විදුලිය පාරිභෝගිකයන් ලෙස අප විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම රටේ ආර්ථිකයට මෙන්ම පෞද්ගලිකව අපේ ආර්ථිකයටද වැදගත් වේ. ඒ මන්ද විදුලිය පිරිමසා ගෙන එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් සකසුරුවම් ලෙස භාවිත කිරීම මගින් අප සැමගේ පසුම්බියේ ඇති මුදල් පිරිමසා ගැනීමට හේතුවක් වන බැවිනි.
කෙසේ වුවත් මේ වන විටද මෙරට ගෘහස්ථ විදුලි පරිභෝජනය ඉහළ මට්ටමක පවතී. ජනතාව ඒ ගැන අවධානය යොමු කර තම ගෘහස්ථ විදුලි පරිභෝජනය අඩු කරගතහොත් රටේ සමස්ත විදුලි පරිභෝජනයට වැයවන වියදමද එමගින් අවම කර ගැනීමේ අවස්ථාව උදා වේ.
විදුලි ඒකකයක් යනු කිලෝවොට් පැය 1 කි. ඒ අනුව අප භාවිත කරන විදුලි ඒකක ගණන අඩු කර ගැනීම ලෙස හැඳින්වනුයේ භාවිත කරන කිලෝවොට් පැය ප්‍රමාණය අඩු කර ගැනීමයි. එසේ වැය වන විදුලි ඒකක ගණන අඩු කර ගැනීමට නම් දෛනිකව අපගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් භාවිත කරන විදුලි උපකරණයන්හි ක්ෂමතාව අඩු කර ගැනීමටත්,එම උපකරණ භාවිත කරන කාලය අඩු කර ගැනීමටත් කටයුතු කළ යුතුය.ඒ අනුව එම ක්‍රමවේදය අපට අප නිවෙස් තුළින්ම ආරම්භ කළ හැක්කේ කෙසේදැයි විමසා බැලීම අරමුණු කර ගනිමින් මෙම ලිපිය ලියවී ඇත.
විදුලිය පිරිමසිමු Smart ලෙස ශීතකරණය භාවිත කරමු
නිවෙසක වැඩිම විදුලි පරිභෝජනයක් සිදු වන විදුලි උපකරණය වන්නේ ශීතකරණයයි. විදුලිය පිරිමසිමින් ශීතකරණය කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා ශීතකරණයේ ඇතුළත වායුව පිට නොවන ලෙස දොර නිසි ලෙස වසා තැබිය යුතුය. එසේම එහි දොර අරින වහන වාර ප්‍රමාණය අඩු කිරීමද කළ යුතුය. බාහිර පරිසරයේ ඇති උණුසුම් වාතය ශීතකරණය තුළට ඇතුළුවීමෙන් ශීතකරණයේ විදුලි පරිභෝජනය වැඩි වන අතර ශීතකරණය ඝෘජු ආලෝකයෙන් හෝ උණුසුම් පරිසරයෙන් පරිබාහිරව තබා භාවිතයට ගැනීමද කාර්යක්ෂම, සකසුරුවම් විදුලි පරිභෝජනයක් සඳහා හේතු සාධක වේ.
උණුසුම් ආහාර ශීතකරණය තුළ තැබීම නොකළ යුතු අතර, එහි ඇති ආහාර පාන කාමර උෂ්ණත්වයට පැමිණි පසු නිසි ලෙස ගබඩා කිරීම කළ යුතු වේ. එසේම ශීතකරණයේ පිටුපස කොටසට හොඳ වාතාශ්‍රයක් ලබාදීමට පියවර ගත යුතු අතර ශීතකරණය හා බිත්තිය අතර අඟල් 10 ක වත් පරතරයක් තැබිය යුතුය.
ඔබ භාවිත කරනු ලබන්නේ අධිශීතකරණයක් නම් ඒ තුළ ආහාර පාන නොමැති අවස්ථාවන් හී සිසිල් වීමේ ප්‍රතිශතය අඩු මට්ටමකට මාරු කළ යුතු වේ. එම අධිශීතකරණයෙහි ආහාරපාන ද්‍රව්‍ය තිබෙන විට එහි උෂ්ණත්ව පාලකය 40% ක මට්ටමකට සීරුමාරු කිරීමද කළ යුත්තකි.
අධිශීතකරණය තුළ ඇති දිනක් තුළ පිසීමට අවශ්‍ය ආහාර පැය 10-12 කට පමණ පෙර ඉවතට ගෙන සාමාන්‍ය කොටසේ තැබීමෙන් වැය වන විදුලි ප්‍රමාණය තවදුරටත් අඩු කර ගැනීමට පුළුවන. තවද එළවළු, පලතුරු ආදිය පොලිතින් උරවල ඔතා ශීතකරණ හා අධිශීතකරණ හි ගබඩා කිරීම මඟින් හා දියර වර්ග වසන ලද බඳුන්වල බහා ගබඩා කිරීම මඟින් ආහාරවල තෙතමනය මුදාහැරීම සීමා වී විදුලිය අඩුවෙන් වැය වන බව සනාථ වී තිබේ.
