Home » එකක් කඩතොලු වසා රැසක් කඩතොලු සැදූ E-08 රැකියා අර්බුදය

එකක් කඩතොලු වසා රැසක් කඩතොලු සැදූ E-08 රැකියා අර්බුදය

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

80-90 දශකවල ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ විදෙස්ගත රැකියා සඳහා වන සිහිනය වන්නේ ඉතාලියට යාමය. වෙනත් අයුරකින් කිවහොත් ‘මිල්ලෙ සොයා ඉතාලි පැනීමය‘. එතෙක් ජනවහරේ කොරියාව සම්බන්ධයෙන් ප්‍රසාදයක් නොතිබුණ ද, 2000 දශකයේ මැද භාගය වන විට තත්ත්වය වෙනස් විය. ‘හොර පාරෙන් වුව ඉතාලි යාම‘ මුහුද ආශ්‍රිත නගරවල ජනප්‍රිය කතිකාව වනවිට ‘හරි පාරෙන් දකුණු කොරියා යාම‘ දීප ව්‍යාප්ත බලාපොරොත්තුවක් බවට පත්විය.

කෙසේ වෙතත් ඉකුත් රජයේ දේශපාලන බලාධිකාරියේ ප්‍රබලයන්ද, ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාකලාපයන්ද නිසා ද කොරියා යන ‘හරි පාර‘ට තාවකාලික මාර්ග බාධක වැටීමේ අවදානමක් තිබේ. බාධක ඉවත් කොට යළි මඟ හෙළිපෙහෙළි කරගත හැකිද? එසේ නොමැති නම් ඒවා ස්ථීර බාධක බවට පත්වේදැයි තවමත් අනාවැකි පළ කළ නොහැකිය. එහෙත් ගැටලුව වහා විසඳිය යුතු බව නම් අවධාරණය කළ යුතුය. මන්ද යත් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ යනු රටේ ආර්ථිකයේ අතිශය තීරණාත්මක සාධකයක් වන බැවිනි.

E-8 වීසා කෝටාව

E-8 වීසා කෝටාව යනු දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා ඉඩ ප්‍රස්ථාව සලසන ක්‍රමයකි. දකුණු කොරියානු රජය මෙය නිල වශයෙන් හඳුන්වන්නේ SWP හෙවත් සෘතුමය කම්කරු වැඩසටහන (The Seasonal Worker Program) ලෙසය. එරට ආගමන විගමන සේවා පිළිබඳ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි “කාර්යබහුල ගොවිතැන් සහ ධීවර සමයේදී නිදන්ගත ශ්‍රම හිඟය පියවා ගැනීම සඳහා කෙටි කාලයකට විදේශ ශ්‍රමිකයන් නීත්‍යනුකූලව බඳවා ගැනීමට මෙම වැඩසටහන මඟින් ඉඩ ලබා දේ“. ඒ අනුව මාස 8ක් වැනි කෙටි කාලයක් සඳහා මෙමඟින් හිඟ ශ්‍රමය ලබා ගැනීමට එරට සංක්‍රමණික කර්මාන්ත ක්ෂේත්‍රයට ඉඩ ලැබේ. එහෙත් ඉකුත් පාලන කාලයේදී සිදුව ඇත්තේ මෙලෙස පවත්නා නිසි ඉඩකඩ අනීතික ලෙස භාවිතයට ගැනීමය. ඒ නිසාම වංචා දූෂණ හා අක්‍රමිකතා රැසකට මංපෑදීමය. මේ නිසාම E-9 කෝටාව නියෝජනය කරන 28,000-30,000ක පමණ රැකියා අවස්ථා පිළිබඳව ද, අවදානමක් මතුවීමය.

‘සංක්‍රමණිකයන්ගේ හඬ ජාලයේ‘ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා හර්ෂණී රාජපක්ෂ මෙසේ පවසයි.

