ලෝකය හැමදාමත් වෙනස් කළේ, ලෝකයට අලුත් දේවල් දායාද කළේ වෙනස් අයුරින් සිතා වෙනස් ආකාරයේ වැඩ කළ මිනිසුන්ය. ඈත ඉතිහාසයේ මෙන්ම වර්තමානයේත් ඕනෑ තරම් ඊට නිදසුන් හමුවේ. ගත සවි බිඳුණත් හිතේ සවිය බිඳ නොගත් අපූරු තරුණයකු ගැන අපට වාර්තා වූයේ හෝකන්දර ප්‍රදේශයෙනි.
ඔහු 36 හැවිරිදි දිනෙත් ඕෂිත ය. වැඩිමහල් සහෝදරයකු සහ සහෝදරියක් සමඟ බාල සහෝදරියකගෙන් යුතු පවුලක තුන්වැනි දරුවා වූ දිනෙත් උපත ලබා ඇත්තේ නිවුන් දරුවකු ලෙසිනි. එහෙත් දෛවයේ සරදමින් ඒ නිවුන් සහෝදරයා මෙලොව එළිය දැක මසකින් පමණ ජීවිතය හැර යද්දී දිනෙත්ට සිදු වන්නේ අඩු වයසින් අඩු බරකින් උපන් දරුවකු ලෙස උරුම වූ සංකූලතා සමඟ ජීවිතයට මුහුණ දෙන්නටය. එහෙත් රජයේ සේවකයන් වූ දිනෙත්ගේ මවුපියන් දිනෙත්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවන්නට නොකළ වෙදකමක් හෙදකමක් නැත.
“අඩු වයසින් අඩු බරින් ඉපදුණ නිසා පුතාට ඇවිදින්න බැරි වුණා. හැම ක්‍රියාකාරකමක්ම සිදු වුණේ අඩුවෙන්. ඒත් අපි උත්සාහය අතෑරියේ නැහැ. පුළුවන් තරම් බෙහෙත් හේත් කළා. අදටත් කරනවා. පුතා ලැබෙද්දි මම වැඩ කළේ ජපුර රෝහලේ. පුතා වෙනුවෙන්ම කැප වෙන්න ඕන නිසා මම රැකියාවෙන් ඉවත් වුණා. වසර කිහිපයකට පසුව තමයි නැවත රැකියාවට ගියේ. පුතාට ඉස්කෝලෙකට ගිහින් ඉගෙන ගන්න බැරි වුණා. ඒකට හේතුව මමත් පොලිස් නිලධාරියෙක් වුණ සැමියත් සේවා අවශ්‍යතා අනුව එක් එක් ප්‍රදේශවලට මාරුවීම් ලබලා යද්දි ඒ ප්‍රදේශවල තිබුණු පාසල්වල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් වෙනම ඒකක තිබුණේ නැති නිසයි. ඒ නිසා අපි හැමදාම කළේ ගෙදරට ගුරුවරුන් ගෙන්වලා පුතාට ඉගැන්වීම් කළ එකයි. දැනටත් පුතා බත්තරමුල්ලේ E.A.S.E. foundation කියන විශේෂිත අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් වෙන් වුණු අධ්‍යාපන ආයතනයේ ඉගෙන ගන්නවා. ඒ ආයතනය නිසා තමයි පුතා සෑහෙන හොඳ තත්ත්වයකට ආවේ. පුතා මොළයේ ක්‍රියාකාරීත්වය ඉතාම හොඳ මට්ටමක තියෙන දරුවෙක්. එයා නිතරම අන්තර්ජාලයෙන් ඉගෙන ගන්නවා. ඒ නිසා තමයි ව්‍යාපාරයක් කරන අදහස එයාගේ හිතට ආවේ.”
දිනෙත්ගේ මව පද්මිණි අප සමඟ එසේ කියමින් සිය පුතුගේ දක්ෂතා පිළිබඳ පවසන්නට වූවාය. දිනෙත් ගත සවි බිඳුණත් හිත සවි ඇති තරුණයකු බව අප කීවේ විශේෂ හේතුවක් ඇතිවය. ඔහු මේ වන විට නිවසේ සිට විසිතුරු මල් පැළ විකිණීමේ ව්‍යාපාරයක නිතරව සිටී. ඒ ගැන දිනෙත් අප සමඟ මෙසේ කීවේය.
” 2021 අවුරුද්දේ කොවිඩ් කාලෙදි තමයි මට මේ අදහස ආවේ. යූටියුබ් එකෙන් මම දැක්කා මේ වගේ මල් පැළ හදන හැටි. මම අම්මගෙනුයි තාත්තගෙනුයි ඇහුවා අපි මේ වගේ බිස්නස් එකක් පටන් ගමුද කියලා. එයාලා කැමති වුණා වගේම මට උපරිම සහයෝගය දුන්නා. දැනට මම කරන්නේ පතොක්(කැක්ටස්) වර්ගයේ මල් පැළ විතරයි. මුහුණු පොතේ Dineth Plants කියන පේජ් එක හරහා ඕනෑම කෙනෙකුට මගෙන් පැළ වර්ග ඇණවුම් කරන්න පුළුවන්. මම හැම කෙනෙක්ටම කියන්නේ මං දිහා අනුකම්පාවෙන් බලලා ආධාර කරන්න එපා. පැළයක් මිලදී අරගෙන මගේ ව්‍යාපාරයට ධෛර්යයක් වෙන්න කියලයි. දැනටමත් මට හොඳ ආදායමක් ලැබෙනවා. අම්මට තාත්තට බරක් නැතිව මගේ බෙහෙත් ටික ඇතුළු මගේ අවශ්‍යතාවලට ප්‍රමාණවත් තරම් ආදායමක් මේ ව්‍යාපාරයෙන් ලැබෙනවා. ඒක මට ලොකු සතුටක්. “දිනෙත් පැවසුවේ උද්දාමයෙනි. දිනෙත්ගේ මව ඔහුගේ එවදන්වලට ඇයගේ අදහස් ද එකතු කළාය.
