1931දී ඉපදුණ හෑන් මල් ෂුක් කොරියානු ලේඛිකාවකි. හෑන් මල් ෂුක්ගේ මුල්ම කෙටිකතාව පළවූයේ 1956 වසරේදීය. ලේඛන කලාවට පිවිස වසර අටක් ගතවීමටත් මත්තෙන් ඇය වසරේ නැඟී එන හොඳම ලේඛිකාවට හිමි සම්මානය දිනා ගත්තාය. එම වසරේම එනම් 1964 ඇයගේ ගංවතුර හෝ වැස්ස The Long Rain නමැති කෙටිකතාව ලෝකය පුරා තෝරාගත් ගැදි පැදි එකතුවක් වූ The Long uage of Love කෘතියට ඇතුළත්ව තිබිණි. මෙය කෙටි කලක් තුළ ජර්මන් සහ ප්‍රංශ භාෂාවලට පරිවර්තනය විය. 1968 වසරේදී කොරියාවේ සාහිත්‍ය ත්‍යාගයක් දිනාගත් ඇය කෙටි කතා සංග්‍රහ හතක්, නවකතා දෙකක්, ගද්‍ය සංග්‍රහ දෙකක් සාහිත්‍ය ලෝකයට දායාද කළ කතුවරියක්ද වෙයි.
පිට පිට හතර වැනි දවසටත් වැස්ස වැටෙමින් තිබිණි. මඩ සහිත ගංවතුර කුඹුරු යායවලුත් වටේ පිටේ තිබුණ බිම් අඟලක්ම යටකර ගෙන තිබිණි. තුන් දවසක් පුරා වැටුණු වැස්සෙන් ටෂික්ගේ පැල්පත ද එහෙම පිටින්ම ගසාගෙන යන තරම් විය.
ටෂික් මේ වනවිට සිටියේ උළුවස්සට හේත්තු වී ගෙනය. ඔහු මුළු ගම්මානයම වැහි වතුරට යට වී ගසාගෙන යන අයුරු බලාගෙන සිටියේය. පැල්පත්වල පිදුරු සෙවිලි කළ වහල, ගෙවල්වල දිරාගිය කණු ද, කැඩුණු ඇඳුම් අල්මාරි ද වතුර පහරට අසුවී තිබෙනු ටෂික්ට පෙනෙයි.
ටෂික් සියල්ල දෙසම කිසිත් කතාවක් නැතිව බලා සිටියේය. අලුත ගෙනා ඔහුගේ මනාලිය පැල්පතේ පෝරනුව ළඟට වී සිටියාය.
ඔවුන් දෙදෙනා විවාහ වී මේ වනවිට ගෙවී ඇත්තේ එකම රැයකි. අද උදැහැනැක්කේ කෑම වේලෙන් පසු තවමත් හරියටම මුහුණ නොදැක්කාක් මෙනි. ඇය බොහෝ කුළෑටි තරුණියක් වූවාය.
ඒ මොනවා වුණත් ඔහු අද උදෑසන කෑම වේලට ලොකු හැන්දකින් දෙකක් සහල් එකතු කර බත් පිසුවේය. ඒ ඇය ගෙනා බඳුනේය.
ඇයට ඔහු මීට පෙර මුණගැසී තිබුණේ ද එකම එක වතාවකි. ඒ වතාවේ වුව ඇයට ඔහුගේ රුව හරියටම දැක ගන්නට නොහැකි විය. අනෙක් අතට පෙරදා රැය ද දැඩි අන්ධකාරයේ විය. ඇය මේ මොහොත වනවිටත් ඔහු මොන විදියේ කෙනෙකුදැයි හරියටම දන්නේ නැත.
මේ වනවිට වැස්ස යාන්තමට තුරුල් වී තිබිණි. එහෙත් තව මොහොතකින් වැහි පොද යළි ටිකින් ටික තද වෙමින් මහ වැස්සක් බවට හැරුණි. අකුණු හඬ ඇහෙන හැම වෙලාවකම ඇය හොඳටම බියපත් වූවාය.
