මගේ නංගි
මගේ නංගිගේ නම දෙව්මි චමත්කා ස්කයිලි තෙවරප්පෙරුමය.
ඇයගේ ප්‍රියතම සෙල්ලම වන්නේ බදුනක් රැගෙන එයට කුඩා ගල් එකතු කිරීමය. ඇයට අලංකාර නෙත් දෙකක් තිබේ. ඇය හුරුබුහුටි අහිංසක ගැහැනු ළමයෙකි. ඒ නිසා මම ඇයට බොහෝ ප්‍රියකරමි. මගේ නංගීව
ආදරයෙන් රැකබලා ගන්නට මම හැම විටම උත්සාහ කරමි.
සකිඳු අකේන් ඉඳුවර
තෙවරප්පෙරුම
5 ශ්‍රේණිය, ඩී. ඇස්. සේනානායක විද්‍යාලය, කොළඹ.
කෝ කොහිද නිදහස
වල් බිහි වුණු සසරක් තුළ
ගෙත්තම් ඇඳි වියනක් මත
වැතිරී ගත් සිහින් සිතක
ලොවම පැටලිලා…
නොසිතු ලෙසක කඩා හැලුණු
වැස්ස සමඟ හාද වෙලා
වස්සානේ මල් පිපෙන්න
සිහින පීරුවා…
පාට පිරුණු මල් ලෝකෙක
හිත් යායම අතරමංව
ඉමක් කොනක් නොපෙනෙන්නට
පැතුම් ඉහිරුණා…
බුදු ගුණ ගැයුවත් බැතියෙන්
පිළිපදින්න අරි අට මඟ
නිදහස් නැති හදවතකට
පාර නොපෙණුනා…
ඩබ්ලිව් .එම්.මල්කි සංජනා
13ජීව විද්‍යා අංශය ‘ඩී‘,
ධම්මිස්සර ජාතික පාසල,
නාත්තන්ඩිය.
රන්ගිරි දඹුලු විහාරය
ලක්දිව වැඩිම බුදු ප්‍රතිමා ඇති සෙයකි
ලෙන තුළ ඇති දස්කම් මහ මනහරකි
නොනිදන විහාරය ලෙස නම් ලද බිමකි
රන්ගිරි දඹුලු ලෙන අප හට රන් ලෙනකි
දිල්නුක සිල්වා
9 ශ්‍රේණිය, මහරගම මධ්‍ය මහා විද්‍යාලය,
මහරගම.
උදෑසන අසිරිය
උදෑසනම හිරු කඳුපන්ති අස්සෙන් දීප්තිමත්ව නැඟ එයි. හිමිදිරියේම නින්දෙන් අවදි වූ කුරුල්ලෝ කෑම සොයා පියඹා යති. උදයේම අවදි වී එන කුරුල්ලන්ගේ හඬ දවස තවත් සුන්දර කරති. අනෙක් කුරුල්ලන්ට පෙර අවදි වන කුකුළා නිදාගෙන සිටින මිනිස්සුන්ව ඇහැරවයි. උදෙන්ම පාසල් යන ළමයි කිරිකොක්කු රෑනක් මෙන් දිස්වෙයි. උදෑසන තිබූ මීදුම දවල් වන විට ටිකෙන් ටික නැතිවී යයි. උදෑසන වෙල්යාය අලංකාර කොළ පැහැයකින් දිස්වෙයි.
තණකොළ මත වැටුණ පිනි බින්දු අපට පෑගෙන විට සියුම් සීතලක් ගෙන එයි. උදෑසන පිපී තිබුණ නෙළුම් මල් ඒ හිමිදිරි උදෑසන පොකුණ අලංකාර කරයි. උදෑසන සූර්යයාගේ ළා හිරු රැස් අපේ ගෙවල්වල ජනේලවලින් හොරෙන් මෙන් රිංගා ඇතුළට පැමිණෙයි. කොක්කු වෙල්යායට පැමිණ සිල් ගෙන මෙන් නොසෙල්වී සිට මාළුන් ඩැහැගෙන ගිල දමති.
උදෑසන අවදි වූ කුරුල්ලන් පැමිණ එලින් බරවී තිබුණ ගස්වල ගෙඩි ලහිලහියේ අනුභවය කරති. මලින් බරවී ඇති මල්ගස්වල පැණි උරා බීමට සමනලුන්, මී මැස්සන් සහ පැණි කුරුල්ලන් පැමිණෙති. ලේනුන් උදෑසනම ගස්වල දුවමින් සෙල්ලම් කරති. සවස, මධ්‍යහ්න කාල අතරින් ලස්සනම කාලය උදෑසන කාලයයි.
ඩී. එන්. පී. හන්සන ගන්සිළු
6 ශ්‍රේණිය ‘ඒ’,
විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල.
