ෙජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, සිනමාකරුවකු සාහිත්‍යවේදීයකු මෙන්ම ප්‍රකට ගේය පද රචකයකු වූ අභාවප්‍රාප්ත සිරිල් ඒ. සීලවිමල මහතාගේ 14 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි.
සිරිල් ඒ. සීලවිමලයන් උපදින්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳලංකාවේ ඉරබඩගම ගමේදී ය. ඔහුගේ මව කරුණාවතී අබේනායක ය . පියා වෛද්‍යාචාර්ය අබිලීනු අබේනායකය.
කඳන්ගමුව විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ සීලවිමල උසස් අධ්‍යාපනය සදහා ඇතුළත් කරනු ලබන්නේ, සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනටයි. පියාට අවශ්‍ය වූයේ සීලවිමල වෛද්‍යවරයකු කරන්නටය. එහෙත් පිරිවෙනේදී සීලවිමල ආයූර්වේදය සමඟ සිංහල, පාලි හා සංස්කෘත භාෂාත්‍රය ද මැනවින් හදාරමින් වැඩිපුර බරක් තබා කටයුතු කළේ සාහිත්‍ය කලා කටයුතුවල ය. පිරිවෙනේදී මහා කවි මීදෙණියේ විමලානන්ද හිමියෝ සීලවිමලට කාව්‍යාලංකාර ශාස්ත්‍රය ඉගැන්වූ ගුරුවරයා වූහ. ක්‍රමයෙන් හෙතෙම කවි ගී සින්දු පබඳින්නටත්, භාෂා ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් දැක්වීමටත් රුචියක් දැක්වී ය. පිරිවෙන් අධ්‍යාපනයට අනතුරුව කොළඹ පැමිණ මැනවින් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ ය. ඒ අතරතුරේදී පුවත්පත් සඟරා ආදියට කවි නිර්මාණය කළේය.
1950 දශකයේ වෙ. වි. අබේගුණවර්ධනයන් පටන් ගත් “පෙරමුණ” පත්‍රයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය.
සිරිල් ඒ. සීලවිමලයන්ගේ බිරිය අනුලා සීලවිමලයන් ගැන සිහිපත් කරන්නේ මෙලෙසිනි.
“අපි කසාද බඳින දවසෙත් එයා “දවස” පත්තර කන්තෝරුවෙ. එදා තමයි, අමෙරිකාවේ ජනාධිපති ජෝන් කෙනඩිට වෙඩි තියපු දවස. ඉතින් ඩී.බී. ධනපාල මහත්තයාට ඕනෑ කරලා තිබුණා , කෙනඩිට වෙඩි තියපු ප්‍රවෘත්තිය කවියෙන් ලියවාගෙන දවස පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය කරලා පත්තරේට ගන්න. ඒ සඳහා සීලවිමල මහත්තයා ගෙන්වා ගෙන ඉංග්‍රීසි පිටපත පරිවර්තනය කරගෙන ප්‍රවෘත්තිය සිංහල කවියට නඟන්න කියලා පැවරුවා. මහත්තයා ඒ කාර්යය ඉවර වෙලා තමයි මාව කසාද බඳින්නට ආවේ! කාර්යාලයේ වාහනයෙන් ම ධනපාල මහත්තය එයාව රෙජිස්ටාර් ගාවට එවලා තිබුණා.
එයාගෙ අඹ යාළුවා චිත්‍රානන්ද අබේසේකරයි, තව යාළුවෙකුයි තමා අත්සන් කළේ. සීලවිමල මැතිනිය හිනැහෙමින් කියයි. දෙවන මනමාලයාට හිටියේ විජේරත්න වරකාගොඩ.”
