ධය හා දේශගුණය පිළිබඳ කරුණු නැවත සලකා බැලීමේ අවශ්‍යතාවක් ඇතැම් රටවල්වලට මතුව තිබීම හේතුවෙනි. ලෝකයේ ඉහළ පෙළේ ආර්ථික බලවතුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් G 20 සමුළුව උදෙසා රැස් වූයේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පිහිටි (Modern Art) කෞතුකාගාරයටය.
G 20 සමුළුවේ ප්රභවය
මේ වන විට ගෝලීය තලයේ, ඉහළ ආතතිමය භූ දේශපාලනික භූ ආර්ථික මෙන්ම පාරිසරික සිද්ධීන් සම්බන්ධයෙන් සෘජුවම ආමන්ත්‍රණය කරනු ලබන G 20 සමුළුව ප්‍රථම වරට ආරම්භ වූයේ 1999දීය. ඒ, ගෝලීය ආර්ථික හා මූල්‍යමය කරුණු සම්බන්ධයෙන් මූල්‍ය අමාත්‍යවරුන් හා මහ බැංකු අධිපතීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ (Forum) ෆෝරමයක් වශයෙනි. ආසියානු මූල්‍ය අර්බුදය පැන නැඟුණු අවස්ථාවේ ඊට පිළියම් සෙවීමටත් ගෝලීය මූල්‍ය අර්බුද තත්ත්වයකදී හා අභියෝගාත්මක අවස්ථාවකදී ඊට මුහුණ දීමේත් අරමුණින් එය බිහි විය. G 20 පළමු රැස්වීම 1999දී ජර්මනියේ බර්ලින් නුවරදී පළමු වරට රාජ්‍ය නායකයන් 19 දෙනකුගේ සහභාගිත්වයෙනි.
2008දී වොෂින්ටනයේදී පළමු වරට පවත්වනු ලැබූ G 20 රාජ්‍ය නායක සමුළුව අමෙරිකා එක්සත් ජනපද හිටපු ජනපති ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ ප්‍රධානත්වයෙන් සමුළුවක ආකාරයෙන් සම්පාදනය වී ඇත. G 20 සමුළුව උදෙසා ස්ථිර මහලේකම් ධූරයක් නොමැති අතර, වසරින් වසර පත්වන සත්කාරක රාජ්‍යය එහි මුලසුන හොබවනු ලබයි. ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 85%ක ප්‍රතිශතයක් හිමිකාරීත්වය G 20 රාජ්‍යයන් විසින් දරන අතර, ගෝලීය ජනගහනයෙන් තුනෙන් පමණ ප්‍රමාණයක් නියෝජනය වන්නේ ද මෙම කණ්ඩායමේ රාජ්‍යයන් තුළිනි.
G 20 කණ්ඩායමේ වඩාත්ම ආකර්ෂණීය ජයග්‍රහණයක් ලෙස විස්තර වූයේ, 2008දී පැන නැඟුණු ගෝලීය මූල්‍ය අර්බුදය අවස්ථාවේදී මෙම කණ්ඩායම් දැක්වූ ඉතාම ශක්තිමත් ප්රතිචාරයයි. අනෙක් අතින් ගෝලීය කෝවිඩ් -19 වසංගතය හමුවේ පළ කළ සාධනීය ක්‍රියාමාර්ගයන් වේ. 2023 වසරේදී G 20 සමුළුව පැවැත්වූයේ ඉන්දියාවේදීය. 2009දී (Trillion – dollar – pledge) වැඩසටහන යටතේ මූල්‍ය අර්බුදය අවස්ථාවේ ආර්ථික අර්බුදයන්ට ලක්වූ රාජ්‍යයන්ට සහායක් ලබා දීම සඳහා ගිවිසුම්වලට එළැඹීම G 20 කණ්ඩායම හරහා සිදු වූ ඉතා වැදගත් අංගයකි.