තවද අවශ්‍යම දේ පමණක් පිළිවෙළකට ශීතකරණය තුළ ගබඩා කිරීමත්, නිවෙසේ අවශ්‍යතාවට ගැළපෙන ප්‍රමාණයේ ශීතකරණයක් තෝර ගැනීමත් නිවසේ විදුලි පරිභෝජනය අඩු ඒකක ගණනක් වැය වන ලෙස කාර්යක්ෂම කර ගැනීමට හේතු සාධක සපයයි.
Smart ලෙස රෙදි සෝදමු
සේදුම් අවශ්‍යතාවට සරිලන ප්‍රමාණයේ රෙදි සෝදන යන්ත්‍රයක් මිලදී ගැනීම වැදගත්ම කාරණාවයි. අවශ්‍ය ලෙස වැඩි වාර ගණනක් රෙදි සෝදන යන්ත්‍රය භාවිත නොකළ යුතු අතර දින කිහිපයක රෙදි එකවර සේදීම ලාභදායී වේ. අනුමත බරට වැඩියෙන් හෝ අඩුවෙන් රෙදි සේදුම් යන්ත්‍රයට රෙදි දැමුවහොත් කාර්යක්ෂමතාව අඩු වේ. රෙදි සෝදා වියළීමේදී යන්ත්‍රය භාවිතයෙන් වියළීම සීමා කර හැකි සෑම විටම රෙදි වියළීම සඳහා හිරු එළිය ප්රයෝජනයටත් හොද උපක්රමයකි. කේන්ද්‍රීය කලතනයක් (Central Agitator) නැති රෙදි සෝදන යන්ත්‍ර බල ශක්තිය අඩුවෙන් පරිභෝජනය කරන බැවින් එවැනි රෙදි සෝදන යන්ත්‍ර මිලදී ගැනීමේදී දෙවරක් සැලකිලිමත් විය යුතුය.
රෙදි මැදීමේදීත් Smart වෙමු
විදුලි ඉස්ත්රික්ක මඟින් රෙදි මැදීමේදී විදුලි ඒකක වැඩියෙන් වැය වේ. ඒ නිසා දින කිහිපයකට වරක් එකවර රෙදි මැදීමත්, රෙදි මැදීමේදී දළ කපු රෙදි වර්ගවලින් ආරම්භ කොට අවසානයට සිනිදු සිල්ක් රෙදි මැදීමත් ඵලදායිය. එලෙස සිල්ක් රෙදි මදින විට විදුලි සැපයුම විසන්ධි කොට රත් වූ ඉස්ත්‍රික්කයේ තාපය උපයෝගි කර ගෙන ඉතා පහසුවෙන් එම රෙදි මැදීමට පුළුවන.
මේ හැර රෙදි මදින විට එම රෙදි මතුපිට යටින් තුනී ඇලුමිනියම් කොළයක් අතුරා රෙදි මැදීමත්, රෙදි මදින අතර ඉස්ත්‍රික්කය එක පසෙකින් තබනවා නම් එහි පතුල සිරස්ව තැබීමට කටයුතු කිරීමත් යන ක්‍රම තුළින් ද විදුලිය පිරිමැසිය හැකි වේ. වැදගත් ම දෙය නම් හැකි සෑම විට ස්වයංක්‍රීය තාප පාලක ඇති විදුලි ස්ත්‍රික්කයක් භාවිත කිරීමයි.
රූපවාහිනී හා ගුවන්විදුලි යන්ත්‍රත් Smart ලෙස භාවිත කරමු
රූපවාහිනිය නැරැඹීමෙන් අනතුරුව දුරස්ථ පාලකය මඟින් පමණක් නොව රූපවාහිනියේ ස්විචය මඟින්ද එය නිසි ලෙස නිවා දැමිය යුතුය. දුරස්ථ පාලකය මඟින් පමණක් රූපවාහිනිය ක්‍රියා විරහිත කළද Stand by මඟින් වර්ණ රූපවාහිනියක් සඳහා වොට් 18-25 ක් අතර අමතර විදුලිය වැයවීමක් සිදුවන අතර එය විදුලිය අපතේ යැවීමකි. එමෙන්ම බොහෝ දෙනා නිසි ලෙස ශ්‍රවණය නොකළත් පුරුද්දට මෙන් අනවශ්‍ය ආකාරයෙන් ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කරන නිසා ශ්‍රවණය කරන අවSmart ලෙස විදුලි පංකා භාවිතය
ස්වාභාවික වාතාශ්‍රය ඉතා හොඳින් නිවෙසට ලැබෙන ආකාරයට දොර, ජනෙල් තිර රෙදි සකස් කර ගැනීම විදුලිය පිරිමැසීමේදී වැදගත් කරුණකි. එවිට විදුලි පංකා භාවිතය හැකි තරම් අවම කර ගත හැකිය. එමෙන්ම හැකි තරම් සිවිලිං විදුලි පංකා භාවිතය සීමා කර අඩු විදුලියක් වැයවන මේස විදුලි පංකා භාවිතයට ගැනීමත්, විදුලි පංකා පරිහරණයේදී ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික පාලක සවි කර ගැනීමත් කාර්යක්ෂම ලෙස විදුලිය භාවිත කිරීමට මඟ පෙන්වයි. නිවසේ කිසිවකු නොමැති අවස්ථාවලදීත් හොඳින් සුළං, වාතාශ්‍රය නිවසට ලැබෙන අවස්ථාවලදීත් විදුලි පංකා නිවා තැබීමට කටයුතු කිරීම මගින් විදුලිය පිරිමසා ගත හැකිය.
