Home » ‘පිරිමි ආදරයක්’ හරහා ප්‍රේක්ෂකයන් අතරට එන ආශාවී

‘පිරිමි ආදරයක්’ හරහා ප්‍රේක්ෂකයන් අතරට එන ආශාවී

by thanushika
November 30, 2024 12:30 am 0 comment
තුසිත ජයසුන්දර

නව නළු නිළි පරපුරක උපත හා වැඩීම තහවුරු කරලීම අරභයා සිනමාකරුවනටද, සිනමා නිපැයුම්කරුවනටද පැවරෙන්නේ අතිමහත් වගකීමක්. සිය සිනමාපට සිනමාශාලා ඔස්සේ හෝ අන් අයුරකින් රසිකයා කරා රැගෙන ඒමේදී නළු නිළි පිරිස සුවිශේෂ මැදහත්වීමක් ප්‍රකට කරන බව වටහා ගැනීමේ ද්විතීයික අදියර ලෙසිනුයි මෙම වගකීම නිර්වචනය කළ හැක්කේ. පළමු පෙළ සිනමාකරුවන් හා නිපැයුම් පාර්ශ්ව දිදුලන සිනමා තරු කෙරෙහිම විශ්වාසය තැබීමේ අනිටු ඵල සිරිලක සිනමාව වරින් වර වුව භුක්ති විඳින්නේ උක්ත කියැවීමේ සහේතුක බව සිහිගන්වමින්.

සිය අටවන වෘත්තාන්ත සිනමාපටය ‘පිරිමි ආදරයක්’ මැයෙන් ගෙන එන එරංග සේනාරත්න මෙතැනදී හඳුනා ගැනෙන්නේ නව නළු නිළි පිරිසක් හැකි පමණින් සිනමා බිමට කැඳවන්නකුද ලෙසින්. වෙසෙසින්ම ඔහුගේ මෑත කාලීන සිනමාපට දෙක තුනම මේ කරුණ අවධාරණය කරනවා.

දෙවසරකට පෙර ප්‍රදර්ශිත ඔහුගේ ‘මොනාලිසා’ හිදී අමිල කරුණානායක හා මධුෂානි වික්‍රමසිංහ වෙත ලබා දෙන්නේ ප්‍රධාන චරිත රඟපෑමේ අවස්ථා. එවකට නවක නිළියක වූ සනෝජා බිබිලේ එරංගගේ පළමු සිනමාපටය වන ‘සුර යහන ගිනි ගනී’ හි ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. ‘රෝස පැටික්කි’හි ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්නේ සිනමාවට නවකයකු වූ අසේල ජයකොඩි. ‘ඈ’හි ප්‍රධාන චරිතයක් උමේෂි වික්‍රමසිංහ නිරූපණය කරනවා.

මේ අතීතය ‘පිරිමි ආදරයක්’ නරඹන කලද සිහිපත් වන්නේ නිරායාසයෙන්. ‘පිරිමි ආදරයක්’සමඟ සිය පළමු සිනමා පිවිසුම් පිළිබඳ මතකය අවදි කරන්නට එරංග සමත්වනවා. ඒ අදින් වසර විසි පහකට පෙර ප්‍රදර්ශිත ‘සුර යහන ගිනි ගනී’ මුල් කර ගෙන. සමකාලීනව ඉස්මතුව පැවති අවර ඝනයේ කාම සිනමා නැඹුරුවට එක් නොවී ස්ත්‍රී සමරිසි සබඳතා දෙස තුලනාත්මකව බලන්නට වැර දැරූ ‘සුර යහන ගිනි ගනී’ ප්‍රමාණවත් විචාරක අවධානයකට ලක් නොවීම කනගාටුදායකයි. විචාර ප්‍රතිචාර ඇවැසි පරිදි ලැබුණේ නම් එරංගගේ සිනමා දිවිය වෙනස් ආකාරයක් ගන්නටද ඉඩ තිබුණා.

