Home » මම ගත් මේ තීරණය සියයට දාහදාහක් නීත්‍යනුකූලයි

මම ගත් මේ තීරණය සියයට දාහදාහක් නීත්‍යනුකූලයි

එජාප ජාතික ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

අවුරුදු 5 කට පස්සේ ඔබ පාර්ලිමේන්තු ගියේ ආන්දෝලනාත්මක චරිතයක් වෙලා. කොහොමද මේ දේ මෙහෙම වුණේ ?

සමහරු මෙය ආන්දෝලනාත්මක දෙයක් ලෙස දකිනවා. නමුත් සැබෑ තත්ත්වය ඊට වෙනස් . එක්සත් ජාතික පක්ෂයෙන් මම කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන්නට තිබුණත් අන්තිම පැයේදි පුද්ගලයන් දෙන්නෙක් රාත්‍රී නමයයි තිහට විතර යටිකූට්ටු ලෙස අත්සන් කිරීම නිසා කරන්න තිබුණු දෙය වෙනස් වුණා. ඒ නිසයි මට ජාතික ලැයිස්තුවෙන් එන්න සිදු වුණේ. නැතිනම් මම කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන්නයි සිටියේ.

ඔබ රට ගැන, ජනතාව ගැන හිතලද මේ තීන්දුව ගත්තේ?

ඔව්. මම රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසු එක තනතුරක්වත් ගත්තේ නැහැ. අපි දේශපාලනයෙන් ජීවත් වෙන්නේ නැහැ. එදා මම උපදේශකයකු වෙලා සිටි බව කොහොවත් සඳහන් වෙනවාද? කාටවත් කියන්න පුළුවන්ද මම යූ ඇන් පී කාරයෙක් නෙමෙයි කියලා. කාටවත් මේ ගැන තියෙන ප්‍රශ්නය කුමක්ද?

ඔබ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මේ තීන්දුව ගත් බව පවසනවා. නමුත් පක්ෂයේ ප්‍රධානීන් ඔබට චෝදනා නඟනවා, කළ දේ වැරදියි කියා?

කවුද මේ චෝදනා කරන අය. ඊයේ පෙරේදා ආ අයද? නැතිනම් කුලියට කහින කට්ටියද? රනිල් වික්‍රමසිංහට පසුව පක්ෂයේ සිටින ජ්‍යේෂ්ඨතම කෙනා කවුද? මටත් පක්ෂය ගැන කැක්කුමක් තියෙනවා. මේ සම්බන්ධයෙන් මට එවැනි ප්‍රකාශ නිකුත් කරන මේ අය කවුද? යූ ඇන් පී කාරයෝ සියයකගෙන් මේ ගැන අහන්න. දෙතුන් දෙනෙක් හැර කවුරුත් මේ ගැන කතා කෙරුවද?

ඔබ ගත්තේ නීත්‍යනුකූල පියවරක්ද? බොහෝදෙනා තීරණය අභියෝගයට ලක්කරනවා. පක්ෂ නායකයා දැනුම්වත්ව සිදුවූ බව ලේකම්වරිය කියනවා. පක්ෂයේ සභාපති කියන්නේ එතුමා දැනුම්වත් නොකළ බවයි?

මම ගත් මේ තීරණය සියයට දාහ දාහක් නීත්‍යනුකූලයි. මම මේ දේවල් ව්‍යංගයෙන් කියලා වැඩක් නැහැ. ඊට අදාළ ලිපි ලේඛන සියල්ල මා ගාව තියෙනවා. මේ අවස්ථාවේ පක්ෂ 5ක් එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ගිවිසුම්ගත වෙනවා. නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය කියන්නේ එසේ මෙසේ පක්ෂයක් නෙමෙයි. වසර 20 ක් . 2010 සරත් ෆොන්සේකා මැතිවරණයට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ නායකතුමා ලලිත් පෙරමුණ භාවිත කළා. 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ මෛත්‍රිපාල සිරිසේන ආවෙත් ඒ පක්ෂයෙන්. එදත් ලේක්ම්තුමිය වුණේ ශර්මිලා පෙරේරා, 2019 සජිත් ප්‍රේමදාස කැමැත්තෙන් තරග කළේත් ඒ පක්ෂයෙන්. 2024 මේ අයත් ස්වාධීනව ගොස් පසුව පැරදුණු පසුව කිව්වා අපි ගෑස් සිලින්ඩරය ගෙන තරග කරන්න ඕන කියලා යෝජනා වුණා. පසුව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ඉදිරිපත් වෙලා ලාංඡනය වෙනස් කළා. මෙහිදි එක ඉල්ලීමයි තිබුණේ. එනම් ජාතික ලැයිස්තුවෙන් එකක් අනිවාර්යයෙන්ම පක්ෂයට දිය යුතු බව. පසුව ගිවිසුම්ගත වුණා. නායකත්ව මණ්ඩලයක් පත්වුණා. පොදු ජන එක්සත් සන්ධානය, පොදු ජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය අත්සන් කළා. එක්සත් ජාතික පක්ෂය අත්සන් කරලත් නැහැ. උපලේඛනය 4 න් ලැබෙන එක් මන්ත්‍රී ධූරයක් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් නම් කරනු ලබන අපේක්ෂකයාට ලබාදීම එකඟ වේ කියලා අත්සන් කළා. තව වෙන මොනවද? ආසන 10 ක් ලැබුණා නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති වෙනවද?