ටෂික් දිගින් දිගටම වැටෙන වැස්ස දෙස බලා උන්නේය. තව තවත් බොහෝ දේ මඩ වතුරත් සමඟ ගලා එමින් තිබිණි. වේගයෙන් ගලා යන වතුරට හසුව ඒවා ඈතින් ඈතට ගසා ගෙන යයි. ගෙවල්වල හට්ටි මුට්ටි මෙන්ම පැදුරු කොට්ටා ද ඇඳුම් ද ගංවතුරට හසුව නොපෙනී යන්නේ වැඩි වේලාවක් යාමට මත්තෙනි.
“මහත්තයෝ….” අලුත ගෙනා මනාලිය මුදු හඬින් අමතනු ඔහුට ඇසිණි.
එහෙත් මේ මොහොතේ ඔහු උන්නේ පුංචි යුද්ධයක් කරමිනි. ඒ ඔහු එළිපත්තේ සිට වැස්ස මැද්දේ වතුරට පය ගසන්නේ කෙසේදැයි සිතමින් සිට වතුරට පැන්නායින් පසුවය. ඔහු උරපත්තට උඩින් හැරී බලද්දී ඇය දැක ගත හැකිවිය. එහෙත් ඔහු නොනැවතුණේය.
තවත් අඩි දහයක් විතර යද්දී ඔහු කිමිදෙන්නට විය.
“මහත්තයෝ…” ඔහු ගඟ මැද්දට ඇදෙද්දී ඇය තරමක් උස් හඬින් කතා කරනු ඔහුට ඇසුණේය.
ටෂික් කෙළින්ම ගඟ මැද්දට පීනන්නට විය. ඔහු වතුරෙහි ගසාගෙන යන විශාල ඌරු කොටුවක් අල්ලා ගත්තේය.
ඔහු එසේ ඇද්දේ එය ගොඩබිමට ගෙන ඒමේ බලාපොරොත්තුවෙනි.
ඔහු තදින්ම ඇද්දත් දිය සුළිය මැද්දෙන් වේගයෙන් ඇදී යන වතුරෙහි එය ආම්බාන් කිරීමට ටෂික්ට නොහැකි වී තිබිණි.
ඌරු කොටුව සකසා තිබුණේ අඩි දෙකක් පමණ දිග අඟල් කීපයක් ඝනකම් ලී කොටයකිනි. එය වයර් පොටකින් තදින්ම ගැට ගසා තිබිණි. අඩුම තරමින් මෙහි ඌරන් දහදෙනකුටවත් ඉන්නට ඉඩකඩ ඇත.
ඔහුගේ කරවටක් වතුර විය.
මොනවා වුණත් මේ වෙද්දී දිය රළට හසුවුණ ඌරු කොටුව ගං ඉවුරට තල්ලු කර දමා තිබිණි. “හරේ…යි” ඔහු ප්‍රීතියෙන් ඉපිල යමින් කෑගැසුවේය. ඔහු දනි පනි ගගා ඉවුරට නැග එය තමන් වෙතට ඇද ගන්නට වෙර දැරුවේය. එහෙත් මීළඟට ආ සැඩ පහරත් එක්කම එය යළිත් වතාවක් මඩ වතුරට ඇදී ගියේය.
ඔහු එය යාමට ඉඩ නොඇරියා නම් ඔහු ද ගිලී මිය යාමට ඉඩ තිබිණි. කාගෙන් හෝ උදව්වක් ඉල්ලා කෑ ගසන්නට ඔහුට වුවමනා වී තිබිණි. එහෙත් එය කොහෙත්ම පලක් ඇති දෙයක් නොවිණි. පේන මානයකවත් ගෙයක් දොරක් නැත.
ඌරු කොටුව එහෙම පිටින්ම ගං වතුරේ රෝල් වෙවී කරණම් ගසමින් ඈතින් ඈතට ඇදී යන්නට විය. තමන් දැන් සිටින්නේ කොයි ඉසව්වේ දැයි කියා ඔහුට කිසිම ඉඟියක්වත් නොවිණි. ඔහු කෙතරම් දුරක් ගං වතුරේ ගසාගෙන ආවාදැයි දන්නේ දෙවියන් වහන්සේ පමණි.