“අපේ රටේ ආර්ථිකයේ විශාල බරක් අදින්නේ මේ විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව. පසුගිය කාලයේ ‘රට විරුවන්‘ නමින් හඳුන්වමින් මේ අයව ඉහළට ඔසවා පෙන්වීමේ මුවාවෙන් මහාපරිමාණ දූෂණ හා වංචා සිදුවුණු බව දැන් දැන් හෙළිදරව් වෙමින් පවතිනවා. අපට විදෙස් ප්‍රේෂණ වැදගත්. ඒත් එහෙමයි කියලා නීති විරෝධී විදිහට ශ්‍රමිකයන් රට පටවන්න අපට බෑ. එහෙම වුණොත් ඒක මිනිස් ජාවාරමක් බවට පත්වෙනවා. මිනිස් වෙළෙඳාමක් බවට පත්වෙනවා. මිනිස් වෙළෙඳාමට එරෙහි ජාත්‍යන්තර දිනය සෑම වසරකම ජූලි 30 වෙනිදාට යෙදෙනවා. මේ වසරේත් අපි මේ ගැන කතා කළා. කළ යුත්තේ කතා කර කර සිටීම නොව විගමණික ශ්‍රම කර්මාන්තය විධිමත් කිරීමට කටයුතු කරන අතරේම මෙවැනි ජාවාරම් සිදුවීම වැළැක්වීමයි“

අප කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් “එතෙර අපි“ සංවිධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සිය හඬ අවදි කරනු ලැබුවේ මේ අයුරිනි.

“ අපි බොහෝවිට සංවිධාන කටයුතු කරන්නෙ විදෙස්ගත අය මිසක් විදෙස්ගත වෙන්න ඉන්න සිටින සම්බන්ධයෙන් නෙවෙයි. ඒත් මෙතැන තියෙන්නේ ශ්‍රම කර්මාන්තයටම අදාළ කාරණයක්. පසුගිය කාලයේ පැවති රජයන්, විදෙස් රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී රාජ්‍ය තාන්ත්‍රික ලෙස, විධිමත් ලෙස මෙම කටයුතු මෙහෙයවා නෑ. හැම රටකම පාහේ මුහුණදෙන්න තියෙන්නෙ එහෙම ගැටලු. මේක වත්මන් ආණ්ඩුවෙන් ඇති කරපු ගැටලුවක් බවට හුවා දක්වන්න සමහරු උත්සාහ කරනවා. ඒත් ඇත්තටම දැන් සිද්ධ වෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික නොවුණු, නීත්‍යනුකූල නොවුණු ගනුදෙනුවක් වෙනුවට රාජ්‍ය තාන්ත්‍රික විදිහට රටවල් දෙකටම වඩා පිළිගත හැකි ක්‍රමවේදයක් හදාගන්න දරන උත්සාහයක්.“

ජාවාරම්වලට අහුවෙන්නවත්, හවුල් වෙන්නවත් එපා

මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගියදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද, මාධ්‍යවේදියකු විසින් ප්‍රශ්න කරනු ලැබිණි. එම අවස්ථාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

