Home » විපක්ෂය ගැන ජනතාවගේ ලොකු විශ්වාසයක් නැහැ

විපක්ෂය ගැන ජනතාවගේ ලොකු විශ්වාසයක් නැහැ

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

නව ආණ්ඩුවේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා වශයෙන් ඔබට පැවරී ඇති කාර්යභාරය මොනවද?

මෙය ඉතිහාසයේ ප්‍රධාන වටිනාකමක් තිබුණ අමාත්‍යාංශයක්. ඒත් පසුගිය කාලයෙදි විශාල පසුබෑමකට ලක් වුණා. වැවිලි ප්‍රජා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයට විශේෂ කාර්ය රාශියක් පැවරී තිබෙනවා. විශේෂයෙන් තේ කර්මාන්තය, රබර්, පොල්, ගම්මිරිස්, කුරුඳු, කොකෝවා කර්මාන්ත සුළු අපනයන භෝග කර්මාන්තයට ගැනෙනවා. කජු, තල්, කිතුල් වගේ භෝග මීට අයත් වෙනවා. රටට ආදායම ලබාගන්න හැකි අමාත්‍යාංශයක් වුවත් අද වන විට එය පරිහානියට ලක්වෙලා. එක් කාලෙක ලංකාව හඳුන්වා ගත්තෙත් තේවලින්. ලෝකෙ තේවලින් පළවෙනියට හිටපු අපි දැන් බොහොම පහළින් ඉන්නෙ. අපිට පහළින් හිටපු රටවල් ගණනාවක් ඉහළට ඇවිත් තියෙනවා. ජන ජීවිතය හා ගැට ගැහුණු වැවිලි භෝග අමාත්‍යාංශයක් අප යටතේ තියෙන්නේ. රටට ආදායම ගෙනෙන ජනතාව ජීවත් කරන අමාත්‍යාංශයක් කියන්න පුළුවන්. යම් ගැටලු මත මේ කර්මාන්ත බිඳ වැටී තියෙනවා. අපනයන වැඩි කිරීම මෙන්ම අනෙක් පැත්තෙන් ජන ජීවිතය ගොඩනැඟීම සඳහා අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

මධ්‍යම කඳුකරයේ ජනතාව වසර 200 කට පෙර ඉන්දියාවෙන් ආවා. ඒ අයගෙ ජන ජීවිතය අතිදුෂ්කරයි. වතුජනතාවගෙ යටිතල පහසුකම් නැංවීමට යම් පියවරක් ගන්න නව රජය බලාපොරොත්තු වෙනවද?

ඔවුන් අද වන විට ප්‍රශ්න ගණනාවකට මුහුණ දී තිබෙනවා. දරුවෙක් ඉපදුණාම ශ්‍රී ලාංකික කියලා දාගන්න අපහසුතාවයක් තියෙනවා. භාෂාවට අදාළ පහසුකම් ලැබිලා නැහැ. පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න බැහැ. ඔවුන්ට නිවෙසක් ඉඩමක් මූලික අයිතිවාසිකම් නැහැ. හරිහමන් වැටුපක් නැහැ .ප්‍රශ්න කන්දක් තියෙනවා. කෙටිකාලීන විසඳුම් නැහැ. ඔවුන්ගේ ජීවිතය නංවන්න අනිවාර්යයෙන් පියවර ගන්නවා. මට පැවරුණු අමාත්‍යාංශය යටතේ ඒ වෙනුවෙන් විශාල කාර්ය භාරයක් තියනවා. ඒ යටතේ සුවිශේෂ විෂය පථයක් මේ අමාත්‍යාංශයට ලැබිලා තියෙනව.

පහුගිය කාලේ තේ කර්මාන්තය සම්බන්ධයෙන් ගැටලු තිබුණා, පොහොර නැතිවීම නිසා. පොහොර මිල ඉහළ ගියා. තේ මිල පහළ ගියා. මේ සම්බන්ධයෙන් ගනු ලබන පියවර මොනවද?

තේ වගාවට පමණක් නොවෙයි අනෙකුත් භෝග වගාවන්ටත් මේ ප්‍රශ්නය තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට පොහොර නැති ප්‍රශ්න තියෙනවා. පොහොර මිල,ප්‍රමිතියේ ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න විසඳන්න අවශ්‍යයි. නොමිලයේ දෙන්න නම් හැකියාවක් නැහැ. ප්‍රමිතියකින් යුත් දරාගත හැකි මිලකට පොහොර ලබාදීමට ආණ්ඩුවේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.

