Home » විදුලි සර වද්දවා මරා දැමූ දීඝ හඬගා කියන කතාව

විදුලි සර වද්දවා මරා දැමූ දීඝ හඬගා කියන කතාව

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

තිහාසය නැවත නැවතත් යාවත්කාලීන වෙමින් තිබේ. ඒ, කලාඔය ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවි ගෙවූ විශාලතම දළ යුගල හිමි ඇතා වන දීඝ දන්තු 1 පසුගිය 27 වැනිදා රාත්‍රියේ විදුලිසර වද්දවා අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි.ඒ, මින් පෙර මෙම ප්‍රදේශයේ දිවි ගෙවූ බරන, රේවත සහ වළගම්බා වැනි විශාල දළ ඇතුන්ට අත්වූ ඉරණමේම දිගුවක් වශයෙන් විනා අහඹුවක් ලෙස නොවේ.

මෙරට වනගත හස්ති ගහනයේ විශාල දළ සහිත ඇතුන් වැඩි වශයෙන් හමුවූ ප්‍රදේශය වන්නේ කලාඔය ජාතික උද්‍යානය ආශ්‍රිත වනාන්තර කලාපයයි. එහි දිවි ගෙවන බවට වාර්තා වී ඇති එවැනි විශාලතම දළ යුගල හිමි අවසන් හස්තියා ලෙස නම් දරා සිටියේ මෙම දීඝ ය. එම වටිනා සම්පත දැන් අප රටට අහිමිවී අවසන්ය. නමුත් මෙසේ විදුලි සර වද්දවා මරා දැමූ දීඝ හඬගා කියන පණිවුඩය අප මේ මොහොතේවත් තේරුම් ගැනීමට උත්සාහ කළහොත් එය අනාගතයේදී හෝ දීඝ ගේ පරම්පරාවට යහපත පිණිස වනු ඇත.

අලි ඇතුන්ගේ විනාශයට පාර කැපුණු හැටි

කලාවැව ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර කලා-බළලු වැව් ආශ්‍රිත වනාන්තර කලාපය සංරක්ෂණය කිරීමට හේතු වූයේ බරන, රේවත, වළගම්බා සහ දීඝ වැනි විශාල දළ සහිත ඇතුන් මෙම ප්‍රදේශයේ සුලභ වීමය. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත අලි ගහනයේ දළ සහිත සතුන්ගෙන් වඩා වැඩි ප්‍රතිශතයක් මෙම කලාපයෙන් වාර්තා වේ. නමුත් ජාතික උද්‍යානය බෝඩ්ලෑලිවලට පමණක් සීමා කරමින් මෙම අලි ඇතුන් සමූහය ඉතා පටු බිම් තීරුවකට කොටු කෙරුණේ ජල විදුලි බල ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට වසර පුරාම මෙම කලාවැව පුරවා තබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙනි. මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය මඟින් කලාවැවට ජලය ලැබීම නිසා තත්ත්වය තවත් දරුණු අතට හැරිණි. එමඟින් වසරේ එක් කාල සීමාවකදී නිරාවරණය වන වැව් පිටියේ මතුවන තෘණ මඟින් කුස පුරවා ගැනීමට ඔවුන්ට තිබූ ඉඩ ඇහිරී ගියේය. තවද ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තියද, හීලෑ ගව රංචු උද්‍යානයට ඇතුළු කිරීම ද අලි ඇතුන් දරුණු ආහාර හිඟයකට මුහුණ දීමට හේතු වී තිබේ. එබැවින් දීඝලාට ගම්වැදී තමන්ගේ සාගිනි නිවා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති තත්ත්වයට පත් විය. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර සිදු කරන ඊනියා පරිසර බලපෑම් තක්සේරුවලදී මෙවැනි කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීමේ ප්‍රතිඵලය වූයේ දීඝලා මෙසේ අකාලයේ අවසන් ගමන් යෑමය.

එසේම මෙරට අලි ඇතුන් මරණයට පත්වන ප්‍රධාන ක්‍රම තුන වන්නේ වෙඩි තැබීම, විදුලිසර වැද්ද වීම සහ හක්ක පටස් ය. මෙරට මිය යන අලින්ගෙන් සියයට 60ක් පමණ මරණයට පත් වන්නේ එමඟිනි. මෙම තත්ත්වය වැළැක්වීමට අවශ්‍ය දැනුම්වත් කිරීම්, නීතිය ක්‍රියාත්මක කිරීම් සහ අනාරක්ෂිත විදුලි රැහැන් වැටලීම් වැනි කටයුතු සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය සහ පොලීසිය ඇතුළු රජයේ ආයතන කිසිදු සාධනීය, සාමූහික වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාවට නඟා නැත. ඉතා කෙටි කාල සීමාවක් තුළ දැවැන්ත හස්තීන් සිව් දෙනෙකුම මෙම කලාපයේ විදුලි සර වද්දවා ඝාතනය කිරීම මඟින් එය මොනවට පැහැදිලි වේ.

