Home » අයිතීන් සුරකිමු ඒඩ්ස් නවතමු

අයිතීන් සුරකිමු ඒඩ්ස් නවතමු

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

ඩ්ස් මාරාන්තිකයි, ඔබේ ඇසුර විශ්වාසවන්ත සහකරුවකුට, සහකාරියකට පමණක් සීමා කරන්න.” වසර ගණනාවක් තිස්සේ සෞඛ්‍ය අංශ විසින් ඒ දැනුම්වත් කිරීම සිදු කරන්නේ වැරදි ලිංගික හැසිරීමක ප්‍රතිඵලයක් ලෙස එච්.අයි.වී, ඒඩ්ස් වැනි සමාජ රෝගයක් වැලඳීමේ අවදානමක් ඇති නිසාය.

සෑම වසරකම දෙසැම්බර් පළමුවැනිදා ලෝක ඒඩ්ස් දිනය සැමරෙන අතර, ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි පවසන්නීය.

ආසාදිතයන් වැඩි වුණත් පැතිරීම අඩුයි

“2020 සහ 2021 වර්ෂ තුළ වසරකට නව ආසාදිතයන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් වාර්තා වුවත් 2022 හා 2023 වර්ෂවල හඳුනා ගත් නව ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණයක් බවට පත්ව තිබෙනවා. 2023 වසර තුළ පමණක් HIV නව ආසාදිතයන් 694ක් වාර්තා වී තිබෙනවා. එයින් 613ක් එනම්, සියයට 88ක් පිරිමි පුද්ගලයන්. 2018 වසරේ සිට වයස අවුරුදු 15-24 අතර පසුවන්නන් අතර HIVආසාදනය වීමේ කැපී පෙනෙන වැඩි වීමක් පෙන්නුම් කරනවා. 2023 වසරේ වාර්තා වූ HIV ආසාදිතයන්ගෙන් සියයට 15ක්ම එම වයස් කාණ්ඩයට අයත් තරුණ තරුණියන්. 1987 වසරේදී මෙරටින් මුල්ම HIV ආසාදිතයා වාර්තා වීමත් සමඟ 2023 වසර දක්වා HIV ආසාදිතයන් 5,000ක් පමණ හඳුනාගෙන ඇති අතර, එයින් 3,500ක් පමණ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් HIV ව්‍යාප්ත වන දිස්ත්‍රික්ක ලෙස කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට සහ පුත්තලම දැක්විය හැකියි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තවමත් HIV වයිරසය පැතිරීම සම්බන්ධයෙන් අඩු අවදානමක් පවතින රටක් බව කිව යුතුයි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ HIV ව්‍යාප්තිය පවතින්නේ 0.1ටත් වඩා අඩු අගයකයි.” ඇය එසේ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ HIV තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමිනි.

පිරිමි ආසාදිතයන්ගේ වැඩි වීමක්

2023 වර්ෂය තුළ වාර්තා වී ඇති නව ආසාදිත රෝගීන්ගෙන් 613ක් හෙවත් සියයට 88ක් පිරිමි පුද්ගලයන්ය. මේ තත්ත්වය සමාජීය ගැටලුවක් පමණක් නොව රටේ ආර්ථික සංවර්ධනයට ද ඍජුවම බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. විශේෂයෙන් යෞවනයන් අතර HIVආසාදනය වැඩි වීමට ජංගම දුරකතන භාවිතය තුළින් පහසුවෙන් නව සබඳතා ගොඩනඟා ගැනීමට අවස්ථාව ලැබීම, නව තාක්ෂණය, මත්ද්‍රව්‍ය භාවිතය මෙන්ම අඩු අධ්‍යාපන මට්ටම ද හේතු වී ඇති බව ද විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි පැවසුවාය.

