– ව්‍යාජ සහතික රැසක් සහ ලැප්ටොප් පරිගණකයක් සොයාගනී
– සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි
– ඕනෑම සහතිකයක් රු. 10,000 සිට රු. 15,000 දක්වා අලෙවි කරලා
පරිගණක තාක්ෂණය භාවිත කරමින් කූට ලේඛන, ව්‍යාජ සහතික මෙන්ම ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු නිර්මාණය කළ ස්ථාන රැසක්ම පසුගිය කාලයේ පොලිසිය විසින් වැටලීම් සිදු කෙරුණේ සැකකරුවන් ද අත්අඩංගුවට ගනිමිනි. මේ ආකාරයෙන් කූට ලේඛන සකස් කළ ස්ථානයක් වැටලීමට පසුගියදා පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමකට ද හැකි විය. ඒ කතාව පෙළගැසෙන්නේ මෙලෙසිනි.
රාජ්‍ය ආයතනවල සහ පොලොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන සහිත කූට ලේඛන සකස් කර අයථා ලෙස මුදල් උපයා ගනු ලැබූ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමකට හැකි වූයේ පසුගියදාය.
පොලිස් නිලධාරින් එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා පොලොන්නරුව අංක 1 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප නියම කෙරිණි.
සැකකරුවන් වූයේ හිඟුරක්ගොඩ රජඇළ සහ පොලොන්නරුව වැව පාර නව නගරයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් සැකකරුවන් සමඟ ව්‍යාජ ලෙස සකස් කරන ලද කූට ලේඛන සමඟ කූට ලිපි ලේඛන සකස් කිරීමට උපයෝගී කරගත් බවට සැක කරන ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.
වසර ගණනාවක සිට කූට ලිපි ලේඛන සකස්කර මිනිසුන් රවටා මුදල් උපයාගත් මෙම පුද්ගලයන් දෙදෙනා ගැන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායම් භාර පොලිස් පරීක්ෂක බණ්ඩාරට රහසිගත තොරතුරක් ලැබුණේ පසුගියදාය.
“සර් රාජකාරි ලියුම් හොරට ගහලා සල්ලි ගන්න දෙන්නෙක් ඉන්නවා… රුපියල් දහපහළොස් දාහක් දුන්නොත් අධ්‍යාපන සහතිකයක් ගන්න පුළුවන්. රට යන්න වුණත් පුහුණු පාඨමාලා සහතිකයක් ගන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි, ආදායම් බලපත්‍ර ගන්න වාහනවල පොත් ඕනෙත් නැහැ. සල්ලි විතරයි ඕනේ. ඕනෙම සහතිකයක් මෙයාලට කියලා ඇත්තම එකක වාගේ හොරට හදලා ගන්න පුළුවන්…” යැයි එම ඔත්තුකරු කීවේය.
පොලිස් පරීක්ෂක බණ්ඩාර ඔත්තුකරුගෙන් ඇසුවේ “හොඳයි ඔය ‘වැඩකාරයෝ’ ඉන්නේ කොහේද?”යි කියාය.
“සර් එක්කෙනෙක් හිඟුරක්ගොඩ… අනිත් මෑන් ඉන්නේ නවනගරය පැත්තේ…” ඔත්තුකරු කීවේය.
“හරි… හරි… මම දැන්ම එනවා. ගොඩාක් ස්තුතියි තොරතුරු දුන්නාට.” යැයි තොරතුරුකරුට ස්තුති කළ පොලිස් පරීක්ෂක බණ්ඩාර පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා, සහකාර පොලිස් අධිකාරි ප්‍රගති අබේසිංහ, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජාගොඩ යන නිලධරයන් ද මේ ගැන දැනුම්වත් කර වැටලීමට සූදානම් විය.
පොලිස් පරීක්ෂක බණ්ඩාරගේ සහායට පොලිස් නිලධාරින් තිදෙනෙකු ද එක්විය. පොලිස් නිලධාරින් පළමුව ගියේ පරිගණක යන්ත්‍ර උපයෝගී කරගෙන කූට ලිපි සකස් කරන පුද්ගලයා සොයාගෙනය. වෙස්වලාගත් පොලිස් නිලධාරීන් සැකකරුගේ නිවසට ගොස් වටපිට නිරීක්ෂණය කරන ලදි. ලැබුණ තොරතුරු සත්‍ය බව පොලිස් නිලධාරින්ට වැටහෙන්නේ ඒ මොහොතේදීය.
තම රැකියා පවා පැත්තකට දමා හොර සහතික මුද්‍රණය කර අතමිට සරුකර ගන්නා මේ පුද්ගලයාගෙන් පොලිස් නිලධාරින් විසින් අල්ලාගෙන ප්‍රශ්න කරන්නේ අනතුරුවය. එම ප්‍රශ්න කිරීමේදී ලැබුණ තොරතුරු අනුව සෙසු සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි වූයේ හිඟුරක්ගොඩදීය.
දෙවැනි සැකකරුගේ නිවස පරීක්ෂා කළ පොලිසිය සැකපිට නිවස අයිතිකරු ද අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් කූට ලිපි ලේඛන සකස් කළ ස්ථානයේ තිබී කූට ලිපි ලේඛන සකස් කිරීමට උපයෝගී කරගත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය සහ ව්‍යාජ ලිපි ලේඛන රැසක් පොලිස් නිලධාරින්ට සොයා ගැනීමට හැකි විය.
එලෙස අත්අඩංගුවට ගත් ව්‍යාජ ලේඛන අතර අධ්‍යාන සහතික, විදේශීය රටවල් සඳහා අවශ්‍ය පුහුණු සහතික, උප්පැන්න සහතික, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන සහිත ලිපි ලේඛන, මස් පිණිස ප්‍රවාහනය කරන බලපත්‍ර, මෝටර් රථ දෙපාර්තමේන්තුව නිකුත් කරන ලෙස සකස් කළ රියැදුරු බලපත්‍ර, විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලෙස සකස් කළ කූට විභාග සහතික රැසක් තිබිණි. මෙම කූට ලෙස සකස් කරන ලද ලේඛන රුපියල් දසදහසේ සිට පහළොස් දහස දක්වා මිල ගණන්වලට අලෙවි කර තිබුණු බව හෙළි විය.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් මත පොලිස් අධිකාරි ප්‍රගති අබේසිංහගේ අධීක්ෂණයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජාගොඩගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ඒ. ටී. බණ්ඩාර, සැරයන් 42229 රංග, 71750 චින්තක, 34960 නිශ්ශංක යන නිලධාරින් ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් පොලොන්නරුව අංක 1 මහේස්ත්‍රාත් යූ. ඒ. එස්. කේ. වික්‍රමරත්න හමුවට බී වාර්තාවක් මඟින් ඉදිරිපත් කළ පසු සැකකරුවන් අධිකරණයේදී චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු එක් පුද්ගලයකුට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත් වික්‍රමරත්න සැකකරුවන්ගේ පදිංචිය සනාථ කරන ලෙස ද නැවත මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ද දන්වා ඔවුන්ට ඇති චෝදනා ගොනුකර නඩුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස් නිලධාරින්ට නියෝග කරන ලදි.
ඇළහැර - සරත් වෙලගෙදර