විදුලිය අපට නැතුවම බැරිය. එහෙත් විදුලිය භාවිතයේදී සිදු වන විදුලි සැර වැදීම්, ඒ නිසා සිදුවන ජීවිත හානි, තුවාල වීම්, පිළිස්සීම් පමණක් නොව විදුලි කාන්දු වීම නිසා වන ගිනි ගැනීම්, දේපළ හානි ආදී සිදුවීම් පිළිබඳ නිරතුරුවම තොරතුරු වාර්තා වේ. විදුලි අනතුරු අවම කර ගනිමින් ආරක්ෂිත ලෙස විදුලිය පරිභෝජනය සදහා යම් අවබෝධයක් ලබා දීම මෙම ලිපියේ අරමුණයි.
මෙරට නිවාස හා කාර්යාල වෙත අවශ්‍ය විදුලි බලය බෙදාහැරීම තෙකලා (Three Phase) හා එකලා (Single Phase) ලෙස වර්ග දෙකකින් සිදු කෙරේ. තෙකලා විදුලිය වෝල්ටීයතාවක් පවතින සජීවී රැහැන් (Live Wire) 3ක් හා උදාසීන (Neutral) රැහැනකින් සමන්විත වන අතර කාර්යාල පරිශ්‍ර,ව්‍යාපාරික ස්ථාන හා විශාල නිවෙස් සඳහා තෙකලා විදුලිය ලබා ගනී. එකලා විදුලිය එක් සජීවී රැහැනකින් හා උදාසීන රැහැනකින් සමන්විත වන අතර සාමාන්‍ය ප්‍රමාණයේ නිවාස සදහා භාවිත කරනු ලබන්නේ එකලා විදුලියයි.
සාමාන්‍යයෙන් නිවෙසක විදුලි පද්ධතිය සම්බන්ධ කෙරෙන සජීවී කම්බියේ විභවය (Voltage) වෝල්ට් 230කි. විදුලිය භාවිතයේදී සිදු වන විදුලි සැර වැදීම, ඒ නිසා සිදුවන ජීවිත හානි, තුවාල වීම්, පිළිස්සීම් ආදිය පිළිබඳ සැලකීමේදී මිලි ඇම්පියර් 30ක් වැනි ඉතා සුළු ධාරාවක් (Current) මිනිස් සිරුර හරහා ගමන් කිරීමෙන් ජීවිත හානියක් සිදු වීමට පුළුවන. මේ නිසා මිනිස් සිරුරේ ප්‍රතිරෝධය (Resistance) එනම් ධාරාව ගැලීමට ඇති බාධාව අනුව වෝල්ට් 50කට වඩා වැඩි විභවයක් ඇල්ලීම හානිකර ප්‍රතිඵල ගෙන දේ.
විදුලි සැර වැදීම නිසා මරණයට පත් විය හැකි ආකාර කිහිපයකි. හෘද ස්පන්දනය අධිකව වැඩි වීම නිසා මොළයට ලේ සැපයුම නතර වීම, අධික පිළිස්සීම නිසා ඇතිවන තුවාල ,පපු ප්‍රදේශයේ පේශි සංකෝචනය නතර වීම, පේශි සංකෝචනය වීම නිසා හුස්ම හිර වීම එම ආකාර කීපයයි.
