අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වූයේ එරට වයස්ගතම ජනාධිපතිවරයා ලෙස ද වාර්තා පොතට එක්වෙමිනි. ඒ සමඟම අමෙරිකානු ඉතිහාසයේ ජනපති ධුරයට පත්වූ ළාබාලතම පුද්ගලයා ගැනත් කතාබහට ලක් විය.
ඒ, අන් කිසිවකු හෝ නොව 1961 ජනවාරි 20 වැනිදා අමෙරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් ජොන් එෆ්.කෙනඩි ය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 43කි. ජනපති ධුරයේ රැඳී සිටීමට ඔහුට වාසනාව ලැබුණේ යන්තම් මාස 22ක් පමණි. ඊයේ පෙරේදා එරට ජනතාව විසින් සමරනු ලැබුවේ 1963 නොවැම්බර් 22 වැනිදා ඝාතනයට ලක්වූ කෙනඩිගේ 61 වැනි අනුස්මරණ සංවත්සරයයි.
කෙකඩිගේ ඝාතනය
ලෝක දේශපාලන ඝාතන ඉතිහාසයේ වැඩිම අවධානයක් යොමු වූ ඝාතන අතරින් කෙනඩිගේ ඝාතනයට හිමි වන්නේ මුල් තැනකි. 1963 නොවැම්බරයේ 22 වැනිදා ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නුවරදී සිදුවූ මේ ඝාතනය බැර වූයේ අමෙරිකානු මැරීන් හමුදාවේ හිටපු සෙබළකු සහ අපරාධකරුවකු ලෙස ප්‍රකට ලී හාවේ ඔස්වල්ඩ්ගේ ගිණුමටය. නමුත් තමා මේ අපරාධය සිදු නොකළ බවත් නොසිතූ ලෙස ඊට කොටු වූ බවත් පාපොච්චාරණය කළ ඔස්වල්ඩ් ඊට දින දෙකකට පසු නොවැම්බර් 24 වැනිදා උදෑසන පොලිස් මූලස්ථානයේ හතරවැනි තට්ටුවේදී රාත්‍රී සමාජශාලා හිමිකරුවකු වූ ජැක් රූබිගේ වෙඩි පහරකින් ඔහු ඝාතනයට ලක්වීමත් සමඟ කෙනඩි ඝාතනයේ සුලමුල වැළලී ගිය අතර, එය නොවිසඳුණු අබිරහසක් බවට ද පත්විය.
ඝාතකයා කවුරුන් වූවත් ජනාධිපති කෙනඩි ඝාතනයටත්, ඒ මොහොතේ ඔහු සමඟ රථයේ ගමන් කළ ටෙක්සාස් ආණ්ඩුකාර ජෝන් කොනලි බරපතළ තුවාල ලැබීමටත් වැය කර තිබුණේ වෙඩි උණ්ඩ 3ක් පමණි. පළමු උණ්ඩය ඉවත ගිය අතර, දෙවැනි උණ්ඩයට කෙනඩි හා කොනලි දෙදෙනාම තුවාල ලැබීය. කෙනඩිගේ හිස පසාරු කරගෙන ගියේ තුන්වැනි උණ්ඩයයි. වෙඩික්කරු අතිදක්ෂයකු බවට විමර්ශන නිලධාරින්ට අවබෝධ වීමට එය ප්‍රමාණවත් විය.
කෙනඩි ඝාතනය සිදුවී මිනිත්තු 45කට පසු ඩලස් නගරයේ වෙනත් ස්ථානයකදී පොලිස් නිලධාරියකු ද ඝාතනයට ලක්වු අතර, එහි වගකීම පැටවුණේ ද අමෙරිකානු මැරීන් හමුදාවේ හිටපු සෙබළා මතය. අසල වූ සිනමාශාලාවක් තුළදී පළමුව ඔහු අත්අඩංගුවට පත් වූයේ පොලිස් නිලධාරියාගේ ඝාතනයටය. කෙනඩි ඝාතනය ඔහු මතට පැටවූයේ ඉන් අනතුරුවය. කෙනඩි ඝාතනයට තමාගේ සම්බන්ධයක් නොමැති බව කියමින් එය ප්‍රතික්ෂේප කළ ඔස්වල්ඩ් රාත්‍රී සමාජශාලා හිමිකරු අතින් ඝාතනයට ලක් වූයේ පසුදිනය.
