නිල් පැහැති පැහැබර අහස දකින විට අපගේ සිතට ද පැහැබර සැහැල්ලු හැඟීමක් දැනේ. එපමණක් නොව නිල් පැහැති අහස යනු වායු දූෂණයෙන් තොර යහපත් කාලගුණයක් පිළිබඳ සලකුණක් බඳුය. අවාසනාවකට මෙන් ලොව රටවල් බොහොමයකට මේ වන විට නිල් අහස අහිමි වී ඇත. විශේෂයෙන් මේ දිනවල ඔබ ඉන්දියාවේ නවදිල්ලි නගරයේ අඳුරු අපැහැදිලි අහස දුටුවහොත් කැලඹීමට පත්වනු ඇත. ඊට හේතුව මෑත කාලයේ වාර්තා වූ ඉහළම වායු දූෂණය ඉන්දියාවේ දිල්ලි නුවරින් ඉකුත් සතියේදී වාර්තා වූ නිසාය.
ඉහළටම ගිය දිල්ලියේ වායු දූෂණය
ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ නවදිල්ලි අගනුවර ඇතුළුව දිල්ලි පළාතේ දිස්ත්‍රික්ක රැසක වායු දූෂණය බරපතළ තත්ත්වයක පවතින බවත් දිල්ලියේ වායු තත්ත්ව දර්ශකය 481ක් ලෙස වාර්තා වූ බවත්ය. ඒ අනුව මිනිස් සෞඛ්‍යයට ඉතාම හානිකර සියුම් අංශු සහිත මාරාන්තික වායු දූෂක මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද වාර්තා විය. එමෙන්ම පකිස්තානයේ ලාහෝර් නුවර ඇතුළු තවත් නගර රැසක ද වායු දූෂණය බරපතළ තත්ත්වයකට හැරී ඇති බව ද ඉකුත් 14 වැනිදායින් අවසන් වූ පැය 24 තුළදී පමණක් පුද්ගලයන් 15,000කට අධික සංඛ්‍යාවක් ශ්වසන රෝගවලට ගොදුරු වී ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. එසේ විශාල පිරිසක් ශ්වසන රෝග රැසකට ගොදුරු වීම හේතුවෙන් නොවැම්බර් 17 දක්වා එරට අධ්‍යාපන ආයතන සහ උද්‍යාන ඇතුළු පොදු ස්ථාන වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.
නිල් අහසක් වෙනුවට දූෂිත වායුවලින් පිරුණු අඳුරු අහසක් හිමිවීමට ප්‍රධානතම හේතුව වන්නේ වායු දූෂණයයි. එය ගෝලීය සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් පමණක් නොව දේශගුණික විපර්යාසයන්ට මෙන්ම ජෛව විවිධත්වයට ද විවිධ බලපෑම් එල්ල කරන බැරෑරුම් තත්ත්වයකි. සරලව කිවහොත් වායු දූෂණය ලෙස හැඳින්වෙන්නේ වායුගෝලයේ ස්වාභාවික ලක්ෂණ වෙනස් කරන ඕනෑම රසායනික, භෞතික හෝ ජීව විද්‍යාත්මක කාරකයක් මඟින් වාතය දූෂණය වීමය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලින් හෙළි වන්නේ මේ වන විට සමස්ත ගෝලීය ජනගහනයෙන් 99% ක්ම නිර්දේශිත මට්ටමට වඩා වැඩි වායු දූෂණ මට්ටම්වලට නිරාවරණය වන බවත් ඒ හේතුවෙන් ලොව පුරා මිලියන 7ක් පමණ අපේක්ෂිත ආයු කාලයට පෙර මරණයට පත්වන බවය.
එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ද වායු දූෂණය දිනෙන් දින ඉහළ යෑම බරපතළ තත්ත්වයක් බව රසායන විද්‍යාව පිළිබඳ ප්‍රකට මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම පවසන්නේය. කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, හයිඩ්‍රොකාබන් වර්ග, ඕසෝන්, පෙරොක්සිඇසිටීල් නයිට්‍රේට්, සල්ෆර් ඔක්සයිඩ් ආදී අහිතකර වායු පිරිසිදු වාතය සමඟ මුසු වූ විට වායු දුෂණය සිදු වේ.
