අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය හා ජෛව විවිධත්ව සංකීර්ණය භාරය අටවාගෙන හිටපු අගමැතිවරයකු වන දිවංගත දි.මු. ජයරත්න සහ හිටපු රාජ්‍ය ඇමැතිවරයකු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න සිදු කර ඇති තවත් වංචා දූෂණ රැසක් විගණකාධිපති වාර්තාවලින් හෙළිවේ.
අනුන්ගේ ඉඩම්ද අම්බුළුවාවට යට කරගෙන
2021 විගණකාධිපති වාර්තාවේ සඳහන් වන්නේ මෙලෙසය. “මෙම සංකීර්ණයට අයත් ඉඩම් 1998 වසරේදී මිනුම් කර එය අක්කර 400ක් බව සඳහන් කර තිබුණද ඊට අදාළ මිනුම් වාර්තා භාරය සතුව නොතිබිණි. එයින් පැහැදිලි වන්නේ භාරය සතුව නිශ්චිත මිනින්දෝරු පිඹුරක් නැති බවය. එයට හේතුව නම් භාරයට අයත් නොවන ඉඩම් ද අම්බුළුවාව භාරය විසින් යටකරගෙන කෑමය.
මෙයට සාක්ෂි ලෙස නුවරඑළිය වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩී.එම්.එන්. ශ්‍රීනාත් බණ්ඩාර 2024.10.25 දාතමින් යුතුව ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් අමතා යවන ලද ලිපිය පෙන්වා දිය හැකිය.
උක්ත ලිපියට අනුව වනජීවී දෙපාර්තමේන්තුවට හෙක්ටයාර් 95.728 ක ප්‍රමාණයක් අම්බුළුවාවෙන් අයිතිය.
මෙම ඉඩම් ප්‍රමාණය වනජීවී දෙපාර්තමේන්තුවට පැවරීමට තීරණය කර ඇත්තේ වර්ෂ 2001දී වන අතර, 2007 වසරේදී වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. මෙම ඉඩම මැනීම සඳහා 2018 වසරේදී වනජීවී දෙපාර්තමේන්තුවෙන් මැනුම් ගාස්තු ලෙස රුපියල් 810,860.40ක් මහනුවර දිස්ත්‍රික් මිනින්දෝරු අධිකාරිවරයා වෙත ගෙවා තිබේ.
ඒ නිසා මෙම ඉඩම කඩිනමින් මැනුම් කටයුතු සිදු කරන ලෙස ප්‍රාදේශීය ලේකම්ගෙන් ඉල්ලා ඇති අතර, ඉඩම මැනීමට බාධාවක් හෝ ගැටලු පවතී නම් ඒ බවද දන්වන ලෙස ලිපියේ සඳහන් කර තිබේ.
2018 වසරේදී ඉඩම මැනීමට මුදල් බැඳ තිබුණ ද එකලදීම ඉඩම මැනීම නොකළේ ඇයි ? යන ප්‍රශ්නය මෙහිදී මතුවේ. එය අවහිර වන්නේ වෙන කිසිවක් නිසා නොව ජයරත්නලාගේ බල පුළුවන්කාරකම නිසා යන්න හොඳින්ම පැහැදිලිය.
අම්බුළුවාවෙන් අක්කර පහක භූමි ප්‍රමාණයක් දීමනා පත්‍රයක් මඟින් ගම්පොළ සිංහයාපිටියේ ධර්මාශ්‍රමය විහාරස්ථානයට වර්ෂ 1988 දී එවකට හිටපු ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කර ඇති බවද තතු දත් අය පවසති. එම අක්කර පහක භූමිය ද මැනුම් කර වෙන්කර දී නැත. මේ ඉඩම් සියල්ලම යට කරගෙන කන්නේ ජයරත්න පවුල විසින් බව නොරහසකි.