පහුගිය කාලෙ කඩා වැටුණු කෘෂිකර්මාන්තය නිසා අසරණ වී සිටින ගොවියා දිරිගැන්වීමට නව රජයෙන් වැඩපිළිවෙළක් තියෙනවාද?

රජයක් හැටියට පහුගිය මැතිවරණයේදීත්, ජනාධිපතිවරණයේදීත් ජනතාවට අපි කිව්වා මේ රට මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් මේ රටේ ජන ජීවිතය හා බැඳුණු විභවතාවක් තියෙන කෘෂිකර්මාන්තය නඟාසිටුවන්නට ඕනෑ බව. ආහාර සුරක්ෂිතතාව කියන්නෙ ලෝකයේ පිළිගත් සංකල්පයක්. ආහාර සුරක්ෂිතතාව බොහොම පහළ මට්ටමක තියෙන්නේ. ප්‍රමාණවත් ආහාර, ප්‍රමිතිගත ආහාර නෑ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ආහාර සුරක්ෂිතතාව වැඩි කිරීම, ගොවිජන ජීවිතය නැංවීම, පාඩු ලබන්නට මෙන්ම මන්දපෝෂණයට ගොදුරු වූ අය පිළිබඳව සෙවීම, දුප්පත්කම නූගත්කම සමඟ ගැටගැසුණු සමාජ ප්‍රශ්න වැනි දේ මේ අය අතර තියෙනවා. කෘෂිකර්මාන්තය නැංවීම මෙන්ම ඔවුන්ගේ යටිතල පහසුකම් නැංවීම සහ ඔවුන්ගේ අධ්‍යාපනය නැංවීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි . ඒ වගේම ආහාර සුරක්ෂිතතාව නැංවීම අනිවාර්යයෙන් ප්‍රමුඛ වෙනවා.

කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම, ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම සහ අපනයනය දියුණු කිරීම හා සමස්ත යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට රජය ඉදිරියට ගනු ලබන පියවර මොනවද?

ඒ සඳහා කටයුතු කරන්න වැඩපිළිවෙළක් තියෙනවා. කෘෂිකර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන බිඳ වැටීමෙන් අපනයනය තුළ බොහෝ පාඩු සිදුවුණා.

ලෝකයේ වෙළෙඳපොළ අවශ්‍ය ප්‍රමිතිය ඉතා ඉහළයි. කෘෂිකර්මාන්ත අපි නඟා සිටුවිය යුතුයි. නැතිනම් ලෝකය හා තරග කළ හැකි තැනකට අපට එන්න අපහසුයි. තාක්ෂණය දියුණු කළ යුතුයි. ධාන්‍ය, එළවළු, පළතුරු දැනට වඩා ඉහළ ප්‍රමිතියකින් නිෂ්පාදනය කරමින් රටේ ආහාර අවශ්‍යතාවට අවශ්‍ය දෑ සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

දේශීය රබර්, තේ සහ අනෙකුත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ අපනයනය වැඩිදියුණු කරන්න ගනුලබන පියවර මොනවද?

මෙතෙක් අපනයනය කළ තේ, රබර් වෙනත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර පසුබෑමකට ලක්වෙලා තියනවා.

ඉතිහාසය එක්ක බලද්දි අපි සැලකිය යුතු බිඳ වැටුණු රටක්. නිෂ්පාදන ධාරිතාව ක්‍රමානුකූලව අඩු වෙලා. ඇතැම් නිෂ්පාදන ආනයනය මට්ටමට වැටිලා. නිෂ්පාදන පහත වැටීම් වගේම රබර් ආශ්‍රිත නිෂ්පාදන නොකිරීම එයට හේතුවයි. මේවා එකවර කරන්න බැහැ. ක්‍රමානුකූලව කළ යුතුයි. නිෂ්පාදනය ශක්තිමත් කළ යුතුයි. පුද්ගලික අංශයේ දාකත්වය නැංවීමට අදාළ වැඩපිළිවෙළක් කඩිනමින් දියත් කරනවා.

මෙවර මැතිවරණයෙන් සුවිශේෂ ජයග්‍රහණය රැසක් අපි දැක්කා. විශේෂයෙන් වතු නිවාස ආශ්‍රිතව ජිවත් වන පිරිසට ඔවුන්ගේ නියෝජනයක් ලැබුණා. ඔවුන්ට ආවේණික ප්‍රශ්න හඳුනා ගනිමින් මේ නව රජය යටතේ ඔවුන්ගේ අපේක්ෂා ඉටුවෙයිද?

