දැනී අඟහිඟ බොහොම
සමුදුරුකරණයට
හිත ගත දිරි අරන්
ඉගිළ ගිය කිරිල්ලිය …..
ගෙවන දවස හෙම්බත්ව
සුරා සූදුවට මත්ව
වැනී වැනි ඔහේ ඇදෙන
ඉබාගාතේ ජීවිතය …….
පැහැය දිදුලා සුවඳ විහිදා
තැන තැන හිනැහෙමින්
පිපෙන්නට වෙර දරන
මල් කැකුළු අහිංසකය …..
කාසි තරගයට මත්ව
ගුණ සුවඳ අමතකව
උනුන් පරයා නැගෙන
විවිධ විෂම සමාජය ……
නන්දිකා හේමාලි ලියන ගමගේ
උඩවල්පොළ
ජීවිතය ජීවත් කරවයි
විවරවූ මා දෑස් ඉංගිරියාවේ
චිත්රණය වු නුඹගේ – සුමට – සුනිමල
පියකරු රූපණයේ ඉමක් නොවු
චමත්කාරය…..
අදත් නොබිදේ රැකේ නොමැකී
ජීවිතය විතැන් වන තෙක්ම
තිබේ වර්ණ නොමැතී අවර්ණ නොවී
ජීවිතය ජීවත් කරවමින
දඟකාර මුරණ්ඩුවට අත්බැඳි
තාරුණ්‍යයේ දඩබ්බරය
සිඳ බිඳ දැමූයේ ඒ චිත්රණය වූ රූපකායයි
වැඩි මහලුව දෑස් දසුන ලුහු වුවද
එකල්හි මනසේ රූපණය වූ රුවමය
දු ද්විත්වයෙන්ම එකතුව
මා සැනසුමෙනි අද දකින්නේ
තුති නුඹට ලබැදිය සැබැඳි
කඩුගන්නාවේ – නෙවිල් පී. විද්‍යාරත්න
හුස්ම
සෙල් මුවා ශිකරය
වසා වැගිරෙන හිමකද
සීතලට මුදාලයි
ප්‍රේමයේ ජල කඳ
ඒ සිසිල දැක
ඒ සිසිල විඳ
මුසපත්ව පෙම් කරයි පියපත්
තීර්ථ යාතිකයෙක්…
ඉතින්,
උඔ හැමදාම
හිමකන්දක්ම වේ නම්
සෙනෙහසම වගුරා නම් සිතින් හැමදාමත්
රැඳෙනවා සත්තයි
හුස්ම යන තෙක්මත්….
ජනක එදිරිසිංහ
උඹට මතකද මචං
සරොන් කංජක් ඇඳං
බෝක්කුව උඩ ඉඳං
සුදු සුරුට්ටුව ඇද්ද
උඹට මතකද මචං……
එක එකා එක්ක අපි
දාගත්ත වලි ගොඩයි
ඇමිණුනොත් ඇමිණෙන්නෙ
පරදින්න නම් නෙමෙයි…….
වරුණිලා සඳුනිලා
පස්සෙ වැටිලා ගියත්
උන් ගණන් ගත්තෙ නෑ
අපිව තඹයකටවත්
උන් හිතන් ඉන්නැත්තෙ
අපි වළේමයි කියල
දැන් උන්ට රිදෙනවා
අපි ඉන්න තැන් දැකල…..
වරුණි ඇවිදින් උණට
බෙහෙත් ගන්නට මගෙන්
උණ කට්ට ඇනිල ඒකිගෙ හිතේ
මාව ඇඳුනුව ගමන්….
ඒ කාලෙ අපි එකට
වළ බැහැපු තරමක් !
සඳුනි එනවලු උඹට
බාර දෙන්නට නඩුවක්….
