Home » මුතු වැස්සකින් සැරසෙන නත්තල් අහස

මුතු වැස්සකින් සැරසෙන නත්තල් අහස

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

ගෙවී යන 2024 වසර පුරාවට ලොකු කුඩා හැම දෙනාටම වැදගත් සංසිද්ධීන් රාශියකට මුහුණ දීමට සිදු විය. තාරකා විද්‍යා ගවේෂණ නව මානයකට ගෙන යා හැකි නව නිර්මාණ, ග්‍රහලෝක සම්බන්ධ විශේෂ සිදුවීම් ද ඒ අතර විය. එහෙත් 2024 වර්ෂය තුළ අත්විඳීමට හැකි සුන්දරම අත්දැකීමක් ලෙස වසරේ වර්ෂයේ ප්‍රබලතම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට ඇති අවස්ථාව සඳහන් කළ හැකිය.

උල්කාපාත වර්ෂා හැදෙන්නේ කොහොමද?

සියල්ලටම ප්‍රථමයෙන් උල්කාපාත වර්ෂාවක් යනු කුමක් දැයි විමසා බලමු. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක, උප ග්‍රහයන් සහ වාමන ග්‍රහලෝක යන වස්තූන් හැරුණු විට ඇති තවත් ප්‍රධාන වස්තූන් විශේෂයක් වන්නේ ග්‍රාහක කොටස්ය. මෙම ග්‍රාහක කැබලි සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රාහක වළල්ල සහ කුයිපර් පටිය ආශ්‍රිත ප්‍රදේශවල බහුල වශයෙන් ව්‍යාප්ත වී තිබේ. එම ග්‍රාහක කොටස් සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලයේ බලපෑම නිසා සූර්යයා වටා අනෙක් ග්‍රහ වස්තූන් මෙන්ම කක්ෂ ගත වී ඇත. කෙසේ නමුත් වර්ෂයේ සමහර කාලවලදී මෙම ග්‍රහක කැබලි බහුල ප්‍රදේශ අසලින් පෘථිවිය ගමන් කරන විට පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසුවීම නිසා ඒවා පෘථිවි වායුගෝලයට ඇතුළු වේ. වායුගෝලය හරහා ඉතාමත් වේගයෙන් ගමන් කරන වස්තූන් දහනය වීමට පටන් ගනී. එවිට එම ග්‍රාහක කොටස් ඉතාමත් අලංකාර ලෙස විවිධ වර්ණවලින් දර්ශනය වේ. මේ වගේ උල්කාපාත ගණනාවක් අහසේ එක් ප්‍රදේශයක සිට විහිදෙන ආකාරයෙන් දර්ශනය වන සංසිද්ධියක් “උල්කාපාත වර්ෂාවක්” ලෙස හඳුන්වයි. එපමණක් නොව ඇතැම් ධූමකේතුවල ගමන් මාර්ගයේ ඉතිරි වන කුඩා ප්‍රමාණයේ අවශේෂ ද මෙම උල්කාපාත වර්ෂාවන් හටගැනීමට හේතු වේ. තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් අතරින් ඉතාමත් ජනප්‍රිය සංසිද්ධියක් වන මෙම උල්කාපාත වර්ෂාවන් ලොව පුරා සිටින තාරකා ඡායාරූපකරණ ශිල්පීන්ගේ සහ රාත්‍රී අහස නිරීක්ෂකයන්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් ව ඇත.

