ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු සියයේ කඩඉම සම්පූර්ණ කිරීම ඕනෑම පන්දු යවන්නකුගේ ක්‍රිකට් ජීවිතයේ ස්වර්ණමය මතක සටහනකි. ඊයේ පෙරේදා එම වාර්තාව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවේ වමතින් දඟපන්දු යවන 33 හැවිරිදි ප්‍රභාත් ජයසූරිය සමත් විය. ඔහු මේ දස්කම පෑවේ සිය 17 වැනි ටෙස්ට් තරගයේදීය. ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරයේ ඩර්බන් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදීය. ටෙස්ට් පිටියේ වේගවත්ම කඩුලු සියය සම්පූර්ණ කළ ශ්‍රී ලාංකික පන්දු යවන්නා ලෙසත්, ලොව දෙවැනි පන්දු යවන්නා ලෙසත් එය වාර්තාපොතට එක්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඩිල්රුවන් පෙරේරා ය. ඔහු වසර 2017 දී ඉන්දියාවට එරෙහිව නවදිල්ලි නුවරදී වේගවත්ම ටෙස්ට් කඩුලු සියය සම්පූර්ණ කරනු ලැබුවේ ඔහුගේ 25 වැනි තරගයේදීය.
ප්‍රභාත් සමඟ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වේගවත්ම කඩුලු සියයේ වාර්තාවේ දෙවැනි තැන පසුවන තවත් පන්දු යවන්නෝ සිව්දෙනෙකි. ටෙස්ට් තරග 17කදී කඩුලු සියය සම්පූර්ණ කළ ඔස්ට්‍රේලියාවේ චාල්ස් ටර්නර් හා ක්ලැරන්ස් ග්රිමෙට්, එංගලන්තයේ සිඩ්නි බාර්න්ස් සහ පාකිස්තානයේ යසීර් ෂා ඒ අතර වෙති. ඔවුන් සියලුදෙනාටම වේගවත්ම ටෙස්ට් කඩුලු සියයේ වසර 128ක් පැරැණි ලෝක වාර්තාව මඟ හැරී ගියේ එක් තරගයකිනි. එම ලෝක වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ එංගලන්තයේ ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් විසිනි. ඔහු එම වාර්තාව තැබුවේ 16 වැනි ටෙස්ට් තරගයේදීය.
පහසුවෙන් බිඳ හෙළිය නොහැකි වාර්තාවක්
ඩර්බන් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 42කට සීමා වීමේ කනගාටුදායක සිදුවීම නිසාම දකුණු අප්‍රිකානු පිලේ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ටෝනි ඩි සෝසි දවාලමින් ප්‍රභාත් ජයසූරිය තැබූ මේ වාර්තාවේ සතුට යම් තරමකට යටපත් වූව ද, එය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ පහසුවෙන් බිඳ හෙළිය නොහැකි වාර්තාවකි. එය මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, වනිඳු හසරංග වැනි ලෝක පූජිත පන්දු යවන්නන්වත් ආසන්නවීමට නොහැකි වූ වාර්තාවකි.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී අයර්ලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී වේගවත්ම ටෙස්ට් කඩුලු 50 සම්පූර්ණ කළ ශ්‍රී ලාංකික පන්දු යවන්නා ලෙසත් වාර්තාපොතට එක්වී සිටි මාතලෙන් බිහි වූ මේ විශිෂ්ට වමත් දඟපන්දු යවන්නා ටෙස්ට් පිටියට පා තබා දැනට අවුරුදු 2කුත්, දින 142ක් පමණි. වේගවත්ම ටෙස්ට් කඩුලු සියයේ සමවාර්තාවට හිමිකම් කියන සෙසු පන්දු යවන්නන් අතුරින් චාල්ස් ටර්නර් එම වාර්තාව තැබුවේ අවුරුදු අටකුත්, දින 4කට පසුවය. සිඩ්නි බාර්න්ස් එම වාර්තාව තබන විට ටෙස්ට් පිටියට පා තබා අවුරුදු 10කුත්, දින 72කි. ක්ලැරන්ස් ග්රිමෙට් වාර්තාව තැබුවේ ටෙස්ට් පිටියට පිවිස අවුරුදු 5කුත්, දින 323කට පසුවය. යසීර් ෂාට ඒ සඳහා ගතවී තිබුණේ අවුරුද්දකුත්, දින 357කි.
ප්‍රභාත් ජයසූරිය විසින් සමකරනු ලැබුවේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක චාල්ස් ටර්නර් 1895 පෙබරවාරියේ සිඩ්නි නුවරදී එංගලන්තයට එරෙහිව තැබූ වාර්තාවය. එය වසර 129ක් පැරැණි වාර්තාවකි. අනතුරුව එංගලන්තයේ සිඩ්නි බාර්න්ස් 1912 පෙබරවාරියේ සිඩ්නි නුවරදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී එම වාර්තාව සම කළ අතර, අනතුරුව 1931 ජනවාරියේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ක්ලැරන්ස් ග්රිමෙට් විසින් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී එය සම කරනු ලැබීය. දෙවැනි වේගවත්ම කඩුලු සියයේ වාර්තාව සමකරනු ලැබූ සිව්වැනි පන්දු යවන්නා වන යසීර් ෂා වාර්තා පොතට එක්වූයේ 2016 ඔක්තෝබරයේ ඩුබායි නුවරදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදීය.
මංගල ටෙස්ට් තරගයේදීම තරගයේ වීරයා
ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉනිමකින් සහ ලකුණු 39කින් ජයගත් 2022 වසරේ ජූලි මාසයේ ගාල්ලේ පැවති තරගයෙන් ටෙස්ට් පිටියට පා තැබූ ප්‍රභාත් ජයසූරිය සිය මංගල ටෙස්ට් තරගයේදීම තරගයේ වීරයා බවට පත්වීමට සමත්වූ ක්‍රීඩකයෙකි. හෙතෙම එම සම්මානයට පාත්‍ර වූයේ ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේදී කඩුලු 6ක් ද, දෙවැනි ඉනිමේදී කඩුලු 6ක් ද බිඳ දමමිනි. සිය ටෙස්ට් කඩුලු 50 තරග 7කින් සම්පූර්ණ කළ ප්‍රභාත් එම වාර්තාවෙන් ද ලොව පසුවන්නේ දෙවැනි තැනය. ඔහු සමඟ වේගවත්ම ටෙස්ට් කඩුලු පනහේ සම වාර්තාවට එංගලන්තයේ තෝමස් රිචඩ්සන් සහ දකුණු අප්‍රිකාවේ වර්නන් ෆිලෙන්ඩර් හිමිකම් කියති. එහි ලෝක වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ ටෙස්ට් තරග 6කින් එම වාර්තාව සම්පූර්ණ කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක චාල්ස් ටර්නර් විසිනි.