මාලදිවයින් ආයෝජකයකු ශ්‍රී ලංකාව තුළ කරන ලද ප්‍රථම ආයෝජනය වූ ‘Sun Siyam Pasikudah මේ දෙසැම්බරයේ සිය 10 වැනි සංවත්සරය සමරයි.
Sun Siyam යනු, සූපවේදීන් ඇතුළු සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් සේවය කරන, තනි පුද්ගලයකුට අයත් සංචාරක හෝටල් ජාලයකි.
ඒ අනුව, මාලදිවයිනේ දූපත් පහක පිහිටා ඇති Sun Siyam Resorts සමූහයට අයත් සන්සියම් ඉරු වෙලි, සන්සියම් ඉරු ෆුෂි, සන්සියම් ඔලු වෙලි, සන්සියම් විලූ රීෆ් සහ සියම් වර්ල්ඩ්… යන හෝටල් සහ ව්‍යාපෘති තුළ ශ්‍රී ලාංකිකයින් 200කට අධික සංඛ්‍යාවක් සේවය කරති.
සිය සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ දශකයක ගමන් මඟ සහ ප්‍රගතිය පිළිබඳ පැහැදිලි කිරීම සඳහාත්, නව රජයේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රතිපත්ති සමඟ සිය ඉදිරි දැක්ම සහ නව ආයෝජන පිළිබඳ පැහැදිලි කිරීම සඳහාත් පසුගිය දිනෙක මාධ්‍ය කණ්ඩායමක් සන් සියම් පාසිකුඩා වෙත රැගෙන ගියේ ය.
එහිදී, ශ්‍රී ලංකාවේ Sun Siyam Resorts සහ මාලදිවයිනේ Sun Siyam Iru Fushi යන හෝටලවල සමූහ විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ පසන් විජේවර්ධන අදහස් පළ කළේ මෙලෙසිනි.
” 1990 වසරේ අහමඩ් සියාම් මොහොමඩ් විසින් සන් සියම් සමූහය ආරම්භ කළේ මාලදිවයිනේ. ඔහු ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආරම්භ කරන්නේ 2014 වසරේ. මේ සංචාරක හෝටලය අමෙරිකානු ඩොලර් මිලියන 15 ක ආයෝජනයක්. ඒ වන විට ඔහු කිහිප වරක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. මෙම ආයෝජනය සිදු කරන්නට හේතු වී තිබෙන්නේත් නැඟෙනහිර පළාතේ ඉතාම රමණීය මුහුදු තීරයක් වන පාසිකුඩා හි පිහිටි ස්වාභාවික සුන්දරත්වයට ඔහුගේ හිතගිය නිසයි.
ඒ වගේම මේ පළාතේ තිබෙන සුවිශේෂ ගුණාංගයක් තමයි මෙහි ජීවත් වන ජනතාවගේ සාමකාමී බව. අක්කර 4.7ක් පුරා විහිදී තිබෙන මේ මුහුදු තීරය ඔහු මිලදී ගන්නා විට පඳුරු සහිත බිමක්. අද කාමර 34 ක් පුරා විහිදුණු සුවිශේෂී නාන තටාක සහිත කාමර දහයකින් සමන්විත, ඉහළ ගෙවීම් සහිත සංචාරකයින් සඳහා වන සියලු අංගෝපාංග සහිත තරු පහේ හෝටලයක් ලෙස දෙස් විදෙස් සංචාරකයින් අතර විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. ඒ වගේම ඔහු මාලදිවයින් ජාතිකයකු වූවත් ලංකාවේ සංස්කෘතියට ඕනෑ ආකාරයට කරගෙන යන්නට නිදහස දී තිබෙනවා.
ඒ සංස්කෘතිය සහ ස්වභාවික පරිසරය නිසා යුරෝපය ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය, රුසියාව වැනි රටවලින් එන ඉහළ වියදම් කිරීමේ හැකියාව ඇති බොහෝ සංචාරකයින් නැවත නැවත එන තැනක් බවටත් මෙතැන පත් වී තිබෙනවා. ඇත්තටම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අවශ්‍ය වන්නේ එවැනි, ඉහළ ගෙවීමේ හැකියාව සහිත සංචාරකයින්ගේ පැමිණීමයි. අප ප්‍රවර්ධනය කළ යුත්තේ ද එයයි. සංචාරක ක්ෂේත්‍රයෙන් රටට ඩොලර් ඉපැයිය හැකි හොඳම මාර්ගය වන්නේත් එයයි. එවැනි High End Market වර්ගීකරණයට අයත් සංචාරකයින් සඳහා අප බොහෝ විට ප්‍රවර්ධනය කරන්නේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ තිබෙන ආහාර පාන වීම තවත් විශේෂත්වයක්.
