Home » මිනුවන්ගොඩ කෝටි හතහමාරේ මුදල් සොරකමේ සැලසුම්කරු කොටු කළ පොලිස් මෙහෙයුම

මිනුවන්ගොඩ කෝටි හතහමාරේ මුදල් සොරකමේ සැලසුම්කරු කොටු කළ පොලිස් මෙහෙයුම

by thanushika
November 30, 2024 12:30 am 0 comment

සොරුන්, කොල්ලකරුවෝ සහ සංවිධානාත්මක අපරාධකරුවෝ සිදුකරන අපරාධ බොහෝ විට විවිධාකාරය. ඒ කවුරු කළද සොරකමට නීතියෙන් කිසිම සමාවක් නැත. සොරුන් වෙනුවෙන් කෙතරම් නීතිය ක්‍රියාත්මක වුවද දින දින වාර්තා වන සොරකම්, කොල්ලකෑම් සංඛ්‍යාෙව් ක්‍රමික වර්ධනයක් පෙනෙන්නට නැතැයි කිව නොහැකිය.

ඒ අතර රුපියල් කෝටි හතහමාරක අමුතුම ආකාරයේ මුදල් සොරකමක් පසුගියදා වාර්තා වූයේ මිනුවන්ගොඩ පොලිස් වසමෙනි. ඒ ඉකුත් 18 දාය. එම රුපියල් කෝටි හතහමාරේ මුදල් සොරකමට අදාළව මේ වන විට සැකකරුවන් හයදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සොරකම් කළ මුදල්වලින් රුපියල් තුන්කෝටි පහළොස් ලක්ෂයක පමණ මුදලක් මේ වන විට සොයා ගැනීමට හැකි වී තිබේ.

එහෙත් එම මුදල් සොරකම සිදුකළ පුද්ගලයා හෝ ඔහුට පැන යාමට සහාය වූ ප්‍රධානතම පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් ලැබී නැත්තේ එම දෙදෙනා මේ වන විට යාපනය ප්‍රදේශයට පලා ගොස් සැඟවී සිටින බවට ඉකුත් 21 දා වාර්තා වීමත් සමඟිනි. එම සැකකරුවන් දෙදෙනා සොයා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධරයන් සහ යාපනය ප්‍රදේශයේ පොලිස් නිලධාරින් මේ වන විට විමර්ශන සිදු කරමින් සිටියි.

එම සැකකරුවන් දෙදෙනා අල්ලා ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් යාපනය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටියදී රුපියල් කෝටි හතහමාරක මුදල් සොරකමේ මුල මැද අග කතාව සටහන් වන්නේ මෙලෙසිනි.

ඉකුත් 18 වැනිදා පෙරවරු 10ට පමණ මිනුවන්ගොඩ පිහිටි මූල්‍ය ආයතනවල ඒටීඑම් යන්ත්‍රවලට මුදල් ඇතුළු කිරීම සහ ඒටීඑම් යන්ත්‍රවලට මහජනයා ඇතුළු කරන මුදල් ලබාගන්නා පෞද්ගලික ආයතනයක වාහනයක් පැමිණියේ නිලධාරින් දෙදෙනෙක් සහ ආරක්ෂක නිලධාරියකු සමඟිනි. බම්බලපිටියේ ප්‍රධාන කාර්යාලය පිහිටි එම පෞද්ගලික ආයතනයේ කටුනායක, සීදූව ශාඛාවෙන් පිටත්වූ එම වාහනය මිනුවන්ගොඩට පැමිණ තිබුණේ ස්ථාන තුන හතරක නතර කරමිනි. එම ආයතනය ඒටීඑම් යන්ත්‍රවල මුදල් ගැනීම සහ ඇතුළු කිරීම පමණක් නොව තවත් ආයතනවල මුදල් එකතුකොට ආරක්ෂිතව මූල්‍ය ආයතනවලට රැගෙන යාම වැනි කාර්යයන් ද සිදු කරයි.

