පියදාස වැලිකන්නගේ ලේඛකයා නාමශේෂභාවෝපගත වීම නිමිත්තෙන් ලියැවුණකි
තනි සුදු කලිසම් කෝට් ඇඳ ටයි පටියක් පැලඳි මහත්තයෙක් අමුතු ආකාරයේ ගමන් විලාසයකින් පාරේ ගමන් කරයි. ඔහුගේ හිසේ තොප්පියක්ද ඇත. කුඩා කොල්ලෙක් ඔහුගේ ඒ අමුතු වූ ගමන් විලාසය අනුකරණය කරමින් ඔහුට හොරෙන් ඔහු පිටුපසින් ඇවිද යයි. එය දකින ඔහුගේ පියා ඔහුට අඬ ගසා මෙසේ අසයි.
“උඹ දන්නවද ඒ මහත්තයා කවුද කියලා?”
“නෑ මං දන්නෙ නෑ.”
“ඒ පොත් ලියන මහත්තයෙක්.”
“මොනවද ඒ මහත්තයා ලියල තියෙන පොත්?”
“ඒව මං දන්නෙ නෑ. මීට පස්සෙ උඹ ඒ මහත්තයට විහිළු කරන්න යන්නෙ නෑ.”
ඒ පොත් ලියන මහත්තයා පදිංචි වී සිටියේ කුඩා කොල්ලා විසූ නිවෙසට නුදුරිනි. ආසාවෙන් පොත් කියවීමට පුරුදු වී සිටි කොල්ලා වරින් වර එහි ගොස් ඔහුගෙන් පොත් ඉල්ලා ගෙන කියවීමට පුරුදු වෙයි. ඔහුගේ කියවීමේ උනන්දුව දුටු පොත් ලියන මහත්තයා ද ඊට අනුබල දුන්නේ සතුටිනි.
ඒ පොත් ලියන මහත්තයා වූ කලී කීර්තිමත් ලේඛක ජී. බී. සේනානායකයන් බව කුඩා කොල්ලා දැන ගත්තේ ඔහු ලොකුවී ඉගෙන ගත්තාට පසුවය. එදා විහිළුවට ඔහුගේ ගමන් විලාසය අනුකරණය කළ කුඩා කොල්ලා පසු කලෙක ඔහුගේ ගමන් මාර්ගය අනුව ගොස් පියදාස වැලිකන්නගේ නම් කීර්තිමත් ලේඛකයා බවට පත්වීම දෛවයේ අරුමයක් නොවේද? එහෙත් ඊටත් වඩා දෛවෝපගත සිද්ධිය නම් පසු කලක තමා අතින් නිර්මිත සියලු සාහිත්‍ය උත්පාදනයන්ට ජීවය දුන් තම මව් බසෙහි හෝඩියේ පළමු අකුර වැලිකන්නගේ පළමු වරට හඬ ගා කියූ අවස්ථාවට ද සත්කීර්තිමත් සාහිත්‍ය දැවැන්තයකුම හමු වීමය. එය සිදුවූයේ කොළඹ කවි යුගයේ ආරම්භක අවදියට අයත්, දනන් තුඩ තුඩ නම රැන්දූ, විශිෂ්ට කවියකු මෙන්ම ව්‍යක්ත ලේඛකයෙක්ද වූ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා කවීන්ද්‍රයන් නමෝ විත්තියෙන් පියදාස වැලිකන්නගේට සිංහල හෝඩියේ අ යනු ආ යනු ඉඳුල ගැන්වීමෙනි. ඒ සඳහා උපයෝගී කොට ගෙන ඇත්තේ එකල භාවිතයේ පැවති ‘පරාක්‍රම’ හෝඩියයි. එය පී. ද. ඇස්. කුලරත්න මහතාණන් විසින් සම්පාදිත වූවක් යැයි කියැවේ.
