– අයිස් කිලෝග්‍රෑම් 220ක් හෙරොයින් කිලෝග්‍රෑම් 74ක් සොයාගත්තේ ගාල්ල නාගොඩ නිවෙසක සඟවා තිබියදී
– සැකකරුවන් 10ක් දැනටමත් අත්අඩංගුවට
– කොට්ඨාස අපරාධ විමර්ශන අංශයකින් අත්අඩංගුවට ගන්නා ලද පළමු විශාලම මත්ද්‍රව්‍ය තොගය
– ගන්දර වෙරළට ගොඩබෑ මත්ද්‍රව්‍ය තොගය හොරෙන් වීඩියෝ කළ පුද්ගලයා ගැන මාතර එස්එස්පීට ලැබුණු ඔත්තුවෙන් ජාවාරම පත්තුවෙයි
හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් සිය ගණනින් පසුගිය දිනවල ආරක්ෂක අංශ අත්අඩංගුවට ගනු ලැබුවේ රට වටා පිහිටි මහ මුහුදේදීය. නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධරයන් සමඟ ඈත දියඹේ සිදුකළ වැටලීම් රැසකදීම පසුගිය අවුරුදු හතර පහ තුළදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහස් ගණනක් අත්අඩංගුවට ගන්නේ මෙරට පුද්ගලයන් මෙන්ම විදේශිකයන් ද සමඟය.
එලෙස මෙරටට අයත් මුහුදු තීරයේදී කිලෝ සිය ගණනින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගන්නා ලද්දේ ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, ඉරානය ඇතුළු හෙරොයින් මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් බෙදාහරින රටවල සිට ලෝකයටම මත්ද්‍රව්‍ය බෙදාහරින මාර්ග තුනෙන් මුහුදු මාර්ගය ඔස්සේ වැටී ඇති එකම මාර්ගයේ ශ්‍රී ලංකාව ද පිහිටා තිබීම නිසාය.
එම රටවල සිට මත්ද්‍රව්‍ය බෙදාහරින සෙසු මාර්ග දෙක වන ගොඩබිම් මාර්ග දෙකට සාපේක්ෂව මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ලෝකයට බෙදා හැරෙන්නේ මෙරට ද අයත් මුහුදු මාර්ගයෙන් බව අනාවරණය වේ.
එලෙස බෙදාහැරෙන මත්ද්‍රව්‍ය තොග විශාල ප්‍රමාණයක් මෑතකාලයේදී මුහුද මැදදී අත්අඩංගුවට ගැනුණේ මුහුද රකින නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ගේ විමර්ශනවලිනි. එහෙත් ඒ සියලු ආරක්ෂක අංශවලට හොර රහසේ මෙරට භූමියට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 220ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 74ක් ගාල්ල, නාගොඩ ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී සොයා ගැනීමට පුළුල් විමර්ශනයකින් පසු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධරයන්ට හැකි වූයේ ඉකුත් 20 වැනිදා සිදුකළ වැටලීමකිනි. එහිදී එම මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සැකකරුවන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට හැකිවිය.
මාතර, ගන්දර පොලිස් වසමේ නූන්නවැල්ලෙන් ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් මෙරටට රැගෙනවිත් ඇති ඒසා විශාල මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට එම වැටලීම සිදුකළ පොලිස් නිලධාරින් අගය කිරීමට මෙන්ම දිරිමත් කිරීමේ අටියෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ද පසුගිය දා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණ එකී නිලධාරීන් ප්‍රශංසාවට ලක්කළේ මත්ද්‍රව්‍ය තොගය ද පරික්ෂාවට ලක්කරමිනි.
එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් දසදෙනා අත්අඩංගුවට ගත් ආකාරය පෙළගැසෙන්නේ මෙලෙසය.