සමාජයේ වැඩි අවදානයට ලක්වන HIV සහ ඒඩ්ස් යන තත්ත්වයන් දෙක පිළිබඳ බොහෝ දෙනකුට ඇත්තේ අඩු දැනුමකි. HIV යනු මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසයයි. HIV වයිරසය ආසාදනය වී ඒඩ්ස් අවධිය දක්වා ඉදිරියට යෑමට වසර 8-10ක් පමණ දිගු කාලයක් ගත වන අතර, HIV ආසාදනය වූවකු ප්‍රතිකාර නොගැනීමෙන් ඒඩ්ස් රෝගියකු බවට පත්වේ. එම නිසා යම් පුද්ගලයකුට තමාට HIV ආසාදිත බවට සැකයක් ඇත්නම් වහාම පරීක්ෂණයකින් ඒ බව සැකහැර දැනගෙන කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි පැවසුවාය.

කොන් කිරීම සහ වෙනස් කොට සැලකීම් එපා

“HIV ආසාදිතයකු බව කල්තියා හඳුනාගෙන වෛද්‍ය උපදෙස් මත ඖෂධ නිසි ලෙස ලබාගන්නා අයකුට ඒඩ්ස් තත්ත්වයට නොගොස් HIV සමඟ ජීවත් විය හැකියි. HIV සමඟ ජීවත් වන පුද්ගලයන් 4,700ක් පමණ අප සමාජයේ සිටිනවා. අසාදිතයකු ප්‍රතිකාර නිසි ලෙස ලබා ගන්නවා නම් එම පුද්ගලයාගේ රුධිරයේ වයිරස ප්‍රමාණය ගිනිය නොහැකි තරම් කුඩා අගයක පවතින බවත් එවැනි පුද්ගලයකුගෙන් වෙනත් පුද්ගලයකුට HIV වයිරසය සම්ප්‍රේෂණය නොවන බවට සායනික පරීක්ෂණවලින් වී තිබෙනවා. එම නිසා අසාදිතයකුට නිසි ප්‍රතිකාර ලබා ගැනීම හරහා HIV තත්ත්වය මනාව පාලනය කර ගත හැකියි. බහුතරයකට HIV ආසාදනය වන්නේ නොදැනුවත්කම නිසා බැවින් ඔවුන් කොන් කිරීම නොකළ යුතුයි. කොන් කිරීම සහ වෙන්කොට සැලකීම හරහා HIV සමඟ ජීවත් වන්නන් සියදිවි හානි කර ගැනීමට පවා පෙලඹෙනවා. ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේම වගකීමක්. යම් පුද්ගලයෙක් අවදානම් ලිංගික චර්යාවක නියැළුණොත් පැය 72ක් ඇතුළත ලිංගාශ්‍රිත රෝග සායනයකට යොමු වීමෙන් HIV ශරීරගත වීම වැළැක්වීම සඳහා PrEP නමැති ප්‍රතිවයිරස් ඖෂධය නොමිලේම ලබාගත හැකියි.” එසේ පැවසුවේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ ය.

ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක්

“මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව වන්නේ ” අයිතීන් සුරකිමු, ඒඩ්ස් නවතමු”යන්නයි. ඒ යටතේ වැඩසටහන් රාශියක් පවත්වනවා. රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා සංවිධාන ආදී පාර්ශ්ව රැසක් ඒ වෙනුවෙන් ජාතික ලිංග්‍රාශිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. දෙසැම්බර් 01 වැනිදා ලෝක ඒඩ්ස් දින පා ගමන කොළඹ ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ මූලස්ථානය වෙත ගමන් කරනවා. HIV සම්බන්ධයෙන් දැනුවත් කරන තට්ටු දෙකේ බස් රථයක් කොළඹ නගරය පුරා ධාවනය කරන අතර, දිවයින පුරා ඇති ලිංගාශ්‍රිත රෝග සායන හතළිහ තුළම ලෝක ඒඩ්ස් දින සැමරුම් මාලාවක් ක්‍රියාත්මක කරනවා.”