Smart ලෙස විදුලි බල්බ නිවසට
ප්‍රයෝජනයට නොගන්නා අනවශ්‍ය විදුලි පහන් සෑම විටම නිවා දැමිය යුතුය. සාමාන්‍ය විදුලි බුබුළු වෙනුවට 80% ක විදුලි ඉතිරියක් ඇති බලශක්ති ලේබලය සහිත CFL විදුලි පහන් භාවිත කිරීම මගින් ද විදුලිය ඉතිරි වේ. දිවා ආලෝකය ලැබෙන අවස්ථාවේදී එම ස්වාභාවික ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතු අතර, නිවාස සැලසුම් කිරීමේදී ස්වාභාවික ආලෝකය හැකි උපරිමයෙන් නිවෙසට ලැබෙන ලෙස දොර ජනෙල් ස්ථාපිත කිරීමට සැලසුම් කළ යුතුය. වැඩි ඵලදායිතාවය සඳහා විදුලි බුබුළුවල දූවිලි පිසදා පිරිසුදු කිරීම ද අවශ්‍ය වන අතර එමඟින් එම විදුලි පහනේ උපරිම ආලෝකය ලබා ගැනීමට හැකි වේ. අවශ්‍ය ස්ථානයට පමණක් විදුලි පහන් යෙදිය යුතු අතර නිතර භාවිත වන ස්ථානවලට පමණක් හෝ අඩු වොට් අගයක් සහිත පහන් භාවිත කිරීමට උනන්දු විය යුතුය. උදා -: නිදන කාමර, මුළුතැන්ගෙය, ආලින්දය, රූපවාහිනි නැරඹුම් ස්ථානය, නාන කාමරය.
මීට කලකට පෙර නිවෙස් තුළ බහුලව භාවිත වූයේ කහ පැහැති ආලෝකයක් සහිත සූත්‍රිකා පහන්ය. අනතුරුව එයට වඩා කාර්යක්ෂම CFL බල්බ හඳුන්වා හදුන්වා දෙන ලදී. කෙසේ වුවත් මේ වන විට CFL වලට වඩා වැඩි කාර්යක්ෂමතාවක් හා වැඩි ආයු කාලයක් ඇති LED පහන් වෙළෙඳපොළේ තිබේ. මෙම කාර්යක්ෂමතාව වැඩි විදුලි පහන් භාවිතයෙන්, විදුලි බිල විශාල ලෙස අඩු කරගත හැකියාව තිබේ.
විදුලිය පරිභෝජනයේදී වැදගත් තවත් Smart කරුණු කිහිපයක්
මෙරට වැඩිම විදුලි ඉල්ලුමක් සහිත වේලාව (Peak Time) ලෙස හඳුනා ගෙන ඇත්තේ පස්වරු 06.30 – 9.30 අතර කාලයයි. එවැනි වේලාවන්හිදී විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම හැකිතාක් සීමා කළ හැකි නම් වඩාත් සුදුසුයි.
තවද නිවෙසේ හෝ කාර්යාලයේ වායු සමීකරණ යන්ත්‍ර භාවිත කරන්නේ නම් ඒවායේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 ට පමණ තබා ගැනීම සුදුසුය. උදෑසනට පරිසර උෂ්ණත්වය අඩු නිසා ඒ කාලයේදී එම යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීම හොඳ ය. කාර්යාලයක නම් කාර්යාලයෙන් පිටවීමට විනාඩි 15 – 20 කට පෙර එම වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත කර දමන්න.
මීට අමතරව විදුලි උඳුන්, රයිස් කුකර්, බ්ලෙන්ඩරය, විදුලි කේතලය, අවන් එක, වතුර මෝටරය, නාන කාමරවල භාවිත කරන හීටර් වර්ග, ග්‍රයින්ඩරය, ජංගම දුරකථන, ටැබ්, පරිගණක ඇතුළු විවිධ තාක්ෂණික උපකරණ, හිසකෙස් වියළන යන්ත්‍ර ආදිය අවශ්‍යතාව මත පමණක් භාවිත කිරීමෙන්ද විදුලිය පිරිමැසීමට හැකියාව ඇත.
නෙත්මි පූජනී රත්නායක