පියදාස වැලිකන්නගේගේ පියා, එම්. ඩබ්ලිව්. සාදිරිස් සහෝදරයා වනාහි 1953 අගෝස්තු 12 හර්තාල් සටනේදී සමසමාජ පක්ෂයේ උග්‍ර සටන්කාමී වෘත්තීය සමිති නායකයෙක් වූ ඩී. ජී. විලියම් ආදි කම්කරු සහෝදරයන් සමඟ එක පෙරමුණේ සිටි සටන්කාමියෙකි. එදා පුවත්පත් පළ කළ හර්තාල් සටන් වාර්තාවල ඔහුගේ නම ද උඩින්ම දැකිය හැකි විය. ඔහුගේ පුත් පියදාස වැලිකන්නගේ තුළ උපන් බද්ධ සමසමාජ ප්‍රේමය එහි විපුල ඵලයක් යැයි සිතමි.
පියදාස වැලිකන්නගේගේ සහ මගේ මහ ගෙවල් තිබුණේ වැල්ලවත්ත ගල්කිස්ස ඡන්ද කොට්ඨාසයේ ගම් දෙකකය. ඔහු අත්තිඩියේය. මම කළුබෝවිලය. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූයේ ලංකා සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද. සිල්වා සහෝදරයාය. පාසල් වියේම අප දෙදෙනා සමසමාජ පක්ෂ තරුණ සමිති සාමාජිකයන් වීම එහි අනිවාර්ය ප්‍රතිඵලයක් විය.
පියදාස වැලිකන්නගේ තම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේද එම්. ඩී. ගුණසේන මහතාගේ බාල සොහොයුරකු වන එම්. ඩී. චන්ද්‍රසේන මහතා විසින් තම ගමේ දරු පරපුර වෙනුවෙන් පිහිටුවන ලද මලගලගේ විද්‍යාලයෙනි. එකල එහි වැලිකන්නගේගේ ඉංග්‍රීසි ගුරුවරයා වූයේ, ශිෂ්‍ය අවදියේ පටන් මගේ සන්මිත්‍ර දයාරත්න රණතුංග සංගීතවේදියාණන්ගේ වැඩිමහල් සොහොයුරු, ගුවන්විදුලි නිවේදක, ප්‍රේමවංශ රණතුංගයන්ය.
ඉන්පසු පියදාස වැලිකන්නගේ දෙහිවල සෙන්ට් මේරිස් විද්‍යාලයට ඇතුළු වූයේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන රිසියෙනි. විභාග සාමර්ථ්‍යයට මෙන්ම කථිකත්වයට ද ඔහු තුළ පැවැති සහජ ශූරත්වය එහිදී ඉඳුරා ප්‍රකටව ගියේ එම විදුහල ද කීර්තිමත් කරමිනි. භද්‍ර යෞවනය බබළන එම ශිෂ්‍ය අවදියේදී ඔහු ලත් එක්තරා විශිෂ්ට ජයග්‍රහණයක් හුදෙක් සදානුස්මරණීය සිහිවටනයක් පමණක් වූයේ ඇයිද යන්න ඔහුටම විමතියකි.
එය නුගේගොඩ මණ්ඩලයේ පාඨශාලාන්තර කථික තරගයකි. එය පැවැත්වුණේ කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයේය. එහි විනිශ්චය මණ්ඩල ප්‍රධානියා එකල බුද්ධඝෝෂ විද්‍යාලයේ මුල් ගුරු තනතුර දැරූ සුප්‍රකට පාඨශාලා ග්‍රන්ථ කර්තෘවර පී. රූබන් පීරිස් මහතාය. එම කථික තරගයේදී දෙහිවල සෙන්ට් මේරීස් විද්‍යාලයේ චතුර ශිෂ්‍ය කථික පියදාස වැලිකන්නගේ අන් සියල්ලන් පරදා පළමු තැන දිනා ගැන්ම කවර අසිරියක්ද!