පුද්ගලයකුගෙන් තවත් අයකුට HIV සම්ප්‍රේෂණය විය හැකි ප්‍රධාන ක්‍රම වන්නේ HIV ආසාදිත පුද්ගලයකු සමඟ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම, ආසාදිත මවකගෙන් ඇයගේ දරුවාට හෝ රුධිර පාරවිලයනයේදීය. ආහාර බෙදා ගැනීමෙන්, ඇඳුම් පැලඳුම් බෙදා ගැනීමෙන්, අත් අල්ලා ගැනීමෙන් හෝ එකම වැසිකිළිය භාවිත කිරීමෙන් HIV සම්ප්‍රේෂණය නොවේ.

රුධිර පාරවිලයනය ඉතා ආරක්ෂිතයි

“ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට HIV ආසාදනය වීම තුරන් කළ රටක් ලෙස වසර 2019දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කරනු ලැබුවා. ඒ වගේම වසර 2000න් පසු රුධිර පාරවිලයනයකින් කිසිවකුට HIV ආසාදනය වී නැහැ. රුධිර පාරවිලයනයෙන් HIV ආසාදනය විය හැකි බවට කිසිදු සැකයක් තබාගත යුතු නැහැ. එම ක්‍රියාවලිය ඉතාම ආරක්ෂාකාරී ලෙස සිදු වනවා. “ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි අවධාරණය කළාය.

පුද්ගලයකුට තමාට HIV ආසාදනය වී ඇතැයි සැකයක් ඇත්නම් වහාම කළ යුත්තේ HIV පරීක්ෂණයක් සිදු කිරීමය. ඒ සඳහා දිවයින පුරා පිහිටි ලිංගාශ්‍රිත රෝග සායන 40ක් ක්‍රියාත්මක වන අතර, එමඟින් HIV පරීක්ෂණ පමණක් නොව ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ද නොමිලේම ලබාගත හැකිය. පුහුණු වෛද්‍ය කාර්ය මණ්ඩලයක් මඟින් එම සියලු කටයුතු පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි සිදු කෙරෙන බව ද ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පැවසුවාය.

වැළැක්වීම සහ පාලනය වෙනුවෙන් සේවා රැසක්

“ඊට අමතරව අපි Know4sure.lk නමින් ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා. තමන්ට HIV හෝ වෙනත් සමාජ රෝග අවදානමක් තිබෙනවාද කියලා තක්සේරු කරගැනීම, සායනයකට යොමු වීමට පහසු දිනයක්, වේලාවක් වෙන් කර ගැනීමට වගේම HIV ස්වයං පරීක්ෂණ කට්ටල සහ කොන්ඩම් වැනි ආරක්ෂිත නිෂ්පාදන කූරියර් සේවයක් මඟින් නොමිලේ නිවෙසටම ගෙන්වා ගැනීමටත් එමඟින් අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන HIV සමඟ ජීවත් වන්නන්ගේ සංවිධාන සමඟ ඉතා සමීපව කටයුතු කරනවා. විශේෂයෙන් රජයේ නිලධාරීන්ට ළඟා විය නොහැකි HIV විශේෂ අවදානම් සහිත කණ්ඩායම් වෙත ළඟා වීම, ඔවුන් පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා සායනවලට යොමු කිරීම සඳහා එම සංවිධානවලින් අපට ඉතා විශාල සහයෝගයක්, ශක්තියක් ලැබෙනවා. පවුල් සංවිධාන සංගමයත් HIV වැළැක්වීම සහ පාලනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ඒ සියලු සහයෝගයත් සමඟ අපේ රටින් ඒඩ්ස් තුරන් කිරීම සඳහා අපට මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. HIV සහ ඒඩ්ස් පිළිබඳ නිවැරැදිව දැනුම්වත් වන තරමට HIV ආසාදිතයකු බවට පත්වීමේ අවදානම වළක්වාගත හැකියි. “ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි එසේ පැවසුවේ පුරවැසි වගකීම ද සිහි කරමිනි.

මෙම තොරතුරු අනාවරණය වූයේ ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අසන්ති ප්‍රනාන්දු ද අදහස් දැක්වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division