ගසාගෙන ගිය ඌරු කොටුව ගැන ඔහුට දැන් කිසිම දුකක් සංතාපයක් නොවිණි. දැන් ඔහුගේ සිතට නැඟෙන්නේ ගංවතුරෙන් බේරී ආපසු ගෙදර යන්නටය. ඔහුට තදින්ම සීතල දැනෙන්ට වූ අතර පීනන්නට ද නොහැකි තරම්ය.
ඔහු යළිත් වතාවක් හතර දිග් බාගයම සිසාරා නෙත් හෙළුවේ උදව් කරන ලෙස කෑගසා ඉල්ලමිනි. හිටි අඩියේම ඔහුට නුදුරෙන් පාරුවක් ගමන් කරමින් තිබෙනු දුටුවේය. එහි මිනිස්සු දෙදෙනෙක් ද වූහ.
ඔහු ආයෙමත් වතාවක් කෑගැසුවේය. එහෙත් ඔවුන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් දක්නට නොවිණි.
ඔහු ඌරු කොටුව එහෙම පිටින්ම සිතින් අමතක කර දමා පාරුව පැත්තට පීනා යන්නට පටන් ගත්තේය. එහෙත් ඔහුට පීනා යන්නට තිබුණේ දිය සුළියට විරුද්ධ අතටය. එම නිසා ඔහුගේ ගමන දෙපාරකටවත් වඩා අසීරු වෙයි. මඩ එක්වුණ වතුර පහරවල් ඔහුගේ මුහුණ හරහා වදින්නට වූයේ කිසිම අනුකම්පාවක් නැතිවය. ඇස් කන්වලට පමණක් නොව නාසයට ද මඩ වතුර වදින්නට විය. ටෂික් බොහෝ ආයාසයෙන් නාසයත් හිසත් හැකි තරම් උඩු අතට තබාගන්නට උත්සාහ කළේය. සමහර වේලාවට වේගයෙන් එන දිය පහරින් බේරෙන්නට විශාල සටනක් කරන්නට සිදු විය. මීළඟ මොහොතේදි ඔහුගේ ඇස් මානයට හසුවූයේ පාරුව තවදුරටත් තමන්ගෙන් ඈත්ව ඈතට යන අයුරකි.
ඔහු බොහෝ අමාරුවෙන් නොගිලී සිටීමට උත්සාහ කරමින් සිටියේය. අන්තිමේදී ඔහු විසිවී ගියේ වතුරෙන් යටවී තිබුණ වැලි පරයක් උඩටය. ඔහු මඩ වතුරෙන් බේරී යන්තම් පය ගසා ගන්නට සමත් විය.
තව පොඩි වේලාවක් යද්දී වැස්ස ආයෙමත් තදින්ම වැටෙන්නට විය. හිටි ගමන්ම ඔහු පය ගසාගෙන සිටි වැලි කන්ද ද දියවී ගියාක් මෙනි. ඒත් එක්කම ඔහු යළිත් මඩ වතුරට වැටුණේ ඔහු ද තැති ගන්වමිනි. එහෙත් මේ වෙද්දී පාරුව ඔහු අසලම කර කැවෙමින් තිබිණි. එය එගොඩකට පීනනවාට වඩා ළඟින් පෙනෙන්නට විය. ඔහු පිස්සුවෙන් මෙන් එදෙසට පීනන්නට විය. වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඔහු පාරුව ළඟට සේන්දු විය. ඔහු එය අල්ලා ගත්තේය. ඉන්පසු ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඔහු ඇතුළට ගන්නා තෙක් බලා සිටියේය.
අන්තිමේ ඔහු වාඩි වුණේය. ඔහුගේ උරපත්තේ රෙදි කැබැල්ලක් එල්ලී තිබිණි. සෙසු ඇඳුම් සියල්ල වතුරට ගසාගෙන යන්නට ඇත.. ඔහු මේ වන විට ඇත්තෙන්ම නිරුවතිනි.
එහෙන් මෙහෙන් වැරහැලි වී නිරුවතින් සිටින තමන්ගේ ඇඟ වසා ගැනීමට කිසිවක් පාරුවේ නොවිණි.
