අප දුක්ඛිත උවදුරක් අවසන්වන ආකාරය අත් දකිමින් හිඳිමු. දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 365කි. ඉන් යාපනය, පුත්තලම, කෑගල්ල, මන්නාරම, කිලිනොච්චිය, රත්නපුර, ගාල්ල, ත්‍රීකුණාමලය, බදුල්ල, මොනරාගල, මුලතිව්, නුවරඑළිය, අනුරාධපුර, මඩකලපුව, මාතර, මාතලේ, අම්පාර, වව්නියාව, කුරුණෑගල, කළුතර, ගම්පහ, පොලොන්නරුව, නුවර, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 24 තුළ විහිදුන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 229ක් ආපදා තත්ත්වයට මුහුණ දුන්නේය.
වැඩිම හානිය අම්පාරට
ලිපිය ලියන මොහොත වන විට පවුල් 1,32,110ක පුද්ගලයින් 4,41,590ක් පීඩාවට පත්ව හමාරය. සිකුරාදා වනවිට කාලගුණ ව්‍යසනයෙන් වැඩිම පහරකෑමට ලක්ව තිබුණේ අම්පාර දිස්ත්‍රික්කයයි. පීඩාවට පත් පවුල් 1,27,534ක පිරිසෙන් පවුල් 43,631ක් වාර්තා වන්නේ අම්පාරෙනි. පීඩාවට පත් ලක්ෂ හතරක පිරිසෙන් එක් ලක්ෂ පනස් දහසක්ම අම්පාරේය. මරණ 13ක් වාර්තා විය. ඉන් 08ක්ම අම්පාරේය. අම්පාර කාර්තිව්හි මාවඩි පාලම මතින් අනාරක්ෂිතව ධාවනය කරන්නට ගිය ට්‍රැක්ටර් රථය පෙරළීමෙන් සිදුවූ මරණ 07 ඒ අතරය. අනතුරින් අතුරුදන් වූ දරුවෙක් තවමත් සොයාගෙන නැත. අම්පාර නගරය ආසන්න මිහිඳුපුර ප්‍රදේශයේ ගඩොල් වාඩියක් පරීක්ෂා කිරීමට ගිය පුද්ගලයකුගේ මරණය ද ඒ අතරය. රටේ පූර්ණ නිවාස හානි 102කි. ඉන් 70ක් අම්පාරෙනි. අර්ධ නිවාස හානි 2096න් 535ක් ආසන්න ප්‍රමාණයක් අම්පාරේය.
දැනට අවතැන් කඳවුරු 347 පවුල් 12,348කට අයත් පුද්ගලයින් 38,6160ක් තාවකාලිකව රඳවා තිබේ. මුලින් කී ලෙස පූර්ණ නිවාස හානි 102යි. අර්ධ නිවාස හානි 1952යි. පුද්ගල මියයෑම් 13කි. තුවාල ලද අය 20කි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මේ අනපේක්ෂිත තත්ත්ව හමුවේ ජන ජීවිතය යථාවත් කිරීමට සිදුකළ කැපකිරීම නොවන්නට අපට වාර්තා වන සංඛ්‍යා ලේඛන මීට වඩා බෙහෙවින්ම බිහිසුණු වන්නට ඉඩ තිබුණි. එහෙත් මේ වනවිට රටෙන් තුනෙන් දෙකක ජීවිත ආන්තික කාලගුණ තත්ත්ව ඇති කළ ආර්ථික ගොහොරුවේ ගිලී ගොස්ය.
අප දකිමින් සිටින්නේ ව්‍යසනයට ලක් වූ ගොවි බිම්ය. උතුරේ පමණක් කුඹුරු හෙක්ටරයාර 64,000ක් විනාශ වී ඇත. නැඟෙනහිර තත්ත්වය මීටත් වඩා නරකය. මධ්‍යම, උතුරුමැද, පළාත්වල ගොවිබිම් තවමත් ජලයේ ගිලී ගොස්ය. දින හයක කාලකයක් රටම පෙළා දමමින් සිටී, මේ වනවිටත් අවසන් වී නැති කාලගුණ විරසකය කෙළවර පාචනය, නිව්මෝනියාව, මී උණ, ඩෙංගු වැනි රෝග වසංගත සේ පැතිරී යෑමට ඇති ඉඩකඩ පෙනෙමින් ඇත. එය අප තිගස්සවන සුළුය.
