දේශපාලන ක්ෂේත්රයේ උණුසුම්කාරී අවස්ථාවන් මේ වන විට ඇති වී තිබෙන්නේ විරුද්ධ පක්ෂය තුළය. ඊට හේතුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර තවමත් සම්පූර්ණ කර ගැනීමට සමගි ජන බලවේගයට සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට නොහැකි වීමයි.
මේ නිසා දේශපාලන ක්ෂේත්රයේ බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන්නේ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ සිනමා පටයක් වන දෙලොවක් අතර සිනමා පටය පිටකෝට්ටේ ප්‍රදේශයේදී මේ දිනවල තිරගත වන බවයි. ඊට හේතු වී ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත්කිරීම සම්බන්ධයෙන් ගිනියම් වී තිබෙන සමගි ජන බලවේගයේත් එක්සත් ජාතික පක්ෂයේත් පක්ෂ මුලස්ථාන දෙක පිටකෝට්ට ප්‍රදේශයේ පිහිටීම නිසයි.
ජනපති අනුර පයින්ම මුදල් අමාත්‍යාංශයට
මුදල් ඇමැතිවරයාද වන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති කාර්යාලයේ සිට මුදල් අමාත්‍යංශයට පා ගමනින් ගොස් ඇත. සිය ආරක්ෂකයන් සමග ඔහු පා ගමනින් මුදල් අමාත්‍යංශයට පැමිණීම එහි බොහෝ දෙනා පුදුමයට පත් කර තිබේ.
ජනාධිපති කාර්යාලය හා මුදල් අමාත්‍යංශය ඉතා ආසන්නයෙන් පිහිටා ඇති අතර ජනාධිපතිවරයා සිය ආරක්ෂකයන්ද සමඟ ගාලු මුවදොර හරහා මුදල් අමාත්‍යංශයට ගොස් ඇත. මේ අවස්ථාව දැක ඇති ජනතාව මෙන්ම මුදල් අමාත්‍යංශ නිලධාරීන් ද පුදුමයට පත්ව ඇත.
ජනපති හා ලෝක බැංකු සභාපති අතර සාකච්ජාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මතතා සහ ලෝක බැංකු සභාපති Ajay Banga අතර සාකච්ඡාවක් පසුගිය (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය ගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහය පිළිබඳ මෙහිදී ඔහු අදහස් දැක්වූ අතර අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය හා ආර්ථික සංවර්ධනය වැනි අංශවල නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුල්‍ය සහ තාක්ෂණික උපකාර සැපයීම කෙරෙහි සාකච්ඡා කෙරිණි.
ආර්ථික ප්‍රතිපත්ති, පාරගනාරත්වය, ආයෝජන, ආයතනික සංවර්ධනය සහ දිළිදුකම පිටුදැකීම ඇතුළු කාර්යයන් සඳහා මේ වන විට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන අතර, ඉදිරියේදී කෘෂිකාර්මික ක්ෂේත්රයේ ප්‍රවර්ධනය, ජල කළමනාකරණය, ආරක්ෂාව, පාරිසරික ස්ථාවරභාවය, සමාජ සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් පරිවර්තනය දක්වා එම සහය ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳුහාවය පිටුදැකීමට රජය පුමුඛතාව ලබාදී ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා බලශක්ති ආයෝජන ඉහළ නැංවීමට අවධානය යොමුව ඇති බවත්, සංචාරක කර්මාන්තය, නාවික කර්මාන්තය, රාජ්‍ය ආයතන හා බලශක්ති ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම මඟින් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත් පැවැසීය.
එසේම, උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවල ආර්ථික වර්ධනය, අධ්‍යාපන, සෞඛ්‍ය හා මානව සම්පත් සංවර්ධනය වැඩිදියුණු කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහි දී ලෝක බැංකු සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ අතර, මෙම ප්‍රදේශවල ඉහළ යන ශ්‍රම බලකායේ අවශතාව සපුරාලීම සඳහා අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.