ජාතික ලැයිස්තුවෙන් යන්න ඔබ සුදුස්සෙක් වුණේ කොහොමද? පක්ෂ ගණනාවකින් සැදුම්ලත් සිලින්ඩරයේ සුදුසුසෝ බොහෝමයක් ඉන්නවානේ?

අවුරුදු 24 ක් පාර්ලිමේන්තුවේ හා ආසියාවේ හොඳම මුදල් ඇමැති වුණා. ඒ තුළින් ගොඩනැඟුණු පරිනත බව මට තියෙනවා. මෙය ලබා දුන්නට ඇති වැරද්ද මොකක්ද? මම යූ. ඇන්. පී. කාරයෙක් නෙමෙයිද? හොඳ හැකියාවක් ඇති කෙනෙක් නෙමෙයිද? මෙය ඊර්ෂ්‍යාවෙන් ඇතිවන ප්‍රශ්නයක් නෙමෙයිද? අපි ක්‍රියාත්මක කළේ නීත්‍යනුකූල පිළිවෙතක්. මේ ප්‍රශ්නය අනිකුත් පක්ෂවලට ප්‍රශ්නයක් වුණේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ අපේ පක්ෂයට. ඒ දෙන්නෙක්ගේ උවමනාවටයි.

ඔබ පවසනවා දෙන්නෙක්ගේ රුදාවට පක්ෂය බිලි දෙන්න සූදානම් නැතිවග. කවුද මේ දෙන්නා?

සදාචාර විරෝධී නිසා මම ඉඟියකින් ඒ දෙන්නා කවුද කියලා කියන්නම්. දන්න අය දන්නවා මොවුන් කවුද කියා. ආක්‍රමණය කළ පක්ෂයේ දෙන්නෙක්. මේ දෙන්නා තමයි රඟපෑවේ. රනිල් වික්‍රමසිංහ මේ දෙන්නගේ පුද්ගලික භාණ්ඩයක් බවට පත්වුණා. එක් පුද්ගලයෙක් පක්ෂයේ තනතුරු තුනක් ඇතුළු තනතුරු 11 ක් භාරගෙන සිටි කෙනෙක්. ඒ කාලයේ ජනාධිපතිව හමුවෙන්න පුළුවන් වුණාද? කාර්යාලයේ වැඩක් කරගන්න පුළුවන් වුණාද? එක්කෙනක් මාතරින් ඇවිත් කොළඹට ආක්‍රමණය කළ කෙනෙක්. දෙවැන්නා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ කෙනෙක්. මේ දෙන්නා තමයි රඟපෑවේ. පක්ෂයේ ඉතාමක් දක්ෂ චරිත තව කොපමණ ඉන්නවද? රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, මනූෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරාල, ජෝන් අමරතුංග, කරූ ජයසූරිය වැනි අය පක්ෂයේ දියුණුවට කටයුතු කළේ නැද්ද? මට අවශ්‍ය මේ වගේ දක්ෂයෝ ගේන්න. ඔවුන්ට ගමනක් තිබිය යුතුයි. මේ පක්ෂය යන ගමන හරි. මේ දෙන්නා තුන්දෙනා හැර පක්ෂයේ කිසි කෙනෙක් මට අභියෝග කළේ නැහැ. අපි කැප වන ආකාරය අනිත් අය දන්නවා.

අසාත් සාලි ඔබට චෝදනා කරනවා, ඔබ පරදින බවට මහ මැතිවරණයට තරග නොකළ බව…?

ඔහු කතා කරන්නේ මොන පදනමින්ද? ඔහු එක්සත් ජාතික පාක්ෂිකයෙක්ද? මෙවැනි අය නිසයි අද පක්ෂය මෙවැනි තත්ත්වයකට වැටිලා තියෙන්නේ. මේ අය ගෙනාවේ කවුද? අර දෙන්නගෙන් එක්කෙනෙක්. මම මිලියන 2500 ක එන්තර වාසියක් යවලා තියෙනවා. මෙවැනි හැකියාවක් නැති චරිත ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව.