“මේවායින් වඩාත්ම විෂ සහිත වන්නේ පියවි ඇසට නොපෙනෙන සියුම් අංශු. අපි දූවිලි ආඝ්‍රාහණය කළොත් කිවිසුම් මාර්ගයෙන් ඒවා ඉවතට යනවා. නමුත් මේ සියුම් අංශු ශ්වසන පද්ධතිය ඔස්සේ පෙණහලු වෙතටම ගමන් කරනවා වගේම රුධිරය හරහා සිරුරේ අනිත් ප්‍රදේශවලටත් යා හැකියි. ඒ වගේම ඒ සියුම් අංශු තුළ අඩංගු කාබන් අංශුවලට බෙන්සොෆයරින් වැනි දහනය නොවන විෂ සහිත සංයෝග අධිශෝෂණය වන අතර, ඒ ඇතැම් සංයෝග පිළිකාකාරක බව පර්යේෂණ මඟින් හඳුනාගෙන තිබෙනවා.” එවැනි භයානක ප්‍රතිඵල ගෙන දෙන වායු දූෂණය වීම සඳහා මූලික වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් රැසක් බලපාන බව ද මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම පැවසීය.
ශ්‍රී ලංකාවේ වායු දූෂණය වැඩි කොළඹ සහ මහනුවර
ඒ අනුව ශ්‍රී ලංකාවේ වායු දුෂණයට ඉවහල් වන ප්‍රධාන හේතුවක් ලෙස රථ වාහන මඟින් පිටවන අහිතකර දුම හැඳින්විය හැකිය. නාගරිකව රථ වාහන ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වීම, රථ වාහන නඩත්තු කිරීම නිසියාකාරව සිදු නොවීම මඟින් ඩීසල් වාහන මඟින් අහිතකර වායු අංශු පිටවීමත් පෙට්‍රල් වාහන මඟින් කාබන් මොනොක්සයිඩ් හා වාෂ්ප වන සුළු කාබනික සංයෝග පිට වීමත් ඊට හේතු වේ. මහාචාර්ය ඉලේපෙරුම පැවසුවේ කොළඹ සහ මහනුවර වායු දූෂණය ඉහළ යෑමට හේතුව වාහන තදබදය බවය.
“ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාහනවලින් පිටවන ඩීසල් දුම පළමු කාණ්ඩයේ පිළිකාකාරක පන්තියට ඇතුළත් කර තිබෙනවා. ලංකාවේ පිළිකා රෝගීන් වැඩිවීමට වායු දූෂණය ප්‍රධාන හේතුවක්. විශේෂයෙන් කොළඹ වායු දූෂණය වැඩිවීමට මූලික හේතුව වාහන තදබදය. නමුත් කොළඹ තැනිතලා ප්‍රදේශයක් නිසා වායු දූෂක විසිරිලා යනවා. මහනුවර මේ තත්ත්වය වෙනස්. දිනකට වාහන ලක්ෂයක් පමණ පැමිණෙන මහනුවර නගරයේ වායු දූෂණය කොළඹට වඩා කිහිප ගුණයකින් වැඩි බව කලකට පෙර මා විසින් කළ පර්යේෂණයකින් වගේම මධ්‍යම පරිසර අධිකාරිය විසින් කළ අධ්‍යයනයකිනුත් අනාවරණය වුණා. මහනුවර නගරය කඳු වළල්ලකින් වටවී පිහිටා තිබීම නිසා වාහනවලින් පිටවන දූෂිත වායු විසිරී යෑමක් සිදු වන්නේ නැහැ. වෛද්‍යවරුන් විසින් කලකට පෙර මහනුවර නගරයේ බාලිකා පාසලක දැරියන් අතරින් හඳුනා ගත් COPD නම් නිදන්ගත පෙණහලු රෝගය වැලඳීමට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ද වායු දූෂණයයි.
ඒ වගේම මීට වසර කිහිපයකට පෙර සොයාගනු ලැබුවා, ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් පිටවන තන්තු ද වායු දූෂිත බව. යුරෝපයේ ඇල්ප්ස් කඳු මුදුන්වල පවා මේ ප්ලාස්ටික් තන්තු තිබෙන බව දැන් හෙළිවෙලා තියෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් එහේ වාහන නැති නිසා වායු දූෂණය වෙන්නෙ නැහැ කියලා. නමුත් මේ අංශුවලට තවත් විවිධ බැර ලෝභ අධිශෝෂණය වීමෙන් වාතය දූෂණය වෙනවා. අපේ මොළය ඇතුළේ පවා ප්ලාස්ටික් සියුම් කෙඳි වශයෙන් තැන්පත් වී තිබිය හැකියි. නිවෙස්වල තිබෙන ප්ලාස්ටික් භාණ්ඩවලින් ඇතැම් විට අඳින ඇඳුම්වලින් පවා ඒ තත්ත්වය ඇතිවිය හැකියි. කුඩා දරුවන් බහුලව පාවිච්චි කරන මෘදු ක්‍රීඩා භාණ්ඩවලත් (සොෆ්ට් ටොයිස්) මේ කෙඳි වැඩිපුර අඩංගු වනවා. මේවා සිරුරට ඉතා අහිතකරයි.”