විදුලි සැර වැදීම්වලදී නිසා සිරුර තුළින් ගලන විදුලි ධාරාව, විදුලියට නිරාවරණය වූ කාලය සහ සිරුර තුළ ගමන් කරන විදුලි ධාරාවේ මාර්ගය මරණයට පත් කෙරෙන ප්‍රධාන සාධක ලෙස හදුන්වා දීමට පුළුවන. උදාහරණයක් ලෙස සදහන් කරන්නේ නම් සිරුර තුළින් ගලන විදුලි ධාරාව වැඩි වූ විට අඩු කාලයකින් මරණය සිදුවිය හැකිය. යම් හෙයකින් විදුලිය පපු පෙදෙස හරහා ගමන් නොකරයි නම් සිදු වන හානිය අවම වේ. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් මිනිසකුගේ දකුණු අත විදුලිය හා ස්පර්ශ වන අවස්ථාවක විදුලි මාර්ගය ශරීරය හරහා දකුණු පාදය හරහා පොළවට ගමන් කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇති අතර, එම අවස්ථාවේ විදුලි ධාරාව හෘදය හරහා ගමන් කිරීමේ ස්වභාවය අඩු බැවින් සිදු වන හානිය අවම මට්ටමක ඇති අතර එවිට එය මාරාන්තික නොවේ.
විදුලි සැරවල බලපෑම් අවම කිරීමට විදුලි උපකරණ භාවිත කරන අවස්ථාවලදී රබර් වැනි පරිවාරක අත් ආවරණ, පාවහන් පැලඳීම මගින් විදුලි සැරට ඔරොත්තු දෙන පරිදි සිරුරේ ප්‍රතිරෝධය වැඩි කර ගැනීමට හැකි වේ. එපමණක් නොව රබර් පාපිසි, බුමුතුරුණු වැනි පරිවාරකයක් මත සිට වැඩ කිරීමෙන්ද විදුලි සැර වැදීම අවම කර ගැනීමට පුළුවන.
මේ කවර දේ කළ ද, නිවාස හා කාර්යාල විදුලි අනතුරුවලින් සුරක්ෂිත කරමින් විදුලි පහන් හා විදුලි උපකරණවල පාලනයට හා පුද්ගලයන්ගේ ආරක්ෂාවට මේන් ස්විච්, ට්‍රිප් ස්විච්, MCB වැනි විදුලි උපාංග යොදා ගැනීමටද වගබලා ගත යුතු වේ.
මෙහිදී නිවාස හා කාර්යාලයන්හී විදුලි පද්ධතිවල ඇති ප්‍රධානම අංගයක් වන මේන් ස්විච් එක මගින් අවශ්‍ය විටෙකදී අදාළ පරිශ්‍රයේ විදුලිය විසන්ධි කළ හැකි අතර ප්‍රධානතම ආරක්ෂිත උපකරණය ලෙස හැදින්වෙන ට්‍රිප් ස්විච් එක විදුලිය කාන්දු වන හෝ විදුලි අනතුරක් සිදුවන අවස්ථාවේදීම ක්‍රියාත්මක වී විදුලි සැපයුම වහා නතර කර දමයි. සජිව කම්බි (Live Wire) සහ උදාසීන (Neutral) කම්බි අතර, ධාරාවේ වෙනස අනුව මෙය ක්‍රියාත්මක වේ.
නිවෙස්වල භාවිත කරන ට්‍රිප් ස්විච් හී සංවේදීතාව මිලි ඇම්පියර් 30 ක් වන අතර කිසියම් පුද්ගලයකු සජීවී කම්බිය (Live Wire) ඇල්ලීමෙන් මිලි ඇම්පියර් 30ක ධාරාවක් එම පුද්ගලයාගේ සිරුර තුළින් ගමන් කිරීමෙන් ට්‍රිප් ස්විච් එකෙහි පරිපථ බිඳිනය වහා ක්‍රියාත්මක වී විදුලි සැපයුම විසන්ධි වීම සිදු වේ. එවිට සිදු වන විදුලි අනතුරු හා හානි අවම වන අතර එම විදුලි අනතුරු නිසා සිදු විය හැකි දේපළ හා පුද්ගල හානි අවමව ආරක්ෂාව තහවුරු වේ.
උපදෙස් – ආචාර්ය එච්. එච්.ඩී. නලින්
ප්‍රධාන ඉංජිනේරු (වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිතතාව)
ලංකා විදුලිබල මණ්ඩලය
සටහන - නෙත්මි පූජනී රත්නායක