එදින පෙරවරු 10.50ට පමණ වෙද්දී මිනුවන්ගොඩට පැමිණි එම වාහනයේ ආ අය අතරින් රාජ්‍ය බැංකුවක ඒටීඑම් යන්ත්‍රයට මුදල් ඇතුළු කිරීමට එක් නිලධාරියකු යද්දී සෙසු නිලධාරියා සහ ආරක්ෂක නිලධාරියා සමඟ රියැදුරු වාහනය රැගෙන ගොස් ඇත්තේ ඒ ආසන්න වෙනත් ආයතනයක තිබෙන මුදල් රැගෙන ඒමටය. රථයේ පැමිණි නිලධාරියා සහ ආරක්ෂක නිලධාරියා එම ආයතනයට ගිය අතර රියැදුරු ඒ ආසන්නයේ වෑන් රථය නතර කරගෙන සිටියේ රුපියල් කෝටි හතහමාරක මුදලක් ද සමඟිනි. එසේම ආරක්ෂක නිලධාරියා එම ආයතනයට ගොස් තිබුණේ ඔහුගේ තුවක්කුව ද වාහනයේ තිබියදීය.

ආයතනයට ගිය දෙදෙනා එහි තිබූ රුපියල් ලක්ෂ තුනක මුදල් රැගෙන වාහනයට පැමිණියත් ඒ මොහොතේ වාහනය එම ස්ථානයේ නොතිබිණි. අනතුරුව දෙදෙනා රියැදුරුට දුරකතන ඇමතුමක් ගත්තේය.

“මහත්තයා… මං මුත්‍රා කරන්න ආවා…“ යැයි ඔහු කීවේ ඔහු මුත්‍රා කිරීමට ගිය ස්ථානය ද සඳහන් කරමිනි. වාහනය ද පෙනෙන්නට නොතිබිණි. මඳ වේලාවක් ගත වූවා පමණි. රියැදුරුගේ ජංගම දුරකතනය ද විසන්ධි වී තිබිණි.

ඒ සමඟම ක්‍රියාත්මක වූ එම තිදෙනා වාහනයේ ජීපීඑස් උපකරණ තිබූ නිසා වෑන් රථය කුමන ඉසව්වක තිබේද යන්න ඒ ඔස්සේ සොයා බැලීය. එමඟින් අනාවරණය වූයේ වෑන් රථය ගම්පහ, උග්ගල්බඩ ප්‍රදේශයේ තිබෙන බවයි.

ඒ සමඟම එම තිදෙනා විසින් ආයතනයේ උසස් නිලධාරින් දැනුම්වත් කළේ තමත් මිනුවන්ගොඩ නගරයේ සිටියදී රුපියල් කෝටි හතහමාරක මුදලක් සමඟ රියැදුරු වෑන් රථය උග්ගල්බඩ ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව සඳහන් කරමිනි. එසේම රියැදුරුගේ ජංගම දුරකතනය ද ක්‍රියා විරහිත බව නිලධාරින් ප්‍රධාන ආයතනය අමතා සඳහන් කරන්නේ ඒ සමඟය.

අනතුරුව එම ආයතනයේ උසස් නිලධාරින් සමඟ නිලධාරින් තිදෙනා උග්ගල්බඩ ප්‍රදේශයට ගොස් වාහනය සොයා ගත්ත ද එහි තිබූ රුපියල් කෝටි හතහමාරක මුදල බහාලු මලු පෙනෙන්නට නොවීය.

සිදුවී ඇත්තේ කුමක් ද යන්න තේරුම් ගත් එම ආයතනයේ කළමනාකාරවරියක පැමිණියේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයටය. ඒ, එදින සවස 2ට පමණ සිදුවීමෙන් පැය තුනකට පමණ පසුවය. ඇය සිදුවී ඇති සියල්ල පවසමින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළාය. එම පැමිණිල්ල පිළිබඳව මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. පී. එස්. ජයලත්ගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පෙරේරා ඇතුළු කණ්ඩායමක් මූලික විමර්ශන පවත්වද්දී මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා එම මුදල් සොරකම පිළිබඳව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් ද දැනුවත් කරන ලදි.

මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් වාහනය තිබූ ස්ථානයට ගොස් වෑන් රථය පරීක්ෂා කර බලද්දී එහි රුපියල් ලක්ෂ 82ක මුදල් තිබියදී අනෙකුත් මුදල් සියල්ල රියැදුරු විසින් රැගෙන ගොස් තිබුණේ ඒවා බහාලු ගමන්මලු පිටින්මය. ඊට අමතරව රථයේ ඉදිරිපස කාපට් එකක් යට ආරක්ෂක නිලධාරියාගේ ‘ෂොට් ගන්‘ වර්ගයේ තුවක්කුව ද සඟවා තිබිණි. ආරක්ෂක නිලධාරියා මිනුවන්ගොඩ ආයතනයකට මුදල් රැගෙන ඒමට ගොස් තිබුණේ තුවක්කුව ද නොමැතිවය.