නත්තල අහස සරසන උල්කාපාත වර්ෂාව

සෑම වසරක් පාසාම මෙලෙස ඇදහැලෙන උල්කාපාත වර්ෂාවන් ගණනාවක් පවතින අතර, ඒවායින් ප්‍රධාන උල්කා වර්ෂාවන් කීපයක් ලෙස අප්‍රේල් මාසයේදී දක්නට ලැබෙන ලයිරිඩ්ස් (Lyrids), අගෝස්තු මස දක්නට ලැබෙන පර්සියිඩ්ස් (Perseids), නොවැම්බර් මස ඇදහැලෙන ලියොනිඩ්ස් (Leonids) සහ දෙසැම්බර් මාසයේ දී දර්ශනය වන ජෙමිනිඩ්ස් (Geminids) යන උල්කාපාත වර්ෂාවන් හඳුන්වා දිය හැකිය. ඒවා අතරින් ප්‍රබලතම උල්කාපාත වර්ෂාව වන ජෙමිනිඩ්ස් (Geminids) උල්කාපාත වර්ෂාව මෙම වසරේදීත් ඉතාමත් අලංකාර අන්දමින් ඇදහැලීමට නියමිතය. මේ උල්කාපාත වර්ෂාවක ප්‍රබලත්වය තීරණය කරන සාධකය වන්නේ පැයකදී ඇදහැලෙන උල්කාපාත ගණන නොහොත් “ZHR (Zenital Hourly Rate)” අගයයි. ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේදී පැයකට ඇද හැලෙන උල්කාපාත ගණන 100ත් 120ත් අතර ප්‍රමාණයක් බව ගණන් බලා ඇත. උල්කාපාත රාත්‍රී අහසේ එක් ස්ථානයක සිට විහිදෙන ආකාරයට දර්ශනය වන ලක්ෂ්‍යය, “විමෝචක ලක්ෂ්‍යය (Radiant)” ලෙස හඳුන්වයි. මෙම ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ විමෝචක ලක්ෂය මිථුන (Gemini) තාරකා රාශිය පසුබිම් කරගෙන පිහිටා තිබෙන අතර ඒ නිසාම එයට “ජෙමිනිඩ්ස්” යන නම ලැබී ඇත. මෙම උල්කාපාත වර්ෂාවට හේතු වන්නේ “3200 Phaethon” නමින් හැඳින්වෙන ධූම කේතුවක හැසිරීම් ලක්ෂණ පෙන්වයි.

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව දෙසැම්බර් 08 වැනිදා සිට 14 වැනිදා දක්වා සක්‍රිය වන අතර, දෙසැම්බර් 13 වැනිදා එහි උච්චතම අවස්‍ථාවට පැමිණීමට නියමිතව තිබේ. මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට සුදුසුම වේලාව ලෙස රාත්‍රී 10.00ත් පාන්දර 02.00ත් අතර කාලය වන අතර, එහිදී මිථුන තාරකා රාශිය රාත්‍රී අහසේ තම හිස මුඳුන ආසන්නයේ දැකගැනීමට හැකියාව ලැබෙන නිසා වඩාත් පහසුවෙන් අපට මෙය නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබේ.

නිරීක්ෂණය කළ යුතු ආකාරය

මෙය රාත්‍රී 10.00 – 12.00 කාලයේදී රාත්‍රී අහසේ නැඟෙනහිර කොටසට බරව නිරීක්ෂණය කළ හැකි අතර රාත්‍රී 12.00 සිට පසුදින උදෑසන දක්වා රාත්‍රී අහසේ බටහිර කොටසේ නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබේ. මෙම උල්කාපාත වර්ෂාව එදිනට නිරීක්ෂණය කිරීමට තරමක් අභියෝගකාරී වීමට හැකියාව ඇත්තේ එදින චන්ද්‍රයා වෘෂභ තාරකා රාශිය පසුබිම් කරගෙන පිහිටා තිබීම නිසාය. කෙසේ වුවත් හොඳින් අඳුරට හුරු කරගත් පියවි ඇසින් මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීම පහසුවෙන් සිදු කළ හැකිය. ඒ සඳහා නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පෙර සියලු විදුලි පහන් නිවා දමා මිනිත්තු 20ක පමණ කාලයක් අඳුරේ සිටීම මඟින් අපගේ ඇස් අඳුරට හුරුකරවා ගැනීම සිදු කළ හැකිය. නමුත් නැවත වරක් දීප්තිමත් ආලෝකයට අපගේ ඇස නිරාවරණය වුවහොත් නැවත වරක් අපට අඳුරේදී දර්ශනය වන පරාසය අඩු වන බැවින් ඊට පිළියමක් ලෙස නිරීක්ෂණ කටයුතු සඳහා රතු ආලෝකය භාවිත කිරීම සිදු කළ හැකි‍ය. මෙම උල්කාපාත වර්ෂාවේ අලංකාර බව වැඩි කිරීමට මෙම උල්කාපාතවල විචිත්‍ර වර්ණ මනා පිටිවහලක් වන අතර, අපට එලෙස විවිධ වර්ණවලින් මෙම උල්කාපාත නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන්නේ එලෙස පැමිණෙන උල්කාවල අන්තර්ගත මූලද්‍රව්‍ය විවිධ වන නිසාය. ඉතින්, දෙසැම්බර් මාසයේ ඇදහැලීමට නියමිත ඒ සුන්දර උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරන ලෙසට ඔබටත් ඇරයුම් කරමි.

ඩබ්ලිව්. එම්. රුසිරු හසිත් 
සභාපති- නාලන්දා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division