ඉකුත් දිනෙක මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහට තොරතුරක් ලැබිණි. ඒ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳවය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එම තොරතුර පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට භාර කරන්නේ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමටය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහට එලෙස ලැබී තිබූ තොරතුර වූයේ ගන්දර පොලිස් වසමේ නූන්නවැල්ල ප්‍රදේශයේ වෙරළට ඉන්දියන් සාගරයේ සිට ගෙන ආ මත්ද්‍රව්‍ය පාර්සල් තොගයක් ගොඩබා ඇති බවත් එම මත්ද්‍රව්‍ය පාර්සල් තොගය වෑන් රථයකින් ප්‍රවාහනය කර ඇති බවත්ය. ඉකුත් 18 වැනිදා රාත්‍රී 9ට පමණ එම මත්ද්‍රව්‍ය තොගය ඩිංගි බෝට්ටුවකින් ගොඩබා වෑන් රථයේ පටවද්දී එක් පුද්ගලයකු එම දර්ශන වීඩියෝගත කර ඇති බවත් අදාළ තොරතුරේ සඳහන් විය.
එසේ මත්ද්‍රව්‍ය පාර්සල් තොගය ගොඩබාන ආකාරය පුද්ගලයකු වීඩියෝගත කළ බව මත්ද්‍රව්‍ය ගෙන්වූ පුද්ගලයන් දැනගැනීමත් සමඟ දෙපාර්ශ්වය අතර කිසියම් ආරවුලක් ඇතිවන්නට ඉඩහසර විවර වීමත් සමඟ වීඩියෝගත කළ පුද්ගලයා විසින් ඒ බව පොලිසියට නොකියා සිටින්නටනම් රුපියල් ලක්ෂ 50ක මුදලක් ඔහුට ලබාදිය යුතු බව ද පවසා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරෙන් හෙළිදරව් වී තිබිණි.
වැඩිදුරටත් එම තොරතුරෙන් හෙළිවී තිබුණේ මේ සිදුවීම වීඩියෝගත කළ පුද්ගලයා රුපියල් ලක්ෂ 50ක් ඉල්ලුවද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදීමට කැමැත්ත පළ කිරීමත් සමඟ එම පුද්ගලයා, ජංගම දුරකතනයේ තිබූ වීඩියෝව ‘ඩිලිට්‘ කර ඇති බවත් එම වීඩියෝව නිසා දෙපාර්ශ්වය අතර ඇතිවූ අර්බුදය නිසා හට ගත් ගැටුමත් සමඟ එම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ තොරතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ද දැනගන්නට ලැබිණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහට ලද එම විශ්වසනීය තොරතුර පිළිබඳව විමර්ශන කරන ලෙසට ඉකුත් 20 දා අලුයම ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේට උපදෙස් ලබා දුන්නේ ඔහු ඇතුළු කණ්ඩායම මෑතකාලයේදී මාතර ප්‍රදේශයේ සිදුවූ බොහෝ අපරාධවල සුලමුල අනාවරණය කරගැනීමට ප්රමුඛ කාර්යභාරයක් කරමින් සිටි නිසාය.
එම තොරතුරෙහි සඳහන් වී තිබුණේ ඉකුත් 18 දා රාත්‍රි 9ත් 9.30ත් අතර කාලයේ එම මත්ද්‍රව්‍ය පාර්සල් ගොඩබිමට ගෙනැවිත් තිබුණු බවය. එසේම මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට කිහිප දෙනෙක්ම සම්බන්ධ බවත් සී.අයි. රුක්මන් ඇතුළු කණ්ඩායමට දැනගන්නට ලැබිණි. විමර්ශන නිලධාරීන් කණ්ඩායම කැඳවූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැටලීම සඳහා නිලධාරීන් පිරිස කණ්ඩායම් තුනකට බෙදුවේ ජාවාරම්කරුවන් සියලු දෙනාගේම නිවෙස් එකවර වැටලීමේ අටියෙනි.
ඒ නිවෙස් හයක් පමණ වැටලීමට තිබූ හෙයින් නිවසෙන් නිවස වැටලීම කළහොත් සෙසු නිවෙස්වල සැකකරුවන් පැන යා හැකි බවට වූ විමර්ශනවලින් ලද අත්දැකීම් හේතුවෙන් නිලධාරීන් කණ්ඩායම් තුනකට බෙදන ලදි. වැටලීම සඳහා මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අශෝක ප්‍රියංකර ද සම්බන්ධ කරගැනිණි.