අනේ ටීචර්
මට නම් බෑ තුනට යන්න
මට ඕනෑ දෙකේ ඉන්න
සාරි පොටේ එල්ලීගෙන
මගෙ ටීචර් ළඟින් ඉන්න…
යන්න වුණොත් දෙකෙන් තුනට
ටීචර් එන්න අපිත් එක්ක
එහෙම එන්න අකමැති ඇයි
අනේ ටීචර් මට කියන්න…
විනුගි වින්දිලි
2 ශ්‍රේණිය ‘ඒ‘,
(පාසල සඳහන් කර නොමැත)
අත්තම්මා
මඟ බලාගෙන ඉන්නේ තාම මං
අත්තම්මේ ඔබ එනකං
හැඩට හැඩේ මල් ඔසරිය ඇඳන්
අත්තම්මා එයි සිහින අරන්
කඩුල්ල අද්දර මල් සුවඳ හමන කොට
වෙලේ ගොයම් කිරි වැදී නැමෙනකොට
අටුවේ කුරහන් ටික හිමින් කොටනකොට
අත්තම්මගෙ හඬ ඇසෙයි පුංචි මට
රස මසවුළු නැතත් ඔබේ ළඟ
පැණි කැවුම් රස දැනෙයි දිව අග
දෝර ගලන ඔබේ සෙනෙහස් ගඟ
ලොවක් වටිනවා අත්තම්මගේ උණුසුම
ඊ.කේ. නදින්සා නුලන්දි සූහියොං
9 ශ්‍රේණිය,
බප/පිළි ධර්මසේන ආටිගල
බාලිකා විද්‍යාලය
සූර්ය බලශක්තිය
සූර්ය බලශක්තියෙන් අපගේ ගෙදරදොර එදිනෙදා කටයුතු සිදුකර ගැනීමේ තත්ත්වයක් තවමත් අප රටේ බිහිව නැත. ලෝකය බිහි වූ දා සිට අද දක්වාම අප මේ අයුරින් රැකී සිටින්නේ සූර්ය බල ශක්තියේ පිහිටෙන් ය. මිනිස් ශිෂ්ටාචාරයම ගොඩනැඟී ඇත්තේ සූර්ය බලශක්තිය නිසාය. ලෝකයේ සප්ත මහා සාගරවලට ගංගා ඇළ දොළ අතරින් නිරන්තරයෙන් ගලා එන දැවැන්ත ජල ප්‍රවාහයන්ගෙන් ඒවා පිරී ඉතිරී යන්නට නොදී ජල වාෂ්පවලින් වර්ෂාව ඇති කරමින් ජීවයෙන් පුරවා සමතුලිතව තබා ගැනීමට මෙන්ම ප්‍රභාසංස්ලේෂණය මඟින් සත්ත්වයාගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ද සුර්ය බලශක්තිය වැදගත්ය. අවාසනාවකට මෙන් සම්ප්‍රදායික විදුලි පරිභෝජනයෙන් මිදී සූර්ය බලශක්තියෙන් ප්‍රයෝජන ගැනීමේ අවකාශය ලැබී ඇත්තේ ඉතා සුළු පරිමාණයකටය. අප රටෙහි ඇතැම් පොදු උද්‍යානවල හා මධ්‍යම පාන්තික නිවාස සුළුතරයක නාන කාමර සඳහා උණුවතුර ලබා ගැනීමට සූර්ය පැනල සවිකර ඇත.
ශ්‍රී ලංකාව ජෛව ස්කන්ධය ජල විදුලිය, සූර්යය සහ සුළං ඇතුළු පුනර්ජනනීය බලශක්ති සම්පත් වර්ග කිහිපයකින් සමන්විතය. අප රටේ ජාතික බලශක්ති ප්‍රතිපත්ති සහ උපාය මාර්ග, බලශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා නවීකරණය විය යුතුය. පුනර්ජනනීය බලශක්ති සම්පත් වර්ධනය කරමින් ඉදිරියේද කාබන් අවම රටක් බවට පත්වීමට අප කටයුතු කළ යුතුය. බලශක්ති කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරගත යුතුය. සියලු ආකාරයේ පුනර්ජනීය බලශක්තිය වැඩි වශයෙන් ප්‍රවර්ධනය කළ යුතුය. සමස්ත ලෝකයම බලශක්තිය අර්බුදය හමුවේ නොයෙක් අභියෝගවලට මුහුණ දෙයි. කිසිදු පොසිල ඉන්දධනයක් නොමැති රටක් ලෙස අප සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම වැදගත්ය.
එම්.පී. තෙනුරි නවින්මා කීර්තිසේන
9 ශ්‍රේණිය ‘ඒ‘, මලියදෙව බාලිකා විද්‍යාලය, කුරුණෑගල.