“ කොරියාවේ දැනට සිටින 28,000-30,000ක් පිරිසක් මෙරටට ප්‍රේෂණ එවනවා. නියමිත වීසා ක්‍රමය තමා E-09. නමුත් e-08 කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයවත් නොදන්නා, ගිවිසුමකට අදාළ නොවන අනීතික ක්‍රියාවක්. අනීතික ක්‍රියාවක් නීත්‍යනුකූල කරන්නට රජයට හැකියාවක් නෑ. මේක නීත්‍යනුකූල කළොත් අපට ඊ 09 එකත් නැතිවීමේ අවදානමක් තියෙනවා. සාමාන්‍ය යෙන් කොරියානු රජය වසරකට රැකියා අවස්ථා 6000ක් පමණ ලබාදෙනවා. අවුරුදු 4ට වැඩි කාලයකට ලබාදෙන වීසා එක අතිශය වැදගත්. මේ මාස 6-7ට ලැබෙන එකට වඩා. එරටට ගියාම පැන යන්නට හැකියාවක් තියනෙවා කියලා මුදල් අය කරලා තමා යවල තියෙන්නෙ. මීට මාසෙකට කලින් විතර පිරිසකගේ වීසා කාලය ඉවර වුණා. අද වෙද්දි ඉතුරු පිරිසේ වීසා කාලය ඉවර වෙනවා. මේක නීත්‍යනුකූල කළොත් 6000ක් පමණ වන කෝටා එක නැතිවෙනවා. තියෙන 6000ක පමණ වීසා ටික නැති කරගන්නවද, මේක කරනවද කියන තීන්දුව ගන්න වෙනවා. තරුණයන් රවටා මිනිස් ජාවාරමක් කළ අයට එරෙහිව අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. මෙවැනි ජාවාරම්වලට කිසි කෙනෙක් හවුල් වෙන්නත් එපා.“ හෙතෙම අවධාරණය කළේය.

දකුණු කොරියානු රැකියාවලට අදාළව E-8 වීසා ක්‍රමය තුළ බලවත් වංචා දූෂණ සිදුවී ඇති බැවින් ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ඉකුත් නොවැම්බර් 25 වනදාය. ඒ වනවිට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට මෙලෙස රැකියා බලාපොරොත්තුවෙන් සිටි පිරිසකගේ විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත්වෙමින් තිබිණි. ඔවුන් සියලුදෙනාගේ වීසා නොවැම්බර් 26 වෙනිදායින් අවසන් විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර කාර්යාංශයේ අදාළ ලිපි ගොනු හා පරීක්ෂණවලට අදාළ තොරතුරු රැස්කර ගැනීම අරඹා තිබේ.

නීත්‍යනුකූල ක්‍රමවේදය

මේ පිළිබඳ අප කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ සිය අදහස් දැක්වූයේ මේ අයුරිනි.

“ මේ සම්බන්ධයෙන් පැමිණිලි 4ක් අපට ලැබිලා තියෙනවා. අත්අඩංගුවට ගැනීම් 4ක් සිද්ධ වුණා.. වීසා කල් ඉකුත්වීමත් සමඟ රැවටීමට ලක්වුණු, අසාධාරණයට ලක්වුණු අනිත් අයත් ඉදිරියේදී ඉදිරිපත් වේවි. මොකද මෙතන මිනිසුන් රවටා රැකියා ලබාදෙන බවට පොරොන්දුවී මුදල් ගරාගැනීමක් තමා සිද්ධ වෙලා තියෙන්නෙ. දැනට අත්අඩංගුවට අරන් තියෙන්නේ අතරමැදි තැරැව්කරුවන්. ජනාධිපතිවරණයට කලින් ‘ජය ගමු ශ්‍රී ලංකා‘ වගේ දේශපාලන ව්‍යාපෘතිවලට හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර විසින් “වීසා තියෙනවා ගන්න කියලා“ කියපු වීඩියෝ ක්ලිප් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙනවා. යන්න හදපු 7 දෙනෙක් අත්අඩංගුවට පත්වීමත් එක්ක තමා මේ ජාවාරම හෙළිවුණේ. හොරෙන් ගියපු අය ඉන්න බවට ආරංචි එනවා. නමුත් තාම ඒ ගැන තහවුරු කිරීමක් වෙලා නෑ. මේ පැත්තෙන් ඇමති අත්සන් කරාම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් නිවරදි යයි බැලූ බැල්මට පේන නිසා කොරියානු බලධාරීන් මුලදී එච්චර හිතලා නෑ. මේ පැත්තෙන් සිද්ධ වෙලා තියෙන්නේ කැබිනට් අනුමැතියක් හෝ නීතිපතිගේ අනුමැතියෙන් තොරව පුද්ගලික වැඩක්.