ඒ අනුව ඉකුත් 20 වැනිදා පෙරවරුවේ ගන්දරින් එම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන ආ බෝට්ටු තුනක හිමිකරු චූටිගේ නිවසටත්, මත්ද්‍රව්‍ය ගොඩ බෑ ආකාරය වීඩියෝගත කළ චමීරගේ නිවෙසටත් බෝට්ටු ස්කීපර් ධනුක හෙවත් හුජ්ජාගේ නිවෙසටත් ඊට අමතරව චූටිගේ මාළු මිලට ගෙන කොළඹට රැගෙන යන සංජීවගේ නිවෙසටත් තවද විශාල නෞකාවලින් මහ මුහුද මැදට ගෙන එන මත්ද්‍රව්‍ය තොග අනතුරුව, ටැංකි බෝට්ටුවලට පටවා මෙරට වෙරළ ආසන්නයට ගෙනැවිත් එතැන් සිට ඩිංගි බෝට්ටුවලට පටවා ගොඩබිමට රැගෙන ඒමට සම්බන්ධ අය ඇතුළු නිවෙස් හයකට විමර්ශන නිලධරයන් එකවර කඩා වැදුණේ එම නිවෙස්හි සිටි අය ද තුෂ්ණිම්භුත කරමිනි.
ඒ අනුව නිවෙස් හයක් වටලමින් සිදුකළ එම වැටලීමෙන් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඒ අයගෙන් ප්‍රශ්න කරද්දී එම පුද්ගලයන් පොලිසියට කීවේ එවැනි මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ කිසිවක් තමන් නොදන්නා බව සහ ‘එය බොරු කතාවක්‘ යැයි කියමිනි.
අත්අඩංගුවට ගත් අය අතර වීඩියෝගත කළ චමීර ද විය. ඔහුගෙන් ප්‍රශ්න කරද්දී, “නෑ… සර්…. මං එහෙම දෙයක් වීඩියෝ කළේ නෑ… මෙන්න මගේ ෆෝන් එක චෙක් කරලා බලන්න… ඊයෙත් පොලිසියේ මහත්තුරු ඇවිල්ලා පැය එකහමාරක් විතර මගේ ෆෝන් එක චෙක් කරලා ආපහු දීලා ගියා…“ යැයි පැවසීය.
එහෙත් පොලිස් නිලධාරීන් කණ්ඩායම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද එම විශ්වාසවන්ත තොරතුර නිසා දිගින් දිගටම චමීරගෙන් ප්‍රශ්න කරන්නට විය. එහිදී පොලිසියෙන් ගැලවීමක් නොමැති බව තේරුම් ගිය චමීර ඇත්තම හෙළි කළේය.
“සර්… සර්ලා මගෙන් අහන මත්ද්‍රව්‍ය ජාවාරම ඇත්ත… මං එදා ඒ අය කුඩු පාර්සල් තොගය වෑන් එකට පටවනවා වීඩියෝ කළා තමයි… හැබැයි මං ඒ වීඩියෝ එක ‘ඩිලිට්‘ කළා…“ යැයි කීවේය.
චමීරගේ එම ප්‍රකාශයත් සමඟ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔහුගේ ජංගම දුරකතනයේ ‘ඩිලිට්‘ කළ එම වීඩියෝව ක්ෂණිකව ‘රිකවර්‘ කිරීමට සමත් විය. එම තාක්ෂණික මෙහෙයුම ද සිදු කළේ වැටලීමට එක්ව සිටි නිලධාරීන්ගෙන් ම පිරිසක් වීම විශේෂත්වයකි. එම වීඩියෝව පොලිස් නිලධාරීන් කණ්ඩායම හොඳින් නිරීක්ෂණය කළේය. එහිදී පොලිස් නිලධාරීන් දුටුවේ වෙරළට පැමිණි සුදු පැහැති වෑන් රථයකට මත්ද්‍රව්‍ය පාර්සල් තොගය පටවන ආකාරයයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුර ‘තිත‘ටම නිවැරැදි බව තහවුරු වීමත් සමඟ නිලධාරීන් එම වීඩියෝව සියුම්ව නිරීක්ෂණය කළේ ලැප්ටොප් පරිගණකයකට යොමු කරමිනි.