2025 ජුලි 25 වන දින විවෘත කිරීමට නියමිත දකුණු ආසියානු ඒකාබද්ධ කාර්යාල 20හි සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව ද තෝරාගෙන ඇති බව මෙහිදී සඳහන් කළ ලෝක බැංකු සභාපතිවරයා ලෝක බැංකු සමූහය යටතේ පවතින නැවත ගොඩනැඟීම් හා සංවර්ධනය සඳහා වන ජාතන්තර බැංකුව (IBRD), ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA), ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) සහ බහු පාර්ශ්වික ආයෝජන ඇපකර නියෝජිතායතනය (MIGA) යන ආයතන අතර සම්බන්ධකරණය එම කාර්යාල අතර සිදු වනු ඇති බව ද සඳහන් කළේය.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාවාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ජනපති රතු පලසේදී කීවේ කුමක්ද?
දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිවාරය ඉතා චාම් උත්සවයකින් අලංකාර විය. ජනාධිපති අනුර කුමාර දිසානායක රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පැමිණියේද වෙනදා මෙන් ආටෝපවලින් තොරවය. ත්‍රිවිධ හමුදා උත්තමාචාර, අශ්වාරෝහකයන් නොමැතිව නිල රථයේ ඉදිරි අසුනෙම වාඩී වී පැමිණි ජනාධිපති අනුර රියේ දොර ඔහු විසින්ම විවර කර බිමට බැස්සේය.
ජනාධිපතිවරයා පිළිගැනීමට කථානායක අශෝක රන්වල, පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂාණි රෝහණධීර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ වමින්ද කුලරත්න පියගැට පෙළ පාමුලට පැමිණ සිටියහ.
” ආයුබෝවන් ” ජනාධිපතිවරයා තිදෙනාටම දෑත එක්කාසු කර ආචාර කළේය. ඔවුන් තිදෙනා කැටිව රතු පලස මතින් ජනාධිපතිවරයා ඇවිදගෙන ගියේය.
” ලේකම්තුමියනි; අපි කවදා මෙහෙම රතු පලස් මතින් යන්න හිටපු අයද ?” ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ කුෂාණි රෝහණධීරටය. සිනාමුසු මුහුණෙන් ජනාධිපතිවරයා එසේ කියන විට කුෂාණි රෝහණධීරගෙන් ලැබුණේද එබඳුම සිනාමුසු පිළිතුරකි.
කථානායක අසුනේ වාඩිගත් අනුර දිසානායක ජනාධිපතිවරයාට කිසිදු චකිතයක් නැත. ඒ ඔහු ඇමැතිවරයකු ලෙස ඉතා කෙටි කාලයක් ද මන්ත්‍රීවරයකු වශයෙන් වසර 20කට අධික කාලයක්ද ගත කර ඇති නිසා නොව පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටි මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඔහුගේ පක්ෂයේ නියෝජිතයන් වීම නිසා විය යුතුය.
” අනුර සහෝදරයට පක්ෂයේ කමිටුවක් රැස් කළා වගේ දැනෙනවා ඇති” මාලිමාවේ මන්ත්‍රීවරයෙක් එසේ කීවේ මාලිමාවේ මන්ත්‍රීවරයකු සමඟය.
” මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ අලුත් අය. ඒ නිසා පාර්ලිමේන්තුව වේගයෙන් ප්‍රතිෂ්ඨාපනය කරන්න පුළුවන්කම තියෙනවා ” ජනාධිපති අනුර කියා සිටියේය
කබීර්ද? ගයන්තද?
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර තවමත් පත්කර නොමැත. මෙම පත් කිරීම කළ යුත්තේ විපක්ෂ නායකවරයා විසිනි. තනතුර සඳහා මුලදී තුන් කොන් සටනක් තිබුණු අතර මේ වන විට එය සිව් කොන් සටනක් බවට පත් වී තිබේ. මුලදී අජිත් පී. පෙරේරා, ගයන්ත කරුණාතිලක හා සුජීව සේනසිංහ මෙම පදවිය බලාපොරොත්තුව සිටි අතර මේ වන විට කබීර් හෂීම්ද ඊට එකතු වී සිටී. සමගි ජනබලවේග ආරංචි මාර්ග පවසන පරිදි සජිත් ප්‍රේමදාස විසින් මෙම තනතුර භාරගන්නා ලෙස කබීර් හෂීම්ට යෝජනා කර තිබේ. නමුත් කබීර් එය ප්‍රතික්ෂේප කර තිබේ.
