Home » ගුරු ගෙදරින් ජනපති මැඳුරට ආ යමන්ඩු ඔර්සි

ගුරු ගෙදරින් ජනපති මැඳුරට ආ යමන්ඩු ඔර්සි

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

කුණු අමෙරිකන් කලාපයේ ලතින් අමෙරිකන් කුඩා රාජ්‍යයක් වූ උරුගුවේ දෙසින් ගෝලීය දේශපාලනයට නවතම පුවතක් එක් වූයේ පසුගිය නොවැම්බර් 24 වැනිදා උරුගුවේ 24 වැනි ජනපති ලෙස මධ්‍යගත වාමාංශික පුළුල් පෙරටුගාමි සන්ධානයේ අපේක්ෂක යමන්ඩු ඔර්සි තේරී පත්වීමත් සමඟය.

ලෝක දේශපාලනය තුළ බලය මාරුවීම්, නව නැඟීම් විවිධ ප්‍රවේශයන් සුළු නිමේෂයකින් මෙන්ම දිගුකාලීනව ද සිදු වේ. මෙම නව පරිවර්තන ඒ ඒ රාජ්‍යයන් අරභයා සුවිශේෂි ආකාරයකින් බලාත්මක වන බව රාජ්‍ය තාන්ත්‍රික විද්වතුන්ගේ අදහසයි. උරුගුවේ නව ජනපති ලෙස යමන්ඩු ඔර්සි පත්වීම ද ලතින් අමෙරිකානු රාජ්‍යයක් වූ උරුගුවේ දේශපාලනික ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු නොඅනුමානය.

2024 නොවැම්බර් 24 වැනිදා උරුගුවේ ජනපති මැතිවරණයේ දෙවැනි වටයෙන් 49.77%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ඔර්සි තේරී පත් වූ අතර, ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂක වූයේ මධ්‍යගත දක්ෂිණාංශික පාක්ෂික අල්වාරෝ දෙලුආඩෝ ය. ඔහු 44.37%ක ප්‍රතිශතයක් ලබාගත් අතර, අල්වාරෝ නව ජනපති ලෙස ඔර්සි පත්වීමෙන් පසු පරාජය ශෝකීජනක වුවද කිසිදු පැකිලීමකින් තොරව තමා නව ජනපති ඔර්සිට සිය හෘදයාංගම ශුභාශිංෂන පිරිනමන බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙය වත්මන් කැලඹිලිකාරී දේශපාලන වපසරීන් තුළ ඇසීමට ලැබුණු සුබවාදී ප්‍රවේශයකි.

යමන්ඩු ඔර්සිගේ භූමිකාව

ඉතිහාසය පිළිබඳ ගුරුවරයකු ලෙස කටයුතු කළ යමන්ඩු ඔර්සි 1967 ජූනි 13 වැනිදා කැනිලෝනස් හි උපත ලැබූවෙකි. උරුගුවේ වාමාංශික පෙරමුණේ ජනප්‍රිය සහභාගිත්වයකින් හෙබි ව්‍යවස්ථාපිත පක්ෂය වූ පුළුල් පෙරටුගාමි සන්ධානය නියෝජනය කළ ඔර්සි දෙවතාවක්ම නගරාධිපති ධුරය දැරූ අයෙකි. ඇත්ත වශයෙන්ම යමන්ඩු ඔර්සි විස්තර වන්නේ, ඔහු “නවීන වාමාංශික” ප්‍රවේශයකින් හෙබි අයෙකු ලෙසය. මොන්ටවීඩියෝ නගරයේ පුද්ගලයකු ඔහු ජනපති ඔර්සිට ඡන්දය දීම තුළින් වැඩ කරන පන්තියට විශාල සහායක් ලැබෙන බව විශ්වාස කරන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත. යමන්ඩු ඔර්සි දේශපාලන විචාරකයන් හඳුන්වනු ලබන්නේ වැඩ කරනු පන්තියේ නියෝජනයක් ලෙසිනි.

මෑතකාලීන ලතින් අමෙරිකානු රාජ්‍යයක් වූ බ්‍රසීලය, ආර්ජන්ටිනාව, මෙක්සිකෝ උරුගුවේ ආදි රාජ්‍යයන්වල බල මාරුවීම්වල සාපේක්ෂ වශයෙන් දේශපාලන ආතතිමය තත්ත්වයන්ගෙන් තොර බවක් ප්‍රදර්ශනය විය. ගෝලීය දේශපාලන විචාරකයන් ප්‍රකාශ කර ඇත්තේ, දක්ෂිණාංශික, වාමාංශික ලෙස බෙදීමේ උණුසුම් තත්ත්වයන් උද්ගත නොවනු ඇති බවය.