එලෙස නොසැලකිලිමත්ව කටයුතු කිරීම සහ අනියමින් හෝ අනුබල දීමේ චෝදනාව මත මිනුවන්ගොඩ පොලිසිය විසින් එම ආරක්ෂක නිලධාරියා සහ ආයතනයේ නිලධාරින් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

කෝටි හතහමාරේ මුදල් සොරකමේ විමර්ශන සඳහා ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාලක සේනානායකගේ අධීක්ෂණයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි ඇතුළු කණ්ඩායම විමර්ශන සිදු කරන්නේ අදාළ ස්ථානයට යාමෙන් අනතුරුවය.

එහිදී විමර්ශන නිලධාරින් ප්‍රථමයෙන්ම අවට සීසීටීවී කැමරා පරීක්ෂාවක් සිදු කළේ සැකකරුවන් පලා ගිය ඉසව්වක් සොයා ගැනීමේ අටියෙනි. ඒ අතර පොලිසිය ආයතනයෙන් රියැදුරා ගැන සම්පූර්ණ විස්තරයක් ලබා ගත්තේය. එම රියැදුරු කටාන, කලවාරිප්පුව, සූරිය මාවතේ කුලී නිවෙසක පදිංචි 37 හැවිරිදි තුෂාර ඉන්දික සොයිසා නමැත්තෙක් බව සඳහන් විය. වසර දෙකකට පමණ පෙරදී එම ආයතනයට එක්වී තිබූ තුෂාර ඉන්දික ආයතනයේ බොහෝ දෙනෙකුගේ හිත දිනාගෙන රැකියාව කළ සේවකයෙකි. ආයතනයේ තිබූ ඔහුගේ ආයතනික හැඳුනුම්පතට යොදාගත් ඡායාරූපයක් ද පොලිසියට ලැබිණි. අනතුරුව පොලිසිය ඔහු සොයා ගැනීමට මහජන සහාය ද පැතුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය හරහා එම පුද්ගලයාගේ ඡායාරූපය ඇතුළු විස්තර මාධ්‍යයට ද නිකුත් කරමිනි. තුෂාර ඉන්දිකගේ බිරිය ද පොලිසියට කැඳවා දීර්ඝ ප්‍රකාශයක් ලබාගත්තේ තුෂාරගේ පැටිකිරිය ගැනද විමසමිනි.

පොලිස් කණ්ඩායම් දිගින් දිගටම සිදුකරන ලද සීසීටීවී කැමරා පරීක්ෂාවේදී වෑන් රථය එදින පෙරවරුවේ මිනුවන්ගොඩට පැමිණීමට පෙර සිටම වෑන් රථය පසුපස එන සැක කටයුතු ස්කූටි මෝටර් බයිසිකලයක්ද පොලිස් නිලධාරින්ගේ උකුසු ඇසට හසු විය. එම මෝටර් බයිසිකලය සැකකාර රියැදුරු වෑන් රථය රැගෙන පලා යද්දී ද ඒ පසුපසම යන ආකාරයක් සීසීටීවී කැමරා මඟින් තහවුරු විය. උග්ගල්බඩ වෑන් රථය තිබූ ස්ථානයේ අවට සීසීටීවී කැමරා පරීක්ෂාවන්හිදී වෑන් රථ රියැදුරු ඉන්දික සොයිසා වෑන් රථයෙන් බැස එම යතුරුපැදියේ නැඟි මුදල් බහාලු මලු කීපයක් ද රැගෙන හිස්වැස්මක් ද නොමැතිව අදාළ ස්කූටියේ නැඟි පලා යන ආකාරයක් ද සීසීටීවී කැමරා දර්ශන අනුව පොලිසිය අනාවරණය කරගත්තේය.

එලෙස රුපියල් කෝටි හතහමාරක් රැගෙන පලා ගිය වෑන් රථ රියැදුරා සොයා මිනුවන්ගොඩ පොලිසිය, අවට පොලිස් ස්ථාන සහ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පුළුල් විමර්ශනයක් සිදු කරද්දී දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ කළ විමර්ශනයේදී ගම්පහ කවුඩන්ගහ හන්දියේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගැනිණි. ඔහු මාකේවිට පදිංචිකරුවකු වන 35 හැවිරිදි සමින්ද රොෂානක ජයකොඩිය. ඔහු ව්‍යාපාර කටයුතුවල නියැළුණු අයෙකි.

