Home » ලංකාව අද ඉන්නේ පරිවර්තනීය නිමේෂයක

ලංකාව අද ඉන්නේ පරිවර්තනීය නිමේෂයක

සේවාර්ජිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

මෙරට ප්‍රභූ දේශපාලනයේ තීරණාත්මක පරාජය සහ එමඟින් ඇති විය හැකි අර්බුදකාරී දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ සේවාර්ජිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ සමඟ කළ කතාබහක සම්පිණ්ඩනයකි.

ඇති වී තිබෙන නව දේශපාලන පෙරළිය ඔබ අර්ථ දක්වන්නේ කවර ආකාරයකටද?

දේශපාලන පෙරළියක් කියා කියන්නේ කිසියම් ගැඹුරු පරිවර්තනයකටයි. එසේ නම් ඒ කවරාකාරයේ පරිවර්තනයක් ද යන්න විමසා බැලිය යුතු වෙනවා. මගේ අදහස නම් ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයෙන් හා පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලයට පත්වීම තුළින් ප්‍රකාශයට පත් වන්නේ; ශ්‍රී ලංකාවේ දේශපාලන බලයේ සමාජ පදනම්වල පරිවර්තනයක් ප්‍රකාශයට පත්වීමක් ලෙසයි.

ඊට හේතුව 1931 දී මෙරටට සර්වජන ඡන්ද බලය ලැබුණු අවස්ථාවේ සිට මේ දක්වා ලිබරල් පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතුණත් රාජ්‍ය මන්ත්‍රණ සභාව ක්‍රියාත්මක වුණු කාලෙත් පසුව පාර්ලිමේන්තු මැතිවරණය තිබුණු කාලෙත් 1977 විධායක ජනාධිපති ක්‍රමය ඇති වුණාට පසුවත් පැවැති ප්‍රධාන ලක්ෂණයක් වුණේ දිගටම බලයේ සිටියේ ප්‍රභූ පන්ති ස්තර දෙක තුනක්. ඒ ප්‍රභූ පන්තිය අත තමයි දේශපාලන බලය පැවතුණේ. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජනතාවට පැවරී තිබුණේ මේ අය තෝරාපත් කර ගැනීමේ සහ බලයෙන් ඉවත් කිරීමේ බලයයි.

මෙරට පාලක පන්තිය බවට පත් වූ මේ ප්‍රභූන් අයත් වූයේ මෙරට ධනේෂ්වර පන්තියටයි. ඔවුන්ගේ පන්ති පදනම, කුල පදනම, දේපළ හිමිකම සහ සංස්කෘතික ප්‍රාග්ධනය නිසා ඔවුන් වරප්‍රසාදලාභී සුළුතරයක් ලෙස හැඳින්විය හැකියි. ඒ පිරිස වෙතින් ප්‍රභූන් නොවන පිරිසක් අතට දේශපාලන බලය මාරුවීමක් වර්තමාන මැතිවරණ වලින් සිදු වුණා. 2024 පාර්ලිමේන්තු මැතිවරණය සුවිශේෂී වන්නේ මේ පිරිස ජනතාව විසින් ප්‍රතික්ෂේප කරමින් ලංකා දේශපාලන ඉතිහාසයේ පළමුවරට ව්‍යවස්ථාදායකයට නිර්ප්‍රභූ සමාජ පන්තීන්ගෙන් පැමිණි පිරිස් නිර්ප්‍රභූ ජනාධිපතිවරයෙක් යටතේ පාලන බලය හෙබවීමට අවස්ථාව සලසා දී තිබෙන නිසයි. කෙනකුට අගමැතිනිය ලෙස කටයුතු කරන ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රභූ පන්තික ස්ත්‍රියක් ලෙස පෙන්වාදිය හැකියි. නමුත් ඇය සහ දෙතුන් දෙනෙකු හැරුණුකොට අනෙක් සියලු දෙනා අයත් වන්නේ නිර්ප්‍රභූ සමාජ පන්ති ස්තරවලටයි. ඒ වගේම ඇමැති, මන්ත්‍රී තනතුරු ලබා ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු, ඉන්ජිනේරුවන් වැනි වෘත්තිකයන්ගේ සමාජ පසුබිම නිර්ප්‍රභූ මධ්‍යම පන්ති ස්තරය බවයි පෙනෙන්නේ.

