Home » මානුෂීයත්වයේ රන් සම්මානය හිමිකර ගනිමින් ශ්‍රී ලංකාව රනින් සැරසූ මේනකා

මානුෂීයත්වයේ රන් සම්මානය හිමිකර ගනිමින් ශ්‍රී ලංකාව රනින් සැරසූ මේනකා

by thanushika
November 30, 2024 12:30 am 0 comment
නාමලී ගමගේ

Women in management ගෝලීය සංවිධානය විසින් 14 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ වෘත්තීන්හි දක්ෂතා දක්වන කාන්තාවන් 50 දෙනකු උදෙසා සම්මාන පිරිනැමෙන ගෝලීය සම්මාන උලෙළ පසුගිය නොවැම්බර් 07 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර්හිදී පැවැත්විණි. වෛද්‍ය සුලෝචනා සිගේරා මහත්මියගේ නිර්මාතෘත්වයෙන් ශ්‍රී ලංකාවේ ඇරැඹුණු මෙම ආයතනය හරහා මෙතෙක් පවත්වා ඇත්තේ දේශීය සම්මාන උලෙළ පමණි. මෙවර ප්‍රථම වරට ගෝලීය වශයෙන් පැවැති මෙම සම්මාන උලෙළේදී සම්මාන උලෙළකදී පිරිනැමෙන දුලබම සම්මානයට හිමිකම් කියමින් ශ්‍රී ලංකා නාමය රනින් බබළවන්නට Save the children International සංවිධානයේ ගෝලීය සේවක සබඳතා ප්‍රධානී මේනකා කළ්‍යාණරත්න සමත් වූවාය. ශ්‍රී ලංකාව, ආසියානු කලාපය මෙන්ම ජාත්‍යන්තරය හා එක්ව කටයුතු කරමින් ළමා අයිතිවාසිකම් දිනා දීම සම්බන්ධයෙන් වසර 24කටත් වඩා වැඩි පළපුරුද්දක් ඇති ඇය මේ වනවිටත් රටවල් 60කට අධික සංඛ්‍යාවක් සමඟින් මානව සම්පත් කළමනාකරණ අංශයෙන් ගෝලීය මට්ටමෙන් කටයුතු කරමින් සිටින්නීය.

ආසියාව, අප්‍රිකාව, යුරෝපය ඇතුළු රටවල් 27කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මෙවර සම්මාන උලෙළේදී නිර්දේශිත නාමයන් 296ක් අතරින් විශිෂ්ටත්වයේ රන් සම්මානය ඇයට හිමිවූයේ මානුෂීය ක්ෂේත්‍රයේ නියැළීම වෙනුවෙන් වීම ද විශේෂත්වයකි. ඒ පිළිබඳව ඇය වඩාත් තුටින් පසුවන්නීය.

“Women in management ගෝලීය සංවිධානය පසුගිය නොවැම්බර් 7 වැනිදා මැලේසියාවෙදි මේ සම්මාන උලෙළ සංවිධානය කළේ 14 වැනි වරට. ගෝලීය වශයෙන් පැවැත්වු පළමු අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්. එහි සුවිශේෂීම සම්මාන වුණු විශිෂ්ටත්වයේ රන් සම්මානය මගේ රටට ගේන්න ලැබීම මට ලොකු සතුටක්. මං ආසම කරන මානුෂීය ක්ෂේත්‍රයේ නියැළීම වෙනුවෙන් ඒ සම්මානය පිරිනැමීම ඊටත් වඩා ලොකු සතුටක්.“ මෙහිදි ව්‍යවසායකත්ව පුහුණුව උදෙසා ලැබුණු අනෙක් රන් සම්මානය හිමිකර ගත්තේ මැලේසියාවේ කාන්තාවක්.

මෙය ශ්‍රී ලංකාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සම්මාන උලෙළක් සේම මෙවර පිරිනැමූ ඉහළ වටිනාකමින් යුත් සම්මාන නිර්මාණය කිරීමේ ගෞරවය ද ශ්‍රී ලංකාව සතු විය.

“මෙවර පිරි නැමූ හැම සම්මානයක්ම නිර්මාණ කළෙත් අපේ රටේමයි. පොළොන්නරුව ප්‍රදේශයේ තියෙන ඩොලමයිට් පාෂාණයෙන් තමයි ඒවා නිර්මාණය කරල තිබුණේ. ඉහළ වටිනාකම වගේම අධික බරකින් යුතු වීම නිසා ලේසියෙන් ලංකාවෙන් එළියට ගෙනියන්නත් බෑ. ලෝක ගෝලය ඔසවාගෙන සිටින කාන්තා රුවක් අන්තර්ගත මේ හැම සම්මානයක්ම අදාළ ජයග්‍රාහකයාට රෙජිස්ටර් කර තිබීමත් විශේෂත්වයක්.‍

සන්නිවේදන නිලධාරිනියක ලෙස ඇරැඹි තම ගමන් මඟ අද රනින් සැරසෙද්දී මෙතෙක් ආ ගමන්මඟ සිහිපත් කිරීමට ද ඇය අමතක නොකළාය.