කලින් මුණ නොගැසුණ ද නමින් මා වැලිකන්නගේ ගැන දැන සිටියේ ලේක්හවුසියේ ‘ජනතා’ පුවත්පත මඟිනි. ඒ අංකුර කෙටිකතාකරුවකු වශයෙනි. ඔහුගේ සහජ දායාදයක් වූ නිර්මාණාත්මක ලේඛන කලා කෞශල්‍යය මෝරා පුබුදු වීමට පළමු සරු තෝතැන්න වූයේ ‘ජනතා’ පුවත්පත යැයි සිතමි. ඒ වන විට ඔහු ද මා ගැන නමින් දැන සිටියේ ගුවන්විදුලි නාට්‍ය ශිල්පියකු වශයෙනි. පියදාස වැලිකන්නගේ නම් මේ ආධුනික කෙටිකතාකරුවා පසුකලෙක වෘත්තියෙන් රජයේ ගුරුවරයෙක් විය. ආධුනික තරුණ ගුරුවරයකු වශයෙන් ඔහුගේ දෙපා හා හපුරා කියා පිළිගෙන තිබුණේ මඩකලපු දිස්ත්‍රික්කයේ වාවින්න නම් දුෂ්කර පාසල් බිමය.
අනාගතයේ පියදාස වැලිකන්නගේ තුළින් කීර්තිමත් ලේඛකයකු පහළ කිරීම සඳහා ඔහුගේ ගුරු ජීවිතයේ ආරම්භයම භාග්‍ය සම්පන්න ලෙස උපස්තම්භක වූ බව ඉඳුරා පැවසිය හැකිය. මක්නිසාද යත් මෙරට පහළ වූ විශිෂ්ට ගණයේ ලේඛකයකු විදුහල්පති පදවිය දැරූ පාසලකම ගුරු සේවයේ යෙදීමට නමෝ විත්තියෙන්ම ඔහුට අවස්ථාව අත් පත් වූ හෙයිනි. එය වූකලී සිංහල සාහිත්‍ය රසික ජනයාගේ තුඩ තුඩ කිතු රැව් රැන්දූ රමණීය ගැදි ගතක් වන ‘දිගාමඬුල්ලේ ආශ්චර්ය’ ඇතුළු ප්‍රශස්ත පොත් කීපයකම කතු වූ, එසේම, ‘මායාරංජන්’ නම් සුපතළ ආරූඪ නමට මුවාවම පොත් ලියූ, මගලේගොඩ ගමේ මහානාම රාජපක්ෂයන්, වැලිකන්නගේ මුල් ගුරු පත්වීම ලද වාවින්න පාසලේ
විදුහල්පතිකම් කළ සොඳුරු සමය විය. එකල ‘සිළුමිණ’ පුවත්පතට කැලෑ කතා ගොතා ලිවීමට මෙන්ම පොතක් ලිවීමට ද වැලිකන්නගේ ආවේශ ගැන්වූයේ ‘මායා රංජන්’ ය.
එකල අලුත පටන් ගත් දිනපතා පළවන ජාතික පුවත්පතක් වූ ‘දිවයින’ කෙරෙහි වැලිකන්නගේගේ සිත ඇදී ගියෙන් ඔහු එහි ඉරිදා පත්තරයට නිතර ලිපි සැපයීමෙහි නිරත විය. ඔහු සමගම එකට නැඟී ආ, උපනිශ්‍රය ඇති තරුණ ලේඛකයන් දෙදෙනෙක් වූ පියසේන කහඳගම හා දෙනගම සිරිවර්ධන ද එදා ඒ අභිනව ‘දිවයින’ පුවත්පතට නිතර ලිපි සැපයූවන් අතර වූ බව මෙවේලේ මගේ සිහියට නැඟේ. පසුව දෙනගම සිරිවර්ධනයෝ නිත්‍ය පුවත්පත් කලාකරුවකු වශයෙන් ‘දිවයින’ ඉරිදා පත්තරයේ සේවයට බැඳුණහ.
