ලංකාවේ බොහෝ කුඩා ජල විදුලි බලාගාර ඉදිකර ඇත්තේ පරිසර සංවේදීත්වයෙන් ඉහළ ස්ථානවල බව පරිසරවේදීන්ගේ චෝදනාවකි. ලංකාවේ පාරිසරික හානිය නොතකා දුන් අනුමැතියෙන් ඇතැම් ගංගා රැසක් මුල්කර ගනිමින් කුඩා ජල විදුලි බලාගාර රැසක් ඉදි කර ඇත්තේ පාරිසරික තර්ජන පවා නොතකමිනි. ඒ හේතුවෙන් එදා සිට අද දක්වාම පරිසර ප්‍රශ්න රැසකට මුල පුරා ඇත.
පරිසරයේ ස්වභාව සුන්දරත්වය තියුණු කරමින් දිය ඇලි මතු කරන ගංගා හරස් කොට මෙවැනි කුඩා ජල විදුලි බලාගාර ඉදි කිරීම තවමත් සිදු වෙමින් පවතියි. ගංගාවෙන් ගලා එන විශාල ජලකඳ කිලෝ මීටර් ගණනක් පහතට ආ විට එහි වූ පරිසර සුන්දරත්වය බින්දුවට බස්සවමින් එය සිඳී යන්නේ මෙවැනි සංවර්ධන ව්‍යාපෘතින්වල අවනඩු දිග්ගැස්සෙමිනි. වර්තමානයේ පූඩළු ඔයෙන් ද ඇසෙන්නේ මෙවන් අවනඩුවකි. පසුගිය කාලාන්තරයක් පුරාවට සටන් කළ පූඩළු ඔය ඉදි කිරීමට යෝජිත කුඩා විදුලි බලාගාරය නැවතත් ඉදි කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර දෙකහමාරක් පමණ ගිය පසු මෙම මනරම් ඩන්සිනන් හෙවත් පූඩළු ඔය දිය ඇල්ල හමුවේ. කොටස් දෙකක් වශයෙන් ගලා හැලෙන මෙම ඇල්ලේ මුළු උස අඩි 328 ක් පමණ වේ. මනරම් පූඩළු ඔයෙන් ඇද හැලෙන දිය ඇලි ගණන 9කි.
කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කොත්මලේ ඔයට ජලය ගලාබසින පූඩළු ඔය හරස්කරමින් කුඹල්ඔලුව ගම ආශ්‍රිතව රිවින්මෝ හියිඩ්‍රෝ පුද්ගලික සමාගම විසින් කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමේ මූලික කටයුතු ආරම්භ කළේ 2016 වසරේදීය. රිවින්මෝ හියිඩ්‍රෝ පුද්ගලික සමාගම විසින් මෙම කුඩා ජලවිදුලි බලාගාරයට 2016 වසරේද අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කළත්, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන මෙම පූඩළු ඔයෙහි ඇති ස්වභාවික දිය ඇලි සහ එහි ජෛව විවිධත්වය මෙන්ම ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මත ප්‍රතික්ෂේප වී ඇත. නමුත් මේ වන විට එම සමාගම විසින් යළිත් එම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම සඳහා මූලික අනුමැතිය ලබාගැනීමේ කාර්යයේ යෙදී සිටී. මේ නිසා නොනැවතුණ ගින්න යළිත් අලුත් වෙමින් දලු ලන්නට පටන් ගෙන ඇත්තේ දැඩි මහජන හා පරිසර හිතකාමීන්ගේ විරෝධතා හමුවේය.