එහිදී පොලිස් නිලධාරීන් කුඩාවට දර්ශනය වූ වෑන් රථයේ ලියාපදිංචි අංකය හඳුනා ගැනීමට සමත් වූයේ දැඩි පරිශ්‍රමයක් දරමිනි. ඒ සමඟම එම වෑන් රථයේ අංකය, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් සොයා බලද්දී එහි ලියාපදිංචි ලිපිනය මහරගම එකක් බව හෙළි වීමත් සමඟ විමර්ශන නිලධාරීන් කණ්ඩායම අදාළ ලිපිනය සොයා මහරගමට ගියේ 20 වැනිදා රාත්‍රියේමය. එම ලිපිනයේ පුද්ගලයා කුලී රථ සේවාවක් පවත්වාගෙන යන අයෙකි. පොලිසිය ඔහුගෙන් අදාළ වෑන් රථය ගැන ප්‍රශ්න කළේය.
“සර්… ඔය කියන වෑන් එක මගේ තමයි… හැබැයි මම ඒ වෑන් එක මේ දවස්වල රෙන්ට් එකට දීලා තියෙන්නෙ….“ යැයි ඔහු කීවේය.
“කාටද රෙන්ට් කරලා තියෙන්නේ…?“ පොලිස් නිලධරයෝ නැවත ඔහුගෙන් ප්‍රශ්න කළෝය.
“රත්මලානේ ගරාජ් බාස් කෙනෙකුට දුන්නේ…“ යැයි වෑන් රථයේ හිමිකරු කීය.
පොලිස් නිලධාරීන් එසැණින් මහරගමින් රත්මලානට පැමිණ අදාළ ගරාජ් බාස් හමු විය.
“සර්… මගේ යාළුවෙක් ඉන්නවා සුරේෂ් කියලා… සුරේෂ් තමයි කිව්වේ හොඳ වෑන් එකක් හොයලා දෙන්න කියලා… ඊට පස්සේ මහරගම මං දන්න රෙන්ට් කාර් එකෙන් ඔය වෑන් එක සුරේෂ්ට අරන් දුන්නේ…“ යැයි ඔහු කීවේ කිසිම චකිතයකින් තොරවය.
පොලිස් නිලධාරීහු සුරේෂ් ගැන සොයන්නට වූහ. ඔහු ගාල්ල, යක්කලමුල්ලේ පදිංචිකරුවෙකි. එහෙත් ඔහු රත්මලාන ප්‍රදේශයෙන් මාසික කුලිය රුපියල් 75000ක් ගෙවා නිෙවසක් ගෙන එහි පදිංචිව සිටියේය. සුරේෂ් සොයා පොලිස් නිලධරීන් එම කුලී නිවෙසට ගිය ද ඔහු එහි සිටියේ නැත. එම නිවසේ සිටි ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගත්තේ ඔහු ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ බවට අනාවරණය වී තිබූ හෙයිනි.
ගරාජ් බාස් කීවේ සුරේෂ් සමඟ වෑන් රථය රැගෙන යාමට සඳමාල් නමැත්තෙක් ද පැමිණි බවත් ඔහු වෑන් රථය ධාවනය කරගෙන ගිය තැනැත්තා බවය. අනතුරුව පොලිස් නිලධාරීන් සඳමාල් සොයා ගියේ ඔහු සිටි දෙහිවල, දහම් මාවතේ, 13 වැනි පටුමගේ බෝඩිමටය. සඳමාල්, මතුගම පදිංචිකරුවෙකි. සඳමාල් සමඟ එම බෝඩිමේ තවත් අයෙක් සිටියේය. ඔහු නුවන්ත නමැති අයෙකි. ඔහු පොලොන්නරුවේ පදිංචිකරුවෙකි. පොලිස් නිලධාරීන් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කළේ 18 වැනිදා රාත්‍රියේ වෑන් රථයෙන් ගෙන ආ මත්ද්‍රව්‍ය ගැන විමසමිනි.