ඔහු ගං ඉවුර දෙසට හැරී බැලුවේය. ඔහුට තමන්ගේ නිවහනට පිටුපසින් වූ කුඩා කන්ද දැක ගත හැකි විය. ටෂික්ගේ නිවහන ඇත්තේ මේ කඳු වැටිය ආසන්නයේය. මේ වෙද්දී අඳුර ගලමින් තිබෙයි.
එසැනින්ම ඔහු ගොඩට ගැනීමට ඔට්ටු වී සිටි ඌරු කොටුව යළිත් වතාවක් දැක ගත හැකි විය. එය ගං ඉවුරට ගසාගෙන විත් තිබිණි. ඔහුගේ මුහුණ ප්‍රීතියෙන් ඉපිල යන්නට විය. ඔහු වහා මඩ වතුරට පැන්නේය.
“බොහෝම ස්තූතියි…”
ඔහු පුදුමයෙන් බලා සිටින පාරුවේ දෙදෙනාට කෑගසමින් ගං ඉවුර පැත්තට පීනා යන්නට විය.
ඔහු ඌරු කොටුව ගොඩට අදින්නට උත්සාහ කළේය. එහෙත් තදින්ම වතුර උරාගෙන තිබුණ නිසා එය එහා මෙහා ආම්බාන් කිරීම ලේසි පහසු දෙයක් නොවිණි. වැඩි වේලාවක් යන්නට මත්තෙන් එය ගෙදර ගෙන යාමට කොහෙත්ම බැරි බව ඔහුට ඒත්තු ගියේය. ඔහු වටපිට සිසාරා බැලුවේ වැල් පොටකින්වත් එය ඇද ගැට ගසා ගන්නට තැනක් ඇතිදැයි සිතමිනි. ටෂික් එය ඇද ගැට ගැසූ සැණෙකින්ම එය බුරුල් වී ගියේය. ඒත් එක්කම ඌරු කොටුව පැත්තකට පෙරළී ගියේය. ඉන්පසු ඔහු එය කොටයක තදින්ම ගැට ගැසුවේය. ඔහු කොටයත් ඇද ගෙනම ගෙදර පැත්තට හැරුණේය.
තදින් වැස්ස නොවැටුණත් ඔහුගේ සිරුර අයිස් කැටයක් මෙන් වී තිබිණි.
ඔහු පැල් කොටයට සමීප වෙද්දී අලුත ගෙනා මනාලිය කඳුළු සලමින් උන්නාය. ඇය බොහෝ වේලාවක සිට කඳුළු සලමින් සිටි බවක් පෙනෙන්නට තිබිණි.
ඔහුගේ සිරුර සීතලෙන් ගැහෙමින් තිබෙන බව ඇයට ඒත්තු ගියේය. ඇය පොරොවනයක් ගෙන බිමට දමා අනෙක ඔහුගේ ඇඟට දමා පෙරවීය. එහෙත් ඔහු සීතලෙන් වෙව්ලීම ඉවරයක් නොවිණි. ඔහු උණුසුම් කිරීමට ඇයට කළ හැකි දෙයක් නොතිබුණාක් මෙනි.
ඔහුට උණුසුම ලබා දෙන්නට ඇය ගිනි උදුනක් සකස් කරන්නට උත්සාහ කළත් ඇයට එය කළ නොහැකි විය.
ඔහුගේ පොරවනය ද ඔහු වෙව්ලන හැම වාරයක් පාසාම ගැස්සෙන හැටි ඇයට පෙනෙයි. වැටෙන පොද වැස්සත් එක්කම ටෂික්ගේ වෙව්ලීම එන්න එන්නම වැඩි වෙන්නාක් මෙනි. බැලූ බැල්මටම ඔහුගේ සිහි කල්පනාව ද ඉවත්ව ගොස් ඇති අයුරකි.