මළ ඔයක් බවට
මෙම ව්‍යාපෘතිය සිදු කළහොත් කොත්මලේ ඔයට අත්වූ ඉරණම පූඩළු ඔයට ද අත්වනු ඇති බව පරිසරවේදීන්ගේ මතය යි. ඉහළ කොත්මලේ ව්‍යාපෘතියට පහළින් ඉදි කර ඇති කුඩා ජලවිදුලි බලාගාර විශාල සංඛ්‍යාවක් හේතුවෙන් කොත්මලේ ඔය අද මළ ඔයක් බවට පත්වී ඇත. ඒ ආකාරයෙන්ම මෙම ව්‍යාපෘතිය සිදු කළහොත් පූඩළු ඔයට ද දැඩි බලපෑමක් සිදු වනු ඇති බවට ඔවුහු චෝදනා නඟති. මේ වන විටද පූඩළු ඔය ඉහළ ප්‍රදේශයේ කුඩා ජලවිදුලි බලාගාර 4ක් ඉදිකර ඇති අතර, මෙම බලාගාරය ඉදි කිරීමට යෝජිත ප්‍රදේශයේ දිය ඇලි 8ක් පමණ පිහිටා ඇත. එම දිය ඇලි ඉතා සුන්දර වන අතර, ඉන් දිය ඇලි දෙකක් සංරක්‍ෂිත දිය ඇලි ලෙස ගැසට් කිරීමට ද යෝජනා වී ඇත. තවද පූඩළු ඔය ඉතා මනස්කාන්ත දිය තටාකවලින් සැදුම් ලත් ජෛව විවිධත්වයෙන් අනූන පිරිසිදු ජලයෙන් හෙබි ඔයකි.
“මේ පූඩළු ඔය සිට රජහේන පාලම දක්වා ඉදිවන කුඩා ජල විදුලි බලාගාරය සම්බන්ධව අපි වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා කළා. මේ පූඩළු ඔය පාලම ළඟින් කඳුකර පිටිය කුඩා ජල විදුලි බලාගාරය 2016 වසරේදී හඳුන්වා දෙනවා. මේ ව්‍යාපෘතිය සම්බන්ධව කටයුතු කරන්නේ Rivin- mor hydro නම් පුද්ගලික සමාගමක් විසින්. මේ කුඩා ජල විදුලි බලාගාරය සඳහා මූලික ව්‍යාපෘතිය සකස් වන්නේ කොත්මලේට ජලය ගලා බසින පූඩළු ඔය හරස් කරමින්. එදත් අපි මේකට විරුද්ධ වුණා. ඒ සඳහා පරිසර අධිකාරියෙන් අනුමැතිය ගත යුතුයි. තවත් ආයතන ගණනාවකගේ අනුමැතිය හිමි විය යුතුයි. ඔවුන් කියන්නේ කඳුකර පිටිය ගම්වාසින්ට මෙය අදාළ නැති බවයි. මේ හරහා ගම සංවර්ධනය වෙනවා. රැකියා ඇති වෙනවා. එවැනි දේවල් කා වැද්දීමට උත්සාහ කරනවා. අපි දන්නවා කුඩා ජල විදුලි බලාගාර කියන්නේ මොනවාද කියා. ගැටලුව ඇත්තේ ජනතාවට වැඩිය පරිසරයටයි. මෙම හයිඩ්‍රො පවර් එක සකස් කරන තැන සිට වැවහේන දිය ඇල්ල දක්වා තවත් ඇලි 8 ක් තියෙනවා. දිය ඇලි 9 කින් යුත් කිලෝ මීටර එකහාමාරක් දුරක වපසරියකයි අපි කටයුතු කරන්නේ. මේ දිය ඇල්ලයි, එගොඩවෙළ දිය ඇල්ලයි සංරක්ෂණය කළ යුතු බවට 2016 මධ්‍යම පරිසර අධිකාරිය විසින් නම් කළා.”
ක්ෂේත්‍ර පරීක්ෂාව කෝ?
මේ දිය ඇලිවලටම සම්බන්ධ ස්වභාවික පොකුණු පද්ධතියක් තියෙනවා. ඒවා 2016 සැලසුම් කරන්නේ මෙය පාලමින් පල්ලෙහාට ගසන්න. නමුත් විරෝධතා නිසා මෙගා වොට් 4.9 – 4.3 කට කට මෙය බස්සවනවා. වැවහේන ඇල්ලට ජලය නිකුත් කරන බව ඔවුන් කියනවා. ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ යථාර්ථය වසන් කරන්න. වැවහේන දිය ඇල්ලට ජලය නිකුත් වුණත් එගොඩවෙළ දිය ඇල්ලට මොකක්ද වෙන්නේ.