සීලවිමලයන් චිත්‍රපට 50 කට පමණ ගීත ප්‍රබන්ධ කළේය. ඒ චිත්‍රපට අතර දීපශිඛා, කොළඹ හාදයෝ, ස්වීප් ටිකට්, සිකුරුලියා, සුහද පැතුම, සුදු දුව, කේශර සිංහයෝ, සුදු සුදා, කිඳුරු කුමාරි, සමන්මලී, ලොකු තාත්තා, බිරිඳ, වස්තුව, උතුම් ස්ත්‍රිය, අමරණීය ආදරේ, සුළි සුළං, දැන් මතකද, සිදාදියෙන් හයක්, ප්‍රවේශම්වන්නමතකද, සිදාදියෙන් හයක්, ප්‍රවේශම්වන්න, පූජිතයෝ, මිරිඟුව, ගොපළු හඬ, පික්පොකට්, සැනසුම, ධවල පුෂ්පය, සිනාවයි ඉනාවයි හා අජාසත්ත යන චිත්‍රපට ප්‍රමුඛ වෙයි. එවක ආදායම් වාර්තා බිඳ දමන ලද “අජාසත්ත” චිත්‍රපටයේ කතාව, දෙබස් සහ තිර නාටකය ද රචනා කළේ සීලවිමලය.
ඔහු ලියූ පොත පත අතර සඳ නුදුටු පිනි, සිත ඇඳි රේඛා, සඳලතා ඇතුළු ගීපොත්, කවි පොත් සහ නවකතා කිහිපයක් ද වෙයි.
ඩබ්ලිව්. ඩී. අමරදේව,මොරිස් දහනායක ධර්මදාස වල්පොල,ලතා වල්පොල , වික්ටර් රත්නායක, ප්‍රෙඩී සිල්වා, එච්.ආර්. ජෝතිපාල මිල්ටන් පෙරේරා , ඇන්ජලීන් ගුණතිලක, හරුන් ලන්ත්‍රා, සුජාතා අත්තනායක, කිස්ටෝපර්
පෝල් ඇතුළු ගායක ගායිකාවන් රැසකට සීලවිමල ගීත රචනා කර දී තිබේ.
ධර්මදාස වල්පොල දීපශිඛා චිත්‍රපටයට ගායනා කරන මංමුළා වෙලා අඳුරෙ- මේ යන්නෙ කොහේ දැන් අප සැමා, සුදු දුව චිත්‍රපටයට හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක ගයන ආනන්ද මේ රෑ හරි හැඩයි, ප්‍රෙඩී සිල්වාගේ මුල්ම ගායනය වූ මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්, මොරිස් දහනායක ගයන මෙත්මල් පිබිදේවා, සුදෝ පොඩ්ඩක් අඬන්න, වික්ටර් රත්නායක ගයන මෝහෙන් මුළා වෙලා, ළිඳෙන් වතුර බීලා, එච්. ආර්. ජෝතිපාල ගායනා කළ දේවින්දේ ශ්‍රී විෂ්ණු දේවින්දේ, ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගයන සන්සුන් රුවන් හද මන්දීරේ, එච්. ආර්. ජෝතිපාල , මිල්ටන් පෙරේරා සහ මොහිදීන් බෙග් එක්ව ගයන හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී වැනි ජනප්‍රිය චිත්‍රපට හා සරල ගීත රැසක රචකයා සිරිල් ඒ. සීලවිමලයන්ය.
සිරිල් ඒ. සීලවිමල හා අනුලා සීලවිමල යුවළට දරුවන් සිව්දෙනෙකි. ලොකු පුතා නාලක අද විදුහල්පතිවරයකු ලෙස සේවය කරයි. දෙවෙනි පුතා උදිත අබේනායක ජනමාධ්‍ය හා සම්බන්ධ වූ වෙළෙඳ කළමනාකරුවෙකි. තෙවන, සිව්වන දරුවන්වන අනූෂා හා හර්ෂා දියණිවරුන් විවාහ වී දරු මල්ලන් සමඟ යහපත් ජීවිත ගත කරති.
තුසිත් සාගර