Home » ඩුබායි මත් ජාවාරමාගේ කොන්ත්‍රාත්තුවක් ද?
බටේවෙල නිවෙසකට පාතාල වෙඩි උණ්ඩ :

ඩුබායි මත් ජාවාරමාගේ කොන්ත්‍රාත්තුවක් ද?

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

– වෙඩික්කරු ගෙන ගිය ත්‍රිරෝද රථ රියැදුරු ඇතුළු තිදෙනෙකු අල්ලයි
– වෙඩි තැබීමට තුවක්කුකරුවන් ගෙන ගිය මෝටර් බයිසිකලයත් සොයා ගනී
– වෙඩි තැබීමේ නියෝගය ඩුබායිහි සිටින හබරකඩ කසුන්ගෙන් ද?
– මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදුවුවක් බවට සැකයක්

විදෙස්ගතව සිටින පාතාල කල්ලි නායකයන්, සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා සිදු කරවන අපරාධ පිළිබඳව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ රහස් පොලිසියේ නිලධාරීන් පැය විසිහතර මුළුල්ලේම විමසිල්ලෙන් පසුවන්නේ එම අපරාධ සිදු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහාය.

විදෙස්ගත පාතාලයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමුන් සිය ගෝලබාලයන් ලවා මෙරට අපරාධ සහ මිනිස් ඝාතන බොහෝ අවස්ථාවලදී සිදු කරවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ ආරවුල් නිසාය. එවැනි සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ පාදුක්ක බටේවෙල ප්‍රදේශයෙනි.

පාදුක්ක බටේවෙල ප්‍රදේශයේ නිවෙසකට මෝටර් බයිසිකලයකින් පැමිණි දෙදෙනෙකු එහි නිවැසියන්ට කතා කර ඔවුන් නිවෙසින් එළියට නොපැමිණි නිසා නිවෙසට පිට පිට වෙඩි තබා පලා යන්නේ පසුගියදාය.

මේ වෙඩි ප්‍රහාරයෙන් නිවෙසේ කිසිවෙකුට තුවාලයක් සිදු නොවුණත් මීගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය ඒ ගැන විමර්ශන ආරම්භ කරන්නේ අදාළ නිවැසියන්ගෙන්ද තොරතුරු ලබා ගනිමිනි.

එහිදී පොලිසිය හෙළිකර ගන්නේ නිවසට වෙඩි ප්‍රහාර දෙකක් පමණ එල්ලවී ඇති බවකි. මීගොඩ පොලිසිය මේ ගැන විමර්ශන සිදු කරන අතරතුරදී බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් කණ්ඩායමක් ද මේ ගැන විමර්ශන ආරම්භ කර තිබිණි. ඒ එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාරගේ උපදෙස් සහ අධික්ෂණය මතය. එහි ඒකක 4 ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අතුල බාලසූරිය මේ විමර්ශනය ආරම්භ කළේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීම අනුවය.

මේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන්ගේ ගමන්බිමන්වලට අදාළ ත්‍රිරෝද රථයක් පිළිබඳව තොරතුරක් සැරයන් (56805) ගුණසේකරට ලැබෙන්නේ ඔය අතරය. අදාළ ත්‍රිරෝද රථ රියැදුරු වටරැක මාදුලාව දකුණ ප්‍රදේශයේ නිවෙසක සිටියදී සැකපිට අත්අඩංගුවට ගැනෙන්නේ ඒ අනුවය.

සැකකාර ත්‍රිරෝද රථ රියැදුරුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කෙරුණු අතර, වෙඩි තැබීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනා ගමන් කළ මෝටර් බයිසිකලය සඟවාගෙන සිටි බව කියන පුද්ගලයකු පිළිබඳව තොරතුරු හෙළිවන්නේ ඔය අතරය. එම පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 4 නිලධරයන්ට හැකි විය.

අදාළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වන්නේ වෙඩි තැබීම සඳහා කොන්ත්‍රාත්තුව දුන් තැනැත්තා පිළිබඳවය. මේ පුද්ගලයා ඩුබායි රාජ්‍යයාට පලා ගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කසුන්’ නමැති අයකු බවට ද තොරතුරු හෙළි විය. අත්අඩංගුවට ගැනුණ පුද්ගලයාගෙන් හෙළි වූ තොරතුරු අනුව තවත් අයෙකු අල්ලා ගැනුණු අතර ඔහු ඩුබායිහි සිටින කසුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ‘කොස්තු බාස්’ නමැති අයෙකි.