රහස් පරීක්ෂකවරුන් පස් දෙනකුගෙන් සමන්විත විශේෂ විමර්ශන කණ්ඩායමක් කෙනඩි ඝාතනය පිළිබඳ පරීක්ෂණ කටයුතු භාරව සිටි අතර, ඩලස් නගරයේ ඔස්වල්ඩ් රැකියාව කළ පාසල් පෙළ පොත් ගබඩා කර තිබූ ගොඩනැඟිල්ලේ 6 වැනි තට්ටුවේ සිට අසල මාවත ඔස්සේ රථ පෙරහැරක විවෘත රථයකින් ගමන් කරමින් සිටි ජනාධිපති කෙනඩිට වෙඩි පහර තුනක් එල්ල කළ බව මූලික පරීක්ෂණයේදී හෙළි වී තිබිණි. කෙනඩි ඝාතනයේ පරීක්ෂණ කටයුතු ඊට පෙර සිදු කළ මධ්‍යම තොරතුරු කාර්යාංශය (එෆ්බීඅයි) පරීක්ෂණයේ නිගමනය සමඟ එය හරියටම ගැළපිණි. ඇසින් දුටු සාක්ෂි මත පදනම්ව මේ පරීක්ෂණ කටයුතු සිදු වූවත් ඔවුන්ගේ නිගමනය පිළිබඳ ජනතාව අතර වූයේ දැඩි කුකුසකි. ඊට හේතු වූයේ ඇසින් දුටු සාක්ෂි පරස්පර විරෝධී වීමය. පාසල් පෙළ පොත් ගබඩා කර තිබූ ගොඩනැඟිල්ලේ ඔස්වල්ඩ් සමඟ සේවය කළ ඔහුගේ සගයකු වූ චාල්ස් ගිවන්ස් විමර්ශකයන්ට දුන් කටඋත්තරයට අනුව කෙනඩි ඝාතනය වූ දිනයේ පෙරවරු 11.55ට පමණ එම ගොඩනැඟිල්ලේ 6 වැනි මහලේදී ඔහු ඔස්වල්ඩ් දැක තිබිණි. එහෙත් ඔහු එෆ්.බී.අයි. රහස් පරීක්ෂකයන්ට දුන් ප්‍රකාශයේ සඳහන් වී ඇත්තේ වෙඩි තැබීම සිදු වූ බවට අනුමාන කරන ආසන්තම වේලාව වූ පෙරවරු 11.30 පසුවී මිනිත්තු විස්සකට පසු පහත මාලයේ පුවත්පතක් කියවමින් සිටිනු දුටු බවය. ගොඩනැඟිල්ලේ ෆෝර්මන්වරයකු වූ විලියම් ශෙලීට අනුව එදින පෙරවරු 11.45ත්, 11.50ත් අතර ඔස්වල්ඩ් සිට ඇත්තේ පහත මාලයේ දුරකතන ඇමතුමකය.
ජැනිටර් එඩී නමැති තවත් පුද්ගලයකු විසින් දෙනු ලැබූ කට උත්තරයකට අනුව එදින මධ්‍යහ්න 12.00ට පමණ පළමු මහලේදී ඔහු ඔස්වල්ඩ් සමඟ කතාබහ කර තිබිණි. ඔස්වල්ඩ්ගේ තවත් කාර්යාල සගයකු වූ බොනී රේ විලියම්ස් දුන් කට උත්තරයට අනුව ඔස්වල්ඩ් හයවැනි තට්ටුවේ දී දිවා ආහාරය ගෙන ඇති අතර, අඩුම තරමින් මධ්‍යහ්න 12.10 දක්වා එහි රැඳී සිට ඇත. ඒ අතරතුර කාලයේ එම මහලේ ඔස්වල්ඩ් හෝ වෙනත් කිසිවකු රැඳී නොසිටි බව ඔහුගේ කට උත්තරයේ වැඩිදුරටත් සඳහන් වේ. පාසල් පෙළ පොත් ගබඩා කර තිබූ ගොඩනැඟිල්ලේ ලේකම්වරිය කැරොලින් ආර්නෝල්ඩ් පොලීසියට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රථ පෙරහැර නැරඹීමට ඇය ගොඩනැඟිල්ලෙන් පිටතට පැමිණි මොහොතේ ඔස්වල්ඩ් යැයි සිතිය හැකි පුද්ගලයකු පළමු මහලේ සිට රථ පෙරහැර නරඹමින් සිටි බවය. මේ පරස්පර විරෝධී කටඋත්තර නිසා එෆ්බීඅයි රහස් පරීක්ෂකයන්ට ද කටඋත්තර නැති විය.
කෙනඩි ඝාතනය ඔස්වල්ඩ් විසින් සිදු කළ බවට විමර්ශකයන් නිගමනය කිරීමට ආසන්නතම සාධක බවට පත්වූයේ ඔහු පාසල් වියේ සිටම විවිධ විනය විරෝධී ක්‍රියාකාරකම්වල නිරතව සිටි පුද්ගලයකු වීමය. එමෙන්ම කෙනඩි ඝාතනයට පෙර ඔහු රුසියාවේ පදිංචිව සිටි අයකු වීමත් විමර්ශකයන්ගේ නිගමනයට තල්ලුවක් දී තිබිණි. එමෙන්ම හමුදා සේවයේ දී නම් ඔහු අවස්ථා කිහිපයකදීම ‘කෝට් මාෂල්‘ දඬුවමට ලක්වූ අයකු වීමත් රහස් පරීක්ෂකවරුන්ගේ අවධානයට ලක් විය. ඔහු පළමු වරට කෝට් මාෂල් දඬුවමට ලක්වූයේ කැලිබර් 22 වර්ගයේ තුවක්කුවකින් තමාගේම අතට වැරදීමකින් වෙඩි තබා ගැනීම නිසාය. සාජන්ට්වරයකු සමඟ ගැටුමක් ඇති කර ගැනීම නිසා ඔහු දෙවැනි වරට කෝට් මාෂල් දඬුවමට ලක්වූ අතර, තනතුරෙන් ද පහළ දමා තිබිණි. තුන්වැනි වතාවේදී කෝට් මාෂල් දඬුවම පැනවූයේ පිලිපීනයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී කිසිදු හේතුවකින් තොරව වනාන්තරය තුළට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම නිසාය.