අනෙක් අතට ශ්‍රී ලංකාවේ 1931 සිට මේ දක්වා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වුවත් දේශපාලන බලය ප්‍රජාතන්ත්‍රීය වී තිබුණේ නැහැ. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී සිදු වූයේ දේශපාලන බලය සමාජීය අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රීය අවකාශයකට විවෘතවීමයි. මේ මැතිවරණයේ පවතින වැදගත්ම ඓතිහාසික දේශපාලන හා සාමාජීය අර්ථය එයයි.

ඔබ සඳහන් කළ ප්‍රභූ පන්තිය අතින් නිර්ප්‍රභූ පන්තිය අතට දේශපාලන බලය මාරුවීම වඩා සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් කළොත් වැදගත් වේවි යැයි සිතෙනවා.

මෙය ඉතාම සංකීර්ණ දේශපාලන ක්‍රියාවලියක් තුළින් සිදු වූ දෙයක්. මා කලින් සඳහන් කළ ප්‍රභූ පන්තිය 1956දී අනෙකුත් සමාජ කණ්ඩායම් වෙත දේශපාලන නියෝජනය සඳහා සම්බන්ධ වීමට ඉඩ ලබා දීමෙන් එම ක්‍රියාවලිය පටන් ගත්තේ. එහෙත් එකල පැවති ප්‍රභූ පන්තියට සේවය කිරීම සඳහා; එම ප්‍රභූ පන්තියේ නායකත්වය යටතේ ප්‍රභූන් නොවන පන්තීන්ගෙන් නැතිනම් පහළ දුගී සමාජයේ සහ පහළ කුලවල අය සේවයට බඳවා ගත්තා. මෙම ක්‍රියාවලි දියත් වුණේ 56 මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුවෙන්. මේ නිසා සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පමණක් නොවෙයි ඒවන විට ග්‍රාමීය මට්ටමින් ගොඩනැඟී සිටි පහළ පන්තියේ ප්‍රභූ ස්තරයකටත් දේශපාලනයට සම්බන්ධ වීමට අවස්ථාව හිමි වුණා. ඒ වගේම එවක එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුණු ජේ.ආර්. ජයවර්ධනත් 1977දී මේ ආකාරයටම පහළ සමාජ පන්තිවල අයට මන්ත්‍රීවරු ඇමැතිවරු හැටියට තමන් යටතේ සේවය කිරීමට ඉඩ ලබා දුන්නා.

ඩී.ඒ. රාජපක්ෂ සහ ඔහුගේ පුත් මහින්ද රාජපක්ෂ දේශපාලනයට පැමිණියෙත් මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහටයි. ඔවුන් අයත් වූයේ ග්‍රාමීය රදල ප්‍රභූ පන්තියට නොවෙයි; පෙර සඳහන් කළ ග්‍රාමීය මධ්‍යම පන්තියටයි. මේ ආකාරයට ශ්‍රීලනිපයත් හා එජාපයත් යන ප්‍රභූ නායකත්වයක් ඇති පක්ෂ දෙකම ප්‍රභූ නොවන පිරිස් පාලිත පන්තියේ සේවය සඳහා බඳවා ගත්තා. ඔවුන් බොහෝ විට මන්ත්‍රීවරු වී ඇමැතිවරු වීමේ ආශාවෙනුත් මෙහෙය වුණු උදවියයි. සාම්ප්‍රදායික පාලක ප්‍රභූ පන්තිය මේ අයට ඉහළ නැඟීමට ඉඩනොදී තමන් යටතේ සේවයෙහි යෙදවීමට කටයුතු කළා. සී.පී.ද සිල්වාට ශ්‍රීලනිප නායකත්වය හෝ අගමැතිකම නොලැබීමේ සාමාජීය අර්ථය එයයි.