“මුලින්ම මං Save the children ආයතනයේ ලංකාවේ මාධ්‍ය ප්‍රකාශිකාව විදිහට අවුරුදු 12ක් වැඩ කළා. ඊට පස්සේ ව්‍යාපෘති කළමනාකරණයට යොමුවුණා. ඒ හරහා ළමා සමාජ ජාලයක් ගොඩනඟාගෙන ළමා අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරනවා. ලංකාව නියෝජනය කරමින් වෙනත් රටවලට ගිහින් ළමා අයිතිවාසිකම් වෙනුවෙන් කතාකළා. ඊට පස්සේ ආසියානු කලාපයේම ජාත්‍යන්තර අධ්‍යෂිකාව විදිහට රටවල් 14ක් එක්ක ළමා ආරක්ෂණය ගැන වැඩි අවධානයක් යොමු කරමින් (2013-2022) අවුරුදු 9ක් විතර කටයුතු කළා. 2022 ඉඳන් මේ දක්වා save the children ආයතනයේ සේවක සබඳතා පිළිබඳ ගෝලීය ප්‍රධානී ලෙස කටයුතු කරනවා. මේ වෙද්දි රටවල් 60කට වැඩි සංඛ්‍යාවක 25,000කට අධික සේවක පිරිසක් එක්ක සම්බන්ධ වෙලා සේවකයා හා සේව්‍යයා අතර සම්බන්ධතාව ගොඩනඟමින් ඔවුන්ගේ ගැටලු නිරාකරණය කිරීමට කටයුතු කරනවා. මානව සම්පත් කළමනකරණය සම්බන්ධයෙන් වරලත් සුදුසුකම ලබාගන්න ආසන්න අවසාන අදියරේ රිසර්ච් එක කරමින් මං දැන් ඉන්නේ. මේ විෂයට මං හරිම කැමතියි. මේ ක්ෂේත්‍රයේ ලබපු අත්දැකීම් එක්ක වෙනත් පැත්තකට යන්න ලැබුණොත් මම තවත් කැමතියි. පොඩි කාලෙ ඉඳන්ම මං එකම දේකට කොටුවෙලා ඉන්න කැමැති කෙනෙක් නෙවෙයි.“

මෙය තමා තනිව ලද සම්මානයක් නොවන බව පැවසූ ඇය මෙහි ගෞරවය තම කණ්ඩායමටම හිමි විය යුතු බව ද පැවසූවාය.

“මානුෂීය කටයුතු කියන එක තනියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ලංකාව ඇතුළෙත් මට ලොකු කණ්ඩායමක් හිටියා. ඔවුන්ට නිසි අවධානය දීම, ඒ වෙනුවෙන් උද්දේශනය කිරීම, ළමා ආරක්ෂණය, මානව සම්පත් කළමනාකරණය වගේ විවිධ අංශවලින් මං ඔවුන්ට සේවය ලබාදුන්නා. විශේෂයෙන්ම යුද්ධ කාලෙ, සුනාමි කාලෙ අවතැන් වුණු ළමුන් තවදුරටත් අවතැන් නොකර ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය, ආහාර පාන වගේම ආරක්ෂාව ලබා දෙන්න කටයුතු කළා. විශේෂයෙන්ම සුනාමියෙන් පස්සේ පූර්ව ළමාවිය සංවර්ධනය වෙනුවෙන් ගුරුවරු පුහුණු කිරීමේ ඉඳන් ගොඩක් දේවල් කළා. ළමුන් හා නීතිය අතර තියෙන ලොකුම ගැටීම විදිහට අපි දැක්කේ ළමයින් සම්බන්ධ නඩු විසඳෙන්න ලොකු කාලයක් ගතවීම. අපිට අවශ්‍ය වුණා මේ පිළිබඳ විනිසුරුවරුන් දැනුවත් කරන්න. ඒ වෙනුවෙන් අපි අධිකරණ අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා විනිසුරුවන් පුහුණු කරන ආයතනයක් හරහා ළමයින් නීතියත් එක්ක ගැටෙන අවස්ථාවේදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධව ඔවුන්ගේ පුහුණුවට ඇතුළත් කළා. මේ වෙද්දි විනිසුරුවරුන් ඒ ගැන හොඳටම දැනුවත්වෙලා ඉන්නවා.“

ඔක්තෝබර් 1 වැනිදාට සමරනු ලබන ලෝක ළමා දිනයේ ජාත්‍යන්තරව පිළිගත් නිශ්චිත දිනය නොවැම්බර් 20 වැනිදා බව පැවසූ ඇය පළමුවරට ළමා අයිතිවාසිකම් පිළිබඳ අදහස ඉදිරිපත් කර ඇත්තේ ද save the children ආයතනයේ නිර්මාතෘවරිය බව ද පැවසුවාය.

එය ප්‍රඥප්තියක් ලෙස එක්සත්ජාතීන්ගේ සංගමය පිළිගත්තේ 1989 නොවැම්බර් 20 වැනිදා. ඊට පස්සේ ලෝකෙ හැම රටක්ම අත්සන් කරලා ඒක පිළිගත්තා. මෙවන් ආයතනයක වැඩ කරන්න ලැබීමම වාසනාවක්. මුල් මාස 6 ළමා අයිතිවාසිකම් ගැන ඉන්ජක්සන් එකක් වගේ අපේ ඇඟට දුන්නා. ඒ නිසාම අදටත් මොන වෘත්තියේ නියැළුණත් ළමා අයිතිවාසිකම් ගැන කතා කෙරෙනවා.

බදුල්ලේ උපත ලද මේනකා මෙතෙක් දුර එන්නට මූලික අඩිතාලම වැටුණු ශිරාණි විමලසූරිය ගුරුතුමියගේ පෙර පාසල සිහිපත් කිරීමට ද අමතක නොකළාය. එමෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ බදුල්ල විශාකා විද්‍යාලය මෙන්ම පාසල් අධ්‍යාපනය නිම කළ කොළඹ විශාකා විද්‍යාලය ද ඇය ගෞරවයෙන් සිහිපත් කළාය. අධ්‍යාපනය, කලාවට මෙන්ම බාහිර කටයුතුවලට ද එකසේ දස්කම් පෑ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංශ්‍රීසි භාෂාව හා සාහිත්‍ය විශේෂවේදී උපාධිධාරිනියකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division