ආර්ථීකය සම්බන්ධයෙන් විශේෂඥතාවයක් උසුලන කබීර් පාර්ලිමේන්තු නීති රීති හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥයකු නොවීමත් පූර්ණ කාලීනව පාර්ලිමේන්තුවේ සිටීමට නොහැකිවීමත් යන කාරණා කරණ කොටගෙන මම තනතුර ප්‍රතික්ෂේප කොට තිබේ. යහපාලන ආණ්ඩුවේද ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලෙස කටයුතු කළ ගයන්ත කරුණාතිලක එවකට ද කටයුතු කළේ ශක්තිමත් නොවන ආකාරයෙන් බැවින් ඔහුට මෙම තනතුර ලබා දීම සම්බන්ධයෙන්ද පිරිසක් විරෝධය පා තිබේ. සුජීව සේනසිංහ සම්බන්ධයෙන්ද ඉදිරිපත් වී ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියක්ද දී (තවමත් මෙය ලබා දී නොමැත) තවත් තනතුරක් ලබා දිය නොහැකි බවයි. එවිට ඉතුරුවන්නේ අජිත්ය. නමුත් අජිත්ට මෙම තනතුර ලබා දීම සම්බන්ධයෙන් සජිත් දෙගිඩියාවක පසු වෙයි.
සජිත් වටේ සිටින පිරිස පවසා ඇත්තේ අජිත්ට මෙම තනතුර ලබා දුනහොත් ඔහු ඒ හරහා ගේමක් ගහන්න ඉඩ තිබෙන බවයි. කෙසේ වෙතත් එළැඹෙන 3 වැනිදා වන විට අනිවාර්යයෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයකු පත්විය යුතුය. මේ තනතුර හැර මේ වන විට පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය අනෙකුත් සියලු පත්කිරීම් කර අවසන්ය. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ තමන් ඊළඟ දින කීපය ඇතුළත හැකි ඉක්මනින් මෙම පත් කිරීම කරන බවයි.
සජිත් දෙලොවක් අතර
සජිත් මොනවා කීවත් තවමත් ජාතික ලැයිස්තු මන්ත්‍රී හතරද පත් කර නොමැති අතර, දැන් උද්ගතව ඇති තත්ත්වය අනුව නම් ඒ පත්කිරීම් ද ලබන 3 වැනිදා වන විට අවසන් කිරීමට නොහැකි තත්ත්වයක තිබේ. සජබ ආරංචි මාර්ග පවසන පරිදි මේ දිනවල සජිත් සජබ මන්ත්‍රීවරුන් කීහිපදෙනකුගේ ගෙවල්වලට නිතර යෑම් ඊම් කරයි. වරෙක සජිත් ඉම්තියාස් බාකිර් මාකාර්ගේ නිවසට යයි. පැය ගණන් කතා බහ කරමින් ඉම්තියාස් බැලන්ස් කිරීමට වෙහෙසයි. තවත් වෙලාවක සජිත් සුජීව මුණ ගැසෙයි. සුජීව බැලන්ස් කරගන්න වෙහෙසයි. හිරුණිකාට කතා කරයි. හිරුණිකා බැලන්ස් කිරීමට උත්සහ කරයි. හිරුණිකා සහ ඉරාන් බැලන්ස් කරන්නට බැරි වෙන තැන කුරුණෑගල තුෂාර ඉඳුනිල් දමා මාධ්‍ය හමුවක් තබා හිරුණිකාට දෙනවා නම් හිරුණිකාට වඩා මනාප ගත් තමා ඊට සුදුසු බවට මාධ්‍ය හමු පවත්වයි. මෙවැනි පසුබිමක සජබ ජාතික ලැයිස්තුව තව තවත් කල් යන තත්ත්වයක් උද්ගතව තිබේ.
රනිල් ඉන්දියාවේ සිට දුන් පණිවිඩය
මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ සංචාරයක නිරතව සිටිි.
ඉන්දියාවේ සංචාරයේ අවස්ථා කිහිපයකදීම මාධ්‍යවේදීන් රනිල් වික්‍රමසිංහගෙන් යම් යම් කරුණු විමසු අතර ඔහු එහිදී කියා සිටියේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි කියාය.