පසුව බලයට පැමිණි මහින්ද රාජපක්ෂ වැඩ කළෙත් මේ විදියටයි. සේවය සඳහා පහළ පන්තීන්වලින් එකතු කරගත් පිරිස් තමන්ගෙ පුතාට තර්ජනයක් නොවන ආකාරයට තමන් යටතේ තබා ගැනීමට ඔහු වග බලා ගත්තා. එය අපට අද අත්දකින්න පුළුවන්; ඒ පක්ෂවල තම පුතාට, බෑනට හෝ ඥාතීන්ට ඇරෙන්න අනෙක් අයට නායකත්වයට එන්න ඉඩ දෙන්නේ නැහැ.

ඒ නිසා මේ දේශපාලන පරිවර්තනය සාමාජීය අර්ථයෙන් 1956යේ සිදු වූ පෙරළියට වඩා වැදගත්. 56 පෙරළිය මාර්ටින් වික්‍රමසිංහ විසින් බමුණු කුලයේ බිඳ වැටීම ලෙස පෙන්වා දුන්නත් එය නිවැරදි තක්සේරුවක්ම නෙමෙයි. 56 සිදු වූයේ බමුණු කුලයේ බිඳවැටීමක් නෙමෙයි පසු බෑමක්. එහෙත් නිර්ප්‍රභූ පාන්තික ස්තරවලට දේශපාලනයේ දොර විවෘත කළේ එම අර්ධ පරිවර්තනය විසිනුයි. නමුත් ඒ තුළ සිදු වුණේ ප්‍රභූ දේශපාලනයම නව ස්වරූපයකින් ඉදිරියට ඒමයි. අද තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. දැන් මෙතෙක් සම්පූර්ණ නොවූ ප්‍රජාතන්ත්‍රීයකරණ ක්‍රියාවලිය සම්පූර්ණවීමට බදුන් වී තිබෙනවා.

ලාංකේය දේශපාලනය තුළ අප ප්‍රභූ පන්තිය ලෙස අර්ථකථනය කරන අයගේ ඒකීය ස්වරූපයක් අප දකින්නේ නැහැ. මෙය ඔබ කියවා ගන්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ ප්‍රභූ පන්තිය කියල එක පන්තියක් නැහැ. එය සිංහල සමාජය, දෙමළ සමාජය, මුස්ලිම් සමාජය යනුවෙන් වාර්ගිකව වශයෙන් පවා බෙදී තිබෙනවා. කුල වශයෙන් බෙදී තිබෙනවා. ඒ වගේම සංස්කෘතික වශයෙන් බෙදී පවතිනවා. නිදසුනක් ලෙස කොළඹ වෙසෙන බටහිරකරණය වූ ධනවත් ප්‍රභූ පන්තිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි අයකු වුවත් ප්‍රභූ පන්තියේ අයකු ලෙස සලකන්නේ නැහැ. ඔහුගේ දරුවන් සාන්ත තෝමස් විද්‍යාලයට ගියාට රගර් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළාට කොළඹ නම්ඹුකාර පන්තිය ඔවුන් ප්‍රභූ පන්තියේ පිරිසක් ලෙස ගනන් ගන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස කටයුතු කරන කාලයේ ඔහු මහින්ද රාජපක්ෂ ගැන කතා කරනවිට ‘මැදමුලනේ රාජපක්ෂලා’ කියලා නිතරම උපහාසයෙන් තමයි කතා කළේ. කොළඹ කේන්ද්‍රීයව ජීවත්වන වරප්‍රසාදලාභී දේපළ හිමි වෘත්තීය ප්‍රභූ පන්තිය; විශේෂ උසස් නම්බුකාර සමාජ තීරුවක් ලෙස සැලකීම රනිල් වික්‍රමසිංහ මහත්මයා තුළත් තිබෙනවා. තමන් ‘හාමුලා’ ලෙසයි ඔවුන් සිතන්නේ.