ඩුබායිහි සිටින ‘කසුන්’ පාදුක්ක බටේවෙල නිවෙසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ එරට සිට වට්ස්ඇප් ඔස්සේ ජංගම දුරකතනයෙනි.

ඩුබායි සිට ත්‍රිරෝද රියැදුරු අමතන ‘කසුන්’ ඔහුට පවසා ඇත්තේ කිසියම් පුද්ගලයකු ත්‍රිරෝද රථ රියැදුරු හමුවීමට පැමිණෙන අතර, ඔහු බටේවෙල ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමකට ත්‍රිරෝද රථයෙන්ම රැගෙන යන ලෙසය. කසුන් දැනුම් දුන් ආකාරයෙන්ම කිසියම් පුද්ගලයකු ත්‍රිරෝද රථ රියැදුරු හමුවීමට පැමිණ ඇති අතර, ත්‍රිරෝද රථ රියැදුරු ඔහු බටේවෙල වෙන්දේසි ඉඩමකට ගෙන ගොස් තිබේ.

ඔහු එම වෙන්දෙසි ඉඩම අසල බස්සවා නැවත එමින් සිටි ත්‍රිරෝද රථ රියැදුරු ඇමැතු කසුන් ඔහුට කියා ඇත්තේ එලෙස රැගෙන ගිය පුද්ගලයා නැවත ත්‍රිරෝද රියේ නංවාගෙන ප්‍රධාන මාර්ගයට ගෙනැවිත් බස්සන ලෙසය. ඒ අනුව ත්‍රිරෝද රථ රියැදුරු කසුන් කී දෙය කර ඇත. ඒ අවස්ථාවේදී කහ පැහැති ස්කූටියක් ඒ අසල තිබූ බවද ත්‍රිරෝද රථ රියැදුරු පොලිසියට පවසා තිබේ.

පොලිසිය ඉන් අනතුරුව ‘මාදුලාව දකුණ’ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කරද්දී ඔහු පවසා ඇත්තේ වෙඩික්කරුවන් බටේවෙල නිවෙසට වෙඩි තැබීම සඳහා යාමට භාවිත කළ ස්කූටිය සඟවන ලෙස කසුන් තමාට උපදෙස් දුන් බවය.

වෙඩික්කරුවන් දෙදෙනා සිදුකළ වෙඩි තැබීමෙන් අනතුරුව තමාට එලෙස ගෙන දුන් ස්කූටිය තමාගේ නිවෙස ඉදිරිපිට පිහිටි පාළු නිවෙසක සඟවා තැබූ බවද මාදුලාවේදී අල්ලා ගැනුණු සැකකරු පොලිසියට කියා ඇත. එලෙස සඟවා තිබුණු මෝටර් බයිසිකලයද පොලිසිය විසින් සොයාගනු ලැබීය. සැකකරුගේ නිවසේ තිබුණ මෝටර් බයිසිකලයේ යතුර, හිස් වැසුම සහ වැසි ආවරණය ද පොලිසිය විසින් සොයා ගන්නා ලදි.

අදාළ ස්කූටියේ ලියාපදිංචි අංකය සොයාගෙන සිදු කරන ලද විමර්ශනයේදී හෙළි වූයේ එය 2023 වසරේ කොස්ගොඩ ප්‍රදේශයෙන් සොරකම් කළ එකක් බවයි.

වෙඩි තැබීමට හේතුව සොයන පොලිසිය හෙළිකරගෙන ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන ‘කොත්තු බාස්’ සහ වෙඩි තැබීමට ලක් වූ නිවසේ හිමියා අතර ඇති වූ ආරවුලක් මේ වෙඩි තැබීමට මුල් වී ඇති බවය.

‘කොත්තුබාස්’ ඩුබායි කසුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මහ පුරුකකි. ‘කොත්තුබාස්’ අදාළ නිවෙස් හිමියා සමඟ ආරවුලක් සිදු කරගෙන ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න සොයා ගැනීම සඳහා විමර්ශන පැවැසීය.

එලෙස සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා අවුරුදු 22, 34, 39 වයස්වල පසුවන අය වෙති.

බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාරගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීමෙන් ඒකක 4 ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අතුල බාලසූරියගේ අධීක්ෂණයෙන් සැරයන්වරුන් වන (21284) බණ්ඩාර, (36723) රංජිත්, (51087) හේරත්, (51087) ගුණසේකර, (56805) ප්‍රසන්න, කොස්තාපල් (104701) ජයතිලක ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – කොට්ටාව ප්‍රදීප් කුමාර

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division