සිද්ධ වුණු දේ
තවමත් අහස වැසි වලාකුළින් බරවය. හාත්පස තෙත් සහිත ගැඹුරු අඳුරකය. විටෙක මතුවන සීතල පෙර අත්විඳි උඳුවප් සීතල මෙන් සුවපහසු නැත. විටෙක ඇට නහර විනි විඳින්නේය. මේ විපරීතයට පදනම හැදෙන්නේ පසුගිය 24 දා පමණ වනවිට නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇති වූ අඩු පීඩන කලාපය ය. ක්‍රමයෙන් එම අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පරිවර්තනය වී පසුගිය බදදා (27) වනවිට ගැඹුරු පීඩන අවපාතයක් බවට පත් වූයේය. බ්‍රහස්පතින්දා (28) වනවිට එම පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පරිවර්තනය විනි.
ත්‍රීකුණාමලයට කිලෝමීටර 100ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව තිබූ ගැඹුර පීඩන අවපාතය සහිත පද්ධතිය මේ වනවිට දිවයිනෙන් ක්‍රමයෙන් ඉවත් වෙමින් තිබේ. බ්‍රහස්පතින්දා රාත්‍රී වන විට එම පද්ධතිය ත්‍රීකුණාමලයට කිලෝ මීටර 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරයට සිට කිලෝ මීටර 290ක් පමණ නැඟෙනහිර දෙසින් පිහිටා තිබිණි.
පසුගිය දින කිහිපය තුළ පද්ධතිය දිවයිනේ නැඟෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින් සිටියේය. ඒ කාලය තුළ ප්‍රධාන වශයෙන්ම උතුරු නැඟෙනහිර උතුරු මැද පළාත්වලටත් මධ්‍යම දකුණු සහ බස්නාහිරටත්, බලපෑවේය. ඒ සුළි කුණාටුව මේ වනවිට වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ තමිල්නාඩු භූමිය ගිල ගැනීමට සූදානම්ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව සිකුරාදා දිනයෙන් පසු මේ පද්ධතිය හරහා රටට ඇතිවන කාලගුණ බලපෑම ක්‍රමයෙන් අවම වීමට නියමිතය. එහෙත් ඒ අපට ඉතිරි කළ ගැටලු රැසක් සමඟය.
තවමත් විපතේ අවදානම පහව ගොස් නෑ..
නාය යෑම පිළිබඳ ඉවත්වීමේ රතු නිවේදන මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, උඩුනුවර, උඩුදුම්බර, දොළුව, පාතහේවාහැට, හාරිස්පත්තුව,පාතදුම්බර, යටිනුවර, දෙල්තොට, ගඟවට කෝරළේ උඩ පළාත ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ස්ථාන කීපයකට අදටත් වලංගු වන සේ නිකුත් කර ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, අඹන්ගඟකොරලේ, නාවුල, විල්ගමුව, යටවත්ත, පල්ලෙපොල, මාතලේ, රත්තොට, ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවරඑළිය වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් නාය යෑමේ අධි අවදානම් සහිත ඉවත්වීමේ රතු නිවේදනය ඔබ මේ ලිපිය කියවන අවස්ථාව වනවිටත් වලංගුය. යාන් ඔය, මල්වතු ඔය, මහවැලි ගඟ, අත්තනගලු ඔය ජල මට්ටම් සීඝ්‍රයෙන් වැඩි වී තිබේ. නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස්ය. කැලණි ගඟේ නාගලම් වීදියේ ජල මාපකය ජල මට්ටමේ ඉහළ යෑමක් සලකුණු කරන්නේය. කලාඔය ද්‍රෝණිය, මල්වතු ඔය ද්‍රෝණිය, කැලණි ගඟ ද්‍රෝණිය, හැඩ ඔය ද්‍රෝණිය, දැදුරුඔය ද්‍රෝණිය, මුන්දෙණි ආරු ද්‍රෝණිය ගංවතුර අවදානමේය. මහවැලි ගඟ ද්‍රෝණියේ ගංවතුර අවදානම ඉහළ යමින් ඇත. යාන් ඔය ද්‍රෝණිය සුළු ගංවතුර මට්ටමකට මුහුණ දී තිබෙන්නේය. තබ්බෝව, දැදුරුඔය, පේරාරු, පොල්ගොල්ල, උල්හිටිය රත්කිඳ, අංගමුව, නාච්චාදූව, රාජංගණය , කලා වැව, වෙහෙරගල ජලාශවල තවමත් වාන් දොරටු විවෘතය.