ඒ වගේම බණ්ඩාරනායක පවුලේ උදවිය ප්‍රභූ ස්තරයේ ඔවුන්ට සමානයකු ලෙස රනිල් වික්‍රමසිංහ පවුලේ අය සලකන්නේ නැහැ. ඒ ආකාරයට ලංකාවේ ප්‍රභූ පන්තිය සමාජීය වශයෙන් ස්තරගතවයි පවතින්නේ. දේශපාලන වශයෙනුත් ඔවුන් අතර විශාල තරගයක් පවතිනවා. නිදහසින් පසුව ලංකාවේ දේශපාලන බලය සඳහා තරග කළේ මේ ප්‍රභූපන්ති ස්තරයි.

සිංහල ප්‍රභූ පන්තිය ස්තර තුනක් සහිත පන්තියක් ලෙස හඳුනා ගන්න පුළුවන්. පළමුව එක්සත් ජාතික පක්ෂයේ සිට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් නායකයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක උඩරට සහ පහතරට රදල ප්‍රභූ පන්තිය නියෝජනය කළ අයෙක්. මෑතක්වන තුරුම එම පක්ෂයේ නායකත්වය ඔවුන් අත පැවතියා. මේ අය පළමු ප්‍රභූස්තරය ලෙස හඳුන ගන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයෙහි නායකයන්ව සිටි ඩී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, රනිල් වික්‍රමසිංහ පහතරට ප්‍රභූ පන්තිය නියෝජනය කළ උදවිය. උඩරට සම්භවයක් තිබුණු රදල ප්‍රභූ පන්තිය මේ පහත රට ප්‍රභූපන්තිය සැලකුවේ තමන්ට සමානයින් ලෙස නෙමෙයි. ඒ අය උඩරට රදල ස්තරයට පහළ දෙවෙනි පෙළ ලොක්කන් වූ සොක්කන්ගෙන් සමන්විත ප්‍රභූ පන්තියක් ලෙසයි සැලකුණේ. ඔවුන් දෙවන ස්තරය ලෙස හඳුනා ගන්න පුළුවන්. තෙවන ස්තරය ලෙස මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ සමහර ඇමැතිවරු අඳුන ගන්න පුළුවන්. මේ අය ඉංග්‍රීසි භාෂාව ව්‍යක්තව කතා නොකරන බටහිර සංස්කෘතියට අනාවරණය නොවුණු ප්‍රභූ පාසල්වල අධ්‍යාපනය නොලැබූ අය. මේ ප්‍රභූ පන්තිය තමන්ට සමානයින් ලෙස ඉහත ප්‍රභූ පන්තීන් දෙකම සලකන්නේ නැහැ.

මීට කදිම නිදසුනක් වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ඔහු සමානයෙක් ලෙස නොසැලකීම ගැන මෛත්‍රීපාල සිරිසේන නිතරම චෝදනා මුඛයෙන් කතා කිරීම. ඒ නිසා ලංකාවේ ප්‍රභූ පන්තිය ලෙස එක සමාජ ස්තරයක් නැහැ. මේ මැතිවරණයේ මා දකින අනෙක් විශේෂත්වය වන්නේ මේ ප්‍රභූ ස්තර තුනම දේශපාලනික වශයෙන් පරාජය කිරීමට ජනතාව තීරණය කිරීමයි. මෙය දේශපාලන සමාජ පදනම් විෂයෙහි සලකා බලනවිට තවදුරටත් මේ රටේ පාලන බලය හොබවන්නේ මේ ප්‍රභූ ස්තර නොවෙයි. නිර්ප්‍රභූ දේශපාන සන්ධානයකින් හෙබි කණ්ඩායමක් විසින්. මෙම කණ්ඩායමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමැතිවරු වී ඇති වැඩිදෙනා මධ්‍යම පන්තියේ ඉහළ සහ මැද ස්තරවලට අයත් පිරිස් බව පෙනෙනවා. දේශපාලන බලයේ ඇති වී තිබෙන මෙම සමාජ පෙරැළිය ගැන අනුර දිසානායක ජනාධිපතිවරයා ඉතා සතුටින් කතා කිරීම මඟින් පෙනී යන්නේ එම පරිවර්තනය ගැන ඔහු ඉතා සවිඥානිකව සිටින බවයි.