1965 පැවති මහාමැතිවරණයෙන් ජය ගෙන හත්හවුල් ආණ්ඩුවක් පිහිටු වූ පසු එහි අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති වූයේ අයි. ඇම්. ඒ. ඊරියගොල්ලයන්ය. එක්සත් ජාතික පක්ෂ නායකයන් ‘ඇත්ත’ හා ‘ජනදින’ යන වාමාංශික පුවත්පත් දෙක තහනම් කළේ ආණ්ඩු විරෝධී චෝදනාව නඟමිනි. තහනම ඉවත් කිරීමෙන් පසු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයවීමෙන් ‘ඇත්ත’ පත්තරය යළි ඇරඹුවද ‘ජනදින’ පටන් ගැනුණේ මුල් පාලනාධිකාරයේ ප්‍රකාශනයක් ලෙසින් නොවේ. ඉන් පසු ‘ඇත්ත’ මෙන්ම ‘ජනදින’ පත්තරය ද ස්වාධීන ප්‍රකාශනයක් බවට පත් විය. ලංකා සමසමාජ පක්ෂයට අනුබද්ධව පළ කෙරුණු එහි පාලන බලය උසුලන ලද්දේ එන්. එම් . පෙරේරා සහෝදරයා විසිනි. පුනර් ප්‍රකාශිත අභිනව ජනදින’ ආරම්භ වූයේ සුප්‍රකට කවියෙකු මෙන්ම කෘතහස්ත පුවත්පත් කලාවේදියෙක්ද වූ නිමල් හොරණයන්ගේ කර්තෘත්වයෙනි. එකල විශ්වවිද්‍යාලයෙන් පිටව සිටි මා නව ‘ජනදින’ කතු මඬුල්ලට උප කතුවරයකු ලෙස බැඳුණේ නිමල් හොරණයන්ගේ ඇරයුමෙනි. බටුවන්දර ගුණවර්ධන කවියා ‘ජනසතිය’ පුවත්පතේ ප්‍රධාන කතුවරයා විය. ආනන්ද ගුණවර්ධන, ජයසුමන ධර්මබන්ධු සහ දයාරත්න රණේපුර යන පත්‍රකලාවේදීහු ‘ජනදින’ – ‘ජනසතිය’ පුවත්පත්හි උප කතුවරුය.
තමා හා මුල් ‘ජනදින’ අතර පැවති පයුරුපාසන වෘතය පියදාස වැලිකන්නගේ යළි ඇරඹුණු ‘ජනදින’ සමඟද නොකඩවා රැක ගෙන ගියේ මහත් වූ බැති සිතිනි.
හයවැනි දශකයේදී වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග වෙනුවෙන් පළවුණු ‘ජනදින’ – ‘ජනසතිය’ ජාතික පුවත්පත් දෙකත් මාක්ස්වාදය හිසින් ගත් පියදාස වැලිකන්නගේත් අතර සමීප පයුරුපාසනයක් හටගැන්ම කවර අරුමයක්ද? මුලදී අන්‍යෝන්‍ය වශයෙන් නමින් පමණක් දැන සිටියද, ‘ජනදින’ – ‘ජන සතිය’ නිසා නිතර නිතර එකට මුණ ගැසීමේ ඵල වශයෙන් තීව්‍ර ලෙස සංලග්නව ගිය වැලීගේත් මගේත් මිත්‍ර සන්ථවය වනාහි ශුද්ධ සාහිත්‍ය ප්‍රේමය සහ බද්ධ ‘සමසමාජ’ දේශපාලනය කරණකොටගෙන සුහුඹුල්ව වැඩී ගොස් කුළු ගැන්වී ගියේ දෙදෙනාම යාවජීව කුලුපගයන් බවට පත්වීමෙනි.
විශ්වවිද්‍යාලයෙන් පිට වුණු මා එවක ‘ජනදින’ – ‘ජනසතිය’ පුවත්පත්වල විචිත්‍රාංග කතු තනතුර දැරීමත් ඊට මහත් සේ පිටිවහල් වූ බැව් නිසැකය.
