Home » මන්ත්‍රීකම නැති වුණත් අත්හරින්න බැරි බංගලා

මන්ත්‍රීකම නැති වුණත් අත්හරින්න බැරි බංගලා

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

සුගිය සතියේ රටේම මාතෘකාව වූයේ නාය යෑම්, ගංවතුර ඇතුළු අයහපත් කාලගුණය ගැන වුවද සති දෙක තුනක් තිස්සේම ඇදී යන මාතාකෘවක් වන්නේ මන්ත්‍රී නිල නිවාස ගැටලුවයි. මන්ත්‍රී නිල නිවාස ගැටලුව හමුවේ දැඩි ප්‍රශ්න මතු විය.

විශේෂයෙන්ම හිටපු මැති ඇමැතිවරු නිල නිවාස ආපසු භාර නොදීම හමුවේ මේ තත්ත්වය වඩාත් උග්‍ර විය. අපේ රටේ දේශපාලන සංස්කෘතිය හමුවේ නිල නිවාසවලින් ඉවත් නොවී පැළ වීම කාලයක් තිස්සේම සිදු වූවකි. කුමන ආණ්ඩුවක් යටතේ වුවද මේ ගැටලුව උග්‍රව පැවතුණි.

එය තම වරප්‍රසාදයක් ලෙස සැලකූ මැති ඇමැතිවරු නිල නි‌ෙවසේ ජල විදුලි බිල්පත්වලට පවා රුපියල් කෝටි ගණන් පොලු තබන ලදි. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් නොගෙවූ ජල බිල්පත් ලක්ෂ ගණනක් එකතුවී තිබිණි. උදාහරණයක් ලෙස 2021 ඔක්තෝබර් මස පමණක් ඔහුගේ නිල නි‌ෙවසේ ජල බිල්පත රුපියල් 66,948.87ක් ලෙස දැක්විණි. එහෙත් එම නි‌ෙවසේ ජල සබඳතාව විසන්ධි නොකර තිබීම පුදුමයකි. සාමාන්‍ය අයකු රුපියල් 600ක් 700ක් මාස දෙක තුනක් නොගෙවා සිටියහොත් ‘රතු බිල්’ එවා ජල සැපයුම විසන්ධි කරන්නට කටයුතු කරන ජල සම්පත් මණ්ඩලය ලක්ෂ ගණන් ජල බිල්පත් හමුවේ මුනිවත රැකීම අරුමයකි.

එය එක් අතකින් තම බලය අයුතු ලෙස යොදා ගැනීමක් හෝ බලය හමුවේ රාජකාරිය පසෙක ලෑමක් හෝ විය හැකිය.

ඒ නිවාස ගැටලුවේ එක් පැතිකඩකි. තවත් පැත්තක් අපට වාර්තා වූයේ අම්පාරෙනි. හිටපු ඇමැතිවරයකු වූ පී. දයාරත්න වසර 46ක්ම නිල නි‌ෙවසේ පදිංචිව සිටියේය. ඒ බව රජයේ වගකිය යුතු කිසිදු නිලධාරියකු නොදැන සිටියේද යන්න මෙහිලා ඇති වන ගැටලුවයි. එසේ නොමැති නම් ඒ බව දැනගෙන නොදන්නා සේ සිටියාද විය හැකිය. මේ දෙකින් කුමන කරුණ වුවද රාජ්‍ය නිලධාරින්ට එම වගකීමෙන් මිදෙන්නට නොහැකිය.

ඒ තම රාජකාරිය, වගකීම පැහැර හැරීමක් සිදුව ඇති නිසාය.

මන්ත්‍රී නිල නිවාස ප්‍රශ්නය මෙතරම් උඩු දුවන්නේ එවන් නොසැලකිලිමත්කම් නිසාය.

•කොළඹ අවටින් මන්ත්‍රී නිල නිවාස හිමි වන්නේ කාටද?

කොළඹින් දුර බැහැරව පදිංචිව සිටින මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවසක් ඉල්ලුම් කළ හැකි ය. එසේ ලබා දෙන නිවාසයක් සඳහා ගෙවිය යුතු මාසික කුලී මුදල රුපියල් 2,000කි. එය මීට පෙර රුපියල් 1,000ක් ලෙස පැවතුණි.

කෙසේ නමුත්, එම නි‌ෙවසේ විදුලි බිල්පත් සහ ජල බිල්පත් අදාළ මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය විසින් ගෙවිය යුතුය.

