සිරස නාළිකාවේ විකාශය වුණු “කියා දෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යයේ මිනායා ඔබට මතකද? පහන්දි ගේ රංගන ජීවිතයේ ජනතාව අතර ජනප්‍රියම චරිතය වුණේ මිනායා චරිතයයි. මේ දිනවල මායාවී ටෙලි නාට්‍යයේ ජස්මින් ගේ චරිතයට පණ පොවන මේ ළමා තාරකාව ලයිෆ්බෝයි, සිග්නල්, ඇන්කර්, මෙඩෝලී වැනි සුප්‍රසිද්ධ වෙළඳ සන්නාම දැන්වීම් හැටකට ආසන්න සංඛ්‍යාවකට දායක වෙමින් රංගනය, නර්තනය සේම නිවේදනයටද උපන් හපන්කම් දක්වන අපුරු දැරියක්. කෙතරම් කාර්යබහුල දින චර්යාවක් තිබුණද පහන්දි වල්පිට රසඳුන සමඟ කතාබහ කරන්නට අමතක කළේ නැහැ.
රත්නපුර JMC ජාත්‍යන්තර පාසලේ හය ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන පහන්දි පාසලේ සියලු ගුරු, මවුපියන්ගේ නොමඳ ආශිර්වාද මැද අධ්‍යාපන කටයුතුත්, කලා කටයුතුත් සමබරව කරන දැරියක්.
මේ දවස්වල මොකද ඔයා කරන්නේ ?
ඉස්කෝලේ වැඩයි, මායාවී ටෙලි නාට්‍යයේ ෂූටින් වැඩයි කරනවා.
ඉගෙන ගන්න වැඩිපුරම ආස විෂයන් මොනවද?
සිංහලයි, නැටුම්වලටයි මම ගොඩක් ආසයි. ඊට අමතරව විනෝදාංශයක් විදිහට බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා. ස්විමින් කරනවා.
පහන්දිට ෂූටින්වලදි සිද්ධ වුණු අමතක නොවෙන සිදුවීම් එහෙම ගොඩක් ඇති නේද?
අමතක නොවෙන සිදුවීම් ගොඩක්ම වුණේ මහපොළොව ටෙලි නාට්‍යයේදී තමයි. මම වැවට වැටෙන සීන් එකක් තියෙනවා. මම පෙරළිලා ගිහින් වැවට වැටෙන්න ඕන. දෙපැත්තෙන් මාමලා කට්ටියක් ඉන්නවා මාව අල්ලගන්න. හැබැයි මම එහෙම පෙරළිලා වැටුණට පස්සේ ඒ මාමලා මාව ගන්න පරක්කු වුණා. එතකොට මම බය වෙලා වතුරේ ගිලුණා. ඒ වෙලාවේ මම හිතා ගත්තා ආයෙ නම් ඒ වගේ ෂූට් කරන්නේ නෑ කියලා. තව දවසක් ඒ ටෙලි නාට්‍යයෙම ෂූටින්වලදී මාව බඹරෙක් වගේ සතෙක් කෑවා. ඩිරෙක්ටර් මාමා මාව උස්සගෙන වෙද මහත්තයෙක් ළඟට අරන් ගියා. එතැනදි ඒ මාමා බෙහෙත් හදලා එයාගෙ අතින්ම ඒවා ගාලා ආදරෙන් මාව බලා ගත්තා.
අනාගතයේ දී මොනවද කරන්න කැමැති?
නීතිඥවරියක් ලෙස සේවය කරන්න තමයි කැමැති. මගේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සියලුම ගුරුවරුන්ට, මගේ පවුලේ අයට, රංගනයෙන් මම සම්බන්ධ වුණු ටෙලි නාට්‍ය, චිත්‍රපටිවල නිෂ්පාදක, අධ්‍යක්ෂක තුමන්ලට, රංගන ශිල්පි මාමලා නැන්දලා ඇතුළු මට උදවු කරන හැමෝටම ගොඩක් ස්තූතියි.
