Home » අනවසර ඉදිකිරීම් ලක්ෂයක් අවදානමේ

අනවසර ඉදිකිරීම් ලක්ෂයක් අවදානමේ

වැඩිම ඉදිකිරීම් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල

by Mahesh Lakehouse
November 30, 2024 12:40 am 0 comment

මධ්‍යම පළාත උඩරට කඳුකරය ඇතුළු සමස්ත දිවයිනේම අනවසර ඉදිකිරීම් අතුරින් ලක්ෂයක පමණ ඉදිකිරීම් දැඩි අවදානම් තත්ත්වයක පවතින බව වාර්තා වී තිබේ.

ඉදිකිරීම් සඳහා ප්‍රමිතියට අනුව අත්තිවාරම් නොයෙදීම, භූමියට අනුව නියමිත ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම, රක්ෂිත හෝ අවදානම් භූමීන්හි ඉදිකිරීම් සිදුකිරීම ඇතුළු අවිධිමත් හා නීති විරෝධී ඉදිකිරීම් ලක්ෂයක් පමණ මේ තත්ත්වයට මුහුණ පා ඇතැයි දැනගන්නට ඇත.

ඇතැම් ඉදිකිරීම් පළාත් පාලන ආයතනවලින් ලබා දෙන නිර්ණායකවලට පටහැනිව ඉදිකර ඇති අතර ඇතැම් ඉදිකිරීම් කිසිදු අනුමැතියකින් තොරව ඉදිකර තිබේ. ඉදිකිරීම් සම්බන්ධයෙන් නිසි පසුවිපරම් සිදු කරන්නට අදාළ පළාත් පාලන ආයතන විසින් කටයුතු නොයෙදීම නිසා මේ තත්ත්වය තවත් වඩාත් උග්‍ර වී ඇත. විශේෂයෙන්ම උඩරට සහ මධ්‍යම පළාතේ ඉදිකිරීම් අදාළ භූගෝලීය පිහිටීමට අනුව ඉදි කළ යුතු වුවත් බොහෝ ආයතන සහ ඉදිකිරීම් කරන්නන් එම භූගෝලීය පිහිටීම් වෙනුවෙන් ලබා දෙන නිර්ණායක නොසලකා කටයුතු කර තිබේ.

මේ තත්ත්වය නිසා එම ඉදිකිරීම් පමණක් නොව ජීවිත පවා දැඩි අවදානම් තත්ත්වයට පත්ව තිබේ. අකුරණ පිගා ඔය හරහා කිලෝමීටර් 2ක් ඇතුළත පාලම් 56ක් ඉදිකර ඇති බවද එම නිසා සුළු වැස්සකදී පවා ගංවතුරක් ඇති වී දැඩි අලාභ හානි සිදුවන බවත් මෙවන් තත්ත්වයක් මඩවල හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද දක්නට ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිළුමිණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය හේරත්ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ පළාත් පාලන ආයතන විසින් ඉදිකිරීම් සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම නිසි අවධානයක් මෙන්ම පසුවිපරමක් කළ යුතු බවයි.

එවැනි පසු විපරම් නොකිරීම නිසා මෙවන් තත්ත්වයක් ඇතිව තිබෙන බවත් මේ අවදානම් තත්ත්වයෙන් බහුතරයක් ජනතා ක්‍රියා නිසා ඇතිව තිබෙන බවද ඔහු කීවේය. ඉදිකිරීම් කිරීමේදී එම ඉදිකිරීම සිදු කරන්නේ පහළ ද්‍රෝණියකද? සුළං කපොල්ලකද රක්ෂිතයකද? අවදානම් ස්ථානයකද යන්න සොයා බැලිය යුතු බවත් පසුගිය දත්තයන් සැලකිල්ලට ගනිමින් පළාත් පාලන අධිකාරිය විසින් කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

අනවසර ඉදිකිරීම්, පහත් බිම් ගොඩකිරීම් මෙන්ම මේ වන විට කැලණි ගඟේ ආරක්ෂිත වේල්ල පවා කපා දැමීමට පවා ජනතාව කටයුතු කර ඇතැයිද මේ ක්‍රියාවන්ගේ භයානක ප්‍රතිඵල අත්වන බවත් ඔහු පෙන්වා දුන්නේය. සියල්ල රජයට හෝ රාජ්‍ය ආයතනවලට කළ නොහැකි බවත් ජනතාවද අවදානම් නොවන සේ ඉදිකිරීම් කළ යුතු බවද ඔහු කීවේය.

ජන ඝනත්වය වැඩිවීම, සංක්‍රමණය වැනි සිද්ධාන්ත කෙරහි පළාත්පාලන ආයතන වැඩි අවධානයක් යොමු කළ යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division