Home » පොල් ලොරියෙන් ආ කෝටි එකසිය පනහක ‘මත්’

පොල් ලොරියෙන් ආ කෝටි එකසිය පනහක ‘මත්’

by thanushika
November 30, 2024 12:30 am 0 comment

ඉකුත් 20 වැනිදා ගාල්ල, නාගොඩ ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් විසින් කිලෝග්‍රෑම් 294ක් පමණ වූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනුණේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහට පුද්ගලයකුගෙන් ලද සුවිශේෂී තොරතුරක් ඔස්සේ පොලිසිය කළ වැටලීමකදීය.

එලෙස අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කරමින් එම වැටලීම කළ නිලධාරින් දිරිමත් කිරීම සහ ප්‍රශංසාවට ලක්කිරීමට පසුගිය 21 දා මාතරට ගිය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවැසුවේ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට ජනතාව තොරතුරු ලබාදීමෙන් සිදු කරන්නේ සමස්ත රටවැසියාටම සේවයක් බවයි.

ඒ අනුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට ගෙන යන වැඩපිළිවෙළට මහජනයාගෙන් හොඳ සහායක් ලැබෙන බව මේ වන විට පසක් වන්නේ මාතර මත්ද්‍රව්‍ය වැටලීමෙන් සතියක් ඉක්ම යන්නටත් මත්තෙන් ඉකුත් 26 දා පොලිස් විශේෂ කාර්ය බළකාය පාදුක්ක, වටරැක ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 87කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වූයේ ද ජනතාවගෙන් ලද සහාය නිසාය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරියකුට ලද තොරතුරක් ඔස්සේ එස්ටීඑෆ් නිලධාරින් එම වැටලීම සිදුකරන්නේ මෙසේ ය.

ඉකුත් 26 දා පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ මොරටුව කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකක III ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධනුෂ් රණසිංහට මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන තොරතුරක් ලැබී තිබිණි.

එම තොරතුර පිළිබඳව ඔහු එස්ටීඑෆ් ජ්‍යෙෂ්ඨ නිලධාරින් දැනුම්වත් කිරීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි (සංවිධානාත්මක අපරාධ, ත්‍රස්ත මර්දන, බුද්ධි) සාගර කුලසේකරගේ අධීක්ෂණයෙන් මොරටුව කඳවුරේ පොලිස් පරීක්ෂක මෙන්ඩිස් සහ එම කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකක IIIහි ස්ථානාධිපති ධනුෂ් රණසිංහ ඇතුළු කණ්ඩායම එම බුද්ධි තොරතුරට අනුව ක්‍රියාත්මක වන්නේ ක්ෂණිකවය. එහිදී ලද තොරතුරට අනුව ගොඩගම ප්‍රදේශයේ මිල්ලෑව, පුවක්වත්ත පාරේදී මත්කුඩු ග්‍රෑම් 406ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගැනිණි. ඔහු 41 හැවිරිදි බිමල්ය.

බිමල් බොරැල්ලේ උපන් අයෙකි. ඔහුගේ පදිංචිය ගොඩගම මිල්ලෑවේය. ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී මත්කුඩු සඟවා තිබෙන ලොරියක් ගැන ඔහු තොරතුරු අනාවරණය කළේය. අනතුරුව එස්ටීඑෆ් නිලධාරින් කණ්ඩායම බිමල් සමඟ එම ලොරිය සොයා ගියේය.

අදාළ ලොරිය ගාල් කර තිබුණේ පාදුක්ක, නැඟෙනහිර හොරගල නිවෙසකය. ඇලුමිනියම් බොඩිය සහිත අළු පැහැති එම ලොරි රථය පරීක්ෂාවේදී එහි පොල් පටවා තිබිණි. එම පොල් තොගය ලොරියෙන් බාද්දී ඒ තුළ රහස් කුටියක් සකස් කර තිබෙන ආකාරය එස්ටීඑෆ් නිලධරයන්ට නිරීක්ෂණය විය. එම රහස් කුටිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ මත්ද්‍රව්‍ය පාර්සල් තොගයක් මනා ලෙස අසුරා තිබෙන ආකාරය දිස් වූයේ එස්ටීඑෆ් නිලධාරින් ද විස්මයට පත් කරමිනි.

පසුව එම මත්ද්‍රව්‍ය තොගය එස්ටීඑෆ් නිලධාරින් භාරයට ගෙන පරීක්ෂා කර කිරා බලද්දී එහි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 57යි ග්‍රෑම් 380ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 29යි ග්‍රෑම් 750ක් ලෙස මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 87යි ග්‍රෑම් 130ක් තිබිණි. එම මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 150කට අධික බව අනාවරණය විය.

මත්ද්‍රව්‍ය තොගය සහිත ලොරිය ගාල්කර තිබූ නිවසේ සිටි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගැනිණි. ඒ 33 හැවිරිදි යොහාන්ය. තලවතුගොඩ උපන් යොහාන්ගේ පදිංචිය පාදුක්ක, නැගෙනහිර හොරගල ප්‍රදේශයේය. ලොරිය නවතා තිබුණේ ඔහුගේ නිවෙසේය. එසේම යොහාන්, බිමල්ගේ නැඟණියගේ සැමියායි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හෙවත් පාතාල නායකයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන උනාකූරුවේ ශාන්තගේ ළඟම ඥාතින් දෙදෙනෙකි. උනාකූරුවේ ශාන්ත යනු පැරැණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. මාකඳුරේ මධුෂ් ද කලක් ශාන්තගේ ගෝලයකු ලෙස ද කටයුතු කළේය.

