නුඹ කොහේ ගියෙ දැයි බිසවුනේ
මංමුළා වී දැයි සල්පිලේ
පළ වැල නැතත් මට කම්නැතේ
උඹ ගෙට වරෙන් සුදු හාමිනේ…
රුදු ගෝර වන සපු හන්දියේ
උන් බලා ඇති තුන්මංසලේ
කිරි සුවඳ හමනා ළැම නුඹේ
බිම බලාගෙන වරෙන් මගෙ හංසියේ…
සඳ මෝරනා මේ සීතලේ
නුඹ දහදියෙන් තෙමී කම්මලෙ
මල් සුවඳ ඇවිදින් සිත මගේ
නුඹ තාම නෑ මගෙ දේවියේ…
ගායනය – දේසික කමලාන්ජන
තනු නිර්මාණය – ආනන්ද වෛද්‍යසේකර
පද රචනය – ඉන්දු උඩුගම
ගැහැනිය ස්වභාවයෙන්ම ළද බොළඳය. ඇය හැමවිටෙකම අනුන්ගේ යහපත වෙනුවෙන් සිය දිවිය කැප කරන්නීය. බාලවියේදී සිය පවුලේ සාමාජිකයන් අතර සියලු සැප සම්පත් ඇතිව ආරක්ෂාව යටතේ හැදී වැඩුණ ද වයසින් වැඩී උස්මහත් වූ විට ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. මේ වෙනස වඩ වඩාත් දැනෙන්නේ ඇගේ විවාහ ජීවිතයට එළැඹීමත් සමඟය. කාන්තාවකගේ ජීවිතය වඩාත් සාර්ථක වීමට හෝ අසාර්ථක වීමට විවාහයත් බලපායි. අද සමාජය තුළ විවාහය නිසා විවිධ ව්‍යසනයන්ට ගොදුරු වූ කාන්තාවන් මෙන්ම විවාහය නිසා ජීවිතය විඳින කාන්තාවන් මෙන්ම විඳවන කාන්තාවන් ද අපට කොතෙකුත් හමු වී ඇත.
ගැහැනිය ස්වභාවයෙන්ම ළද බොළඳය. ඇය සමාජය සමඟ ගැටීමෙන් ගෙන යන ජීවිතය විවිධය. ගෙදරක සියලු බර ඇත්තේ ඈ කර මතය. ඇතැම් විට දරුවන්ගේ කටයුතු කිරීම පමණක් නොව පවුලේ වියදම පිළිබඳ පැනය ද ඇත්තේ ඈ අතය. මේ නිසාය මීට කලකට පෙර සම්මානනීය කවියකු වන ලක්ෂාන්ත අතුකෝරල ඇය ගැන මෙසේ ලියන්නේ.
“වැඩ ඇරී
වැඩට යති
ගැහැනු”
ඇය සියුමැලිය. නිතර ඔහු ළඟ දැවටෙයි. නමුදු තම දරුවන් බලා කියා ගනිමින් කුටුම්බය රකින තම ආදරණීය බිරිය ගැන සිතන විට ඔහුට ඇය ගැන ලියන්නට සිතෙයි. ඔහු ලියයි. අවසානයේ ඔහු ලියන්නේ තමන්ගේ බිරිය ගැන පමණක් නොව, මේ සමාජයේ සිටින සියලු කාන්තාවන් ගැනය. කුමන හෝ වෘත්තියක නියැළෙමින් දරුවන් රකින කාන්තාවන් ගැන සිතන රචකයා සිය නිර්මාණයට දායක කරගන්නේ ඇඟලුම් රැකියාවක නියැළෙන කාන්තා චරිතයකි.
ගීතය ගයන්නේ නව පරපුරේ ගායකයකු වන දේසික කමලාන්ජනය. ගීතයට සංගීත නිර්මාණය කරන්නේ සංගීත ශිල්පී ආනන්ද වෛද්යසේකරයන්ය. ගී පද නිර්මාණය කරන්නේ වෛද්‍ය ඉන්දු උඩුගම ය.
වෛද්‍ය ඉන්දු උඩුගම “නුඹ කොහේ ගියෙ දැයි බිසවුනේ” ගීතය පිළිබඳ කියන්නේ මෙවන් කතාවකි.
“මගේ බිරිඳ හෙදියක් ලෙස සේවය කරන්නේ. ඇය රාත්‍රී සේවයෙත් යෙදෙනවා. අපි බොහෝම සහයෝගයෙන් ජීවත් වන පවුලක්. අපට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඇය වගේම මමත් දරුවන්ගේ කටයුතු කරනවා. ඒක බොහෝම සහයෝගයෙන් කරන දෙයක්. දරුවොත් අපව තේරුම්ගෙන වැඩ කරනවා. මට දැනෙනවා මගේ බිරිය පවුල වෙනුවෙන් කරන කැපකිරීම. දරුවන් ගැන වගේම මා ගැනත් සොයන බලන අපේ සියලු කටයුතුවලට උදව් කරන ඇය සිය වෘත්තියත් මැනවින් කරගෙන යනවා. මෙන්න මේ සිතුවිල්ල තමයි මට ගීතයක් ලියන්න ඕන කියලා හිතට ආවේ. නමුත් ගීතය ලියාගෙන යාමේදී ඇය පමණක් නොවෙයි අපේ සමාජයේ සිටින සෙසු කාන්තාවන් ගැනත් හිතිලා තමයි ගීතය මේ විදිහට ලියැවුණේ.
“සඳ මෝරනා මේ සිතලේ
නුඹ දහදියෙන් තෙමී කම්මලෙ
මල් සුවඳ ඇවිදින් සිත මගේ
නුඹ තාම නෑ මගෙ දේවියේ”
මට හිතෙන දෙයක් තමයි ඕනෑම නිවෙසක රැකියාවට යන බිරියක් සිටින සැමියෙක් කැමැතියි ඇය රෑ වෙන්නට පෙර නිවෙසට එනවා නම්. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ. . විවිධ හේතු නිසා ඇගේ ගමන පමා වෙනවා. නමුත් ඇය පිළිගන්න ඔහු බලා සිටිනවා. උදේ නිවෙසින් ගිය ලෙසම මඟතොට කිසිදු අතුරු ආන්තරාවක් නොවී ඇය පැමිණෙන තුරුයි ඔහු බලා ඉන්නේ. මා ඇතුළු සෑම සැමියෙක්ම එහෙමයි. රැකියාවට ගොස් කිසිදු අතුරු ආන්තරාවකට ගොදුරු නොවී ඇය එන පෙරමඟ බලා හිඳින සැමියකුගේ සිතුවිලියි මා මෙහිදී කියන්නට උත්සාහ ගත්තේ. නව පරපුරේ ගායන ශිල්පියකු වන දේසික මේ ගීතය හරි අගේට ගයනවා වගේම තනුව සහ සංගීතය නිර්මාණය කළ සංගීතවේදී ආනන්ද වෛද්යසේකරයන්වත් ආදරයෙන් සිහිපත් කරනවා.
ගීතයේ සාර්ථක අසාර්ථක බව කියන්නට රසිකයන්ට බාරයි.“
ඉනෝකා සමරවික්‍රම