දර ළිපෙන් මතු වන පිළිකා මාරයා
මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම වැඩිදුරටත් සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව වායු දූෂණය හේතුවෙන් වසරකට සිදු වන මරණ මිලියන 8න් මරණ මිලියන 4.3කට හේතුව ගෘහස්ථ වායු දූෂණය බවය. ” ලංකාවේ සියයට 70ක් පමණ භාවිත කරන්නේ දර ළිප්. දර දහනයේදී ඉතා අධික වායු දූෂණයක් සිදු වනවා. ඊට හේතුව දර ළිප් භාවිත කරන බොහෝ මුළුතැන්ගෙවල් ඉතා කුඩයි. ඒවායේ තිබෙන්නේ ඉතා කුඩා ජනේල. දර දහනයේදී අතුරුඵල ලෙස පිළිකාකාරක ද්‍රව්‍ය පිටවනවා. කාබන් මොනොක්සයිඩ් හිමොග්ලොබින් සමඟ සංයෝගයක් සෑදීමෙන් මිනිසාගේ මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එවැනි ස්ථානයක ටික වෙලාවක් ඉන්නකොට හිසරදය හැදෙනවා. එම නිසා දර ළිපක් භාවිත කරනවා නම් එහි අහිතකර ප්‍රතිඵල අවම කර ගැනීමට එය එළිමහනේ තබා ආහාර පිසීම කළ යුතුයි. එසේත් නැතිනම් හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි මුළුතැන්ගෙට විශාල ජනේලයක් තිබිය යුතුයි. ”
එවැනි මානව ක්‍රියාකාරකම් සහ ස්වාභාවික හේතු මත අප ආශ්වාස කරන වාතයේ සංයුතිය නිතර වෙනස් වන අතර, වාතයේ සංයුතියේ වෙනස් වීම ගණනය කරන්නේ වායු තත්ත්ව දර්ශකය නමින් විද්‍යාත්මක ක්‍රමවේදය මඟිනි. එහි අගය සියයට වඩා වැඩි නම් එම වාතය අපවිත්‍ර යැයි සැලකේ.
ඉන්දියාවෙන් ලංකාවට ඇති බලපෑම
“මේ වන විට ඉන්දියාවේ නවදිල්ලි නගරයේ තිබෙන වායු දූෂණය ඉතාම ඉහළයි. ජනතාවට නිෙවස්වලින් පිටතට බහින්න බැරි තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙසේ වායු දූෂණය ඉහළ යෑමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල ගොවීන් අස්වැන්න ලබා ගැනීමෙන් පසු ඉතිරිවන පිදුරු, දහයියා වැනි අපද්‍රව්‍ය පිලිස්සීමයි. ඒවා පිලිස්සීම තහනම් කර තිබුණත් ගොවියන් දිගින් දිගටම එය සිදු කරනවා. ඒ නිසා හැම වසරකම මේ කාලයට නවදිල්ලියේ වායු දූෂණය ඉහළ යනවා. ඊට තවත් හේතුවක් වන්නේ දිල්ලියේ දැඩි වාහන තදබදය. ඉන්දියාවේ මේ තත්ත්වය අපේ රටේ වායු දූෂණය වැඩි වීමටත් බලපානවා. ඊට හේතුව නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ශ්‍රී ලංකාවට ඉන්දියානු අර්ධද්වීපයේ සිට උතුරු මෝසම් සුළඟ හැමීමයි. එම නිසා ලංකාවේ වායු දූෂණයත් ඉහළ යා හැකියි. මේ දිනවල වර්ෂාව පවතින නිසා එහි බලපෑම තරමක් අඩු වී තිබෙනවා. නමුත් වැස්ස නැති වුණොත් ඉදිරියේදී අපේ රටේ වායු දූෂණය මීට වඩා ඉහළ යා හැකියි. පහුගිය වර්ෂ ගණනාවක සිට මහනුවර වායු තත්ත්ව දර්ශකය 150, කොළඹ නගරයේ එය අගය 180 දක්වාත් ඉහළ ගියා. යාපනයේ එම අගය කොළඹ අගයත් ඉක්මවා ගියා. යාපනය ඉන්දියාවට සමීපව පිහිටීම නිසා ඒ කලාපය ඔස්සේ හමන සුළං ප්‍රවාහයන් මඟින් මෙරටට දෙසට වායු දූෂක පැමිණීමේ වැඩි ඉඩක් තිබෙනවා. මේ තත්ත්වය අන්තර් මායිම් වායු දූෂණය ලෙස හඳුන්වනවා.”