බ්‍රසීලයේ ද නොබෝදා වාමාංශික ජනපතිවරයකු වූ Lula da Silva තේරී පත්වූ අතර, මෙක්සිකෝවේ ද නව ජනපතිනියක් තේරී පත් වී ඇත. මිලියන 3.4ක පමණ සුළු ජනගහනයක් ජීවත් වන උරුගුවේ රාජ්‍යය, පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය භාවිත කරන එකම ලතින් අමෙරිකානු රාජ්‍යය ලෙස ප්‍රසිද්ධව ඇත. ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත් අර්ථකථනයක් ලබා දෙන්නා වූ රාජ්‍යයක් ලෙස උරුගුවේ ප්‍රචලිතය.

ඔර්සිගේ දේශපාලන ගමන් මාර්ගයේ සුවිශේෂිතා

57 හැවිරිදි යමන්ඩු ඔර්සි සිය තරුණ කාලයේ මුල් අවධියේ පටන්ම වාමාංශික දේශපාලනයට කැමැත්තක් දැක්වූ අයෙකි. ඔර්සි පුළුල් පෙරටුගාමි සන්ධානයට මේ බලාපොරොත්තුවෙන් එක් වූ අතර, මෙම සන්ධානයේ ආරම්භක මෙන්ම ගොඩනැඟීමේ කර්තව්‍යයට උර දී ඇති පිරිස් අතරට උරුගුවේ හිටපු ජනපතිවරයකු වූ ජෝස් “Pepe” මුජිකාද (2010-2015) සිටී. නව ජනපති ඔර්සි විස්තර වන්නේ මුජිකාගේ ක්‍රියාපටිපාටිය පුළුල් පෙරටුගාමී සන්ධානය තුළ සාර්ථකව ඉදිරියට ගෙන ගිය අයකු ලෙසිනි. එමෙන්ම ඔර්සි නවීන වාමාංශික මතවාදයක් පිළිගන්නා අයකු බැවින් ඔහු පෞද්ගලික අංශය සමඟ ද සුහදව කටයුතු කිරීමට කැමැත්තෙන් පසු වන බව පැවසේ.

උරුගුවේ, 2005 සිට 2020 දක්වාම විරුද්ධව පක්ෂය ලෙස පුළුල් පෙරටුගාමි සන්ධානය ක්‍රියා කරනු ලැබ ඇත. අල්වාරෝ දේලගාඩෝ නියෝජනය කළ මධ්‍යගත – දක්ෂිණාංශික සන්ධාන රජයේ ජනපති ලෙස කටයුතු කරනු ලැබුවේ Luis Lacalle Pou ය. 2020 සිට 2024 දක්වාම උරුගුවේ ජනපති ලෙස කටයුතු කළ Luis Pou උරුගුවේ රාජ්‍යයේ 43 වැනි ජනපති විය. මොහු උරුගුවේ හිටපු ජනපතිවරයකු වූ ලුවිස් ඇල්බටෝගේ පුතු විය. 2024 ජනපතිවරණයෙන් තේරී පත්වූ නව ජනපති යමන්ඩු ඔර්සි 2025 මාර්තු 1 වැනිදා ජනපති පදවි ප්‍රාප්තියේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත. නව ජනපති ඔර්සි ප්‍රකාශ කරනු ලබන්නේ, නිදහස් සමානාත්මතාවයෙන් සහෝදරත්වයෙන් හෙබි රාජ්‍යයක් බවට නැවත උරුගුවේ රාජ්‍යය තමා අභිෂේක ගන්වන බවය. තමාගේ සහායට පැමිණි ලක්ෂ සංඛ්‍යාත පිරිස් අමතමින් ජයග්‍රහණයෙන් පසු ඔර්සි මෙසේ ප්‍රකාශ කර ඇති බව ඉතා සුන්දර දසුන් ද ප්‍රදර්ශනය කරමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. පුළුල් පෙරටුගාමී සන්ධානය හි ආරම්භක සාමාජික වූ ජෝස් මුජිකා ප්‍රකාශ කර ඇත්තේ නව ජනපති ඔර්සිගේ විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් තමා ඉතා සතුටට පත්වන බවය. උරුගුවේ වැසියන් දහස් ගණනින් වීථිවලට එක් රොක් වී නව ජනපතිගේ පත්වීම පිළිබඳ දැඩි සතුට හා ප්‍රසාදය පළ කරන දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම පළ කරනු ලැබීය.