“සර්… ඒ ගෙනාපු බඩු තොගේ ගාල්ලේ, නාගොඩ ගෙදරක හංගලා තියෙන්නේ… අපි ගෙදර පෙන්වන්නම්…“ යැයි ඔවුන් කීවේ මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ දින වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළේ ද තමා බවත් නුවන්ත එදින ගන්දර සිට වෑන් රථයේ ඉදිරිපස වාඩි වී පැමිණි බවත් සුරේෂ් පියස් වර්ගයේ රථයකින් වෑන් රථය පසුපසින් පැමිණි බවත් හෙළි කරමිනි.
ඒ අතර පොලිස් නිලධාරීන් අදාළ වෑන් රථය ද සොයා ගත්තේ රත්මලානේ ප්‍රකට ගරාජයක ‘සර්විස්‘ කිරීමට දමා තිබියදීය. ක්ෂණයෙන් පොලිස් නිලධාරීහු අත්අඩංගුවට ගත් තිදෙනා රැගෙන ගාල්ල, නාගොඩ අදාළ නිවෙස සොයා ගියහ. එම නිවෙසේ මත්ද්‍රව්‍ය තොගය මනා ලෙස අසුරා තිබිණි. නාගොඩ නිවෙසේ කිලෝග්‍රෑම් එකේ පාර්සල්වලින් සමන්විත වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 294ක් තිබිණි. ඒ හෙරොයින් කිලෝග්‍රෑම් 74ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 220ක් ලෙසය.
මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ නිෙවස කවුරුත් නොසිටි වසා දමා තිබූ නිෙවසකි. එහෙත් එම නිවෙසේ හිමිකරු ඊට යාබද මාර්ගයෙන් එපිට නිවෙසේ සිටියේය. නිවෙසේ හිමිකරු ද පොලිසිය අත්අඩංගුවට ගත්තේ ඔහු ද මෙකී ජාවාරමට සම්බන්ධව සිටි හෙයිනි.
ඒ අනුව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව රුපියල් කෝටි 500කට අධික වෙළෙඳපොළ වටිනාකමින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 294ක් සමඟ අදාළ වෑන් රථය සහ මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන ආ ඩිංගි බෝට්ටුව ද අත්අඩංගුවට ගැනිණි.
මෙකී මත්ද්‍රව්‍ය ජාවාරම වීඩියෝගත කළ පුද්ගලයා ඇතුළුව ජාවාරමට සම්බන්ධ වූ හයදෙනෙකු ගන්දරින් අත්අඩංගුවට ගනිද්දී දෙහිවල සහ රත්මලානේ තිදෙනා සහ මත්ද්‍රව්‍ය තොගය තිබූ නිවෙසේ හිමිකරු ඇතුළු දසදෙනෙකු ද අත්අඩංගුවට ගැනිණි.
අත්අඩංගුවට ගත් පිරිසෙන් ප්‍රශ්න කරද්දී තවත් අයගේ නම්-ගම් හෙළිදරව් වීමත් සමඟ පොලිසිය එම පිරිස ද සොයා විමර්ශන සිදු කළත් එම පිරිස මේ වනවිට පලා ගොස් සැඟවී සිටිති.
මේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට ගොඩබිමදී මෙහෙයවා ඇත්තේ අත්අඩංගුවට ගැනීමට සොයන රත්මලානේ නිෙවසක් කුලියට ගෙන සිටි යක්කලමුල්ලේ සුරේෂ් විසිනි. මුහුද මැදදී මත්ද්‍රව්‍ය තොගය ගෙන ආ නෞකාවලට මුදල් දෙමින් ඩුබායි සිටින ප්‍රධාන ජාවාරම්කරු සමඟ සම්බන්ධ වී මෙහෙයවා ඇත්තේ තවත් අයෙකි. එම දෙදෙනාම මෙහෙයවා ඇත්තේ ඩුබායි සිටින ප්‍රධානපෙළේ ජාවාරම්කරුවෙකි. මෙකී සියලු දෙනාම මේ වනවිට පොලිසිය හඳුනාගෙන සිටී.