වායු දූෂණය රෝග ගණණාවකට බලපාන ප්‍රධාන හේතුවක් වන අතර, ඒ අතර පිළිකා රෝග මෙන්ම ඇදුම, නිව්මෝනියාව, බ්‍රොන්කයිටීස් වැනි රෝග මූලික වේ. එපමණක් නොවෙයි, මුල් කාලයේ අපි හිතාගෙන හිටියේ වායු දූෂණය බලපාන්නේ ශ්වසන රෝග සහ පෙණහලු සම්බන්ධ රෝගවලට පමණයි කියලා. නමුත් මේ වෙද්දි පර්යේෂණ මඟින් හෙළි වී තිබෙනවා වාතයේ තිබෙන දූෂිත සියුම් අංශු, හෘද රෝගවලින් සිදු වන මරණවලට ප්‍රධාන හේතුවක් බව. ලෝක සෞඛ්‍ය සංවිධානය මීට වසර කිහිපයකට පෙර හෙළි කළා මෙරට සිදුවූ හෘද රෝග සම්බන්ධ මරණවලින් 7000ක් පමණ වායු දූෂණය නිසා ඇති වූ ඒවා බව. ඒ වගේම ඇදුම රෝගීන්ට, නිව්මෝනියා රෝගීන්ට වායු දූෂණය නිසා සිදු වන අහිතකර බලපෑම ඉතා වැඩියි. වියපත් පුද්ගලයන්ට, ගැබිනි මවුවරුන්ට, කුඩා දරුවන්ට සහ නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් දූෂිත වායු සහිත පරිසරයේ ගැවසීම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට ඉතා අනතුරුදායකයි”
මහාචාර්ය ඉලේපෙරුම අනාවරණය කරන පරිදි ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ ද වායු දූෂණය දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, මානව සෞඛ්‍යයට එයින් වන බලපෑම නව පර්යේෂණ මඟින් හෙළි වෙමින් පවතී. එබැවින් වායු දූෂණය හා සම්බන්ධ රෝග වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ද හෙතෙම පැවසීය.
ආරක්ෂා වන්නේ කොහොමද?
ඒ අනුව වායු දූෂණය අධික ප්‍රදේශවලට යන විට මුව ආවරණයක් පැලඳීම, ශ්වසන රෝග සහ අපහසුතාවලින් පෙළෙන්නන් නිවෙසින් බැහැරට යන විට ගුණාත්මක බවින් ඉහළ N90 හෝ N95 වැනි මුහුණු ආවරණයක් පැලඳීම, අධික සූර්යාලෝකයට නිරාවරණය වන ආකාරයේ එළිමහනේ ක්‍රියාකාරකම් සීමා කිරීම, වායුගෝලයට දුම හෝ දූවිලි අංශු නිකුත් වන පොලිතින්, ප්ලාස්ටික් වැනි ඝන අපද්‍රව්‍ය පිලිස්සීම වැනි ක්‍රියාකාරකම් අවම කිරීම හා ඒවායින් වැළකීම, මාර්ග ආශ්‍රිතව, කර්මාන්තශාලාවලට ආසන්නව ඇති දූෂිත වායුවලට නිරාවරණය නොවීම ආදී ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය.
ඊට අමතරව මෙරට ප්‍රධාන වශයෙන් වායු දූෂණය සිදුවන නාගරික වාහන තදබදය වළක්වා ගැනීම සඳහා අනවශ්‍ය ගමන් බිමන් අඩු කිරීම සහ පුද්ගලික වාහන වෙනුවට හැකි තරම් පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම ද ජනතාවට එසේ පොදු ප්‍රවාහන සේවය පහසුවෙන් භාවිත කිරීමට අවස්ථාව ලැබෙන පරිදි පොදු ප්‍රවාහන සේවයේ කාර්යක්ෂම සහ ගුණාත්මක බව ඉහළ නැංවීම බලධාරින් සතු වගකීමය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්