එසේම ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින දැවැන්තම සමාජ, ආර්ථික, පාරිසරික හා දේශපාලන ගැටලුවක් වන අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔබ්බට ගිය කිසිදු සාධනීය, සමෝධානිත වැඩපිළිවෙළක් මේ දක්වා ක්‍රියාවට නැඟීමට කිසිදු රජයක් සමත් වී නැත. එවැනි සමෝධානිත විද්‍යාත්මක ප්‍රවේශයක් යෝජනා කෙරෙන ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සිව් වසරක් තිස්සේ තවමත් ඇත්තේ හමස් පෙට්ටියේය. ඒ, 2020 වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා කිසිදු ආණ්ඩුවක් එම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැඟීම සඳහා ජනාධිපති කාර්යසාධක බළකායක් පත්කර නොමැති බැවිනි. දීඝලාගේ පරපුරේ සාමාජිකයන් ගතවන සෑම දිනකටම එක්කෙනා දෙන්නා වශයෙන් රටට අහිමි වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

මෙම ගැටුමේ අනෙක් පාර්ශ්වකරුවන් වන මිනිසුන් සම්බන්ධ තත්ත්වය ද එවැනිම ඛේදවාචකයකි. පසුගිය වසර පහ තුළ වාර්ෂිකව සාමාන්‍ය වශයෙන් අලි ඇතුන් 405ක් මරණයට පත්වෙද්දී මිනිස් ජීවිත 138ක් මෙම ගැටුමට බිලි වී ඇත. ගැටුම් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූවන්, අහිමිවූ දේපළ සහ භවබෝග පිළිබඳ නිවැරැදි ඇස්තමේන්තු නොමැත. ගැටුම් ව්‍යාප්තව ඇති ප්‍රදේශවල ඇතිවී ඇති සමාජයීය ප්‍රශ්න සහ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ කිසිදු පාලකයකු මේ දක්වා සිතන්නටවත් පෙලඹී නැතිවාට සැක නැත. විදුලි සර වද්දවා මරා දැමූ දීඝ හඬගා කියන පණිවුඩය එයයි.

සංචාරකයන් වසඟ කළ අලි්ගේ ශෝකාන්තය

2018 වසරේදී (අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය සහ කොරෝනා වසංගතය මඟින් සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ල වීමට පෙර) මෙරටට පැමිණි සියලුම සංචාරකයන්ගෙන් සියයට 47ක් ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන නැරඹීමට ගොස් තිබේ. 2024 වසරේ මුල් කාර්තුව තුළ පමණක් මෙරට ජාතික උද්‍යාන මඟින් රජයට උපයා දී ඇති අදායම රුපියල් මිලියන 2000ක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර මඟින් හෙළි වේ. අලි ඇතුන් යනු එම සංචාරකයන්ගේ ප්‍රධාන ආකර්ෂණයයි. සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන ශ්‍රී ලාල් මිත්‍රපාල ගේ අධ්‍යයන අනුව මෙරට සෑම හස්තියකුම සංචාරක කර්මාන්තයට රුපියල් මිලියන හතරක් බැගින් වටී. මෙසේ කිසිදු වග විභාගයකින් තොරව මරා දැමෙන්නේ එතරම් වටිනා සතුන්ය.

මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දීඝ යනු තවත් එක් හස්තියකු පමණක් වුවද විදෙස් රටවල නම් එසේ නොවේ. උදාහරණයක් වශයෙන් කෙන්යාවේ ජීවත් වූ අසමසම දළ යුගලක් හිමිව තිබූ අහමඩ් හස්තියා දිවා රාත්‍රී නිරීක්ෂණය කරමින් ආරක්ෂා කර ගැනීමට එරට රජය රැකවලුන් යොදා තිබිණි. නමුත් කලාඔය ජාතික උද්‍යානය ආශ්‍රිත වනාන්තර කලාපයේ දිවි ගෙවන බවට වාර්තා වී ඇති එවැනි විශාලතම දළ යුගල හිමි අවසන් හස්තියා වූ දීඝ අකාලයේ මෙසේ මරණයට පත් වූයේ කිසිවකුගේ අවධානයකට ලක් නොවෙමිනි.

මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට පහළොවකට වඩා පරිපාලනය කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සිටින්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත බලාත්මක කළ හැකි නිලධාරින් 882ක් පමණි. කොහෙත්ම ප්‍රමාණවත් නොවන 1591ක් වන අනුමත සේවක සංඛ්‍යාවෙන්ද සියයට හතළිස් පහක් පුරප්පාඩුව පවතී. එවැනි පසුබිමක් තුළ දීඝලාගේ පරපුර මෙන්ම මෙරට සමස්ත වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව සත්‍යයකි. එබැවින් වර්තමාන ආණ්ඩුව යටතේ හෝ මෙම අවාසනාවන්ත ඉරණම වෙනස් කිරීම සඳහා කඩිනම් ප්‍රවේශයක් ලබා ගැනීමට දීඝගේ මරණය හෝ පාදක කරගත හැකි නම් යහපත්ය.

ඡායාරූප : සාරංග දේවද අල්විස්

සුපුන් ළහිරු ප්‍රකාශ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division