“ඇත්තටම වෙලාවකට මටත් පුතා ගැන පුදුම හිතෙනවා. එයා උදේට නින්දෙන් අවදි වෙන්නෙත් ව්‍යාපාරය ගැන හිතාගෙනමයි. බිස්නස් පොඩ්ඩක් හරි අඩු වුණොත් පුතා ඒ ගැනමයි කල්පනා කරන්නේ. පුතා පුදුමාකාර උත්සාහවන්ත දරුවෙක්. මුල් කාලේ මම හරිම වේදනාවෙන් හිටියෙ, අපි නැතිවුණ කාලෙක එයා තනිවෙයි කියලා. නමුත් මට දැන් හරිම සතුටුයි සහ එයා ගැන ආඩම්බරයි. මම දැන් දන්නවා මමයි මහත්තයි නැති කාලෙක එයා සේවකයෙක් තියාගෙන හරි මේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යයි කියලා. පුතා දැනට ව්‍යාපාරය කරන්නේ ගෙදර ඉඳලා. ඊට අමතරව බත්තරමුල්ල කාගිල්ස් ආයතනය විසින් සෙනසුරාදා දිනවල ඒ ස්ථානයේ පුතාට ස්ටෝල් එකක් දාගෙන පැළ විකුණගන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ අවස්ථාව නිසා පුතාට කස්ටමස්ලා එක්ක කතා කරලා ගනුදෙනු කරන්න හැකියාවත් ලැබිලා තියෙනවා. කාගිල්ස් ආයතනයට ස්තුතිය පුද කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා.”
දිනෙත් මෙන්ම ඇයගේ මවුපියන් ද ධෛර්යවන්ත හදවත් ඇත්තන්ය. දිනෙත්ට පැළ ව්‍යාපාරය කරගෙන යෑමට උපරිම සහයෝගය ලබා දෙන්නේ ඔවුන් දෙදෙනාය. ඔවුන් දිනෙත් වෙනුවෙන් කරන කැපකිරීම් අහසටත් වඩා උස යැයි සිතෙන්නේ තිස් හය වසරක් පුරා සෙවණැල්ල සේ ඔහු ළඟ රැඳී ඉන්නා නිසාය.
“පුංචි කාලේ පුතා හරියටම මුළුගැන්වුණා. කිසිම තැනකට යන්න කැමැති නැහැ. ඒකට හේතුව කොතැනකට හරි ගියාම පුතාට ඇවිදින්න බැරි නිසා ගොඩක් අය එයා දිහා බලන්නේ අමුතු විදිහට. ඒ නිසා පුතා කොහෙවත් යන්න කැමැති වුණේ නැහැ. ඒත් බත්තරමුල්ලේ E.A.S.E. foundation ආයතනයට ඇතුළත් වුණාට පස්සේ පුතාගේ ආකල්ප වෙනස් වුණා. හොඳ පෞරුෂයක් ගොඩනැඟුණා. ඒ වෙනුවෙන් එම පදනමේ සභාපතිනිය අනෝජා රාජපක්ෂ මහත්මියට ස්තුති වන්ත විය යුතුයි. එහි දරුවන් වෙනුවෙන් සියලුම දේ සිදු කරන්නේ නොමිලේ. එහි විවිධ ආබාධ සහිත දරුවන් සිටිනවා. මගේ පුතාට ඇවිදින්න බැරි වුණත් එයා ඉතාම ක්‍රියාකාරී බුද්ධිමත් දරුවෙක්. මේ පාසල නිසා එයාගේ දක්ෂතා ගොඩක් දියුණු කරගන්න අවස්ථාව ලැබුණා. පුතා විවේක වෙලාවට චිත්‍ර අඳිනවා. පාසලෙන් කළ ලුහුඬු ගී පොතටත් පුතාගේ නිර්මාණ ගොඩක් ඇතුළත් කර තිබෙනවා. ආදර අම්මා කියලා මම වෙනුවෙන් පුතා ලියපු සින්දුවක් යූටියුබ් එකේ තියෙනවා. පුතා තවත් පොතකුත් ලියාගෙන යනවා. ඒ හැමදේම නිසා පුතා ගැන අපි සතුටින් ඉන්නේ. එයත් නිතරම සතුටින් ඉන්න දරුවෙක්.”
චචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දිනෙත් යනු දිරිමත් තරුණයෙකි. කිසිවකුට බරක් නැතිව ජීවිතය ගෙන යෑම සිය අපේක්ෂාව බව ඔහු කීවේ සිනාසෙමිනි. රෝද පුටුවට සීමා වුවද සිය ජීවිතය එක තැනකට සීමා කර ගැනීම වෙනුවට ඔහු දිනෙන් දින ජීවිතය අලුත් වනු දකින්නට පෙරුම් පුරයි.
“ඉදිරියේදී පතොක් පැළ වගේම වෙනත් පැළ වර්ගත් හදලා ව්‍යාපාරය දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. වැඩ කරද්දි සමහර වෙලාවට මට මහන්සි දැනෙනවා, අමාරුයි. ඒත් කොච්චර බාධක ආවත් මම දවසක රටේ ලොකු ව්‍යාපාරිකයෙක් වෙනවා. “දිනෙත්ගේ ඒ අධිෂ්ඨානය දෑත දෙපා හොඳට තිබුණත් උපන් බිමට බරක් වූවන්ට අභියෝගයක් මෙන්ම ආදර්ශයකි.
සුරේකා නිල්මිණි ඉලංකෝන්