ඉඩම් රජයේ දේපළ කොල්ල කෑම ජයරත්නලාට මී බෙට්ටක් තරමේ සුළු දෙයක් බව ඔවුන් කළ කී දෑවලින් පැහැදිලි වේ. ගම්පොළ නගරයේ සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටි ඉඩම සහ ගොඩනැඟිලි භුක්ති විඳීම එයට තවත් උදාහරණයකි. දැන් අම්බුළුවාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කර ඇති වාර්තාවලින් හෙළිදරව් වන තොරතුරුවලට යොමු වෙමු.
2016 විගණකාධිපති වාර්තාවෙන් හෙළි වන කරුණු
දේපළ පිරියත හා උපකරණ වටිනාකම රුපියල් 347,682,015 ක් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් නැත. ජංගම නොවන වගකීම් වටිනාකම රුපියල් 348,638,234කට අදාළව කිසිදු වාර්තාවක් නැත.
රුපියල් 5,129,165 ප්‍රවේශ පත්‍ර ආදායමට අදාළව රිසිට්පත් හා ලේඛන කිසිවක් නැත.
රුපියල් 270, 720ක් වටිනා ප්‍රවේශපත් පොත් වෙනුවෙන් තොග සහතික තොග ලේඛන නැත.
එක් එක් මාසය වෙනුවෙන් බැංකු සැසඳුම් ප්‍රකාශ පිළියෙළ කර නැත.
හිමිකමක් නැති වාහන දෙකක් අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් 180,358ක් වියදම් කර ඇත.
භාරය සතු ගොඩනැඟිල්ලක් අලුත්වැඩියාව සඳහා රුපියල් 5,313,884ක් වියදම් කර තිබුණද අදාළ ලේඛන කිසිවක් විගණනයට ඉදිරිපත් කර නැත.
2017 විගණන වාර්තාව අනුව පහත සඳහන් තොරතුරු අනාවරණය වේ.
කුවිතාන්සි නිකුත් නොකළ ආදායම රුපියල් 3, 495,500කි. ප්‍රවේශපත් පොත් මිලදී ගැනීමට රුපියල් 167,790කි. රුපියල් 40000ක් වටිනා වතුර පොම්පයක් තිබුණද තොග ලේඛනවලට මේවා ඇතුළත් කොට නැත.
ආයතනය සතු වාහන 3ට ලොග් සටහන් හෝ ධාවන සටහන් නැත.
රුපියල් 971,783ක් වියදම් කර සංචාරක නිවාසය අලුත්වැඩියා කර ඇතත් ඉන් ලද ආදායමක් නැත. ගිවිසුම්ගතවීමකින් තොරව අලුත්වැඩියා කිරීම් සඳහා රුපියල් 1, 829,757ක් වියදම් කර තිබුණද කොන්ත්‍රාත්කරුවන් විධිමත්ව තෝරාගෙන නැත.
2018 වසරේ විගණන වාර්තාවට අනුව භාරයට අයිති නැති වාහනයක් අලුත්වැඩියා කිරීමට රුපියල් 105,532ක මුදලක් වියදම් කර තිබුණද වියදම් කිරීම සම්බන්ධයෙන් සාක්ෂි නොමැත.
2019 විගණන වාර්තාව අනුව රුපියල් 1,386,630කට අදාළ වවුචර්පත් ගෙවීම් සඳහා ලිඛිත සාක්ෂි කිසිවක් නොතිබු බවත් සහතික කිරීමකින් තොරව රුපියල් 17,845,862ක මුදලක් ගෙවා තිබේ.
2020 විගණන වාර්තාවේ සඳහන් වන පරිදි ගම්පොළ ලංකා බැංකුවේ පවත්වාගෙන යන ස්ථාවර තැන්පතු 3කට අදාළ වන තැන්පතු සහතිකපත් විගණනයේදී ඉදිරිපත් කර නැත. 2020 වර්ෂයේ ප්‍රවේශපත් විකිණීමෙන් ලද අදායම රුපියල් 9,525,575ක් ලෙස ලෙජර්වල සඳහන් කර ඇතත් ඒවාට අයත් පිළිපත් ගිනිතබා විනාශකර ඇති බව වාර්තාවේ සඳහන් වේ.
මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල සේවය කරන නිලධාරින්ට වැටුප් හා දීමනා මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගෙවුවද ඒ අයට ආහාර ලබා දීම සඳහා රුපියල් 558,463ක් වියදම් කර තිබේ. මුදල් බැංකුගත නොකර මග හැරියේ ඇයි? මෙයින් තවත් කරුණක් සනාථ වේ. එනම්, අම්බුළුවාවේ මාර්ග ඉදිකිරීම සහ මාර්ග සංවර්ධනය රාජ්‍ය මුදල් යොදවා සිදු කර ඇති බවය.
මෙම වර්ෂයේ බැංකු ප්‍රකාශන අනුව ගෙවන ලද චෙක්පත්වල වටිනාකම් රුපියල් 15,445,864ක් වුවත් එම මුදලට වඩා වැඩියෙන් රුපියල් 501,079ක මුදලක් ගෙවා ඇති බව විගණනයේදී හෙළිදරව් කරගෙන තිබේ.
කළමනාකරු සහ රියැදුරු ලෙස සේවය කළ දෙදෙනා වෙනුවෙන් රුපියල් 725,000ක් ගෙවා තිබුණද ඔවුන් සම්බන්ධයෙන් පැමිණීමේ ලේඛන පවත්වාගෙන ගොස් නැතිවා පමණක් නොව ඔවුනට විධිමත් පත්වීම් ලිපි ද ලබා දී නැති බව හෙළිවේ. මේ අනුව තවදුරටත් සොයා බැලුවහොත් මෙම නිලධාරීන් සත්‍ය ලෙසම ආයතනයේ සේවකයන්ද වෙනත් රාජ්‍ය සේවකයන් ද යන්න සොයා ගත හැකිය. සිදුව ඇති සහ සිදු කර ඇති වංචා ප්‍රමාණය අනුව එසේ සැක සංකා මතුවීම අරුමයක් නොවේ. වාහන අලුත්වැඩියාවට පෙර හා පසුව යාන්ත්‍රික ඉංජිනේරු සහ මෝටර් රථ පරීක්ෂක වාර්තා ලබාගෙන නැති බවද විගණන වාර්තාව කියයි.
දෛනිකව ලැබෙන මුදල් බැංකුගත කර චෙක්පත් මඟින් ගනුදෙනු කළ යුතු වුවත් රුපියල් 406,160ක මුදලක් බැංකුගත නොකර වියදම් කර තිබේ.
පෝනි දෙන්නට මොකද වුණේ ?
භාරය සතුව රුපියල් 80000ක් වටිනා පෝනියන් හතර දෙනෙකු සිටියද ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බව කියන මුත් මිය ගිය සතුන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා නොතිබුණත් එය සනාථ කරගත නොහැකිව ඇත. භාරයේ නඩු වෙනුවෙන් නීතිඥයන් දෙදෙනෙකුට රුපියල් 515,000ක් ගෙවා තිබුණද මේ වෙනුවෙන් ලදුපත් හෝ බිල්පත් තිබී නැත.
බිල්පත් නොගැළපීම, විවෘත බිල්පත් ඉදිරිපත් කර තිබීම හා බිල්පත් නොමැති වීම භාරයේ කාර්ය මණ්ඩලයට චෙක්පත් හා වවුචර් ලිවීම වෙනුවෙන් වැය කර තිබෙන රුපියල් 1,497,053ක් වන ගෙවීම් පිළිගත නොහැකි ඒවා බව විගණන වාර්තාව කියයි.
රුපියල් 9,833,130ක් වටිනාකමින් යුත් කළුගල් කියුබ් 2185.14ක් ඉවත් කර ඇති මුත් ඒ සඳහා ලබාගත් මුදලක් නැති බවත් වාර්තාවේ සඳහන්ය.
රුපියල් 230,000ක් වැය කර කාර් රථයක් සහ ඉලෙක්ට්‍රේානික් යතුරුපැදියක් අලුත්වැඩියා කර ඇතත් ඒවා භෞතික පරීක්ෂාවට ඉදිරිපත් කර නැත.