ඇතැමුන් ආණ්ඩුවට එල්ල කරන ප්‍රධාන විවේචනයක් තමයි; මේ අය අත්දැකීම් නොමැති පිරිසක්ය යන කාරණය. දේශපාලන ඉතිහාසයත් එක්ක සම්බන්ධ කර බැලුවොත් මේ විවේචනය කොයිතරම් දුරට සාධාරණද?

1977 බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ප්‍රධාන ඇමැතිවරු ලෙස පත් කළ කිහිපදෙනෙක්ම අත්දැකීම් තිබූ අය නොවෙයි. ලලිත් ඇතුළත්මුදලි, ගාමිණි දිසානායක, රොනී ද මෙල්, රනිල් වික්‍රමසිංහ… මේ කිසිවකු ආණ්ඩු කිරීමේ අත්දැකීම් තිබුණු අය නොවෙයි. ලලිත් ඇතුළත් මුදලි, ගාමිණි දිසානායක, රනිල් වික්‍රමසිංහ වගේ අය තරුණ නීතිඥයින් ලෙස කටයුතු කළ අයයි. ඒ වගේම රොනී ද මෙල් එවක සිවිල් සේවයේ සිටි අයෙක්. දේශපාලනයේදී සාර්ථක වීම සඳහා අත්දැකීම් අවශ්‍යයි; නමුත් දේශපාලනයේදී අත්දැකීම් කියන්නේ සාර්ථකත්වයේ එකම සාධකය නෙමෙයි. ‘අත්දැකීම්’ යන වචනයේ පැත්තෙන් බලනවිට එක්තරා දේශපාලන සරදමක් එහි ඇති බව අපට පෙනීයා යුතුයි. තමන්ට අත්දැකීම් තිබෙනවා කියන නායකයින් ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. අත්දැකීම් නැහැයි කියන අයට ජනතාව බලය ලබාදී තිබෙනවා.

මහජනතාවගේ පැත්තෙන් බලා දේශපාලනයෙදි සාර්ථක වෙන්න තිබිය යුතු වැදගත්ම දේ වෙන්නේ සමාජ දේශපාලන ආර්ථික අර්බුද පිළිබඳ සංවේදීභාවයයි. මේ ආණ්ඩුවේ තිබෙන විශේෂත්වය වන්නේ පවතින ආර්ථික සමාජ දේශපාලනය පිළිබඳ සවිඥානික වීමයි. එය ජනාධිපති අනුර දිසානායක ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට පෙර සිට පවත්වපු කතාවලින් හොඳින් අප දුටුවා. ඔහු පැහැදිලිව කියූ දෙයක් තමයි “මේ පවතින අර්බුදයේ පසුබිම තුළින් තමයි අපව නිර්මාණය කළේ” කියන කාරණය.

මේ වනවිට ලංකාව ඉන්නේ විශාල පරිවර්තනීය වෙනසක් අවශ්‍ය පසුබිමකයි. එය ආර්ථික දේශපාලන සමාජීය පරිවර්තතනයක්; රජ්‍යය සහ පුරවැසියන් අතර පවතින සම්බන්ධතා අතර පරිවර්තනයක්; කොටින්ම මෙය පරිවර්තනීය මොහොතක්. ඒ පරිවර්තනීය මොහොත පිළිබඳ සවිඥානික අවබෝධයක් ඇති පිරිසක් තමයි බලය හොබවන්න ඕන. මේ මොහොතේ ලංකාවේ දේශපාලන පක්ෂ අතර ඒ පිළිබඳ ගැඹුරු සංවේදීතාවකින් කටයුතු කළ හැක්කේ ජාතික ජන බලවේගයේ නායකත්වයට හා එහි සාමාජිකයන්ට පමණක් බවයි මගේ හැඟීම. වෙනත් පක්ෂවලින් ඒ විභවතාව පෙන්නුම් කරන්නේ නැහැ. ඊට යම් ආකාරයකට හෝ කිට්ටු වෙන්න තිබුණේ සජිත් ප්‍රේමදාසට පමණයි. නමුත් ඔවුන්ට මේ පිළිබඳ සමාජීය සංවේදීතාවක් තිබෙන බවක් අප දුටුවේ නැහැ. ඔවුන් වැඩිදෙනා නව ලිබලර්වාදී ‘හාමු’ කෙනකුගෙන් දේශපාලන පුහුණුව ලැබූ අයයි.