ඔහුගෙන් මෙකී මුදල් සොරකම ගැන දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරුණේ ඔහු රුපියල් කෝටි හතහමාරේ සොරකමට කිසියම් හෝ ආකාරයකින් සබඳතාවක් ඇති බවට ඒ වන විටත් පොලිස් නිලධාරින් කරුණු අනාවරණය කරගෙන තිබූ හෙයිනි. අනතුරුව රොෂානකගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී සොරකම සිදුකළ ඉන්දික තුෂාර සහ යතුරුපැදි ධාවකයා වූ සමන් රණසිංහ එක්ව සොරකම් කරන ලද රුපියල් කෝටි හතහමාරක මුදලෙන් කොටසක් රොෂානකට ගෙනැවිත් දී තිබිණි. එම මුදල් ප්‍රමාණයද පොලිසිය භාරයට ගැනීමට සමත් වූයේ සොරකමෙන් පැය 24ක් යන්නටත් මත්තෙන් රොෂානක ද අත්අඩංගුවට ගනිමිනි. රොෂානකගෙන් පොලිස් නිලධාරින් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා තිබුණේ, “සර්… මං මේ ගැන මුකුත්ම දන්නේ නෑ… ඒ දෙන්නා බයික් එකකින් ඇවිත් මට මේ සල්ලි තොගය දීලා ගියා… තියාගන්න කියලා… එයාලා පස්සේ ඇවිල්ලා ගන්නම් කිව්වා…“ යැයි කියාය.

එහෙත් පොලිස් නිලධාරින් අනාවරණය කරගත්තේ රොෂානක මේ මුදල් සොරකමේ ප්‍රධානතම පුද්ගලයා බවටය. ඔහු දුරකතන ඇමතුම් දෙමින් රියැදුරු ඉන්දික තුෂාර සමඟ දින ගණනාවක් සබඳතා පවත්වමින් මෙම මුදල් සොරකම මෙහෙයවා තිබූ බව පොලිසිය තොරතුරු හෙළිකරගෙන තිබුණේ දුරකතන දත්ත විශ්ලේෂණ වාර්තාවලට අනුවය.

අත්අඩංගුවට ගත් රොෂානක ළඟ තිබී රුපියල් තුන්කෝටි පහළොස් ලක්ෂ පහළොස් දහස් දෙසීය අනූ එකක මුදලක් සොයා ගැනුණේ කිලෝග්‍රෑම් 40 සහ 50 පෝර උර දෙකක බහා තිබියදීය. එහි රුපියල් පන්දහසේ නෝට්ටු 4,109ක්ද රුපියල් දහසේ නෝට්ටු 6,988ක් පන්සීයේ නෝට්ටු 6,717ක්ද සියයේ නෝට්ටු 6,107ක්, පනහේ නෝට්ටු 175ක්, රුපියල් 20 නෝට්ටු 217ක් සමඟ රුපියලේ කාසියක් ද තිබිණි.

අත්අඩංගුවට ගත් රොෂානකගෙන් මුදල් සොරකම් කළ ඉන්දික තුෂාර ගැන බොහෝ තොරතුරු අනාවරණය වෙද්දී ඉන්දික තුෂාර මෝටර් බයිසිකලයකින් රැගෙන ගිය පුද්ගලයා ගැනත් අනාවරණය විය. එම පුද්ගලයා 40 හැවිරිදි ඩී. එස්. රණසිංහ හෙවත් සමන් නමැත්තකු බව හෙළි විය. සමන් ගම්පහ, උඩුගම්පොළ, අස්ගිරි වල්පොළ, වෙඩිමඩු පාරේ පදිංචිකරුවෙකි.

සමන්ගේ තොරතුරු ද හෙළිදරව් වීමත් සමඟ පොලිසිය, පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඔස්සේ ඔහුගේ ඡායාරූපයක් සහ විස්තර ද මාධ්‍යයට නිකුත් කළේ ඔහු සොයා ගැනීමට මහජනයාගේ ද සහාය පතමිනි.

මේ අතර රොෂානකගේ පාපෝච්චාරණ සහ පොලිසිය සිදුකළ විමර්ශනයේදී ඉන්දික තුෂාර මුදල් රැගෙන පලා ගිය යතුරුපැදිය ද මාකෙවිට නි‍ෙවසක ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකි විය.