කාර්යාංශ පනත අනුව ශ්‍රමිකයෙක් විදේශ රැකියාවකට යනවා නම් අනිවාර්යෙන්ම කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගත යුතුයි. කාර්යාංශය විසින් E-8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබාදෙන්න කැබිනට් අනුමැතිය ගන්න යෝජනාවලියක කෙටුම්පතක් මැයි මාසේ 14 දින සකස් කරලා තියෙනවා. ඒත් හිටපු අමාත්‍යවරයෙක් කැබිනට් අනුමැතිය ලබාගන්නත් පෙර, රජයේ කිසිදු අනුමැතියකින් තොරව පෞද්ගලිකව ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. මේක ඇත්තමට බැලුවොත් මිනිස් වෙළදාම් ගණයට ඇතුළත් වෙන වරදක්. මේ සම්බන්ධයෙන් අපි දැඩි ක්‍රියාමාර්ග අරගන්නවා. නිකුත් වුණ වීසා නිත්‍යනුකූල නෑ. අමාත්‍යාංශයට මේ අවබෝධතා ගිවිසුම පිළිගන්න බෑ. වංචනිකව අත්සන් කරපු ගිවිසුමක් බලගන්වන්න අපිට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බෑ. අපි යළි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ මේ ක්‍රියාවලිය අලුතින්ම ආරම්භ කළාට පස්සේ විතරයි. වසර 20ක විතර කාලයක් තිස්සේ නීත්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරමින් අපි E-9 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියාවලට යොමු කරනවා. ඒ යටතේ වසරකට 6000ක පමණ රැකියා අවස්ථා අපිට ලැබෙනවා. මේ වන විට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 30,000ක් විතර ඒ රටේ ඉන්නවා. ලෝකයේ රටවල් රැසකින් ශ්‍රමිකයන් දකුණු කොරියාවට ගත්තට ලංකාව අනුගමනය කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ඒ රටේ විශාල පැහැදීමක් තියෙනවා. මේ E-8 වීසා ගැටලුව හේතුවෙන් E-9 වීසා කාණ්ඩය යටතේ හිමිවන රැකියා අති විශාල ප්‍රමාණයක් රටට අහිමි කරගන්න බෑ“ හෙතෙම අවධාරණය කළේය.

වින්දිතයන්ටත් සාධාරණයක් ඕනෑ

‘සත්‍යග්‍රහ ව්‍යාපාරය E – 8 වීසා එකමුතුව’ නමින් 107 දෙනෙකුගෙන් යුතු පිරිසක් දැක්වූ විරෝධය දැන් අවසන්ය. එ් ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් ලැබීමෙන් නොව නොවැම්බර් 26 වෙනිදායින් ඔවුන්ගේ වීසා අවලංගු වුණු නිසාය. ඔවුන්ද මෙම ගැටලුවේ වින්දිතයන්ය. රාජ්‍ය අනුග්‍රහය යටතේ ඔවුන් රැවටීමට ලක්කෙරී තිබීම අතිශය කනගාටුදායකය. ඒ නිසාම ඔවුන්ට ද, සාධාරණය ඉටුවිය යුතුමය.

ආර්ථික අර්බුදයකට රට මුහුණදීම නිසාම එදිනෙදා වියදම් පියවා ගැනීමට පවා හැකි වූයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ තුළින් බැව් අවිවාදිතය. ඒ නිසාම විදෙස්ගත වීමට තරුණයන් උනන්දු කරලීම වටින්නේය. එහෙත් රටට හෝ රටේ තරුණයන්ට අතදෙන මුවාවෙන් වංචා කිරීම අතිශය භයානකය.

“එකක් කඩතොලූ වසාගන්නට ගිහින් මට වුණු කාරියා-

දෙකක් කඩතොලූ හදා දුන්නැයි ඉඳුරුවේ ආචාරියා“ යනුවෙන් ගැමි කියමනක් තිබේ. අවසානයේ සිදුව ඇත්තේ එයයි.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division