දූපත් පහක් හිමි තනි පුද්ගලයකු සතු විශාලම හෝටල් ජාලය
මාලදිවයින් රාජ්‍යයේ දූපත් පහක් හිමි තනි පුද්ගලයකු සතු විශාලම හෝටල් ජාලය සහ මාලදිවයිනෙන් පිටත ඉදිකළ පළමු ආයෝජනය මෙය වීම තවත් විශේෂත්වයක්. මාලදිවයින සතු අපගේ හෝටල් පහෙන් කොතැනකට ගියත් ශ්‍රී ලංකාව ඔවුන්ගේ ඊළඟ ගමනාන්තය ලෙස ප්‍රවර්ධනය කිරීම අනිවාර්යයෙන් සිදු වනවා. ඒ ඔස්සේ මාලදිවයිනට එන සංචාරකයින්ගේ ඊළඟ ගමනාන්තය නොවැරදීම ශ්‍රී ලංකාව බවට පත්ව තිබෙනවා.
මාලදිවයිනට තිබෙන්නේ මුහුද පමණයි. නමුත් ශ්‍රී ලංකාවේ මුහුද සහ සංස්කෘතිය ඇතුළු හුඟක් දේ තිබෙනවා. ඇත්තටම Tour Operators ලා මේ කාරණා දක්වමින් රටවල් දෙකම එකට මාකට් කරනවා. එය රටක් ලෙස අපිට වාසියක්.
රාජ්‍යතාන්ත්‍රිකව ගත්තත් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තිබෙන්නේ විශාල බැඳීමක්. නව රජයේ සංචාරක ඉලක්ක සපුරා ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන්නට අප සූදානම්. ඒ සඳහා New Thinking වැනි සංකල්ප කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුයි. මොකද ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රය තුළ අප තවමත් තරමක් පිටුපසින් ඉන්නේ.
විශේෂයෙන් කොයිතරම් ලස්සන මුහුදක් තිබුණත්, නැඟෙනහිර පළාතේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සිදුවන්නේ ඉතා හෙමින්. මූලිකම හේතුව තමයි පාසිකුඩා පළාතේ ජූලි – අගෝස්තු ලෙස සීසන් එකකට විතරක් සංචාරක කර්මාන්තය සීමා කර තිබීම. ලංකාවේ සංචාරක ව්‍යාපාරය පාලනය කරන සමාගම් තිබෙනවා. මේවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නව රජයේ අවධානය යොමු විය යුතුයි.
වාලච්චේන, පාසිකුඩා, කල්කුඩා කියන්නේ යුද්ධයට යට වූ පළාතක්. ඒකම ඇති සංචාරකයින්ගේ කුතුහලය නංවන්න. නැඟෙනහිර පළාතට වැඩි වැඩියෙන් සංචාරකයින් ආකර්ෂණය කර ගන්නට පාසිකුඩා වෙරළේ සුන්දරත්වය වගේම, වැළලී ඇති මේ පළාතේ ඉතිහාසයත් යොදා ගත හැකියි. මොකද, කලෙක ශ්‍රී ලංකාවේ ධන ආකරයක් වූ වාලච්චේන කඩදාසි කම්හලත් මෙතැනට බොහොම ළඟයි. දුම්රිය පහසුව තිබෙන නිසා මෙතැනට එන සංචාරකයින්ට ත්‍රිකුණාමලය තවත් සුදුසු ගමනාන්තයක්.
දැන් එන බොහෝ සංචාරකයින් ඒ රටේ මනුෂ්‍ය හැසිරීම් අධ්‍යයනය කරන්න, කෑම් බීම් සංස්කෘතිය දැනගන්න සහ ඒ පළාත් පිළිබඳ අත්දැකීම් ගන්න කැමැතියි.
පාසිකුඩා කියන්නේ සුවිශේෂී මුහුදු වෙරළක්. මේ පැත්තේ මිනිස්සු හරි හොඳයි, සංචාරකයින් පස්සේ ගිහින් කරදර කරන්නේ නැහැ. ආරුගම්බේට වඩා වෙනස් සංස්කෘතියක් මේ පළාතේ තිබෙන්නේ. සංචාරකයින්ට ඕනෑ තරම් වෙලාවක් නිදහසේ මුහුදු වෙරළ විඳින්න සහ රැඳෙන්න පුළුවන්.
