Home » දිගක් පළලක් නොපෙනෙන මියන්මාරයේ ලාංකේය සයිබර් වින්දිතයින්

දිගක් පළලක් නොපෙනෙන මියන්මාරයේ ලාංකේය සයිබර් වින්දිතයින්

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

මිනිස් ජාවාරමට ගොදුරුවී මියන්මාරයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් තිස්දෙදෙනකු (32) සාර්ථක, සම්බන්ධීකරණ ක්‍රියාවලියකින් පසුව, පසුගිය සඳුදා (25) බේරා ගැනුණි. මෙම බේරාගත් ලාංකේය පිරිස අතරට කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 24 දෙනෙකු ඇතුළත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය කීවේය. ඉකුත් නොවැම්බර් 25 වැනි දින මෑසොට් දේශසීමාව හරහා ආරක්ෂිතව රැගෙන එනු ලැබූ මෙම පිරිස තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය විසින් පිළිගෙන තිබිණි. ඔවුන් දැනට තායිලන්තයේ තක් ප්‍රදේශයේ රඳවා සිටින අතර, ඔවුන්ගේ සුබසාධන අවශ්‍යතා සම්පූර්ණ කර තිබේ. අඩුම තරමින් දැන් ඔවුන්ට ජීවිතය සඳහා බලාපොරොත්තුවක් ඇත.

මෙම මුදා ගැනීම සිදුවන්නේ 2024 අප්‍රේල් සහ 2024 අගෝස්තු යන මාසවලදී සිදුවූ ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීමට කළ මෙහෙයුම් දෙකකට පසුවය. මින් පෙර සිදුවූ මෙහෙයුම් දෙකේදී මියන්මාර සහ තායිලන්ත රජයන් සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු බේරා ගත්තේය. දැන් මුදවාගෙන ඇති සමස්ත ශ්‍රී ලාංකිකයන් ගණන 60කි.

වැටුණු වළේ තරම

සිවිල් නීතිය ක්‍රියාත්මක නොවන අපරාධකරුවන්ගේ කැලෑ නීතිය සහිත භූමියක සාහසික වද බන්ධනයට ලක්වෙමින් ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිසක් සිටින බව ජාත්‍යන්තර පොලීසිය පවසා තිබිණි. ඔවුන් අතර කුඩා ශ්‍රී ලාංකේය කණ්ඩායමක් ද සිටින බව හෙළි වන්නේ පසුගිය වසරේ දී ය. පෙන්වනු ලබන විශාල මුදල් සහිත රැකියා අවස්ථා සම්බන්ධ සිහිනයට හසුවී සිටියේ නූගත් පිරිසක් නොවේ. පරිගණක ක්ෂේත්‍රයේ විපුල හැකියා සහිත උගත් තරුණ පිරිසකි. ඔවුන් කිසිවෙක් විදේශ රැකියා සොයා යෑම සඳහා බලයලත් ක්‍රියා පටිපාටිවලට අනුගත වී තිබුණේ නැත. සංචාරක වීසා පිට පැමිණ රස්සාවල් සොයා යන ගොබ්බ තැනට ඔවුන්ගේ විචාර බුද්ධිය මොට කර තිබිණි. වැටුණු වළේ තරම ඔවුන්ට වැටහී තිබුණේ මේ වහල් කඳවුරුවල සිරවූ පසුය.

ජාත්‍යන්තර අපරාධකරුවන් විසින් වහල් සේවයේ යොදවනු ලබන පිරිසක් සම්බන්ධව රජයකට කළ හැකි ගනුදෙනුවක් නැත. එක්කෝ එක් එක් පුද්ගලයා වෙනුවෙන් අසීමිත කප්පමක් අපරාධකාර සංවිධානවලට ගෙවිය යුතුය. එය රාජ්‍ය තාන්ත්‍රිකව කළ නොහැකි වැඩකි. මේ අපරාධය මෙහෙයවන්නේ ජාත්‍යන්තර අපරාධකරුවන්ය. ඔවුන් සමඟ ගනුදෙනු කිරීමත් වෙනම රටාවකට කළ යුතු දෙයකි.

මේ මුදවා ගැනීම සිදුවන්නේ එවන් පසුබිමකදී ය. මේ මුදවා ගැනීමේ මෙහෙයුමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයත් තායිලන්තයේ සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරුත් එක් වී සිටියහ. ජාවාරමේ වින්දිතයන් වූ තරුණ පිරිසගේ පවුල් නියෝජනය කළ පූජ්‍ය මාලිගාවිල අස්සජි හිමියෝ ද මේ මෙහෙයුමට එක් වී සිටියහ. මේ ශ්‍රී ලාංකේය පිරිස අදළ වහල් කඳවුර වෙත යොමුවන්නේ මිනිස් ජාවාරමක ගොදුරු ලෙසය.