G 20 බ්‍රසීල (2024) සමුළුවේ නව ප්රවණතා හා සුවිශේෂිතා
බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර G 20 සමුළුව පැවැත්වීම අරඹයා සකස් වීමට ලොව රාජ්‍ය තාන්ත්‍රිකයන් විග්රහ කරනු ලබන්නේ ඉතාම සුවිශේෂි තත්ත්වයක් ලෙසය. ලොව දේශපාලන විචාරකයන්ට අනුව බ්‍රසීල වාමාංශික ජනපති Lula da Silva සත්කාරක රාජ්‍යය ලෙස ඔහුගේ වගකීම් ඉතා හෘදයාංගම ආකාරයෙන් නොපිරිහෙලා ඉටුකර ඇති බවය. යුක්ක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍යෙව්දී (කර්තෘ) රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජේම්ස් බේස් ප්‍රකාශ කර ඇත්තේ, රියෝ ද ජැනයිරෝ සමුළුවේ නීත්‍යනුකූල න්‍යාය පත්‍රයේ මේ පිළිබඳ සඳහන් කර නොතිබුණද මේ සම්බන්ධ කරුණු හා සෙසු වැදගත් කරුණු මෙම සමුළුවේ යම් පැත්තකින් සාකච්ඡාවට බඳුන් වූ බවය. මෙවර G 20 සමුළුවේ ප්‍රධාන වශයෙන්ම ආධිපත්‍යය දැරූ හා සාකච්ඡාවට බඳුන් වූ මාතෘකා වූයේ, ගෝලීය දරිද්‍රතාව හා කුසගින්න මුළුනුපුටා දැමීම හා ඒ උදෙසා ගෝලීය ආයතනික ප්‍රතිසංස්කරණවලට යොමු වීමේ වැදගත්කම අවධාරණය කිරීමය. මෙවර සමුළුවේ සත්කාරක රාජ්‍යය වූ බ්‍රසීල ජනපති Luiz Lula da Silva ප්‍රකාශ කර ඇත්තේ, මෙම සමුළුව තුළින් 2 වැනි ලෝක යුද්ධයෙන් පසු ඇරඹී විශාල ප්‍රමාණයක් වූ සන්නද්ධ ගැටුම් හා ඒ හේතුවෙන් වාර්තා ගත ලෙස ඉහළ නැංවුණු අවතැන්වීම් පිළිබඳ ගනුදෙනු කිරීමට අවධාරණයෙන් යුතුව සලකා බැලීමට වේදිකාවක් සැකසුණු බවය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ වර්ධනය වෙමින් පවතින සාමාජීය, වාර්ගික හා සමාජ අසමානතාවල අවසන් ප්‍රතිඵලය වන්නේ, කුසගින්න හා දරිද්‍රතාවය ප්‍රධාන කොටගත් මහා ඛේදවාචකයක් පමණක්ම බවය. බ්‍රසීල සංවර්ධන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ, කුසගින්න හා දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ගෝලීය ඒකාබද්ධතාවයේ සත්කාරක රාජ්‍ය සැලැස්මට චීන රජය ඔවුන්ගේ පාර්ශ්වයෙන් කුඩා පරිමාණ ගොවි ජනතාවට අවශ්‍ය විශේෂඥ සහාය ලබා දීමට ඉතා කැමැත්තෙන් එකඟතාවට පැමිණි බවය. ඇන්ටෝනියෝ ගුටාරස් UN මහලේකම් අවධාරණය කර ඇත්තේ, අසර්බයිජානයේ පැවති COP 29 දේශගුණික සමුළුවේ සාර්ථක ප්රතිඵලයන් ක්‍රියාත්මක කිරීමට සංවර්ධිත රටවල නායකත්වය හා එකඟතාව අවශ්‍ය බවත්ය. G 20 සමුළුව තුළින් මේ තත්ත්වය ළඟා කර ගැනීමට ඉතා ඉහළ ඉඩකඩක් ලැබෙන බව ඔහු ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කර ඇති අතර, G 20 සමුළුවට ගෝලීය දේශගුණික විපර්යාසයන් උදෙසා ක්‍රියාත්මක වීමට අවශ්‍ය (Climate Finance) අංශය හා එහි සුරක්ෂිතභාවය මේ තුළින් අවධාරණයට ලක්වී ඇත.
මෙවර G 20 සමුළුවේ තවත් ඓතිහාසික සිදුවීමක් ජර්මනිය පාර්ශවයෙන් වාර්තා වූ අතර, ඒ යුරෝපීය සංගමය හා ආර්ජන්ටිනාවේ Mercosur ප්‍රාන්තය, බොලීවියාව, බ්‍රසීලය, පැරගුවේ හා උරුගුවේ රාජ්‍යයන් අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡාවය. මේ සම්බන්ධයෙන් ජර්මානු වාණිජ මණ්ඩලයේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධ ප්‍රධානියා වූ Volker Treier ප්‍රකාශ කර ඇත්තේ, එමඟින් භූ දේශපාලනික වශයෙන් දුෂ්කර අවස්ථාවලදී මෙම ගිවිසුම තුළින් ජර්මානු ආර්ථිකය ලිබරල්කරණය කිරීමට අවස්ථාවක් ලැබෙන බැවින් එය සුබවාදී තත්ත්වයක් බවය.