තමන් ජනාධිපතිවරයා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඇතිකරගත් ගිවිසුම් පවත්වාගෙන යාම ඉතා වැදගත් වන බවද රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
මීට අමතරව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පසුගිය 22 වැනිදා ඉන්දියවේ ඉන්දෝර්හි ශ්‍රී සත්‍ය සැයි විද්‍යා විහාරයේදී කරන ලද කතාවද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබුණි.
ඉන්දියානු හවුල් උරුමයේ පරිධිබිම ආසියාවේ මහද්විපයක සමුද්‍ර මායිම යන තේමාව යටතේ රනිල් වික්‍රමසිංහ කරන ලද කතාවට ඓතිහාසික කරුණු රැසක්ම ඇතුළත් වී තිබීම විශේෂත්වයකි.
ඡන්දයට පෙර අය වැය
විපක්ෂය එලෙස එකතැන පල් වෙද්දී ආණ්ඩුව ගමන ආරම්භ කර තිබේ. මේ වනවිට කථානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා සභානායක ආදී සියලු තනතුරු පත්කර අවසන් කර ඇති අතර ඔවුන් වැඩ පටන් ගෙන ඇත. “ ආණ්ඩුව අය වැය පරක්කු කරනවා, ආණ්ඩුව පළාත් පාලන ඡන්දෙත් කරලා අය වැය ගේන්න හදනවා’ යනුවෙන් එල්ල වුණු චෝදනාවන්ට පිළිතුරු දෙමින් දෙසැම්බර් මාසය වන විට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ජනවාරිය වන විට අයවැය ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව පළාත් පාලන මැතිවරණයට පෙර අය වැය ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.
නව සිවිල් සංවිධාන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් කතා බහක් ජාතික ජන බලවේගය අභ්‍යන්තරයේ ඇති බවට වාර්තා වේ. මේ හේතුව නිසා සිවිල් ව්‍යාපාරයක් බිහිවීමේ පෙරමග සලකුණු ද පහළ වෙමින් තිබේ. ජයම්පති වික්‍රමරත්න, ලාල් විජේනායක වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයන් මෙම ව්‍යාපාරය බිහිවීම පසුපස සිටී. මෙය හුදු එක් දේශපාලන පක්ෂයකට කේන්ද්‍ර වූ ව්‍යාපරයක් නොවන අතර සියලු දේශපාලන පක්ෂවල එකමුතුවෙන් උපුල් ජයසූරිය, සාලිය පීරිස් වැනි නීතිඥයන්ගෙන් සමන්විත සිවිල් ව්‍යාපරයක් ලෙස බිහිකර පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් කටයුතුවලට එකතු වියයුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.
අත අල්ලන්න දයාසිරිගෙන් සැලසුම්
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගැනීමට උත්සහයක නිරතව සිටින බව වාර්තා වේ. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල පතාකයන් සියලු දෙනා පරාජය වී සිටින අවස්ථාවක තමන් පමණක් මැතිවරණය ජයග්‍රහණය කර සිටින බැවින් තමන්ට පක්ෂයේ නායකත්වය දෙනවා නම් සියලු දෙනා එකතු කරගෙන පක්ෂයට නායකත්වය දෙමින් ජයග්‍රාහී මාවතට පක්ෂය ගෙන යාමට සුදානම් බවත් ඔහු පවසයි. ලබන පාර්ලිමේන්තු සතියේදි පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් සිදුකරන විවාදයේදි ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්න කිරීමට විපක්ෂය සූදානමින් සිටී.
රනිල් මැතිසබයට?
මේ අතර රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු කොට විපක්ෂ නායක ධුරය ලබා දිය යුතු බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතර කතා බහක් ද ඇති වී තිබේ. විපක්ෂ නායකවරයා විපක්ෂයේ රහස් ඡන්දයෙන් තෝරා ගත යුතු බවත් ඒ සඳහා සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහගේ නම් ඉදිරිපත් කර විපක්ෂ බහුතර මන්ත්‍රීන්ගේ රහස් ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ පත්කළ යුතු බවටත් මෙහිදී සාකච්ඡාවක් වී තිබේ.