ඒ නිසා නැඟෙනහිර පළාතේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය මට්ටමේ මැදිහත්වීම මීට වඩා අවශ්‍යයි. සියම් මහත්මයා ඔහුගේ ආයෝජන සඳහා ශ්‍රී ලංකාව තෝරගන්න එක හේතුවක් තමයි, මාලදිවයින ගොඩක් ශ්‍රී ලංකාවේ ආනයනවලින් යැපීම. ඔහු ඒ තුළ ආයෝජන සඳහා හොඳ රටක් ලෙස ශ්‍රී ලංකාවේ අවස්ථා දුටුවා. ආයෝජනයක් කිරීමෙන් නොනැවතී, අධ්‍යාපන කටයුතු සඳහා ඔහුගේ දියණියත් ශ්‍රී ලංකාවට එව්වා.
ඔහුගේ ඊළඟ දැවැන්ත ආයෝජනය සිදු වන්නේත් ශ්‍රී ලංකාවේ. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා. ඔහු ඇතුළු සන් සියම් අප සමූහයටම නව රජයේ සංචාරක ප්‍රතිපත්ති පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ සඳහා ගුවන් ගමන් පහසුකම් සංවර්ධනය කිරීම නම් අත්‍යවශ්‍ය දෙයක්. මොකද, රටක සංවර්ධනයට ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරන කාරණයක් තමයි ගුවන් ගමන් පහසුව කියන්නේ…”
ශ්‍රී ලාංකේය සංස්කෘතියට මුල් තැන දෙමින්, මාලදිවයින් සංස්කෘතිය මුසු වූ සන් සියම් පිළිබඳ එහි සාමාන්‍යාධිකාරී, අර්ෂඩ් රිෆායි අදහස් දැක්වූයේ මෙලෙසිනි.
” ව්‍යාපාරයක සාමාන්‍යාධිකාරී කෙනෙක් All-rounder කෙනෙක් විය යුතුයි. එහෙම හිතන නිසා රටවල් දෙකක සංස්කෘතියකින් හැදුණු සන් සියම් පාසිකුඩා වෙත, බොහෝ විවිධත්වයන් එකතු කරන්නට හැකිව තිබෙනවා. මෙහි බොහෝ ගෘහ අලංකරණ කටයුතු සඳහා අපේ රටේ වේවැල් කර්මාන්තය ආශ්‍රිත නිර්මාණ යොදා ගැනීම විශේෂත්වයක්. එමෙන්ම පැරැණි දේ ඉවත් කරද්දී ඒවා සහමුලින්ම ඉවත් නොකර, ඒවායින් නව පෙනුමක් ගන්නට උත්සාහ කරනවා. දේශීය ශිල්පීන්ට තව දුරටත් සහාය වීම සඳහා, සියුම් සංකීර්ණ ස්වර්ණාභරණවල සිට අලංකාර රෙදිපිළි දක්වා අතින් නිර්මාණය කරන ලද නිෂ්පාදන පෙළක් ප්‍රදර්ශනය කරන බුටික් එකත් සංචාරකයින්ට සුවිශේෂ අත්දැකීමක්. මේ අද්විතීය අත්දැකීම් ලබාදීමෙන් සහ දේශීය ව්‍යාපාරවලට සහාය දීමෙන්, ප්‍රජාවට ධනාත්මක බලපෑමක් ඇති කිරීම සහ තිරසර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමයි, අපගේ අරමුණ.
අප ලබා දෙන මේ අත්දැකීම් සංචාරක ආකර්ෂණය වඩාත් දිනා ගෙන තිබෙනවා. එයින් නැඟෙනහිර පළාතේ අව්‍යාජ ගැමි දිවියක ස්වභාවය ඔවුන්ට අත්දකින්නට ලැබෙනවා මෙන්ම, ඒ ගැමි ජනතාවටත් යම් ආර්ථිකයක් ගොඩනඟා දෙන්නට අපට හැකි වී තිබෙනවා.
සන්සියම් පාසිකුඩා හි සේවය කරන බහුතරය නැඟෙනහිර පළාතේ තරුණ තරුණියන්. හෝටල් සේවයට පැමිණීමත් සමඟ ඔවුන් තවත් භාෂාවක් හෝ දෙකක් අනිවාර්යෙන් කතා කරන්නටත් ඉගෙන ගන්නවා. එය ඉතාමත් සාධනීය තත්ත්වයක්.