ජාවාරම්කරුවන් විසින් මෙකී මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයේ සිට විශාල නෞකා ඔස්සේ මහ සාගරය මැදට ගෙනැවිත් එම නෞකාවලින් ටැංකි බෝට්ටුවලට පටවා අවසානයේදී වෙරළට ගෙනැවිත් ඇත්තේ ඩිංගි බෝට්ටුවක් මාර්ගයෙනි. එම ඩිංගි බෝට්ටුව ද අත්අඩංගුවට ගෙන ඇති අතර ටැංකි බෝට්ටුව ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.
මෑතකාලයේ ප්‍රාදේශිය පොලිස් ඒකකයකින් අත්අඩංගුවට ගන්නා ලද විශාලම මත්ද්‍රව්‍ය තොගය ගැන සොයා බැලීමට වැඩබලන පොලිස්පතිවරයා ද පසුගියදා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට ගියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සමඟය. එදින පොලිස්පතිවරයා පැවසුවේ මෙවැනි කතාවකි. “මේ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ සුවිශේෂී මෙහෙයුමක්. මෑත කාලයේ එවැනි අංශයකින් සිදුකළ පළමුවැනි මෙහෙයුම කීවොත් නිවැරැදියි. එම නිසා මම එම නිලධාරීන්ට විශේෂ ස්තුතියක් පුද කරනවා. ඒ වගේම එම නිලධාරීන් ප්‍රශංසාවට ලක්කිරීමට මෙන්ම දිරිමත් කිරීමටයි මා මෙහි පැමිණියේ…“ පොලිස්පතිවරයා වැඩිදුරටත් කීවේ පොලිසිය මේ කරගෙන යන වැඩපිළිවෙළ ඉදිරියටත් කාර්යක්ෂමව සිදුකරගෙන යාමට ජනතා සහාය පතන බවයි.
“ජනතාව තමයි අපිට මේවාගේ තොරතුරු ලබාදිය යුත්තේ. එම නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තොරතුරු පොලිසියට ලබා දෙන්න. ඔබ එසේ තොරතුරු ලබාදීමෙන් කරන්නේ සමස්ත රටවැසියාටම සේවයක්. මත්ද්‍රව්‍ය කියන සමාජයම විකෘති කරන පිළිලය ඉවත් කරන්න ජනතාව දැනටමත් පෙළගැහිලා සිටිනවා. ඒ වගේම තොරතුරුකරුවන්ගේ ආරක්ෂාව ගැනත් අපි උපරීමයෙන් කටයුතු කරනවා. ඒ සඳහා පොලිසිය 1997 දුරකතන අංකය හඳුන්වා දී තිබෙනවා. එම අංකයට බොහෝ සාර්ථක තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඉදිරියේදී සාර්ථක තොරතුරු ලබා දෙන තොරතුරුකරුවන් ගැන සලකා බලා ත්‍යාග සහ ප්‍රදානයන් ලබාදීමටත් කටයුතු කරන බව“ ද පැවසීය.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, මාතර-තංගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා සහ මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහගේ උපදෙස් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේ ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක රත්නායක, කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අශෝක ප්‍රියංකර, සංජීව, මිහිරංග, සැරයන්වරුන් වන 13467 බුද්ධික, 68160 වසන්ත, 37066 පතිරණ, 48991 ලසන්ත, 15043 නෙවිල්, කොස්තාපල්වරුන් වන 72982 ප්‍රසාද්, 92908 ක්‍රිෂාන්, 10390 බණ්ඩාර, 203841 රත්නායක, 104298 ප්‍රියදර්ශන, 34912 පියරත්න, 93795 නිමේෂ්, 95795 අරුණ, 72701 ධනුෂ්ක, 37078 ජනිත් සහ කොස්තාපල් රියැදුරු 78926 සම්පත් යන නිලධාරිහු විමර්ශනවලට එක් වූහ.
අමිල මලවිසූරිය