පස් කැපීම සඳහා රුපියල් 1,132,500ක් වියදම් කර තිබේ. මෙය අම්බුළුවාව ජෛව විවිධත්වයට හා පාරිසරික තත්ත්වයන්ට හානිකර වන්නක් වුවත් ඒ සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ලබාගෙන නොතිබු බව වාර්තාවෙන් අනාවරණය වේ. 2021 විගණන වාර්තාවේ සඳහන් ආකාරයට මධ්‍යම පළාත් සභාවේ ප්‍රතිපාදනවලින් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ද ඇවිදින මංතීරුවක් ඉදිකිරීම හා වැව ප්‍රතිසංස්කරණය සිදු කර ඇතත් ඒ සම්බන්ධයෙන් භාරය සතුව විස්තරයක් නොතිබීම නිසා ඒ සඳහා වැය කළ මුදල සොයාගත නොහැකිය.
විගණිත වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ප්‍රවේශපත්‍රවලට අදාළ පිළිපත් ගිනිතබා විනාශ කර ඇත. භාරය සතු වාහනයක් රුපියල් 3,500,000කට විකුණා ඇතත් අදාළ ඒ සම්බන්ධ කිසිදු ලියවිල්ලක් නොවීය.
භාරය සතුව ටොයොටා මෝටර් රථයක් හා විදුලි යතුරුපැදියක් (වටිනාකම රුපියල් 9,130,000කි) තිබුණද භාරයේ කටයුතුවලට ඒවා යොදාගත් බවට තොරතුරු නැත. එහෙත් මේවා අලුත්වැඩියාවට රුපියල් 608,089ක් වියදම් කර ඇත. බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු නැත.
පුස්තකාලය නිල නිවාසයකට අරන්
නිර්මාතෘගේ (දි.මු. ජයරත්නගේ) පිළිරුව ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය සඳහා පුද්ගලයන් 9 දෙනෙකුට රුපියල් 9,805,074ක් ගෙවා තිබුණද අදාළ ඉදිකිරීම්වලට ඇස්තමේන්තු නැත. ඉංජිනේරුවකු හෝ තාක්ෂණ නිලධාරියකු බිල්පත සහතික කර නැත. තවත් ඉදිකිරීම් තුනක් සඳහා රුපියල් 5,831,681ක් ගෙවා තිබුණ ද පිරිවැය ඇස්තමේන්තු වැඩ පත්‍රිකා කිසිවක් නැත.
භාරයේ කළමනාකරණ බංගලාව සඳහා රුපියල් 121,505ක් ද පුස්තකාල ගොඩනැඟිල්ල සභාපතිගේ නිල නිවෙස සඳහා භාවිත කිරීමේ අරමුණින් රුපියල් 1,646,906ක් වැය කර ප්‍රතිසංස්කරණය කර තිබුණද ඒවා උපයෝජනය කර නැත. කඳු සහිත ස්ථාන තැනිතලා කිරීමට පස් හා ගල් කැඩීම නිසා අම්බුළුවාව ජෛව විවිධත්වයට සහ පාරිසරික තත්ත්වයන්ට හානි සිදුව ඇත. ඒ වෙනුවෙන් රුපියල් 3,726,540ක් වැය කර තිබුණ ද භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් හෝ මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගෙන නොතිබිණි.
එසේම සෑම ගිණුම් වාර්තාවකම පාහේ සඳහන් වන්නේ ගිණුම් කටයුතුවල දුබල බවය. එසේම විගණනයට පෙර ඉදිරිපත් කරන විගණන විමසුම්වල වැඩි ප්‍රමාණයක් ප්‍රශ්නවලට පිළිතුරු ද ලබා දී නැති බව ද පෙනේ.
ජයරත්නලා මේ නිල සෙල්ලම්කර ඇත්තේ රාජ්‍ය මුදල් සමඟය. ඉතින් මොවුන් කොයිවල යන්නද?
නිමල් අබේසිංහ