තිරසරභාවය වෙනුවෙන් ඉතාම සැලකිල්ලෙන් කටයුතු කිරීමත් අප හෝටලයේ විශේෂත්වයක්. විදුලිය සහ ජලය පිරිමැස්ම පිළිබඳ අප ඉතාමත් සැලකිලිමත්. එය අපගේ ගනුදෙනුකරුවන්ට පැහැදිලි කර දෙන්නේ ඉතාමත් සුහදශීලීව. එය, ව්‍යාපාරික අවශ්‍යතාවකින් ඔබ්බට ගිය මානව වගකීමක් ඉටු කරලීමක් ලෙසයි අප සලකන්නේ.
පරිසර හිතකාමි සුවිශේෂ වරප්‍රසාද රැසක්
විවිධ රටවලින් එන විවිධ සංචාරකයින්ගේ අවශ්‍යතා වෙනස්. ඒ හැම අවස්ථාවකටම ගැළපෙන මුහුදු මාළු සපයා ගන්නේ නැඟෙනහිර පළාතේ ධීවර ගම්මානවලින්. ඒ සැපයුම් හරහා එම ගම්මානවලට අඛණ්ඩ ආර්ථිකයක් උදාවී තිබෙනවා. මේ පළාතට ආවේණික කුළුබඩු ලබා ගන්නෙත් එවැනි ගම්මානවලින්ම යි.
මොන රටක මොන සංචාරකයකුට වුණත් මේ හෝටලයේ පිළිගැනීමේ බීම වීදුරුව හැමදාමත් සැකසෙන්නේ හෝටල් වත්තේ ම හදන කුරු අඹරැල්ලා ගස්වල ගෙඩිවලින්. බොහෝ එළවළු හෝටල් වත්තේම කාබනිකව වවනවා. ඒ සඳහා කාබනික පොහොර නිපදවා ගන්නේ හෝටලයෙන් ඉවතලන දිරාපත් වන අපද්‍රව්‍යවලින්.
මේ හෝටලයෙන් ඉවතලන කඩදාසිය කාඩ්බෝඩ් කෑල්ල පවා යැවෙන්නේ ප්‍රතිචක්‍රීයකරණය සඳහා වාලච්චේන කඩදාසි කම්හලට. කිසිම ආකාරයක ප්ලාස්ටික් භාවිතාවක් මේ හෝටලය තුළ සිදු වන්නේ නැහැ. නැවත භාවිත කළ හැකි වීදුරු බෝතල් සහ වීදුරු බඳුන් පමණක් භාවිත කරන්නේ, තවමත් සුරැකිව පවතින මේ පාසිකුඩා බිමට කිසිදු ආකාරයක පරිසර හානියක් නොකළ යුතු නිසයි. ආයතනික ප්‍රතිපත්තියක් ලෙසම ප්ලාස්ටික් භාවිතාව නවතා තිබෙනවා.
මේ පරිසරය සුරැකීමට පාසල් දරුවන් පෙලඹවීමේ පියවරක් ලෙස කල්කුඩා සහ වාලච්චේන අවට පාසල් දරුවන් වරින් වර කැඳවා දැනුම්වත් කිරීමේ වැඩසටහන් අප පවත්වනවා. සංචාරක කර්මාන්තය පවත්වා ගෙන යන්නට නම් මහ පොළොවේ වටිනාකම ආරක්ෂා කරගත යුතු ආකාරය ඒ හරහා ඔවුන්ට පහදා දෙනවා.
සංචාරක ව්‍යාපාරය කියන සාම්ප්‍රදායික අර්ථකථනයෙන් ඔබ්බට ගොස් මේ පාසිකුඩා බිමට, නැඟෙනහිර පළාතට සහ ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක කර්මාන්තයට වෙනස් මුහුණුවරක් දෙන්නටත් එය ලෝකයට ගෙන යන්නටත් පූර්වාදර්ශයක් සපයන තැනක් ලෙස සන් සියම් පාසි කුඩා හඳුන්වන්නට පුළුවන්. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන නව ආයෝජනය හරහා එය තවත් වර්ධනය කර රටට අවශ්‍ය සංචාරක ඉලක්ක ළඟා කර ගැනීමට දායක වීමයි අපගේ අරමුණ…”
ඉනෝකා පෙරේරා බණ්ඩාර