රුවන් ඩී. අළුබෝමුල්ලගේ
නිසල සෙවණ
නමට ඇතත් වතුපිටි හිමිකම් පෙන්නා
ඉමට නඩු කියයි විරසකවී දෙන්නා
කුමට වස්තු තන්හා පොදි බැඳ ගන්නා
සැමට බෝසතෙකි දොඩවයි ගජ බින්නා
රැස් කර ධනය ලොබ වී පැහැදි දානෙන්
පස් කඳ රකින්නයි මේ සේරම සීනෙන්
වෙස් සන්තරව වියදම් කර මදු පානෙන්
ඇස් වැසු විට “නිසල සෙවණ”ට යයි ගානෙන්
සසල වෙමින් වයසට යන විට දිරුමේ
කුසල බලය නැත පණ යන විට කරුමේ
කසළ ගොඩකි පස්කඳ මියගිය අරුමේ
“නිසල සෙවණ” අයිතිය ලැබුණා උරුමේ
මුණසිංහ – නිශ්ශංක
දැහැනෙන් මිදුනෙමි
බණ මඩුව කෙළවරේ ඇය රැඳී සිටිනවා
අතේ නවගුණ වැලක් එකින් එක ගණිනවා
ඉතිපිසෝ කිය කියා භාවනා කරනවා
මගේ හිත කොහේදෝ මා නොදැන දුවනවා
නව යොවුන් වියට ඇය පිය නඟන අවදියේ
බෝ මළුවේදි දුටුව ඇයට මගෙ සිත ගියේ
ඉඟි මරපු හැටි තවම ඇත මගේ මතකයේ
විලි බියෙන් ඇඹරෙමින් ඈ ඉවත දිව ගියේ
මා දුන්න පෙම් හසුන අරගන්න පැකිළුණා
පිළිතුරක් ලෙස නීල නෙතු අගින් හිනහුණා
කෙමෙන් අප සෙෙනහසින් නොදනීම ළං වුණා
බණ මඩුවෙ බෝ මළුවේ විහාරෙදී හමුවුණා
වසර ගණනකට පසු බක්මහක් ළංවෙලා
කෙතේ අස්වනුවලින් අටු පිරි ඉතිරිලා
බැලු බැලු අතේ තුරු මල්වලින් බරවෙලා
සුබ නැකතින් අපට දෙපස අය ළං කළා
දීප්ත කරුණරත්න
– නිකවැරටිය
ආදරණීය තාත්තේ
මළ බෙර හඬක් ඇසෙනා විට
හිත දුවලා යනවා අතීතයට
පෙට්ටියක වැතිරී නුඹ ආ හැටි
මැවි මැවී පේනවා ඇස් දෙක මත
වියෝ දුක දරා ගන්නට නො හැකිව
ඉති – ගසා ඇඬුවා මම ඒ දිනවල
ඉබේම ඉකි බිදෙනවා තාත්තේ……
සඟව ඉන්නව හැදුවට
උරහිස් අතින් පෙට්ටිය
පෙරහැරෙන් සොහොන වෙත
නුඹත් එදා ගිය හැටි
සිහි වෙනවා මගේ හද පතුළ තුළ
අදහන්නට බැරිව හිත
මඟ බැලුවා හැම හැන්දා වකට
ඒත් දැන් තේරෙනවා තාත්තේ
නුඹ යළිත් නොඑන වග
අසංක දේවේන්ද්‍ර
– රත්මලාන
අප්පච්චී නැතිවුණ දා
ගිනියම් අව්වෙන් නිබඳව
දැවෙන කතර උදනැක්කේ
අඳුරු දුමින් පුරා ගන්නෙ
අතීතයක දුක් සංකා
මතකෙට ගෙන එන්නටදෝ……
අපේ ගෙදර මිදුල කොනේ
දෝතුරු ගස් දිහා බලන්
පෙර දවසක සිකුරාදා
හවස් ජාමෙ ඉන්න කොටත්
මේ විදියට අහස් කුසම
අඳුරු දුමින් වැසී ගියා….
“මොකද පුතේ පාර බලන්”
කිරි අම්මා ළඟට ඇවිත්
ඔළුව මගේ පිරිමදිද්දි
“අදනෙ එන්නෙ අප්පච්චී
තාම නෑනෙ අද ආවේ”…..
සිකුරාදා රෑ බස් එක
බලං ඉඳල කලබලවී
මං නැතිවට අඳුර මැදින්
පාරට විත් හිටිය දවසෙ
තිබුණ අඳුර මීට වෙනස්
සතරතිලක බණ්ඩා අටුගොඩ
– පිටකෝට්ටේ
බව කතර
පළමු හද හමුවෙලා සිතුව ජය එය කියා
ඉගෙනීම පසෙකලා සතුට සොයලා ගියා
ටික කලක් ගතවෙලා සිත වෙනස් වී ගියා
දැන් හොඳට තේරිලා ඒක වැරදියි කියා
නිදි ඇඳේ පෙරලෙමින් සිහින මැව්වා එදා
සැම විටම සිත හමුව සතුටු බස් දී සදා
විල් දියේ පිපි දිලෙන නෙලුම් කුසුමකි එදා
සිතින් අද සතුටු වෙමි සිහිව ඒ කල සදා
තුරුණු විය ගෙවී ගොස් දිවියෙ අග පැමිණෙද්දි
සියලු රස හැඟුම් පොදි ලිහී විසිරී යද්දී
එහෙට ගිය ඔන්චිල්ල මෙහෙම පැද්දී එද්දි
දැනේ බව කතරෙ දුර දිවි මගේ දිව යද්දි
පරකන්දෙණියේ රූපසිරි කේ. ලියනගේ