මාදිවෙල නිවාස සංකීර්ණයේ නිල නිවාස සඳහා 1993 වර්ෂයේ සිට අය කරනු ලැබුවේ රුපියල් 1,000ක කුලී මුදලකි. එය සංශෝධනය කිරීමට කටයුතු කළේ සමාජ කථිකාවන් නිර්මාණය වීමෙන් පසුවය. එයද රුපියල් 2,000ක් දක්වා ඉහළ දැමීමක් පමණි.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබා දීමේදී පාර්ලිමේන්තු මහලේකම් සමඟ ඇති කර ගනු ලබන ගිවිසුමට අනුව මහ මැතිවරණයකින් හෝ විශ්වාසභංගයකින් හෝ වෙනත් හේතුවක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වුවහොත් වහාම නිල නිවාසයෙන් ඉවත්ව එය නීත්‍යනුකූලව නැවත භාරදීම සිදු කළ යුතුය.

එසේ නියමිත දින (ඇතැම් විට දින කිහිපයක සහන කාලයක් හිමි වනු ඇත) නිල නිවාස භාර නොදුන් කාලය වෙනුවෙන් මන්ත්‍රීවරයකුගෙන් දිනකට රුපියල් 500 බැඟින් දඩ මුදලක් අය කෙරේ. එමෙන්ම එතෙක් නොගෙවා ඇති ජල හා විදුල් බිල්පත් ද ගෙවා දැමිය යුතුය.

එසේ නොගෙවා තිබුණහොත් අදාළ නිලධාරීන් ඒ වෙනුවෙන් කටයුතු කර ජල සම්පත් මණ්ඩලය හා විදුලිබල මණ්ඩලය හා එක්ව නීත්‍යනුකූලව කටයුතු කළ යුතුය.

‌මේ ලෙසින් 2022 නොවැම්බර් 15 දින වන විට මන්ත්‍රීවරුන් 6 දෙනකුගෙන් රු‍පියල් 455,904 ක විදුලි හා ජල බිල්පත් අය කරගෙන නොතිබූ බව විගණකාධිපතිවරයා විසින් දන්වා තිබිණි. ඊට හේතු අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් දැක්විය යුතුය.

නි‌ෙවසක් හිමිවිය යුතු කොළඹින් බැහැර මන්ත්‍රීවරයකු සිටියහොත් නිවසක් ලබා දීමට නොහැකි වුවහොත් එම මන්ත්‍රීවරුන් සඳහා මාසිකව රුපියල් 75,000ක් ගෙවනු ලැබේ.

මේ ලෙසින් 2021 වර්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට රුපියල් 6,750,000ක්ද 2022 වර්ෂයේ පළමු මාස 9 තුළ මන්ත්‍රීවරුන් 8 දෙනෙකුට රුපියල් 4,875,000ක් ද එසේ ගෙවා ඇත.

මාදිවෙල නිල නිවාසවල ජල, විදුලි හා දුරකතන බිල්පත් සඳහා තැන්පතු ලෙස අය කරනු ලැබුවේ රුපියල් 1,000ක සොච්චම් මුදලකි. ඒ මුදලින් නොගෙවා සිටින ලක්ෂ ගණනක ජල හෝ විදුලි බිල්පත් අය කර ගත හැකිද?

විශේෂයෙන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණ නිවාස 120ක් පවතින අතර, එයින් නිවාස 100ක් මන්ත්‍රීවරුන්ට ලබා දීමට කටයුතු කර ඇත. එහෙත් පසුගිය ආණ්ඩු පෙරළියත් සමඟ එම නිවාසවල සිටි මන්ත්‍රීවරුන් රැසකට එම නිවාස අහිමි වූ අතර, ඔවුන් වහාම එම නිවාස ආපසු භාරදී පිට විය යුතු විය.

කෙසේ නමුත් හිටපු මන්ත්‍රීවරු පස් දෙනෙක් රජයේ නිල නිවාස ආපසු භාර නොදී ඒවාට ඉබි යතුරු දමා විදේශගතව ඇත. මේ තත්ත්වය නිසා එම නිවාස අලුත් වැඩියා කිරීමට හෝ නවක මන්ත්‍රීවරුන්ට භාර දීමට නොහැකි වී තිබිණි.

•නවක මන්ත්‍රීවරුන්ට නිවාස ලබා දෙන්නේ කෙසේද?

මාදිවල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස ලබා ගැනීම සඳහා මේ වන විට නවක මන්ත්‍රීවරුන් රැසක් ඉල්ලුම් කර තිබෙන අතර, ඔවුන්ගෙන් සුදුසුකම් සම්පූර්ණ කළ මන්ත්‍රීවරුන්ට ලබන දෙසැම්බර් 03 වැනිදා වන විට නිල නිවාස ලබා දෙන බවට පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දන්වා තිබිණි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පරාජයට පත් වු මන්ත්‍රීවරුන්ට යළි සිය නිල නිවාස භාර දෙන්නැයි පාර්ලිමේන්තුව විසින් දැනුම් දී තිබිණි. ඒ අනුව හිටපු මන්ත්‍රීවරුන් 35ක් කඩිනමින් එම නිල නිවාස ආපසු භාර දී ඇත. හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් තමන් භාවිත කළ නිල නිවාස භාර නොදීම හේතුවෙන් නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීමේ ගැටලුවක් මතු වී ඇත.