ඇය ඔහුගේ දෑත අල්ලා ගත්තාය. ඇය ඇයටම ලජ්ජා සහගත බවක් දැනෙන්නට විය. “මේක ලජ්ජා වෙන්න වෙලාවක් නෙමෙයි” ඔහුගේ දෑත අයිස් කුට්ටියකට නොදෙවැනිය. ඇය තැති ගැනීමටත් භීතියටත් පත් වූවාය. ඇය ඇගේ අතට උණුසුම දැනෙන තාක් ඔහු පිරි මදින්නට වූවාය. ඇගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඉන් පසු ඇය තමන්ට හැකි විදියට ඔහුගේ සිරුර උණුසුම් කරන්නට ඉටා ගත්තාය.
ඔහුගේ සිරුරේ හැම අස්සක් මුල්ලක්ම ඇය උණුසුම් කරන්නට වූවාය. ඉක්බිති ඕ ඇගේ උඩු ඇඳුම ඉවත් කර ඔහු උණුසුම් කරන්නට පටන් ගත්තීය. ඇය තවදුරටත් කුළෑටි ලජ්ජාශීලී බව නොපෙන්වූවාය. ඇය දැන් සිතන්නේ සිහිසුන්ව සිටින සැමියා කොහොමින් හරි උණුසුම් කරන්නටය.
ඇය ඔහුගේ දෙතොල පිරි මැද්දාය. එය හොඳටම සිසිල් වී පාණ්ඩු පැහැයක් ගෙන තිබිණි.
ඔහුගේ උඩ තොල දරදඬු වී තිබෙනු ඇයට දැනෙන්නට විය. උඩු තොල දරදඬු වන්නේ මිය යන්නට ඔන්න මෙන්න කියා තිබියදී බව ඇය අසා තිබිණි.
උඩු තොල දරදඬුවීම වැළැක්වීමට ඇය තමන්ගේ තොලෙන් එය උණුසුම් කරන්නට වූවාය. බේත් හේත් ද නැත. උණුසුමට ගිනි උදුනක් ද නැත. අඩුම තරමින් උදව්වක් පදව්වක් ඉල්ලා ගැනීමට අහලක පහලක පේන මානයකවත් කිසි කෙනෙක් නැත.
වටාපිටාවම මේ වෙද්දී අඳුරෙන් ගිලී ඇත. වැස්ස ආයෙමත් වැටෙමින් තිබිණි.
තවත් සෑහෙන වේලාවක් ගෙවී යද්දී ඔහුගේ සිරුරෙන් රස්නය පිට වන්නට විය. එහෙත් දැන් මේ වෙද්දී එය ගිනි උදුනක් මෙන් දැනෙන්නට විය.
රැය පහන්වී යද්දී ඔහුගේ උණ ගතිය ද පහව යන්නට විය. ඔහු අවදි විය.
ඇය කැඳ කෝප්පයක් සකසා තිබුණාය. ටෂික් නැගී සිට මුහුණ ද සෝදා ගත්තේය. ගෙවුණ රැයෙහි ඔහුගේ මුහුණෙහි දක්නට තිබුණ පාණ්ඩු පැහැය ද ඉවත්ව ගොස් තිබිණි.
කැඳ කෝප්පය ඔහු ඉදිරියෙන් වූ මේසය මත තබද්දී බොහෝ සෙනෙහෙවන්ත අයුරින් ඇය දෙස බැලුවේය. ඔහු වාඩිවන ගමන් ඇය දෙස බලා සිනාසෙන්නට උත්සාහ කළේය.
ඔහු කැඳ කෝප්පය උඩට අල්ලා මුළු කැඳ ටිකම උගුරට දෙකට බීගෙන බීගෙන ගියේය.
මේසය පසෙකට කළ ඔහු කුස්සිය පැත්තට යන්නට ලක ලෑස්ති වෙමින් සිටි ඇය තදින් අල්ලා ගත්තේය.
ඇගේ අඳුරු තෙත බරිත කාන්තිමත් දෑසින් උතුරා යන ස්නේහයේ සලකුණු දැක ගන්නට ලැබිණි. ටෂික් ඇය පපුවටම තුරුලු කර ගත්තේය.
වැස්ස තවමත් වැටෙයි. ඒ මීට කලින් වැටුණාටත් වඩා තදිනි.
කොරියානු ලේඛිකා හෑන් මල් ෂුක් පරිවර්තනය – උපුල් වික්‍රමනායක