දැනට ජපානයේ සිටින බවට සැලවන උනාකූරුවේ ශාන්ත විසින් මෙහෙයවන ලද මත්ද්‍රව්‍ය ජාවාරමක් ඔස්සේ ඒ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් දෙදෙනාට ලැබී තිබේ. ශාන්ත සියල්ල මෙහෙයවා තිබුණේ පිටරට සිට දුරකතන ඔස්සේය. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් ඉකුත් දා කොටුකර ගත් මත්ද්‍රව්‍ය තොගය සේම මෙකී මත්ද්‍රව්‍ය තොගය ද දකුණු මුහුදු තීරයෙන් මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය තොගයක කොටසක් බවට ද විමර්ශන සිදුකරන එස්ටීඑෆ් නිලධාරින්ගේ සැකයයි.

අත්අඩංගුවට ගත් බිමල් සහ යොහාන්ගෙන් ප්‍රශ්න කරද්දී මේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවී ඇති ආකාරය හෙළි වන්නේ මෙසේ ය.

එස්ටීඑෆ් නිලධාරින් එලෙස අත්අඩංගුවට ගත් පොල් ලොරිය මීට සති කීපයකට පෙරදී පාදුක්කට රැගෙනවිත් තිබුණේ කොට්ටාවේ ජනප්‍රිය අවන්හලක් අසල නතර කර තිබියදීය. එහිදී උනාකූරුවේ ශාන්ත පිටරට සිට දුරකතන ඇමතුමක් ගෙන දෙදෙනාට මත්ද්‍රව්‍ය සහිත ලොරිය නතර කර ඇති තැන පවසා තිබේ. ඒ අනුව එම ලොරිය එම ස්ථානයට රැගෙන ආවේ කවුරුන් ද යන්න අත්අඩංගුවට ගත් දෙදෙනා දැනගෙන සිට නැත. එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාවාරමේ ස්වභාවයයි. එකිනෙකා හඳුනාගත නොහැකි පරිදි විදෙස් රටවල සිටින ප්‍රධාන ජාවාරම්කරු සියල්ල මෙහෙයවන්නේ දුරකතන ඔස්සේය.

උනාකූරුවේ ශාන්ත ඇමතුම් දෙමින් දැන්වීමත් සමඟ දෙදෙනා යතුරුපැදියකින් පැමිණ එම ලොරිය ලබාගෙන රැගෙන ගොස් එස්ටීඑෆ් නිලධාරින් අත්අඩංගුවට ගත් නිවසේ නතර කෙරිණි. එතැන් සිට උනාකූරුවේ ශාන්තගෙන් පිටරට සිට ලැබෙන දුරකතන ඇමතුම් ඔස්සේ මත්ද්‍රව්‍ය ඇණවුම් තැනින් තැනට බෙදාහැර තිබුණේ වෙනත් වාහනවලිනි.

කලක් තිස්සේ සිදුකර ඇති එම ජාවාරමට අනුව පොල් ලොරියේ මත්ද්‍රව්‍ය අවසන් වූ පසු නැවත එම ලොරිය උනාකූරුවේ ශාන්ත දුරකතන ඇමතුම් දෙමින් පවසන ස්ථානයකට ගොස් නතර කර දෙදෙනා පැමිණෙන බව හෙළි විය.

පොල් ලොරියෙන් එලෙස සිදුවී තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමට ‘තිත‘ තබමින් මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් ස්ථානයට ඒ මොහොතේම ගිය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී නීතිඥ වරුණ ජයසුන්දර ඇතුළු පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් නිලධාරින්ගේ කාර්යභාරය අගය කළ අතර පොලිස්පතිවරයා ඒ මොහොතේ මෙසේ පැවැසීය

“මේ මත්ද්‍රව්‍ය තොගය කොටුවුණේ මත්ද්‍රව්‍ය ජාලයක බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයකින් බව අපට නිරීක්ෂණය වෙනවා. පොල් ලොරිය මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා පාවිච්චි කරලා තියෙනවා. මත්කුඩු පාර්සල් ලොරියේ රහස් කුටියක තැන්පත් කළාට පස්සේ පොල් ගෙඩි පටවලා පොල් විකුණන ආකාරයෙන් තමයි මේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකර තිබෙන්නේ…“ යැයි පොලිස්පතිවරයා කීවේය.

එස්ටීඑෆ් ප්‍රධානි නීතිඥ වරුණ ජයසුන්දර ද මෙසේ කීවේය. “පොලිස් විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළේදී දැවැන්ත පියවරක් ලෙස මේ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම සඳහන් කළ හැකියි. ඒ වගේම කුමන බාධක ආවත් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉදිරියටත් මත්ද්‍රව්‍යවලට එරෙහි සටන ක්‍රියාත්මක කරනවා“ යැයි ද හෙතෙම පැවැසීය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගනිද්දී ඊට අදාළව තවත් සැකකරුවන් කීපදෙනෙක්ම අත්අඩංගුවට ගැනීමට සිටින බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ සූක්ෂ්ම වැටලීමකින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 87යි ග්‍රෑම් 130ක ප්‍රමාණය සහ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර කෙරිණි.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division