අනුර දිසානායක ජනාධිපතිවරයා බවට පත් වූ පසුව අවස්ථා දෙකකදී පළ කළ අදහස් දැක්වීම්වලදී “ලංකාවේ ග්‍රාමීය අර්බුදයේ ඛේදවාචකය මා පෞද්ගලිකව අත්දැක තිබෙනවා. මම මේකට විසඳුමක් දෙන්නෙ නැතිනම් වෙන කාටද මේකට විසඳුම් දෙන්න පුළුවන්” යන ප්‍රශ්නය මතු කළා. එය ඉතාම වැදගත් ප්‍රකාශයක්.‘සාර්ථකත්වය’ කියන එකේ පන්තිවාදි අර්ථයක් තිබෙන බවත් අප අමතක නොකළ යුතුයි. මා නම් සිතන්නේ මේ ආණ්ඩුව සාර්ථක විය යුත්තේ පොදු ජනතාවගේ පැත්තෙන් බැලීමෙනුයි.

මේ තත්ත්වය තුළ ඊළඟට මතුවන ගැටලුව තමයි මේ දේශපාලන බලය කොපමණ කාලයක් රඳවාගත හැකිද යන කාරණය. එය දැනටමත් සංවාදයට පැමිණ තිබෙනවා.

එය ඉතාම සාධාරණ ප්‍රශ්නයක්. ඊට හේතුව වන්නේ කළින් සඳහන් කළ ප්‍රභූ ස්තර තුන ජනතාව මැතිවරණයෙන් පරාජට පත් කළත් ඔවුන් සම්පූර්ණ වශයෙන් පරාජයට පත් නොවීමයි. ඔවුන් බලාගෙන ඉන්නේ මේ නැති වූ බලය නැවත ගන්නේ කොහොමද කියලයි. ඒ නිසා ඔවුන් උත්සාහ ගන්නේ ජාතික ජන බලවේගයේ වැරදි හෝ දුර්වල තීන්දු තීරණ හැම එකක්ම හැකිතාක් දුරට අතිශයෝක්තියට නඟමින් ආණ්ඩුවේ දේශපාලන ස්ථාවර භාවය දුර්වල කරන්න. ඒ පිළිබඳ මේ ආණ්ඩුව ඉතාම සවිඥානිකව කටයුතු කළ යුතුයි. මේ සමාජ ප්‍රභූ ස්තර තුනම මැතිවරණයෙන් පරාජයට පත් වුණාට නැවත ඔවුන්ට බලයට ඒමේ බල ලෝභය මුළුමනින්ම දුර්වල වී නැහැ. ඉදිරියේදී ඔවුන් මැතිවරණ මාර්ගයෙන් හෝ වෙනත් සමාජ අර්බුදයක් නිර්මාණය කරමින් හෝ බලයට ඒමට උත්සාහ ගන්න පුළුවන්. මෙහිදී ප්‍රධාන වශයෙන් ඔවුන්ට සම්බන්ධ රාජ්‍ය බලය හොබවන ආයතන සහ පුද්ගලයින් සමඟ කිට්ටු සම්බන්ධතා ගොඩනඟා ගනිමින් රජයේ ස්ථාවරභාවය දුර්වල කිරීමටත් එමඟින් ගැටලු මතුකර බලය ලබාගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමටත් උත්සාහ දැරිය හැකියි. ඒ පිළිබඳ මේ ආණ්ඩුව කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. පසුගිය මැතිවර‍ණ දෙකම සාමකාමීව සිදු වූයේ ‘පන්ති සටනක්’ බව අප අමතක නොකළ යුතුයි. එය අවසන් නොවූ දිගටම ඇදී යන පන්ති සටනක්.‘දේශපාලන බලය’ පිළිබඳ ප්‍රශ්නය විසඳී නැහැ. එය නොයෙක් ආකාරවලින් දිගහැරෙන්නට තිබෙන ඉඩ අඩුවෙන් තක්සේරු නොකළ යුතුයි.