ගංවතුරට බිලි වූ ජීවිත
ජීවිත 13ක් බිලිවූ ආකාරය මුලදී සටහන් කළෙමු. ඒ මරණ වැඩි ප්‍රමාණයක් වළක්වා ගත හැකිව තිබූ මරණය. මරණ අතර බණ්ඩාරවෙල දී බැම්මක් කඩා වැටී සිදුවූ පුද්ගල මරණය, අම්පාර මිහිඳුපුර ප්‍රදේශයේ ගඩොල් පෝරනුවක් නිරීක්ෂණය කරන්නට ගොස් සිදුවූ මරණය, දංකොටුව මාවගම කර්මාන්ත පුරය අසල කානුවක වැටී සිදුවූ මරණය, වයික්කාල ප්‍රදේශයේ දී ගසක් කඩා වැටීම නිසා සිදුවූ 72 හැවිරිදි පුද්ගලයකුගේ මරණය, ගංවතුර මැද යාන් ඔයේ මාළු බාන්නට ගොස් බෝට්ටුව පෙරළී කුච්චවේලිහි දී සිදුවූ මරණය, වව්නියාවෙ මහකච්චිකුඩි වැවේ වාන් දැමීම බලා විනෝද වන්නට පැමිණි පුද්ගලයාගේ මරණය වේ.
ජනාධිපතිවරයාගේ මෙහෙයවීම
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වයට මුහුණ දෙන ප්‍රදේශවලට ගොස් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ආපදා තත්ත්වය වාර්තා වූ වහාම ජනාධිපතිවරයා නිලධාරීන්ට නියෝග කළේය. එම උපදෙස්වල අර්ථය වූයේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට රාජ්‍ය මැදිහත්වීම උපරිම කිරීමය. සහන සැලසීම සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය. විපතට පත් ජනතාව ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තබාගෙන අවශ්‍ය ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට කටයුතු කරන ලෙසත්, එම ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙසත් ජනාධිපතිවරයා බලධාරීන්ට දැනුම් දුන්නේය.
උසස් පෙළ විභාගය
උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා දින නියම වී තිබිණ. අධික වර්ෂාව මැද විභාගය පැවැත්වීම එක් දිනකට සීමා විය. එම දිනයේ ද බොහෝ ප්‍රදේශවල දරුවන් විභාගයට එක් වී තිබුණේ දැඩි ආයාසයෙනි. ආපදා කළමනාකරණ අංශ සහ යුද හමුදාවේ ආරක්ෂාව මත බෝට්ටු සහ විශේෂ බෆල් රථ ආධාරයෙන් දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු විය. ඕනෑම විභාග මධ්‍යස්ථානයකට ගොස් විභාගයට පෙනී සිටීමේ පහසුකම, ප්‍රමාද වී විභාගයට පැමිණෙන දරුවන්ගේ කාල පූරණය කර කාලය ලබා දීමේ අවස්ථාව වැනි විවිධ පහසුකම් ලබා දෙමින් කරන්නට හැදූ විභාග පැවැත්වීම කළ නොහැකි දෙයක් බව වැටහිණි. රජයේ තීරණය මත 26 වැනිදා වනවිට වහාම උසස් පෙළ විභාගය දින 03කට අත්හිටුවනු ලැබුවේය. විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත ජයසුන්දර ප්‍රකාශ කළේ නැවත විභාගය 30වැනිදා නියමිත කාලසටහනේ සිට ක්‍රියාත්මක වන බවය. කෙසේ වෙතත් කාලගුණයේ හැසිරීම මත තවත් දින තුනක් විභාගය අත්හිටුවීමට තීරණය කෙරිනි. ඒ අනුව දෙසැම්බර් 3 වැනිදා දක්වා විභාගය අත්හිටුවන බවත්, දෙසැම්බර් 04 වැනිදා සිට යළි විභාගය පැවැත්වීමට දින නියම කළ බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දෙසැම්බර් මස 4 වන දිනට කාලසටහනේ නියමිත විෂයන් ඒ අයුරින්ම ආරම්භ වන බව ද පැවසු විභාග කොමසාරිස්වරයා නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 23 සඳුදාත්, නොවැම්බර් 29 වන සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 27 සිකුරාදාත්, නොවැම්බර් 30 වන සෙනසුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 28 සෙනසුරාදාත්, දෙසැම්බර් 2 වන සඳුදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 30 සඳුදාත්, දෙසැම්බර් 3 වන අඟහරුවාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 31 අඟහරුවාදාත් පැවැත්වීමට තීරණ කළ බව දැන්වූයේය.