පහන්දි කලා ලෝකයට අත්පොත් තැබූ අතීතය ගැන සිහිපත් කළේ ඇයගේ ආදරණීය මවයි.
2016 අවුරුද්දේ වගේ තමයි දුව මේ ෆීල්ඩ් එකට එන්නෙ. මුලින්ම එයා වෙළඳ දැන්වීම්වලට පෙනී සිටියා. දෙරණ නාළිකාවේ විකාශනය වුණු රාවණ ටෙලි නාට්‍යයේ මන්දෝදරී කුමරියට තමයි දුව මුලින්ම සම්බන්ධ වුණේ. මේ වෙනකොට දුව සම්බන්ධ වුණු ටෙලි නාට්‍ය 11ක් වගේ විකාශනය වෙලා තියෙනවා. දුව නිර්මාණයකට සම්බන්ධ කරන්න කලින් මම ගොඩක්ම පිටපත ගැන සැලකිලිමත් වෙනවා. ගොඩක් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවා. දැනටත් ලැබෙනවා. ඒත් මම ඒ හැම නිර්මාණයකටම දුවව සම්බන්ධ කරන්නේ නැහැ.
පහන්දි සම්මානනීය ළමා නිළියක්. ඒ ගැන කතා කළොත්.
ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ටෙලි නාට්‍ය ගණනාවකට දුව සම්බන්ධ වුණා. ඒ හැම නාට්‍යයක්ම සම්මානයට පාත්‍ර වීමත් ලොකු වටිනාකමක්. මේ වෙද්දි පහන්දි සම්මාන හතක් ලබා ගෙන තියෙනවා.
මාණික්කාවත නාට්‍යයෙන් දුවට දැනට සම්මාන තුනක් ලැබිලා තියෙනවා. සුමති ළමා තාරකාව සම්මානය අවුරුදු දෙකක්ම එක පිට දුව දිනා ගත්තා. මහපොළොව, අඳුන්ගිර, සකර්ම, මාණික්කාවත කරන්න ටිකක් අමාරු චරිත තමයි මේ නාට්‍ය කීපයේම තිබුණේ. ඒ හැම නාට්‍යයක් වෙනුවෙන්ම දුවට දක්ෂතම ළමා නිළිය සම්මානය ලැබුණා. එයාගේ රංගනය හරි තාත්විකයි. ඒ නිසා අධ්‍යක්ෂවරුන්ට හරි පහසුයි මෙයා එක්ක වැඩ කරන්න. ඒ නිසාම ආරාධනා ගොඩක් පහන්දිට එනවා.
ඉදිරියේදී අලුත් නිර්මාණ එන්න තියෙනවද ? (ඒ ගැනත් අපිට තොරතුරු කිවේ පහන්දිගේ අම්මා)
ඔව්… සෝලෝ ටවුන්, සඳලි, MR & MISSIS, ඉම, චිත්‍රපටි ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. දැනට වැඩිම චිත්‍රපටි ප්‍රමාණයකට සම්බන්ධ වුණු ළමා නිළිය පහන්දි.
රත්නපුර වගේ කොළඹින් දුර බැහැර පළාතක ඉඳන් මේ වැඩවලට දුවව එක්ක එන්න දුෂ්කර නැද්ද ?
දුව කලාවට සම්බන්ධ වුණු මුල් කාලෙ නම් අපි හිතුවා කොළඹ ඇවිත් ගෙයක් අරන් නතර වෙන්න. ඒත් පස්සේ අපිට ඒක ලොකු ගැටලුවක් වුණේ නැහැ. මමයි දුවයි රත්නපුරේ ඉඳලා බස් එකේ කොළඹ එනවා. නිතරම බස් තියෙන නිසා ලොකු ගමන් අපහසුවක් නැහැ. ෂූටින් ඉවර වෙලා පාන්දර ගෙදර ආවත් එයා පහුවදාට ඉස්කෝලේ යනවා. ඕනම දුකක් දරා ගන්න පුළුවන් විදිහට මම දුවව හුරු කරල තියෙන්නේ.
කුමුදිකා ඩී සපුතන්ත්‍රි