රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, කිරිපිටි ඖෂධ, ආහාර ද්‍රව්‍ය වැනි දහසක් දේ ආනයනය සඳහාත් ලබාගත් ණය සහ එහි පොලී ගෙවීම සඳහාත් අපට විනිමය අවශ්‍ය වෙයි. විදේශ විනිමය අප සපයා ගන්නා ප්‍රධාන ප්‍රවාහ ලෙස ඇඟලුම් ප්‍රමුඛ අපනයන, සංචාරක කර්මාන්තය සහ විගමනික ශ්‍රමිකයන් සිය මව් රටට එවනා විදෙස් ප්‍රේෂණ දැක්විය හැක්කේය. මෙකී ප්‍රධාන විනිමය ඉපැයීම් බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාව ලබා ගත් ණය ගෙවිය නොහැකිව බංකොලොත් බවට පත් විය. ඒ අනුව රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම අර්බුදයේ පසුබිම වූයේ විනිමය හිඟය බව පැවසිය හැකිය. එතැනින් රට ගොඩට ගැනීමට නම් මෙකී විනිමය ප්‍රවාහ යළි සක්‍රිය කර ගැනීම අනිවාර්යය විය.
එහෙත් එය හිතනා තරම් පහසු කාර්යක් නොවේ. ඊට හේතුව ආර්ථිකය බිඳවැටුණු රටක අපනයන නඟා සිටුවීම යනු කළ නොහැකි තරමටම අසීරු දෙයක් වීමය. අපනයන ආර්ථිකය නඟාසිටුවීමට නම් රටේ බලශක්තිය ප්‍රමුඛ යටිතල පහසුකම් හොඳින් පැවතිය යුතුය. ශ්‍රම බලකාය වැඩබිම් තුළ වගකීම් ඉටුකළ යුතුය. එහෙත් බංකොලොත් ආර්ථිකයක් සහිත රටක යටිතල පහසුකම් බිඳවැටී කර්මාන්ත බිඳ වැටීම අනිවාර්යය වෙයි. සංචාරක කර්මාන්තයද එසේමය. රටේ අභ්‍යන්තර අර්බුද හමුවේ මුලින්ම බිඳ වැටෙන්නේ එම කර්මාන්තයයි. එය නඟෙසිටුවීමට රටේ ආර්ථිකය පමණෙක් නොව නීතිය හා සාමයද පැවතිය යුතුය. එහෙයින් ඉකුත් ආර්ථික අර්බුද සමයේ රට යළි පීල්ලට ගන්නට අපට ඉතිරි වූයේ විගමනික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ පමණි.
එහෙත් එය පහසු කටයුත්තක් නොවීය. කොරෝනා නිසා විදෙස්ගත ශ්‍රමිකයෝ විශාල පිරිසක් මව්බිමට පැමිණ සිටීහ. දේශපාලන වාසිතකා විදෙස් ප්‍රේෂණ අධෛර්ය කිරීම සහ කළුකඩ විනිමය කරුවන්ගේ උණ්ඩියල් වැනි ක්‍රම වේගයෙන් ජනප්‍රිය වීම තවත් අභියෝගයක් විය. ඒ තත්ත්වය උඩ මසක අවශ්‍යතා සඳහා ඩොලර් මිලියන 500 උපයා ගැනීම එදා සැබෑම අභියෝගයක් විය. එහෙයින් විදෙස් රැකියා වෙළඳපොළ නව්‍යකරණය කළ යුතුම විය.
අපේ අසල්වැසි ඉන්දියාව විදෙස් ශ්‍රමිකයන්ගෙන් වාර්ෂිකව උපයන මුදල ඩොලර් බිලියන 111 කි. මෙක්සිකෝව ඩොලර් බිලියන 61.1කි. චීනය ඩොලර් බිලියන 51 ද විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් උපයා ගනිද්දී ශ්‍රී ලංකාව ඉකුත් වසරේ උපයා ගත්තේ ඩොලර් බිලියන 6 කි. එය 2022 ට සාපේක්ෂව 57% වැඩි වීමකි. ඉන්දියාව සහ චීනය අධික ජන ගනත්වයක් සහිත රටවල් ය. එහෙයින් අපට වැඩි ශ්‍රමිකයන් පිරිසක් විදෙස්ගත කරමින් ඔවුන් උපයන මුදල හා තරග කළ නොහැක. නමුත් අප උපයන ඩොලර් බිලියන 6 ක ප්‍රමාණය ඩොලර් බිලියන 10 ක් දවා ගෙන යාම කළ නොහැකි දෙයක් නොවේ. ඒ සඳහා අප විසින් ඉටුකළ යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. ඉන් පළමුවැන්න මෙතෙක් අප රටට විවර නොවූ විදෙස් රැකියා සොයාගැනීමය. දෙවැන්න ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා උදාකර ගැනීමය. තුන්වැන්න නොපුහුණු සේවකයන් වෙනුවට පුහුණු සේවකයන් විදෙස්ගත කිරීමය. ඒ සඳහා වෙනමම ගමනක් යා යුතුය. අද සැවොම කරුණු විකෘති කොට දක්වන E 8 කාණ්ඩයේ කොරියානු රැකියාද හමුවන්නේ එකී ගමනේදීය.