වත්මන් ආණ්ඩුවේ අසීමිත බලයට අභියෝග කිරීමට සජිත් ප්‍රේමදාස සමත් නොවනු ඇති බව පෙන්වා දී ඇති එහි ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කියා ඇත්තේ රනිල් වික්‍රමසිංහට විපක්ෂ නායක ධුරය ලබා දීමෙන් ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධව ඇති දැනුමෙන් සහ ජාත්‍යන්තර විශ්වාසයෙන් වැඩි වාසියක් අත්කර ගත හැකි බවයි.
කිරිඇල්ල වෙනුවෙන් මහනාහිමි පෙරට
මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් විපක්ෂයේ හිටපු සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරන ලෙස පක්ෂ නායකත්වයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. මේ අතර ලක්මන් කිරිඇල්ලගේ දියණිය වන චමින්ද්‍රානි කිරිඇල්ලට මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට බැරි පොරොන්දු ලබා දෙමින් ඇගේ මනාප සංඛ්‍යාව ඉහළ දැමීමට කටයුතු කළ බවට ලක්ෂ්මන් කිරිඇල්ලට චෝදනාවක් එල්ල වී තිබේ.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන විජිත අවදියෙන්
මැද පෙරදිග යුදගිනි සමග ඇතිවී තිබෙන වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ දැඩි අවධානය යොමු වී තිබේ. මේ නිසා ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් එම රටවල තානාපති කාර්යාලයවලට උපදෙස් ලබාදී තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් රැකියාවල නිරත වෙමින් ජීවත්වන අතර ලෙබනනයේ ද ශ්‍රී ලාංකිකයෝ අට දහසකට ආසන්න පිරිසක් ජීවත් වෙති. ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සහ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර සමඟ නිරන්තරයෙන් දුරකතනයෙන් සම්බන්ධ වෙමින් විජිත හේරත් අමාත්‍යවරයා මේ ගැන පසුගිය දිනවලදී සොයා බලන අයුරු දක්නට ලැබිණ.
සජිත් IMF එකට කිව්වේ මොනවාද?
පසුගිය සතියේ සජිත් ප්‍රේමදාස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අතර හමුවක් පැවැත්විණි. මෙම හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු පිරිසක් එක්විය. එහිදී වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බංකොලොත්භාවයෙන් මිදීමට පවතින ක්‍රමවේද සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය. එහිදී සජිත් ප්‍රේමදාස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට කීවේ පසුගිය රජය අත්සන් කළ අයි. එම්. එෆ්. ගිවිසුම වෙනස් කර ජනතාවාදී ගිවිසුමකට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුවිය යුතු බවයි.
එමෙන්ම ගෙවී ගිය සතියේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමැති සුන් හයියැන් ඇතුළු චීන රජයේ දූත පිරිසක් සජිත් ප්‍රේමදාස හමුවිය. ශ්‍රී ලංකාව පවතින බංකොලොත්භාවයෙන් මිදීම සඳහා අවශ්‍ය සහයෝගය සහ මැදිහත්වීම ඉදිරියටත් ලබා දෙන ලෙස චීන දූත පිරිසගෙන් සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටියේය.
