Home » අයිපීඑල් වෙන්දේසියෙන් ජාත්‍යන්තරයට ගිය අවුරුදු දහතුනේ කෝටිපතියා

අයිපීඑල් වෙන්දේසියෙන් ජාත්‍යන්තරයට ගිය අවුරුදු දහතුනේ කෝටිපතියා

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

ලෝක ක්‍රිකට් පිටියේ ධනවත්ම ප්‍රිමියර් ලීග් තරගාවලියේ (අයිපීඑල්) ක්‍රීඩක වෙන්දේසිය සෞදි අරාබියේ ජෙඩා නුවරදී අවසන් වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩි අවධානය දිනා ගනිමිනි. දස්කම් අතින් ඉහළින්ම කැපී පෙනෙන ක්‍රීඩකයන් ධනවත් කරමින් ද, කෝඩුකාර ක්‍රීඩකයන් එක් රැයකින් ධනපතියන් කරමින් ද ක්‍රීඩක වෙන්දේසිය නිමාවට පත්වෙද්දී වැඩිම කතාබහට ලක්වූයේ නැගෙනහිර ඉන්දියාවේ නේපාලයට මායිම්ව පිහිටි බිහාර් ප්‍රාන්තයේ සමස්තිපූර් දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර් 15ක් දුරින් පිහිටි ටජ්පූර් දිළිඳු ගම්මානයේ 13 හැවිරිදි කොලු ගැටයා වෛභව් සූර්යවන්ෂි ගැන ය. කවුරුත් නොසිතූ අයුරින් එදා වෙන්දේසියේදී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ හිමිකරුවන් හා පුහුණුකරුවන් තරගයට ලන්සු තැබුවේ ඔහුට ය.

ඉන්දීය රුපියල් ලක්ෂ 30ක අඩුම මූලික ලන්සුවෙන් වෙන්දේසියට තබා අන්තිමේදී ඉන්දීය රුපියල් එක්කෝටි දසලක්ෂයක මුදලකට තැබූ ලන්සුවෙන් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන්කෝටි අසූලක්ෂයකට) රාජස්තාන් රෝයල්ස් පිලට අයිති වූ මේ වමත් ආරම්භක පිතිකරුවා අයිපීඑල් පිටියට, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පමණක් නොව ඉන්දියාවේ දේශීය තරග බිමටත් අන්තිම කෝඩුකාරයෙකි.

වෙන්දේසියේ අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා

වෙන්දේසිය අවසන් වෙද්දී වෛභව් වාර්තාපොතට එක්වූයේ අයිපීඑල් ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියේ අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා හැටියටය. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 13කුත්, මාස අටකි. ඔහු බිඳ දැමුවේ 2019 අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිලට අලෙවි වූ එවකට 16 හැවිරිදි වියෙහි පසුවූ ප්‍රයාස් රායි බාමන්ගේ වාර්තාවය. වයසින් අඩු වුවත් දැනටමත් අඩි පහකුත්, අඟල් 6ක් උසැති වෛභව් සූර්යවංෂි එක් රැයකින් ලොව පුරා අවධානය දිනා ගැනීමට සමත් වූයේ එලෙසිනි. දැන් ලෝක ක්‍රිකට් ලෝලීන් කවුරුත් අන්තර්ජාලය පීරමින් සොයා බලන්නේ මේ අපූරු කොලු ගැටයා ගැනය.

වෛභව් සූර්යවංෂි ඉන්දියාවේ දේශීය තරග බිමේ අවධානය දිනා ගත්තේ මිට මාස දෙකකට පමණ පෙර එරට සංචාරය කළ අවුරුදු 19න් පහළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව චෙන්නායි නුවර පැවැති සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේදී දැක්වූ දස්කම් හේතුවෙනි. එදා තරගයේ ඉන්දීය පළමු ඉනිමේදී ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පිවිසි මේ කෝඩුකාරයා ලකුණු 104ක්ම රැස් කිරීමට සමත් විය. ඔහුගේ ශතකය වාර්තා වූයේ පන්දු 58කිනි. ඊට හතරේ පහර 14කි. හයේ පහරවල් 4කි. එය ඔහුගේ ප්‍රහාරාත්මක පිතිහරඹයට කදිම නිදසුනක් බවට පත්වූ අතර, අයිපීඑල් වැනි විස්සයි20 තරගවලටම සරිලන ආකාරයේ පිතිකරුවකු බවටත් පත්විය. එය ඔහුට අවුරුදු 19න් පහළ ඉන්දීය ජාතික කණ්ඩායමට කැඳවීමට ද හේතු විය. ඒ වෙද්දිත් ඔහු ඉන්දියාවේ වාර්තා පොත අලුත් කර තිබුණේ එම තරගයේ ශතකයක් රැස් කිරීමත් සමඟය. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 13කුත්, දින 187ක් වූ අතර, ඔහු වාර්තා පොතට එක්වූයේ ජාත්‍යන්තර යොවුන් ක්‍රිකට් පිටියේ ශතකයක් රැස් කළ ළාබාලතම ක්‍රීඩකයා ලෙසිනි.