එරංග ‘පිරිමි ආදරයක්’හි ප්‍රධාන චරිතයක් නිරූපණයට කැඳවන්නේ එපමණ අත්දැකීම් නොමැති හිරුනි රණසිංහ. මෙහිලා ඇගේ රංගන ප්‍රතිභාවේ තරම පිරික්සීමේ දැඩි පිළිවෙත් අනුගමනය තාර්කික නැහැ. පළමු කොටම දත යුත්තේ මේ ඇගේ පළමු ප්‍රධාන චරිත නිරූපණය යන වග . දෙවනුව ඇය නිරූපණය කරන ආශාවී නම් යුවතිය කිසියම් වෙනස් මානසික තත්ත්වයක ලකුණු පෙන්නුම් කිරීම යන්න. ඊට හේතුවන අතීත ආදර සබඳතාව එරංග සඟවන්නේ නැහැ. එසේම ආශාවී රැකියාවක නිරත වන්නියකද වනවා. හැඩකාර තරුණයකුගේ හා සල්ලාලයකුගේ අවධානයට ඇය ලක් වන්නේ වැළක්විය නොහැකි අන්දමින්. සුලබ පෙම්වතියකගේ චරිතය ආශාවී වෙතින් දැක ගත නොහැකි තරම්. මේ අනුව හිරුනිට කිසියම් වෙහෙසක් දරමින් ආශාවී ප්‍රතිනිර්මාණයට ඇවැසි සාධක සපයා ගැනීමටයි සිදුවන්නේ. නවක සිනමා නිළියකට මෙය තරමක හෝ අභියෝගයක්. කෙසේ නමුත් සිනමාකරු එරංග සේනාරත්නගේ නිර්මාණ පිළිවෙත් විෂයෙහි හැකි පමණින් ඊට මුහුණ දෙන්නට හිරුනිට සිදුවනවා.

එරංග සේනාරත්නගේ මෑත කාලීන සිනමාපට පෙන්නුම් කරන්නේ දැවැන්ත ලකුණු නොවන බව පැහැදිලියි. සුවිශාල ධන ආයෝජනයකින් සිය සිනමා භාවිතය සමන්විත කිරීමට ඔහු උත්සුක වන්නේ නැහැ. වත්මන් සිරිලක සිනමා වෙළෙඳ පොළේ හැසිරීම් සම්බන්ධයෙන් වන ඔහුගේ වැටහීම මෙතැනදී දැකගන්නට පුළුවන්. මෙය සහතික වන්නේ සිරිලක සිනමාවට අදාළ කවර අර්බුද පැවතියද එරංග සේනාරත්න නොදැවුණු සිනමාකරුවකු සේ හඳුනාගත හැකි වන නිසා. වේගයෙන් ලකුණු රැස් කොට නොපමාව දැවී යනවාට වඩා කඩුල්ලේ රැඳී සිටීම ඔහුගේ තෝරා ගැනීමක් බවයි පෙනී යන්නේ. ඔහු විසින් නිර්මාණය කරන ලද සිනමාපට දෙකතුනක්ම ප්‍රදර්ශනයට නියමිතව පවතින බවද මෙහිලා සඳහන් කළ යුතුයි.

‘පිරිමි ආදරයක්’ සිනමාශාලාගත වන්නේ යම් කුතුහලයක් ජනිත කරමින්. පළමු කොටම ‘පිරිමි ආදරයක්’යන නම නිසා. පුරුෂ සමරිසි සබඳතා පිළිබඳ අදහසකුයි මේ හඳුන්වාදීම ඉඟි කරන්නේ. දෙවනුව ප්‍රචාරක පෝස්ටරය. එහි එන්නේ තරුණ පුරුෂයක් දෙදෙනෙකු හා ඔවුන් අතරට මැදිව සිටින යුවතියක්. භාවිත කරන වර්ණ ගැළපුම යම් අතීත හැඟීමක්ද දනවනවා. කෙසේ නමුදු සිනමාපටයේ කිසිදු ස්ත්‍රී හෝ පුරුෂ සමරිසි සබඳතා නිරූපණයක් නොමැති බවයි කිව යුත්තේ. මෙය වැඩිහිටි රසිකයනට පමණක් සීමා වූ සිනමාපටයක් නොවීමද මෙතැනදී සලකා බැලිය යුතු කරුණක්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division