සජිත්ට එරෙහිව කුමන්ත්‍රණයක් ගැන කතාබහක්
ගෙවී ගිය සතියේදී කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස නුවර , මාතර , කුරුණැගල , කොළඹ , ගාල්ල , හම්බන්තොට , පොලොන්නරුව සහ ගම්පහ දිස්ත්‍රීක්කවල සමගි ජනබලවේගයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ සහ මහමැතිවරණයෙන් පසුබෑමකට ලක්වුණ මන්ත්‍රීවරු හමුවූහ. එහිදී සමගි ජන බලවේගයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව, රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණි. එම සාකච්ඡාවේදී,
හර්ෂණ රාජකරුණා කීවේ – ‘‘මහමැතිවරණයට ඉදිරිපත් වුණ අනෙකුත් පක්ෂ සියල්ල කැඩි බිඳි ගිය මොහොතක සමගි ජන බලවේගය ශක්තිමත් ගමනක් කරා ගෙන යාමට හැකිවී තිබෙන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිසයි. සජිත් ප්‍රේමදාස කියන්නේ දූෂණ, වංචා චෝදනා නොලබපු නායකයෙක්. මේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරන්න පුළුවන් හොඳම නායකයා සජිත් ප්‍රේමදාස මහතා පමණයි. සමගි ජන බලවේගයේ සිටින හිටපු මන්ත්‍රීවරු සියලු දෙනා සිටිනේ ඒ මතයේ. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමගි ජන බලවේගයේ සිටින ඇතැම් මන්ත්‍රීවරු භේද කරන්න කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට අපිට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ පවුලට සම්බන්ධ පුවත්පතක් නිතරම සජිත් ප්‍රේමදාස මහත්තයාට විරුද්ධ විවිධ මඩ ප්‍රචාර නිකුත් කරමින් පුවත් පළකරනවා. නමුත් ලංකාවෙම පොඩි මිනිස්සුන්ගේ ආදරය දිනා ගත්තු එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා පමණයි. මෙවැනි කුමන්ත්‍රණ මඩ ප්‍රචාරවලට හසු නොවි සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පක්ෂය ඉදිරියට ගෙන යන්න ජයග්‍රහණය කළ පරාජය වුණ සියලූම දෙනා සජිත් ප්‍රේමදාස මහතා සමඟ සිටිනවා.‘‘
පුංචි ඡන්දයේදී ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමට වජිර සැරසේ
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධනගේ මූලිකත්වයෙන් විශේෂ හමු කිහිපයක් පසුගිය සති අන්තයේදී ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රීක් කාර්යාලයේදී පැවැත්වුණා. පසුගිය මහමැතිවරණය වෙනුවෙන් ක්‍රියාකාරීව සම්බන්ධ වුණු පිරිස සහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් මේ සඳහා සම්බන්ධ වී සිටියහ.
වර්තමාන ආණ්ඩුව දියත් කර තිබෙන වැඩපිළිවෙළ සහ ඉන් ඉදිරියට ඇතිවන තත්ත්වයක් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එසේම ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබඳව සහ ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය තරග වදින ආකාරය පිළිබඳවද මෙහිදී පැමිණ සිටි පිරිසගේ අදහස දැන ගැනීමටද වජිර කටයුතු කළේය. ඉදිරියේදී එන පුංචි ඡන්දයේදී ආණ්ඩුවට හොඳ පාඩමක් ඉගැන්විය හැකි බවත් ඒ නිසා දැන් සිටම ඊට සුදානම් විය යුතු බවත් වජිර අබේවර්ධන විසින් මෙහිදී පාක්ෂිකයින්ට උපදෙස් ලබා දෙන ලදී.
රැලි ගැන රනිල්ගේ මතය
“ඒ වගේම වජිර ඇමැතිතුමා, අපේ දිස්ත්‍රික්කවල මිනිස්සු මහ මැතිවරණයෙන් පස්සේ රටේ විශාල වෙනස්කමක් වෙයි කියලා බලාපොරොත්තු වුණා. මේ විදිහටම අපිට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවමත් මේ ජනතාව බොහෝ සෙයින් ඔහු කියූ දේ විශ්වාස කළා. නමුත් අපිට හොඳටම මතකයි මොකද අන්තිමට වුණේ කියලා. මිනිස්සු සත්‍ය තේරුම් ගන්නේ නෑ. බොරුවට හරි ඉක්මනට රැවටෙනවා. ඒ වගේම රැලි හදාගෙන ඒවා පස්සේ හඹා යනවා. මට හිතාගන්න බැහැ ඇයි එහෙම වෙන්නේ කියලා” තවත් කෙනෙක් වජිර සමඟ පවසන්නට විය.
“ඔය රැලි සම්බන්ධයෙන් එක්තරා තැනකදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. ඒකට හරි අපූරු උත්තරයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා දෙනවා.
“රැල්ලත් සමග බොහෝ විට වෙරළට එන්නේ කුණු. ඊට වැඩිය ඒ ගැන මුකුත් කියන්න ඕනේ නෑ නේද?” වජිර සිනාසෙමින් පැවසීය. මෙවැනි සුහද කතා බහක් සමගින් මෙම රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්විය.