තරුණ පරපුර අතර කොරියානු රැකියා වසර ගණනාවක සිට ජනප්‍රිය තේරීමකි. එහෙත් එය විභාග ලියා සපුරාගත යුතු කල් ගතවන රැකියා අවස්ථාවකි. නමුත් කොරියාවේ ඇත්තේ මේ රැකියා අවස්ථාව පමණක් නොවේ. එතුවක් අපට හිමිනොවු සෘතුමය රැකියා එවැනි රැකියා ඛාණ්ඩයකි. E 8 කාණ්ඩයේ වීසා යයි කියමින් බොහෝ පාර්ශ්ව හෝද හෝදා මඩේ දාන්නෙ එකී සෘතුමය රැකියා ය. ශ්‍රී ලංකාවට එම කණ්ඩයේ රැකියා ලබාගැනීම පිටුපස ලොකු කථාවක් ඇත. කලක් එම විෂයභාරව සිටි අමාත්‍යවරයා ලෙස ලියුම්කරුගේ පෞද්ගලික මැදිහත්වීම්ද ඊට ඇතුළත් ය. එහෙත් කොරියාවේ සහ ලංකාවේ නීතිරීති බොහෝ වෙනස් ය. එම රැකියා කාණ්ඩයේ රැකියා සඳහා ගිවිසුම් ගතවිය යුත්තේ දෙරටේ පළාත් පාලන ආයතනය. එහෙත් 13 වන සංශෝධනයට අනුව ලංකාවේ පළාත් සභාවකට විදේශයක් සමඟ එවැනි ගිවිසුමකට එළැඹිය නොහැක. එසේ වූ පමණින් අතට ආ කුරුල්ලා අත්හැරිය නොහැක. එක පැත්තකින් විනිමය අර්බුදයය. අනෙක් පසින් තරුණයන්ගේ විරැකියාවය.
ලංකාවේ තත්ත්වය ගැන අපේ ඇතැම් දේශපාලන ව්‍යාපාරවලට වඩා සහකම්පනයක් කොරියාවේ පළාත් පාලන ආයතන තුළ විය. එහෙයින් නෛතික රාමුව සකසා ගන්නා තෙක් අවබෝධතා ගිවිසුමකින් ශ්‍රී ලංකාවට සෘතුමය රැකියා ලබා දෙන්නට ඔවුහු තීරණය කළහ. වසරේ නිස්චිත කාලයකට පමණක් ක්‍රියාත්මක මෙම රැකියා සඳහා ලද මුල් අවස්ථාවේම වීසා ලබාගන්නට අප වාසනාවන්ත වීමු. තරුණයන් කොරියාවට යැවීම සඳහා ක්‍රමවේදය සැකසීම බාර වූයේ විදේශ සේවා කාරයාංශයටය. අවසානයෙ ප්‍රශ්න මතුවූ චක්‍රලේඛය සකස් කළේ එම ආයතනය මඟිනි. තරුණයන් දහස් ගණනකගේ අනාගත සුබ සිහින චක්‍රලේඛයක් ළඟ නතර විය යුතු නොවේ. එහෙයින් ස්වයං ක්‍රමයට හෝ ශ්‍රමිකයන් කොරියාවට යැවීමට තීරණය විය. මැතිවරණය කට ළඟට එන්නේ මේ අවස්ථාවේය .
මැතිවරණ උණුසුම හමුවේ සියල්ල වෙනස් වන්නට විය. දේශපාලන වාසිය මුලටත් රට දෙවැනියටත් දමනා නිලධාරීවාදය වඩා බලවත් වීම හමුවේ තාරුණ්‍යයේ කොරියානු සිහින මිලින වෙමින් තිබේ. මේ දිනවල අප කියවමින් සිටිනුයේ එකී කඳුළු කථාවය.