මා ‘ජනදින’ – ‘ජන සතිය’ පුවත්පත්හි විචිත්‍රාංග කතුවරයා ලෙස සේවයෙහි නිරතව සිටි එසමයේ එක්තරා දිනක තම සුපුරුදු ඉක්මන් ගමනින් මගේ මේසය ළඟට පැමිණ සුපුරුදු කෝල සිනාව පාමින් නවකතාවක අත්පිටපතක් මගේ අතට දුන් වැලිකන්නගේ එය කියවා මගේ අදහස් පළ කරන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ නෑඹුල් නවකතාව වූ එය ඔහු අතින් ලියැවී තිබුණේ එකල නාඹර තරුණ තරුණියන්ගේ හදවත් කුල්මත් කළ කරුණාසේන ජයලතුන්ගේ
‘ගොළු හදවත’ නවකතාවේ රසාවේශයෙන් බැව් මට හැඟුණි. එම යොවුන් ප්‍රේම කතාව ‘ජන සතිය’ පුවත්පතේ කොටස් වශයෙන් පළ කිරීමට මා විසින් යෝජනා කරන ලද්දේ එබැවිනි. ඉන් පසු එය ‘වලාකුළින් වැසුණු සඳක්’ යන නමින් සෑම ඉරිදාවකම ‘ජනසතිය’ පුවත්පතේ කොටස් වශයෙන් පළ වුණේ එහි එන චරිත වෙනුවෙන් පෙනී සිටින රංගන ශිල්පීන් විසින් නිරූපිත එහි ඇතැම් අවස්ථා දැක්වෙන ඡායාරූප ද සහිතවය. සුමනා අමරසිංහ, බන්දුල විතානගේ, ආනන්ද ගුණවර්ධන සහ මාද එම චරිත සඳහා පෙනී සිටි අයුරු මෙවේලේ මගේ සිහියට නැඟෙයි. පසු කලෙක සුප්‍රකට චිත්‍රපට නිළියක් වූ සුමනාත් ශේක්ෂ්පියර් නාට්‍ය කලාව පිළිබඳ හසළ දැනුමක් ඇති නාට්‍යවේදියකු මෙන්ම ගුවන්විදුලි – රූපවාහිනී මාධ්‍ය විද්වතෙක්ද වූ බන්දුලත් කෘතහස්ත පත්‍රකලාවේදියෙක් වූ ආනන්දත් අද කීර්තිශේෂභාවප්‍රාප්තයෝය.
පියදාස වැලිකන්නගේගේ නෑඹුල් නවකතාව වූ ‘වලාකුළින් වැසුණු
සඳක්’ 1972 දී පළමු වරට ‘එක් අනුවේදනීය කතාවක්’ නමින් ග්‍රන්ථයක් ලෙස පළ කරන ලද්දේ ගොඩගේ ප්‍රකාශකයන් විසිනි. 1998 වසරේ එහි දෙවැනි මුද්‍රණය පළ කරන විට වැලිකන්නගේ නවකතා හතරක්, කෙටිකතා සංග්‍රහ දෙකක් සහ ළමා කතා පොත් තුනක් සිංහල සාහිත්‍ය වංශයට දායාද කළ එසේම දෙවරක් රාජ්‍ය සම්මානිත, ලේඛක රත්නයක් බවට පත්ව සිටියේය. ඔහුගේ පළමු සාහිත්‍ය නිර්මාණය වූ ‘එක් අනුවේදනීය කතාවක්’ නවකතාවේ දෙවැනි මුද්‍රණය සඳහා මවිසින් ලියන ලද පසු කවර වදනෙහි ලා මම මෙසේ පැවසුවෙමි.
“පියදාස වැලිකන්නගේ ලේඛකයෙකු වශයෙන් ප්‍රගතිශීලීය. සාහිත්‍යකරුවකු වශයෙන් නිර්මාණශීලීය. ඔහුගේ ඒ ගුණ දෙක පිළිබිඹු කළ පළමු කැටපත වූයේ ඔහුගේ පළමු නිර්මාණාත්මක කෘතිය වූ ‘එක් අනුවේදනීය කතාවක්’ නම් පළමු නවකතාවය.”