කැලය තුළ කවුරුත් නොයන තැනක මේ දිය ඇළි තියෙන බව ඔවුන් කිව්වත් පරිසරයට ආදරය කරන පිරිසක් ලෙස දිය ඇලි තිබිය යුත්තේ කැලය තුළයි. ඒවා තර්ක නෙමෙයි. ජෛව විවිධත්වයෙන් යුතු ස්වභාවික පරිසර පද්ධතියට වන හානිය නිසාමයි අපි මීට විරුද්ධ වන්නේ. මේ මඟින් වන හානිය මිල කරන්න බැහැ. මේවා නැතිවි යනවා, මේ සංවර්ධනය නිසා. අපි සම්පත් ආරක්ෂා කරමින් දියුණු විය යුතුයි. මූල්‍යමය වටිනාකම දෙස සලකා පරිසරයට සිදු කරන හානියට අපි විරුද්ධයි. මධ්‍යම පරිසර අධිකාරිය 2016 මේ වාර්තාව ප්‍රතික්ෂේප වන්නේ මේ දිය ඇලි දෙක සංරක්ෂණය විය යුතු නිසා. දෙවැනි වතාවට එයට අනුමැතිය දීම පිළිබඳ දෙවරක් සිතිය යුතුයි. මෙහි ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂාවක් මේ වන තෙක් සිදුව නැහැ. අපි ඉල්ලන්නේ ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂාවක්.
ගම්මු තමන්ගේ ජල අවශ්‍යතාවකදි ප්‍රයෝජනයට ගන්නා ඇල්ලක් තමයි මේ පූඩළු ඔය. විදුලි නිෂ්පාදනය ජාතික අවශ්‍යතාවක්. ඉහළ කොත්මලේ පහළ කොත්මලේ මේ වන විට මෙවැනි කුඩා ව්‍යාපාති 15ක් පමණ සිදු කර තියෙනවා. ඒ අනුව මේ ව්‍යාපෘති කොත්මලේට වැඩියි. ඒ නිසා මේවා කිරීමෙන් වන්නේ කොත්මලේ ඉතිරි වූ ජෛව විවිධත්ව පරිසර කලාප විනාශ වීමයි. මේ පරිසරය ආරක්ෂා කර ගැනීමට වහා මැදිහත් වෙන්න යැයි අපි ජනාධිපතිතුමාගෙන්, අගමැතිනියගෙන් ඉල්ලා සිටිනවා. ….“පූඩළු ඔය සුරැකීමේ සංවිධානයේ සභාපති, පුඩළු ඔය කිරිවෙල ශ්‍රි විෂුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපති කොත්මලේ සුමේධනන්ද හිමි එසේ පැවසූහ.
මෙවැනි මිනි හයිඩ්‍රො ඉදිකිරීම් සම්බන්ධයෙන් ගම්වාසීන් ඇතුළු පරිසර සංවිධාන එදා සිට විරුද්ධ වූයේ එය ඔවුන්ගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක් කරන නිසාය. විශේෂයෙන් ගමේ දිය උල්පත් සිඳී යාමෙන් බොන්නට වතුර පවා අහිමි වන බව ඔවුන්ගේ චෝදනාවය.
“අපේ ගඟ අපි ආරක්ෂා කරගත යුතුයි. 2016 මේ ව්‍යාපෘතිය ආ පසු අපේ විරුද්ධත්වය නිසා නවතා දැමුවා. එදා මෙය කරන්න සූදානම් වුණේ අපේ ගම පැත්තෙන්. මේ ගඟට සම්බන්ධ ප්‍රධාන දිය ඇළි දෙකක් හා පොඩි දිය ඇළි හතක් තියෙනවා. එදා මේ ව්‍යාපෘතිය අවලංගු වුණේ ප්‍රධාන දිය ඇලි දෙක ගැසට් කිරීම නිසා. පසුව මේ අය ගඟේ අනිත් පැත්තෙන් එනම් අපේ ගමට විරුද්ධ පැත්තෙන් කරන්න නව ව්‍යාපෘතියක් ගෙනාවා. එදත් විරුද්ධ වුණා. මන්ද කොත්මලේ ව්‍යාපෘති ගණනාවක් සිදු කිරීම නිසා අදටත් අපි දුක් විඳිනවා. මේ දිය ඇලි සිඳී ගියොත් මේ ගම් වටේම සිටින ජනතාවට බලපානවා. අදටත් පායන කාලයට මේ ඇලි හිඳිලා යනවා. පරිසර සංවිධාන මෙන්ම රජයේ පරිසර සංවිධානවල අදහස වුණෙත් මෙය බේරා ගත යුතු දෙයක් බව. නමුත් එසේ කිව්වට ස්ථිරව නතර කරන බවට කිසිදු පිළිතුරක් නැහැ. මේ අය කියනවා ආයතන 13 න් අවසර ගත්තා කියලා. නමුත් අවසර දුන්නේ පරීක්ෂණ කිරීමට පමණයි. නැතිව