මේ අතර ඉන්දික තුෂාර සහ සමන් රණසිංහ සොයා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් දිවා රෑ නොතකා විමර්ශන සිදු කරමින් සිටියේ සීසීටීවී කැමරා දර්ශන සිය ගණනක් පරීක්ෂා කරමින් සිය පෞද්ගලික තොරතුරුකරුවන් ඔස්සේ තොරතුරු ද රැස් කරමිනි. එහිදී ඉකුත් දිනෙක ලද තොරතුරක් ඔස්සේ කුරුණෑගල, ගනේවත්ත ප්‍රදේශයේ සීසීටීවී කැමරා පරීක්ෂාවකදී එම ප්‍රදේශයේ එක් සීසීටීවී කැමරා දර්ශනයකින් සැක කටයුතු වාහනයක අංකයක් විමර්ශන නිලධාරින් විසින් අනාවරණය කර ගැනිණි.

අනතුරුව එම කාරයේ තොරතුරු සොයා බලද්දී එහි රියැදුරා ගැන විමර්ශන නිලධාරින්ට තොරතුරු අනාවරණය විය. කුරුණෑගල අයෙක් වන එම රියැදුරුට පොලිස් නිලධාරින් දුරකතන ඇමතුමක් ගනිද්දී ඔහු පැවැසුවේ ‘හයර් එක ඉවර‘ බවකි. එහෙත් ඔහු පවසා ඇත්තේ බොරුවක් බව අනාවරණය කරගත් පොලිස් නිලධරයෝ අනතුරුව එම රථය පසුපස හඹා ගියෝය. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් අනාවරණය කරගත්තේ එම රථයේ ඉන්දික තුෂාර සහ සමන් සිටින බවත් වාහනය ඒ වන විට යාපනය ප්‍රදේශයට ගමන් කරන බවය.

පොලිස් නිලධාරින්ගේ දුරකතන ඇමතුමත් සමඟ එම වාහනයේ රියැදුරා ඉන්දික තුෂාර සහ සමන්ට කියා ඇත්තේ පොලිසියෙන් තමන් පසුපස හඹා එන බවය.

කෙසේ හෝ ඉකුත් 22 වැනිදා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් එම වාහනය පසුපස හඹාගොස් රියැදුරු සමඟ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්තේ යාපනය ප්‍රදේශයේදීය. ඒ රුපියල් කෝටි හතහමාරක සොරකම සිදුකළ දෙදෙනාට පලා යාමට ආධාර අනුබල දීමේ චෝදනාව මතය. එම පුද්ගලයන් දෙදෙනා වාහනය සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වුවත් එහි ගිය සැකකරුවන් දෙදෙනා පොලිසිය පැමිණීමට පෙර වාහනයෙන් බැස පලා ගොස් තිබුණේ රියැදුරු පොලිසිය පන්නන බව දෙදෙනාට පැවැසීමත් සමඟය. ඒ අතර යාපනය ප්‍රදේශයට පලා ගිය දෙදෙනා නාගදීප විහාරය ද වැඳපුදාගෙන ඇත්තේ අටපිරිකර ද පූජා කරමිනි. දෙදෙනා කුරුණෑගල කාරය යාපනයට පලා යාමට කුලියට ගෙන ඇත්තේ ද රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලක් ගෙවමින් බවත් පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

ඔවුන් දෙදෙනා එම වාහනයෙන් යාපනය ප්‍රදේශයට පලා ගියේ මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැන යාමට ද යන්න සැකයක් පවතී.

බස්නාහිර පළාත් උතුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න සහ ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් මත ගම්පහ දිස්ත්‍රික් I ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාලක සේනානායකගේ අධීක්ෂණයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි, ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන, මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති එම්.පී. එස්. ජයලත් සහ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සම්පත් පෙරේරා ඇතුළු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, උදයකාන්ත සහ මධුරංග, සැරයන්වරුන් වන (2926) පුෂ්පානන්ද, (55460) ධනපාල, (55466) සෙනෙවිරත්න, (61970) වීරසූරිය, කොස්තාපල්වරුන් වන (25075) ලක්ෂාන්, (24328) දිල්ෂාන්, (30190) ප්‍රදීප්, (37801) ලක්මාල්, සැරයන් රියැදුරු (1867) හෙට්ටිගේ යන නිලධරයෝ විමර්ශන සිදු කරති.

ඡායාරූප – ගම්පහ දිස්ත්‍රික් විශේෂ

සිසිල ගුණතිලක

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division