ඒ, මේ වන විට නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් නිවාස ඉල්ලා තිබීම නිසා එම ගැටලුවට තාවකාලික පිළියමක් ලෙස මහ බැංකුවට අයත් රාජගිරියේ බැංකු නිලධාරීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ කාමර සහිත කොටසක් කුලී පදනම මත ලබා ගැනීමට අවධානය යොමු වී තිබේ. මාස 3ක කාලයක් සඳහා අදාළ ගොඩනැඟිල්ලේ පිහිටි නේවාසිකාගාර කුලී පදනමක් යටතේ මිලදි ගැනීමට ඇති හැකියාව පිළිබඳව එහිදී අවධානය යොමු කර ඇත. එහෙත් ඇතැම් නිවාස අලුත්වැඩියා කිරීමට ද යම් කාලයක් ගතවනු ඇති බව මෙහිදී සිහි කළ යුතුය.

මේ අතර ඇතැම් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හිමි නිල නිවෙසට අමතරව අමාත්‍යවරයකු ලෙස හිමි නිල නිවෙස ද පරිහරණය කිරිම හමුවේ මන්ත්‍රී නිල නිවාස ගැටලුව තවත් උග්‍ර වී ඇත.

එමෙන්ම මේ නිවාස ගැටලුව පිළිබඳව විමර්ශන යොමු වෙද්දී තවත් කරුණක් ඉස්මතු විය. ඒ, මාදිවෙල ඇතැම් මන්ත්‍රී නිල නිවාස වෙනත් බාහිර පාර්ශ්ව වෙත ලබා දී ඇති බව හෙළි වීමය. එය සම්පූර්ණයෙන්ම නිවාස අවභාවිත කිරීමකි. රජයේ දේපළ අපහරණය කිරීම වෙනුවෙන් නීතිමය පියවර ගත හැකිය.

එම නිවාස මන්ත්‍රීවරුන්ගේ ඥාතීන්, ආරක්ෂක නිලධාරීන්, හිතවතුන්, හිතවතියන් ඇතුළු පිරිස් භාවිත කර ඇති බවට මේ වන විට තොරතුරු හෙළිව තිබේ.

මාදිවෙල මන්ත්‍රී නිවාස ලබා දෙනුයේ කොළඹට කඩිනමින් ළඟා විය නොහැකි දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර, රජය මෙම නිවාස නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව මිලියන 40කට අධික මුදලක් වැය කරනු ලැබේ. එවන් තත්ත්වයක් මත එම නිවාස පිටස්තර අයට ලබා දීම නිසා මේ තත්ත්වය තවත් උඩු දුවා ඇත.

එම නිවාසවලට අමතරව අමාත්‍යවරුන්ටත් සිය නේවාසිකත්වය සඳහා තවත් විශේෂිත නිවාස දිවයිනේ වෙනත් ස්ථානවලින් ද හිමිව ඇත. හිටපු ඇමැති දයාරත්න වසර 46ක් සිටියේ එවැනි නිල නිවාසයකය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වන නිල නිවාස ඇතුළු වරප්‍රසාද මේ ලෙසින් අවභාවිත කිරීම මහජන මුදල් කාබාසිනියා කිරීමකි. වත්මන් ජනාධිපතිවරයා යටතේ ඒ වෙනුවෙන් කඩිනම් පියවර ගත යුතුය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තැපැල් පහසුකම් වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ පහක මුද්දර සහනයක් ලබා දී තිබිණි. එයද අවභාවිත වී ඇත. මේ තත්ත්වය අනුව එය 2024 ඔක්තෝබර් 08 වැනිදා සිට නවත්වා දමා ඇත. එය අගය කළ යුතුය. එමෙන්ම මන්ත්‍රීවරයකුට කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් ලක්ෂයක මුදලක් ද ගෙවනු ලැබේ.

මේ සියල්ල මහජන සුබසිද්ධිය වෙනුවෙනි. එහෙත් එම පහසුකම් වරප්‍රසාද අවභාවිත කරන්නේ නම් සිදු වන්නේ ජනතා සේවය නොව තවත් ජනතාවගේ බදු මුදල් අවභාවිත කිරීමකි. මන්ත්‍රී නිල නිවාස පිටුපස ඇත්තේද එවන් අවභාවිතයකි.

නවක මන්ත්‍රීවරුන්ට කඩිනමින් නිවාස ලබා දීමට හැකියාවක් නොමැත්තේ එහෙයිනි. එම නිසා කඩිනමින් නිවාස ලබා නොදීම සම්බන්ධයෙන් වහාම අදාළ මන්ත්‍රීවරුන්ගෙන් දඩ මුදල් අය කළ යුතුය. අපි ඒ දෙස බලා සිටිමු.

 

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division