අනුන්ගේ දුකෙහිදී නොසැලෙන සිතක් ඇති කතාකරුවා ගල් පිළිමයක් හා සමාන යැයි සිතේ. පියදාස වැලිකන්නගේ අතින් බිහිවුණු කතා මඟින් ඔහු අප හදවත් තුළ රඳවන්නේ මිනිස් ගුණ දහම්හි අගයයි. මෙතෙක් ලොව පහළව ඇති සියලුම අසමසම සාහිත්‍යකරුවන්ගේ උත්තම පරමාර්ථය වූයේ එයම නොවේද? මගේ යාවජීව සන්මිත්‍ර පියදාස වැලිකන්නගේ සතු ආධ්‍යාත්මික ගැඹුර ඔහුගේ කතා කලාවේ ලේ මස් නහර වැනිය. ඔහු කිසිසේත් ගල් පිළිමයක් වැනි කතාකරුවෙක් නොවේ. මා ඔහු දකින්නේ මඳ නලිනිදු සැලෙන වීණා තතක් වන් හදක් උරුම කොට ගත් උදාර කතාකරුවකු වශයෙනි. ඔහුගේ එම වීණා තත වන් හද මා පසක් විසින් දුටු මොහොතක් ඉත සිතින් සමරමින් මගේ මේ හිත මිතු වත පතිත පත ගෙතුම මෙතෙකින් නවතනු මැනවැයි හඟිමි.
නව වැනි දශකයේ පමණ අධ්‍යාපන අමාත්‍යාංශයේ සිංහල භාෂා ඒකකය මඟින් දිවයින පුරා පළාත් මට්ටමෙන් සිංහල ගුරු පුහුණු සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වුණේ එහි අධ්‍යක්ෂ එම්. ජී. ටී. නවරත්නයන්ගේ මෙහෙයවීමෙනි. පියදාස වැලිකන්නගේ සහ මා සමඟ සිරිසේන විතානගේ, ගුණසේන මහතන්ත්‍රී, දයාපාල ජයනෙත්ති, ඒ. ධර්මතිලක, ගුණරත්න රන්හොටි ආදීහු එහි නිත්‍ය දේශකයෝ වූහ. අප නැඟෙනහිර පළාතේ පැවති සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා අම්පාරට ගිය වේලේ විවේක ලද මොහොතක වැලිකන්නගේ මට ආරාධනාවක් කළේය. ඒ තම පළමු ගුරු පත්වීම ලත් ඉඟිනියාගල වාවින්න පාසල යළි දැකගන්නට යෑමටය.
කුඩා හේනක් වැනි පාසල් වත්තකි. සරු ගහ කොළ කිසිවක් එහි නැත. පරිසරය ශුෂ්කය. කුඩා ගොඩනැගිලි දෙකකි. දරුවන්ගේ සනීප පෙනුමක් නැත. ගවුම් පොඩි හා කලිසම් පොඩි දිළිඳුය. ගුරුවරු කිහිප දෙනෙකි.
වැලිකන්නගේගේ රුව දුටු හැටියේ එය හැඳින ගත් එක් ගුරුවරයෙක් පැමිණ ඔහුට පසඟ පිහිටුවා වැන්දේය. ඒ ඔහුගේ අතීත ශිෂ්‍යයෙකි. ඔහු දැන් එහි විදුහල්පතිය.
ටික වේලාවකින් පසු මා කැඳවාගෙන පාසල් වත්ත පහළට ගිය වැලිකන්නගේ නැවතුණේ කැඩී බිඳී ගිය කොන්ක්‍රීට් බැම්මක් ළඟය. එහි වාඩි වුණු ඔහු මා ද එහි පැත්තක හිඳුවා ගෙන ටික වේලාවක් පාසල් වත්ත අවටත් පාසල් ගොඩනැඟිල්ල දෙසත් බලා සිට සුසුමක් හෙළීය.
“මෙහෙ ඉන්න කාලෙ මං මෙතන ඉඳගෙන බලා ඉන්නෙ කොයි වෙලාවෙ තැපැල් කාරයගෙ බෙල් එක ඇහෙයිද කියල. එතකොට මං ආදරේ කරන කාලෙ. එයත් මාත් එක්කම ගුරු පත්වීම් ලැබිලා කොට්ටාවෙ ඉස්කෝලෙක වැඩ කළේ. එයාගෙන් ලියුමක් එනකං තමයි මං මඟ බලාගෙන ඉන්නෙ. මේ දැනුත් ඒ බෙල් එක ඇහෙනව බං. ඒ කාලෙ ආපහු එනව නං!”
කරුණාරත්න අමරසිංහ