සෑදීමට නෙමෙයි. නමුත් මුදල් දීලා හෝ බල පුළුවන්කාරකමින් අවසර ගත් බව වාර්තා වෙනවා. එසේ වුවත් කිසිදු ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදුවුණේ නැහැ. ක්ෂේත්‍ර පරීක්ෂාවක් කරන්නේ නැතිව අවසර ගන්නේ කොහොමද? අපි ඉල්ලන්නේ ආයතන 13 න් විධිමත් ක්ෂේත්‍ර පරීක්ෂාවක්. අපි මධ්‍යම පරිසර අධිකාරියට ගිහින් වීඩියෝ පෙන්වලා යථා තත්ත්වය අවබොධ කළ පසු ඒ අය පිළිගත්තා ප්‍රශ්න තියෙද්දි මෙය කිරීම වැරදි බව. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය තීරණයක් දෙන්නේ නැතිව කල් මරමින් සිටියා. තවමත් පිළිතුරක් නැහැ.“ ඒ, පූඩළු ඔය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ඉන්දික රාජපක්ෂය.
මෙම පරිසර පද්ධතිය තුළ ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ මෙන්ම ඔය දෙපස කලාපය තුළ විශේෂිත වූ ශාක හා සත්ත්ව විශේෂ සහිත කලාපයකි. ඒ අතර හඳුන් දිවියන්, මිරිදිය කකුළුවන්, මත්ස්‍යන්,ගල්පාඩි දණ්ඩි ආදි විශේෂ වෙති. එහෙත් අද මේ සියල්ලටම තර්ජන මතුව ඇත්තේය.
පරිසර පද්ධතිය විනාශයි
පරිසර යුක්ති කේන්ද්‍රය පවසන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා මෙම ජල මූලාශ්‍රය යොදාගැනීම හේතුවෙන් ගැටලු රැසක් ඇති වී ඇති බවය. ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ජලය සපයන ජල මූලාශ්‍රය වූ පූඩළු ඔය සිඳී යාම, ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය දිනාගත් දිය ඇළි රාශියක් අහිමි වී යාම, නාය යෑම් අධික කලාපයක් හේතුවෙන් නායෑමේ අවධානමට ලක්වීම, පූඩළු ඔය පරිසර පද්ධතියට ආවේණික වූ මත්ස්‍ය සහ සත්ත්ව විශේෂවලට වාසස්ථාන අහිමි වීම, ජලය හරස් කිරීම නිසා පහළ ප්‍රදේශ වියළී යාම, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ මෙම ස්ථානය විනාශ වීමෙන් ප්‍රදේශයේ සංචාරක කටයුතුවලට බලපෑමක් වීම ආදිය ඒ ගැටලු කිහිපයකි.
පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන පවසන්නේ මෙවැනි ව්‍යාපෘති තුළින් පාරිසරිකව සිදු වන හානිය කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවය.
“පරිසර යුක්ති කේන්ද්‍රය මේ සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය වන්නේ මෙම ව්‍යාපෘතිය තුළින් පාරිසරිකව සිදු වන හානිය සෑහීමකට පත්විය නොහැකි බවයි. ජල පහරක් වෙනස් කර මාර්ගය වෙනස් කර ජලජ ජීවීන්ට සිදුවන හානිය, පාරිසරික පද්ධතීන්ට වන හානිය පසුගිය කාලයේ ඉදි වූ මිනි හයිඩ්‍රො ව්‍යාපෘතිවලදි දකින්නට හැකිවුණා. සමහර මිනි හයිඩ්‍රෝවලට විරුද්ධව අපි නීතිමය කටයුතු අරගෙන තියෙනවා. ඉදිරියේදී ඇතිවන මිනි හයිඩ්‍රෝ සම්බන්ධ ස්ථාවරය වන්නේත් එයයි. පූඩළු ඔය මෙන්ම ඉදිරියේදි ඇතිවන මෙවැනි පාරිසර හිතකාමි නොවන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පරිසර සංවිධානයක් ලෙස අපි බැඳී ඉන්නවා.
සුභාෂිණි ජයරත්න