මුදල් අමාත්‍යාංශය හා අපේ අමාත්‍යාංශය ඒකාබද්ධව විසඳුම් හොයන්න ඕනෑ. නිවාස ඉඩම් වගෙ දේ අපේ අමාත්‍යාංශයට බැර වෙනවා. අපි පුංචි කාලෙ කටුමැටි ගහපු ගෙවල්වල හිටියෙ. ක්‍රමානුකූලව එය පරිවර්තනයක් වෙලා තියෙනවා. ගල් බිත්ති බැඳපු, ටකරන් සෙවිලි කරපු ලයිමක සුද්දා වතු කම්කරුවන් පදිංචි කළා. ලයිම ඉදිරියට ගියෙ නෑ. ඒ විදියමයි. මේවා දිරාපත් වෙලා. එය සාධාරණ නැහැ. ඔවුන්ට නිවෙසක, ඉඩමක අයිතිය තිබිය යුතුයි. ඔවුන්ට උසස් ජීවන තත්ත්වයක්, ආහාර සාක්ෂරතාවක් අත්කර දිය යුතුයි. දිස්ත්‍රික් ගණනාවක ලක්ෂ 4ක් පමණ මේ ජනතාව ව්‍යාප්තව ඉන්නවා .

ජාතික ජන බලවේගයට පාරම්පරික ක්‍රමයෙන් බැහැරව වතු නියෝජනයක් සහිතව ජනවරමක් ලැබුණා. ස්වාධීනව ඒ අයට තමන්ගේ ගැටලු කතා කරන්න ඉඩකඩ තිබෙනවා. මේ දේශපාලනය තුළ ඒ ජනතාවගෙ පැතුම් ඉටුවේවි.

වතු ජනතාවගෙ පමණක් නොවෙයි, අවුරුදු 76 ක දේශපාලනය බිමට දාලා අලුත් කඳවුරක් බිහිවුණේ මිනිසුන්ගේ විසල් සිහින ප්‍රමාණයක් මේක ඇතුළේ තියෙන නිසා. ඒවා ඉටුකරන්න ජාජබ හැකිවෙයි ද.?

ඒවා සැබෑ කළ යුතුයි. ජනතා පාර්ශ්වයේ මූලික කාර්යය කර හමාරයි. පාලකයන් ලෙස අපේ කාර්යය කරන්න තියෙනවා. උතුරේ දකුණේ සිව්දෙස් බලය තුනෙන් දෙකකටත් වඩා අපට පළමු වතාවට ලැබුණේ. එවැනි ප්‍රබල ජනතා ආණ්ඩුවක් පත්කර තියෙනවා. ජනතා සිතුම් පැතුම් ඉටු කිරීම අපේ වගකීමක්. පාරම්පරික දේශපාලනය අතහැර, නොවිසඳුණු ප්‍රශ්න විසඳ ගන්න, විශ්වාසයක් සහිතවයි අපිට ජනතාව එකතු වුණේ.

විපක්ෂයට ජනතාව හිමිකර දි ඇති ජනවරමත් සමඟ ප්‍රබල විපක්ෂයක් ගොඩනැඟේවිද යන්න ගැටලුවක් තියනවා. ප්‍රබල විපක්ෂයක් නොමැති වීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට යම් ගැටලුවක් නේද?

මේ ආණ්ඩුව ජනතාව ගොඩනැඟුවෙ විශාල ජනවරමකින්.අපි ජනතාවාදි ආණ්ඩුවක් .මෙහි ප්‍රභූවරු නෑ. අපි ඉන්නෙ ජනතාවගෙ පැත්තෙ. මේ ලැබුණ බලය අපි පාවිච්චි කරන්නෙ ප්‍රවේශමෙන්. අපි ජනතාවට වගකියන සහ වග වන ආණ්ඩුවක්. ඒ නිසා ජනතාව අපි මේ බලය අනිසි ලෙස පාවිච්චි කරයි කියලා විශ්වාස කරන්නෙ නැහැ. මේ බලය පාවිච්චි කරලා අපි ගොඩනැඟෙන්නෙ නෑ. අපි මේ රටගොඩනැඟීමෙ කටයුත්තටයි එකතුවෙලා ඉන්නෙ. විපක්ෂයක් ගැන ජනතාවගෙ ලොකු විශ්වාසයක් නැති බවයි අපි දකින්නෙ.

සුභදා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division