මේ වන විට ශ්‍රී ලංකා රජය මේ පිරිස් යළි රටට රැගෙන ඒම සඳහා සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමඟ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කරමින් ඇත. මේ පිරිස ශ්‍රී ලංකාවට ඉක්මනින් ආපසු ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය තායිලන්තය සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරු එක් වී සිටිති.

පසුගිය වසරේ අග මේ අපරාධයේ ස්වරූපය රටට හෙළිදරව් වුණේය. වහල් කඳවුරුවල දුක්විඳි තරුණයෝ ස්වකීය අත්දැකීම් කීහ. නමුත් මේ වසරේ මෙම සයිබර් වහල් කඳවුරුවල ගොදුරු බවට පත්වන පිරිස් සංඛ්‍යාත්මකව වැඩි වී තිබිණි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ජාතික කාර්ය සාධක බළකායේ අනතුරු හඟවා තිබිණි. එම බළකාය පවසන්නේ මෑතක සිට වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයින් එම කඳවුරු වෙත ආකර්ෂණය කරගෙන ඇති බවයි.

විශේෂයෙන්ම වැඩි වැටුප් පෙන්වමින් ඉහළ පරිගණක දැනුම සහිත පුද්ගලයින්ව වෙනත් රටවල රැකියා සඳහා යොමුකරන බව පවසමින් එම වෘත්තීයවේදීන්ව රවටන බව ද වාර්තා විය. සමහරු ඩුබායි හී සම්මුඛ පරීක්ෂණ පවත්වන බව පවසා මියන්මාරය වෙත රැගෙන ගොස් තිබිණි. විදෙස්ගත වන්නේ නම් නීත්‍යනුකූල ක්‍රමවේද භාවිත කරන ලෙස සියලු දෙනාගෙන් ජාතික කාර්ය සාධක බළකාය ඉල්ලා සිටින්නේ මීට මාස ගණනක සිටය.

සයිබර් වහල් කඳවුරු කලාපය

තායිලන්ත දේශ සීමාවේ පිහිටි නගරයක් වන මේ සොට් (Mae Sot) ආසන්නයේ ඇති ගංගාව හරහා ගිය විට මියන්මාර් තායි දේශසීමාවේ මියවඩි ප්‍රදේශයේ මෙම වහල් කඳවුරු පිහිටා තිබේ. අන්තර්ජාතික මාධ්‍ය මේ කලාපය හඳුන්වා දෙන්නේ බිහිසුණු තිරිසන් කලාපයක් ලෙසය.

මියන්මාරයේ මිලිටරි රජය ප්‍රකාශ කරන ආකාරයට මෙම වහල් කඳවුරු පවතින මියවඩි ප්‍රදේශයේ පාලනය වාර්ගික සන්නද්ධ කණ්ඩායම් සතුව ඇත. ඒ නිසාම මෙහි සිදුවන බිහිසුණු ක්‍රියා පාලනය කිරීම අසීරු බව මිලිටරි ආණ්ඩුව කියන්නේය. එහෙත් මේ අපරාධකරුවන් චීන බස කතා කරන උන්ය. බේරී පැමිණි ශ්‍රී ලාංකිකයෙක් බීබීසිය වෙත කීවේ එතැන සිටියේ චීන බස කතා කරන පුද්ගලයින් බවය. ව්‍යාජ ඔන්ලයින් අනන්‍යතා භාවිත කරමින් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් අමෙරිකාවේ සහ යුරෝපයේ හුදෙකලා පිරිමින් රැවටීම මේ සයිබර් වහල්ලුන්ට බල කෙරෙන රැකියාවය. ඔවුන් ඒ පුද්ගලයින් වංචා කරමින් ඩොලර් ගෙනා යුතුය. ඉක්මනින් ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙමින් ඔවුහු, ව්‍යාජ ඔන්ලයින් වෙළෙඳ වේදිකාවල විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට ඉලක්කගත පුද්ගලයින් පොලඹවති‍.