පිත්ත අතට ගත්තේ සිව්හැවිරිදි වියේදී

වසර 2011 මාර්තුවේ 27 වැනිදා ඔහු මෙලොවට බිහිවූයේ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් ඉන්දීය පිල 2011 එක්දින ලෝක කුසලානය දිනා ගැනීමට දින පහකට පෙරය. අයිපීඑල් තරගාවලිය ආරම්භ වී වසර හතරකට පසුවය. දැන් ඔහුට මහේන්ද්‍ර සිං දෝනිලා නියෝජනය කරන චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිවත් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම අපූරු සිදුවීමකි. ඉන්දීය ක්‍රිකට් පිටියේ අනාගත තරුව බවට පත්වීමේ පෙරනිමිති පහළ කළ වෛභව් සූර්යවංෂි ක්‍රිකට් පිත්ත අතට ගත්තේ සිව්හැවිරිදි වියේදීය. ඒ වෙද්දී බිහාර් ප්‍රාන්තයේ කැපී පෙනෙන ක්‍රීඩකයකුව සිටි ඔහුගේ පියා සංජීව් පුත්‍රයාගේ සහජ හැකියාව මැනවින් හඳුනාගත් අතර, අවුරුදු 9 වෙද්දී ක්‍රිකට් ඇකඩමියකට ඇතුළු කළේ එය තවදුරටත් මුවහත් කිරීමේ අපේක්ෂාවෙනි. පුත්‍රයාගේ ක්‍රිකට් දිවිය දීප්තිමත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට තරම් යහපත් ආර්ථිකයක් නොතිබුණු සංජීව් මුදල් සොයා ගත්තේ ඔහු සතු ඉඩමක් විකුණා දමමිනි. පියාගේ උත්සාහයට අන්තිම සාධාරණය ඉටු කළ මේ පුංචි පිතිකරුවා හැකියාව අතින් දිනෙන් දින දියුණු වූ අතර, ඔහුගේ දස්කම් බිහාර් ප්‍රාන්තය නියෝජනය කරමින් විනෝ මන්කාඩ් කුසලාන ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කිරීමට තරම් ප්‍රමාණවත් විය. ඔහු තරග 5කදී ලකුණු 400 ගණනක් රැස් කරමින් බලධාරීන්ගේ නොමඳ පැසසුමට ලක්වූයේ එලෙසිනි. මේ වසර උදා වූයේ වෛභව්ට ඉන්දියාවේ පළමුපෙළ තරග වරම් ලබා දෙමිනි. සුප්‍රකට රංජි කුසලාන ප්‍රාන්ත තරග බිමට එක්වූ ළාබාලතම ක්‍රීඩකයා ලෙසත් ඉතිහාසගත වූ වෛභව් සූර්යවංෂි අයිපීඑල් වෙන්දේසියේදී මිලදී ගැනීමට රාජස්තාන් රෝයල්ස් පිලේ හිමිකරුවන් තීරණය කළේ නිකමට නොව ඔහුගේ දස්කම් සියැසින්ම දැක බලා ගැනීමෙන් පසුවය. එය සිදුවූයේ ක්‍රීඩක වෙන්දේසියට දින ගණනාවකට පෙරය. වෙන්දේසියට ඉදිරිපත් කරනු ලබන ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුව නිකුත් වූවාට පසුවය.

තාත්තා කියන කතාව

‘පුතාගේ දස්කම් බලන්න ඕන කියලා රාජස්තාන් රෝයල්ස් පිලේ බලධාරින් පුතාව නාග්පූර්වලට කැඳෙව්වා. වික්‍රම් රතෝර් සර් (කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු) ඔහුගේ පිතිහරඹය පරීක්ෂා කළා. ඔහුට ඕවරයක් බැට් කරන්න දුන්නම පුතා ඒ ඕවරයේදී ලකුණු 17ක් රැස් කළා.‘ වෛභව්ගේ පියා එසේ කීවේය.

කෙසේ වෙතත් වෙන්දේසියේදී අලෙවි වීමෙන් පසු වෛභව්ගේ වයස ගැන කතාබහක් ද ඉන්දීය මාධ්‍ය අතර පැතිරී ගියේය. එය සිදුවූයේ පසුගිය වසරේ එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ඔහු තම වයස වසරකින් වැඩි කර කීම නිසාය. ඒ අනුව දැන් කතාව පැතිරී යන්නේ ඔහුගේ වයස අවුරුදු 13ක් නොව 15කට ආසන්න බවටය.

‘පුතා අවුරුදු අටේදී වයස මනින ඇට මිදුලු පරීක්ෂණයක් සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරියේ පෙනී සිටියා. ඔහු දැන් අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමටත් සෙල්ලම් කරනවා. අපිට පුතාගේ ක්‍රිකට් අනාගතය ගැන කිසිම බයක් නෑ. කවුරු හරි කියනවා නම් පුතාගේ වයස වැරදියි කියලා ප්‍රශ්නයක් නෑ එයාව ආපහු සැරයක් ඇට මිදුලු පරීක්ෂාවකට යොමු කරන්න පුළුවනි.‘ පියා සංජීව් කීවේය.

එදා අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙද්දී වෛභව් සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේය. ඔහු ඉන්දීය ජාතික පිල නියෝජනය කරමින් ඩුබායි ගියේ අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියට ක්‍රිඩා කිරීමටය. එම තරගාවලියේ ඉන්දීය පිල මුහුණ දෙන පළමු තරගය ක්‍රිකට් පිටියේ සාම්ප්‍රදායික පසමිතුරා වන පාකිස්තානය සමඟය. එය පැවැත්වීමට නියමිත වූයේ 30 වැනිදාටය.

‘පුතාට තවම අවුරුදු 13යි. අයිපීඑල් වෙන්දේසියේදී රුපියල් කෝටියකට වැඩි මුදලකට අලෙවි වුණා කියන කාරණාව එයාට එච්චර තේරුමකුත් නෑ. එයාට ඕන ක්‍රිකට් සෙල්ලම් කරන්න විතරයි.‘ සංජීව් සිය පුතා ගැන එසේ කියන්නේ ආඩම්බරයෙන් යුතුවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division