බ්‍රසීල ජනපති Lula da Silva ප්‍රකාශ කර ඇත්තේ, G 20 සමුළුව උදෙසා අප මේ ආකාරයෙන් එකම තැනකට රැස්වීම තුළ කිසිදු අයුරකින් ප්‍රමාද කළ නොහැකි කරුණක් වූ මානව වර්ගයාට එරෙහි කටයුතු කිරීම සම්බන්ධ පැල්ලම මුළුමනින්ම මකා දැමීමට එක්ව කටයුතු කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් එය ලැජ්ජාවට කරුණක් බවත්ය.බ්‍රසීල Sao Paulo විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහාචාර්යවරියක් වූ ක්‍රිස්ටිනා ලුසෙනා පවසා ඇත්තේ බ්‍රසීල රාජ්‍ය තාන්ත්‍රික භාවය මානව වර්ගයාගේ කුසගින්න හා දරිද්‍රතාව පිටු දැකීම, ගෝලීය ආරක්ෂාව සම්බන්ධයෙන් ශක්තිමත් බැඳීමකින් ක්‍රියා කරන බවය.
G 20 බ්‍රසීල සමුළුවේ දී අමෙරිකා එක්සත් ජනපද හිටපු ජනපති ජෝ බයිඩ්න් නිවේදනය කර ඇත්තේ ඉදිරි වසරවල කටයුතු සඳහා ලෝක බැංකුවට ඩොලර් බිලියන 4ක ආධාරයක් දීමට අදහස් කරන බවත් ඒ සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාව තුරන් කිරීමේ අභිලාෂයෙන් බවත්ය.
එමෙන්ම G 20 සමුළුවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කොට ඇත්තේ කුසගින්න හා දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ කටයුත්තේදී ඉන්දියාව මහත් වෑයමකින් එයට සහාය දෙන බවත්ය. අගමැති මෝදි මෙම සමුළුවේදී ගෝලීය දකුණු රාජ්‍යයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ ආමන්ත්‍රණයක් ද කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
G 20 සමුළුවට ආරාධිත රාජ්‍යයක් ලෙස සහභාගි වූ අබුඩාබි රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරා ෂෙයික් කාහලෙද් බින් මොහොමද් නිවේදනය කර ඇත්තේ, කලාපීය හා ගෝලීය වශයෙන් G 20 සමුළුව තුළින් කුසගින්න හා දරිද්‍රතාව තුරන් කිරීමට ගෝලීය වශයෙන් දරන වෑයම හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩොලර් මිලියන 100ක ආධාරයක් වෙන්කර ඇති බවය.
G 20 රියෝද ජැනයිරෝ සමුළුව නොවැම්බර් 19 වැනිදා අවසන් වූ අතර, ලෝක රාජ්‍ය නායකයන් මෙහිදී ඉතා වැදගත් සාමූහික ක්‍රියාමාර්ගයන්ට එළැඹ ඇති බව වාර්තා වේ. G 20 සමුළුවේ ඉහළ ප්රමුඛත්වයක් ලබා දුන් ගෝලීය යුද ආතතිය සලකමින් ගාසාව හා ලෙබනනය සම්බන්ධයෙන් විස්තීර්ණ සටන් විරාමයක් පිළිබඳ අවධාරණයට ලක්වී ඇත. ඉන්දීය අගමැති මෝදි හා ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලොනි 2025-2029 වර්ෂ උදෙසා ඒකාබද්ධ උපායමාර්ගික ක්‍රියාකාරී සැලසුමකට එළැඹ ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබිණි. G 20 න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබූ ගෝලීය දේශපාලනික විපර්යාසය පිළිබඳ ගැටලුව ද දරිද්‍රතා හා කුසගින්න තුරන් කර මානව වර්ගයා අබියස ඇති ඛේදවාචකය දුරැලීම උදෙසා මහත් වෑයමකින් යුතුව සාකච්ඡා පැවැත්වූ බවද වාර්තා විය.
පී. ආර්. දුෂාන්ති සිල්වා