ගවේෂණාත්මක ප්‍රවෘත්ති විමර්ශන අනුව මෙම වහල් කඳවුර තුළට ගාල් කළ පුද්ගලයන්ගෙන් දිනකට පැය 17ත් 22ත් අතර කාලයක් වධහිංසාවට ලක් කරමින් වහල් සේවයේ යෙදවේ. එක්සත් ජාතීන් ප්‍රකාශ කරන්නේ මෙම වහල් කඳවුරු තුළ ලක්ෂයක පමණ පිරිසක් සිරගතව වහලුන් මෙන් වැඩ කරන බවය. භූමියේ එක් එක් අපරාධ කණ්ඩායම් විසින් පවත්වාගෙන යන කඳවුරු රැසකි.

වාර්තාවන පරිදි ගැහැනු පිරිමින් භේදයකින් තොරව මෙම ශ්‍රමිකයින් ලිංගික හිංසනයට සහ දූෂණයට ලක් වේ. ඒ අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කළ විටය. පහරදීම, වදහිංසා විඳීමට සිදුවීම ද විය හැකිය. භූමිය තුළ පරිගණක අපරාධ හරහා ඩොලර් ලක්ෂ ගණනින් උත්පාදනය වෙයි.

ජාත්‍යන්තර පොලිසියට අනුව, ආසියාව, නැඟෙනහිර අප්‍රිකාව, දකුණු අමෙරිකාව සහ බටහිර යුරෝපයේ තරුණ තරුණියන් දහස් ගණනකට පරිගණක ආශ්‍රිත රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙම සයිබර් අපරාධ කඳවුරුවල සේවය කිරීමට සලස්වා තිබේ. අඩුම තරමින් රටවල් 22ක පිරිස් මේ කඳවුරුවල වහල් සේවයේ යොදවා සිටිති.

ජාවාරම පසුපස කතාව

මෙම මිනිස් ජාවාරම පිළිබඳ 2023 වර්ෂයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළේය. ඒ අනුව මෙම ජාවාරමේ මහ මොළකරු ලෙස හඳුනාගත් චීන ජාතිකයා ඇතුළුව තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනුණි. මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් අනාවරණය වී තිබුණේ ජාවාරම පිටුපස චීන ජාතිකයන් බොහෝ ප්‍රමාණයක් සිටින බවය. මීට මාස කීපයකට පෙර මියන්මාරයේ ස්ථාන හතරක සිරවී සිටින ශ්‍රී ලාංකේයන් අවම වශයෙන් 56 දෙනෙකු පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් දැනගෙන සිටින බව, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා බීබීසීයට ප්‍රකාශ කර තිබිණි.

ලක්ෂ 3ත් ලක්ෂ 5ත් අතර වැටුපක් ලබා දෙනවා කියමින් ඩුබායි හරහා හෝ කෙළින්ම තායිලන්තයේ බැංකොක් වෙත පියාසර කිරීම තුළ චීන ජාවාරම්කරුවන්ට හසුව දුක් විඳින ශ්‍රී ලාංකේයයන් ප්‍රමාණය කොපමණක් දැයි අප දන්නේ නැත. අප සිටින්නේ ප්‍රශ්නයේ ගැඹුර නොදත් ප්‍රශ්නයක් අබියසය. පරීක්ෂණ මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මතයට අනුව 2022 වර්ෂයේ උද්ගත ආර්ථික අර්බුදයත් සමඟ වැලනොකැඩී රටගිය පිරිස් අතරින් සමහරු නැවති ඇත්තේ මේ වහල් කඳවුරුවලය.

ආර්ථිකව බිඳවැටුණු රටේ පුරවැසියන් ජීවත් වීම සඳහා දකින සිහිනත් වංචා කර ඇත. යුක්රේන යුද්ධයේ කුලී හේවායන් වී යුක්රේනයට සහ රුසියාවට ගිය හිටපු යුද හමුදා සෙබළුන් මරණයට දැක්වූ නින්දිත ආකාරය හෙළි වී ඇත. එහෙත් එහි ගැඹුර ද අප තවම දන්නේ නැත. මියන්මාරයෙන් එළි දකින්නේ ඊටත් වඩා බිහිසුණු අපරාධයකි. බිඳවැටුණු රටක මිනිස්සු නැත. ඉන්නේ මිනිස් දූවිලිය. මේ ඒ රටේ මිනිස් දූවිලිවල ඉරණමය. ජීවිතයට බරක් තැබීම මේ ආණ්ඩුව පත් කර ගත් ජනතාවගේ අපේක්ෂාවය. මිනිසුන් ඒ ආණ්ඩුව දෙස අපේක්ෂා සහගත දෑසින් බලා සිටින බව කිව යුතුව ඇත.

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division