විනාශ වූ ගොවිතැන
ධාරානිපාත වැසි පාත් වී කුඹුරු හෝදාගෙන යන්නේ බොහෝ ගොවිබිම්වල මහ කන්නයේ වී වපුරා සතියක් ගතවන්නට මත්තෙනි. මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරේ පමණක් ගොවි බිම් හෙක්ටයාර 64000ක් විනාශ වී ගොස් තිබිණි. රටේ බත සපයන ප්‍රධානම කෙත් බිම් සමූහය අස්වද්දන, පොලොන්නරුව, අම්පාර, මඩකලපුව මහා වාරිමාර්ග ආශ්‍රිත සියලු වගා භූමිවලට සිදුවූ හානිය තවමත් තක්සේරු වී නැත. පොදුවේ ගත්තොත් ගොවිතැනම ව්‍යසනයකය. මේ තත්ත්වයට පිළියම් කිරීම සඳහා වහාම යළි වගාව ආරම්භයටත්, රජය විසින් වගා හානි වන්දි ලබාදෙන ප්‍රධාන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහා ද යම් වන්දියක් ලබා දීමටත් සූදානම් බව නියෝජ්‍ය කෘෂිකර්ම ඇමැති නාමල් කරුණාරත්න කීවේය.
“වන්දි ලබාදීමේ ක්‍රියාවලියේ තිබෙන්නේ භෝග 6යි. වී, බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා හා මිරිස්. අධික වර්ෂාව නිසා හානි සිදුවෙන ගොවීන්ට ඒ භෝග 6ට මේ වන්දිය අදාළ වෙනවා. අනෙකුත් ගොවීන්ටත් යම් වන්දියක් ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබෙන මුදල් තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලයට ඊට අදාළ ඉල්ලීමක් කරන්න අපි සූදානම්”. නියෝජ්‍ය ඇමැතිවරයා පැහැදිලි කළේය.
නැවත ගොවිබිම් අස්වැද්දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව ඇති බිත්තර වී තොග ප්‍රමාණවත් නොවන බැවින් බිත්තර වී වගාකරන ගොවින්ගෙන් එම වී මිලදී ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ව්‍යසනය අත් විඳ හමාරය. බරපතළම රිදුම් දෙන්නේ පසු ව්‍යසන ප්‍රතිඵලය. රටේ ආර්ථිකයට මෙවන් සුළු කම්පන පවා මේ වනවිට වේදනාකාරීය. එහෙත් පැමිණියේ අතින් අල්ලා නැවැත්විය හැකි කරදරයක් නොවේ. පිළිගත යුතු ආපදාවකි. එය දැනට දැනෙන සුළු මානුෂික මැදිහත්වීම් සහිතව කළමනාකරණය කර ඇති අයුරු දකිමු. යළිත් මහා ශ්‍රමදානයක් වෙනුවෙන් එක් විය යුතු ඉදිරි දින කීපයක් ඇත. ඒ ව්‍යසනයට පත් සමාජ ජීවිතය සාමුහිකව එක්ව සුවපත් කිරීම සඳහාය.
ටානියා මෝසස්