ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලෝක ජනගහනයෙන් සියයට 15ක් පමණ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වන අතර, මේ වන විට මෙරට ජනගහනයෙන් ලක්ෂ 16කට අධික සංඛ්‍යාවක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වන අතර, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සංගණයට අනුව එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකිය.
සෑම වසරකම දෙසැම්බර් 3 වැනිදා ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය සමරනු ලබයි. “ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය වූ තිරසර අනාගතයක් උදෙසා ඔවුන්ගේ නායක්වය පුළුල් කිරීම”යන්න ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනයේ මෙවර තේමාවයි. ඊට සමාමීව ලංකාවේ පැවැත්වෙන සැමරුම් උත්සවයේදී අන්තර්කරණය වූ වැඩසටහනක් පැවැත්වෙන බව ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලි සී. වික්‍රමආරච්චි පැවැසුවාය.
” රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ආබාධ සහිත ප්‍රජාව ද ක්‍රියාකාරීව ඊට එක් කර ගැනීම සඳහා ක්‍රමවේද සකස් විය යුතු බව ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ අදහසයි. එයට ඇති ප්‍රධාන බාධකයක් වන්නේ ඔවුන් සඳහා ප්‍රවේශ පහසුකම් (Accessibility) අවම වීමයි. එම පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් රටේ ප්‍රධාන තිරසර සංවර්ධන ඉලක්කයක් වන සංචාරක ව්‍යාපාරය සඳහා දේශීය හා විදේශීය සංචාරක අවස්ථා වැඩි දියුණු කිරීමෙන් එම ව්‍යාපාරය දියුණු කළ හැකියි.
මාතර පොල්හේන වෙරළ තීරයේ මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට තීරණය කළේ ජාතික සභාවේ තීරණයක් අනුවයි. ආබාධ සහිත අයටත් අනෙක් අයට වගේම සම ප්‍රවේශ පහසුකම් තිබිය යුතුයි, සම විනෝදාස්වාද අවස්ථා තිබිය යුතුයි කියන අරමුණ ඇතිව ඔවුන්ට ඒ අයිතිවාසිකම් ලබාදීම වෙනුවෙන් මෙවර වැඩසටහන සැලසුම් කළා. ඒ සඳහා ක්‍රීඩා, විවිධ තරග සහ ඉදිරිපත් කිරීම් ඇතුළත් වෙනවා. උදාහරණයක් විදිහට අපි දන්නවා රෝද පුටුවක සිටින කෙනෙකුට මුහුදු වෙරළට යන්න අපහසුයි. නමුත් අපි මේ වැඩසටහනේදී වෙරළ තීරය පුරා යකඩ ප්ලේට් දානවා. රෝද පුටුවක සිටින කෙනෙකුට ඒවා දිගේ වෙරළට වෙරළට යන්න පුළුවන්. ඒ වගේම දෘශ්‍යාබාධිත අයත් කැමතියි මුහුදු වෙරළට ගිහින් රැල්ල පාගන්න, විනෝද වෙන්න. ඒ සඳහාත් අපි ඔවුන්ට ආරක්ෂාකාරී අයුරින් අවස්ථාව සලසා දෙනවා. මේ විදිහට ආබාධිත ප්‍රජාව සඳහා ප්‍රවේශ පහසුකම් වැඩි දියුණු කිරීම තුළින් අපි තවත් විශේෂ දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ සංචාරක ආකර්ෂණය වැඩි දියුණු කිරීම. බීච් මැට්, සහ ප්ලේට් යොදලා රෝද පුටුවක ඉන්න අයටත් මුහුදු වෙරළට යන්න අවස්ථාව ලබා දීමෙන් සංචාරක හෝටල්වලට පැමිණෙන සංචාරකයන් ද ඒ පිළිබඳ උනන්දු වෙනවා. තමන්ගේ හෝටලය තුළ ආබාධිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ පහසුකම් තිබෙන බව ඔවුන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කළාම එවැනි පුද්ගලයන් අතර ඒ පිළිබඳ ආකර්ෂණයක් ඇතිවෙනවා. ඒ වගේම ආබාධිත අයෙක් සංචාරය සඳහා පැමිණෙන විට තවත් එක් පුද්ගලයකු හෝ ඔහු සමඟ පැමිණෙනවා. ඒ තුළින් සංචාරකයන්ගෙන් අපේ රටට ලැබෙන ආදායම දෙගුණ වෙනවා. “දෙසැම්බර් 3 වැනිදා පැවැත්වෙන සැමරුම් උත්සවයට ඇතුළත් ක්‍රීඩා තරග සහ අනෙකුත් අංග තුළින් බලාපොරොත්තු වන්නේ ආබාධිත ප්‍රජාව තුළ නායකත්ව ගුණාංග වැඩි දියුණු කිරීම බව ද ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලි සී. වික්‍රමආරච්චි වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම ප්‍රජාව කෙරෙහි සමාජය සතු වගකීම පිළිබඳ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය උත්පලා අමරසිංහ මෙසේ පැවැසුවාය.
“ඔවුන් හැඳින්වීමට ආබාධිත යන වදන වෙනුවට විශේෂිත අවශ්‍යතා සහිත පුද්ගලයන් ලෙස හැඳින් වීම අභිමානවත් ආමන්ත්‍රණයක් බව මගේ අදහසයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ අපේ අනුකම්පාව නොවෙයි. ආත්ම තෘප්තියකින් යුතුව අභිමානවත් ලෙස ජීවත් වීම සඳහා ඔවුන්ට ඇති අයිතිය අප විසින් ආරක්ෂා කර දිය යුතුයි. ඒ සඳහා අපගේ ආකල්ප සහ ක්‍රියාකාරකම් වෙනස් විය යුතුයි. මඟතොටේදී, රැකියා ස්ථානයේදී ඔබට හමුවන විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට කාරුණික වන්න, සංවේදී වන්න. ඔවුන්ගේ අඩුපාඩුකම් ඉවසන්න. යම් ශාරීරික දුබලතාවකින් පෙළුණත් ඔවුන්ට ආවේණික ඉහළ කුසලතා තිබිය හැකියි. ඒවා දියුණු කර ගැනීමට හැකි අයුරින් උපකාර කරමු. විශේෂයෙන් ඔවුන් වෙනුවෙන් ප්‍රවේශ පහසුකම් නොමැති ස්ථානවලදී ඔබේ සහයෝගය ඔවුන්ට ලබා දීමට කාරුණික වන්න. වෙනස් කොට සැලකීමෙන් සහ කොන් කිරීමෙන් වැළකී ඔවුන්ටත් ජීවිතය විඳීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම අප සැමගේ යුතුකම සහ සමාජ වගකීම බව අමතක නොකරන්න. “
සුරේකා නිල්මිණි ඉලංකෝන්