ඇත්තෙන්ම ඔබ මහ මැතිවරණයට තරග නොකළේ ඇයි? ඉදිරිපත් වීමට තිබුණා නේද?

මට තරග කරන්න තිබුණු බව අනිවාර්යයෙන්ම මම පිළිගන්නවා. රනිල් වික්‍රමසිංහත් එය පිළිගන්නවා. මේ රටේ මඩ ගහන්නේ හැම විටම වැඩ කරන කෙනෙක්ට. මේ අවස්ථාව අරගෙන තියෙන්නේ අනිත් අයවත් උසී ගන්වන්න. අර දෙන්නා කල්ලියයි මේ කෑගහන්නේ. එක්සත් ජාතික පක්ෂය කැමැතියි අපේ එක්කෙනෙක් එතැන ඉන්නවට.

පක්ෂයේ, සන්ධානයේ විනය නීති කැඩූ බවට ඔබට චෝදනා එල්ල වෙනවා. ඔබට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවත් පවසනවා..?

රනිල් වික්‍රමසිංහ දැනගෙන කටයුතු කළ පසුව කොහොමද එහෙම කියන්නේ. එතුමා දන්නවානේ මේක තනි පුද්ගල රඟපෑමක් නෙමෙයි කියලා. අපිට තියෙන්නේ රට හදන ගමනක් නෙමෙයිද? මේ රට නැවතත් බංකොළොත් වීමට ඉඩ දෙන්න බැහැ. ගියවර අනවශ්‍ය ලෙස රට බංකොළොත් කළා.

ඇයි ඔවුන් ඔබට විරුද්ධව නඩු මඟට නොයන්නේ? පත්කළ කමිටුවෙන් මොකක් වෙයිද?

මොකක්ද මේ අයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය. මෙය දුන්නේ හොරෙන්ද? නැතිනම් සල්ලිවලට ද? නොදන්නා පුද්ගලයෙක්ට ද? නැතිනම් එක්සත් ජාතික නොවන පාක්ෂිකයකුට ද? රනිල් වික්‍රමසිංහට පසුව වැඩිම ජ්‍යෙෂ්ඨ පුද්ගලයා කවුද? මේවාට පිළිතුරු දිය යුතුයි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඔබට පවසන්නේ කුමක්ද? එතුමා මේ ගැන ඔබ සමඟ කතා කළාද?

ඔව්. අනිවාර්යයෙන්ම කතා කළා. මේ දෙන්නා නිසා එතුමාත් අසීරු තත්ත්වයකට පත් වෙලා. එතුමාගේ කටින්ම කියලා කරන්න කියූ දේ කාටද ප්‍රශ්න කළ හැකි වන්න

වත්මන් නායකත්වය ගැන ඔබේ අදහස පැවැසුවොත්..?

ජනතාව තරහකින් ලබා දුන් ඡන්දයක් ලෙසයි මම මෙය දකින්නේ. ඒ අය 3% සිට මහන්සියෙන් වැඩ කරලා ලබා ගත් අවස්ථාවක්. ජනතාව බලාගෙන සිටින්නේ කළේ මොකක්ද කියලා නෙමෙයි. වෙන්නේ මොනවද කියලයි. මේ ප්‍රතිඵලය හෙට වෙනස් වෙන්න පුළුවන්. පසුගියදා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇසූ පසු මම ගොඩාක් සතුටු වුණා. මන්ද රනිල් වික්‍රමසිංහ නැවැත්වූ තැන සිට ඉදිරියට යාම ගැන. ඒ ස්ථාවරය වෙනස් නොකර යාමයි හොඳම දේ. මෙහි ෂෝට් කට් එකක් නැහැ. ඒ නිසා යායුතු මාර්ගයේ යායුතුයි. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වට පසු බය වෙන්න අවශ්‍ය නැහැ. අපි සුද්දන්ට බය වෙන්න හොඳ නැහැ. ඒ අයගේ හොඳ දේ අපි ගත යුතුයි.

අලුත් ආණ්ඩුවේ ඉදිරි ගමන කොයි වගේ වෙයිද?

අපි මේ අවස්ථාවේ කටයුතු කළ යුත්තේ ආණ්ඩුව වැටෙන්නට ඉඩ දීම නෙමෙයි. නොවැටෙන ලෙස කටයුතු කිරීමයි. මෙය වසර 5 ක ගමනක්. රටක් ලෙස මේ ගමන යාමට අපි සියල්ලෝම උදව් කළ යුතුයි.

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division