බොහොදෙනා විශේෂයෙන් ජාත්‍යන්තර මාධ්‍ය පවා මේ ආණ්ඩුවට විවේචන එල්ල කරන්නේ මෙය වාමාංශික ආණ්ඩුවක් කියන ස්ථාවරයේ සිටයි. ඇත්තටම මෙය වාමාංශික ආණ්ඩුවක්ද?

මා දකින ආකාරයට මෙය වාමාංශික ආණ්ඩුවක් ම නොවෙයි.‍ නමුත් මා දුටුවා ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය මේ ආණ්ඩුව වාමාංශික මාක්ස්වාදී රැඩිකල් ආණ්ඩුවක් ලෙස අර්ථකථනය කරමින් අදහස් දක්වනවා. මේ ආකාරයට වැරැදි ලෙස ලේබල් කිරීම තුළ ඔවුන්ට ඇති වාසිය තමයි නීත්‍යනුකූලව හෝ නීත්‍යනුකූල නොවන ලෙස මේ ආණ්ඩුව පෙරළා දමන්න අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම. මේ රැඩිකල් වාමාංශික ආණ්ඩුවක්. මේ අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක වැඩ කරන්න අකමැතියි. මේ අය රැඩිකල් වැඩියි. මේ අය චීනය පැත්තටයි වැඩිය බර. ඒ නිසා මේ අය බලයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම සාධාරණයි යන තර්කය ගොඩනඟන්න පුළුවන් ආකාරයටයි ඔවුන් කටයුතු කරන්නේ.

ඇත්තටම මෙය වාමාංශික රජයක් නෙමෙයි. සමහරු ජාතික ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයට ගියාම එහි තිබෙන අමාක්ස් එංගල්ස් ලෙනින් චේ ගෙවේරා වගේ අයගේ රූප දැක්කහම මේක මාක්ස්වාදී විප්ලවකාරී ආණ්ඩුවක් කියල හිතනවා. සමහරු මා සමඟත් ඒ පිළිබඳ විමසා තිබෙනවා. එහිදී මා ඔවුන්ට පැවසූයේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැඳින්විය හැකි හොඳම නිර්වචනය තමයි මේක ‘ප්‍රගතිශීලි ආණ්ඩුවක්’ කියන අර්ථයෙන් බව.

ඒ නිසා තමයි ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින්ට ප්‍රකාශ කර තිබුණේ අපි හිටපු ජනාධිපතිවරයා ඇති කර ගත්ත එකඟතා එක්ක ඉදිරියට ගමන් කරන බව. මේකට ජාතික ජන බලවේගයට ඡන්දය දීපු වාමාංශික හා රැඩිකල් හිතවතුන් කලබල වෙන්න දුකට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ජනාධිපතිවරයා මෙය නොකිවයුතු දෙයක්; ජනවරමත් පාවිච්චි කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ශක්තිමත් පදනමක සිට කේවල් කිරීමයි කළ යුත්තේ කියා සමහරු සිතනවා. එය වාමාංශික කෝණයකින් බැලුවොත් එතරම් අසාධාරණ විවේචනයකුත් නෙමෙයි. නමුත් මගේ තර්කය වෙන්නේ මෙය රැඩිකල් වාමාංශික ආණ්ඩුවක් නොවන බවයි. ඒ නිසාම තමයි පියවර දෙකක් ඉදිරියට තැබීම සඳහා එක පියවරක් පස්සට ගැනීමට ජනාධිපතිවරයාට හැකි වී තිබෙන්නේ. චිලී රටේ වාමාංශික ජනාධිපති අයියන්දේ කළ දේ දිසානායකගෙන් අපේක්ෂා කිරීම නිවැරදි නොවන බවයි මා සිතන්නේ.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division