නොවිසිඳුණු අභිරහසක්
සිය මවගේ අසනීප තත්ත්වය සොයා බැලීම තමාට පැවරී ඇතැයි කියමින් ක්‍රියාකාරී රාජකාරියෙන් ඔස්වල්ඩ් ඉවත් වූ අතර, පසුව ඔහු අතිරේක බළඇණියට අනුයුක්ත කර තිබිණි. ඉන්පසු 1959 ඔක්තෝබරයේදී රුසියාවට පළා ගිය ඔස්වල්ඩ් වසර තුනකට පසු 1962දී ඔහු යළි අමෙරිකාවට පැමිණියේ රුසියාවේ පුරවැසිභාවය ඉල්ලා යොමු කළ අයැදුම්පත ප්‍රතික්ෂේපවීම නිසාය. රුසියාවේදී කාන්තාවන් කිහිපදෙනකු සමඟම පෙමින් වෙළී සිටි ඔහු යළි මවුරරට පැමිණියේ රුසියානු කාන්තාවක වූ මරීනා සමඟ විවාහ වී සිටියදීය. ඔහු සමඟ ඔහුගේ බිරිය මරීනා හා සිඟිති දියණිය ද අමෙරිකාවට පැමිණි අතර, ඔවුන් ස්ථීර පදිංචියට තෝරාගත්තේ ද කෙනඩි ඝාතනයට ලක්වූ ඩලස් නගරය බව විමර්ශන වාර්තාවේ සඳහන් වී තිබේ.
කෙනඩි ඝාතනයට සහ පොලිස් නිලධාරියාගේ ඝාතනයට ඔහු සෘජුවම සම්බන්ධව බවට රහස් පරීක්ෂකවරුන් නිගමනය කළේ එක්තරා කාලයකදී ඔස්වල්ඩ් විසින් අමෙරිකානු යුද හමුදාවේ ජනරාල්වරයකු වූ වෝකර් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟය. එය සනාථ කිරීමට රස පරීක්ෂකවරු අසමත් වූවත් වෝකර් ඝාතන ප්රයත්නයට යොදා ගත් උණ්ඩ සහ කෙනඩි ඝාතනයට යොදා ගත් උණ්ඩ එකම රයිෆල් වර්ගයක් සඳහා නිෂ්පාදිත ඒවා බව තහවුරු වී තිබිණි. ඔස්වල්ඩ් කෙනඩි ඝාතනයේ චෝදනාවට හසුවීමට එම කරුණු දැඩි ලෙස බලපෑවේය.
“මම කාටවත් වෙඩි තිබ්බේ නෑ. ඔවුන් මාව අත්අඩංගුවට ගත්තේ මම කාලයක් සෝවියට් රුසියාවේ ජිවත්වූ නිසයි.” අත්අඩංගුවට පත්වීමෙන් මොහොතකට පසු එතැනට වටවූ පුවත්පත් වාර්තාකරුවන්ට එසේ කියමින් ඔස්වල්ඩ් බෙරිහන් දුන්නේය. පොලිස් නිලධාරින්ගේ පහරදීමෙන් ඔහුගේ එක් ඇසක් ඉදිමී තිබිණි.
ඔස්වල්ඩ් පසුදින පොලිස් මූලස්ථානයේදී ඝාතනය කරනු ලැබූ රූබි පසුව කටඋත්තරයක් දෙමින් කියා සිටියේ එය සිදු කළේ කෙනඩි ඝාතනයට පළිගැනීමට බවය. නමුත් එම ප්‍රකාශය පදනම් විරහිත එකක් බව වැඩි දෙනකුගේ අදහස විය. කෙනඩි ඝාතනය සැකයට තුඩු දුන් ඝාතනයක් බවට පත් වූයේ ඒ අනුවය. නොවිසඳුණු අබිරහසක් බවට පත්වූ කෙනඩි ඝාතනය වර්තමානයේදීත් බොහෝ කුමන්ත්රණවාදී න්‍යායයන් අධ්‍යයනය කරන විශ්ලේෂකයන්ගේ කතාබහට ලක්වන්නේ එබැවිනි.
ෆවුස් මොහොමඩ්