උරුගුවේ රාජ්‍යයේ හිටපු ජනපති ලුයිස් ලකාලේ පෝව් ප්‍රකාශ කර ඇත්තේ, නව ජනපති ඔර්සි ලබන අවුරුද්දේ මාර්තු පළමු වැනිදා ඔහුගේ පදවි ප්‍රාප්තියට යන මාවතේ අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් සහාය ලබා දීමට තමන් සූදානම් බවය. මෙය ඉතාම යහපත් ප්‍රතිචාරයක් ලෙස දේශපාලන විචාරකයන් හුවා දක්වා ඇත. ජනපති ඔර්සි නියෝජනය කළ පුළුල් පෙරටුගාමි සන්ධානය උරුගුවේ සෙනෙට් සභාවේ බහුතරය ද දිනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ජනපති යමන්ඩු ඔර්සිගේ ඉදිරි සැලසුම්

ජනපති ඔර්සි වාමාංශික මත දරන්නකු වුවද ඔහු ඒ සම්බන්ධයෙන් නවීන ප්‍රවේශයක් මත පිහිටා කටයුතු කරන බැවින්, උරුගුවේ ආර්ථික, සාමාජික කරුණු සම්බන්ධයෙන් විවිධ ආකාර ක්‍රියාමාර්ග ඔහු ප්‍රකාශයට පත්කර ඇත. ආර්ථිකමය පැතිකඩ තුළදී ඔහු මිශ්‍ර වෙළෙපොළ – හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට එළඹ ඇති බව ප්‍රකාශ වේ. එමෙන්ම ජනපති මුජිකා හා පුළුල් පෙරටුගාමි සන්ධානය හි සෙසු නායකයින් මුල පිරූ සුභ සාධන වැඩසටහන් ඉදිරියට ගෙන යාමට ද ජනපති ඔර්සි අදහස් කරන බව ද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර ඇත. ජනපති ඔර්සිගේ ජයග්‍රහණයෙන් පසු හිටපු ජනපති මුජිකා ඔහු ඉතාම උණුසුම් ආකාරයෙන් පිළිගන්නා දසුන් දැකගත හැකි විය. එමෙන්ම නව ජනපති ඔර්සි කැනිලෝනිස් හි නගරාධිපති ලෙස වසර 10ක් දෙවතාවක් සේවය කිරීම හමුවේ ලැබූ පරිණත භාවය ඔස්සේ වත්මන් උරුගුවේ ප්‍රතිපත්ති සම්පාදනයට විශාල සහායක් ලැබෙනු ඇත. ඔහු විසින් යෝජිත බදු සහන ඔස්සේ, ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගැනීමටත් කෘෂිකාර්මික අංශය පුනර්ජීවනය උදෙසා ද විශාල අවධානයක් යොමු වී ඇති බව වාර්තා වේ.

උරුගුවේ රාජ්‍යය ශක්තිමත් රාජ්‍යයක්ද?

උරුගුවේ රාජ්‍යය, ඉහළ ඒක පුද්ගල ආදායමක් හිමි රටක් වන අතර, ලතින් අමෙරිකානු රටවල් අතර ඉතාම පහළ දරිද්‍රතා අනුපාතිකයක් හිමි රටකි. උරුගුවේ ජනගහනයෙන් 60%ක්ම මධ්‍යම පාන්තිකයන් වන අතර, එය ඉහළ මට්ටමේ සුභසාධන රාජ්‍යයකි. 2024 ගෝලීය සාම දර්ශකයට අනුව උරුගුවේ රාජ්‍ය්‍ය ගෝලීය රටවල් 163ක් අතුරින් 52 වැනි ස්ථානයේ පසු වන අතර, දකුණු අමෙරිකානු රාජ්‍යයන් අතර දෙවැනි සාමකාමීව රාජ්‍යය ලෙස ඉතිහාසයට එක් වී ඇත. ජනපති ඔරිසිට 2024 ජනපතිවරණයෙන් බලය මාරුවීමේ ක්‍රියාදාමය අධ්‍යයනයේදී ද අපට මේ බව හොඳින්ම පිළිබිඹු වේ. උරුගුවේ රාජ්‍යය ලතින් අමෙරිකානු කලාපයේ වඩාත් නිවහල්ම හා තිර සාර සංවර්ධන මාවතකට පරිවර්තනය කර එම රාජ්‍යය ගෝලීය තලයේ නිරූපකයක් ලෙස ඔසවා තැබීමේ දේශපාලන උරුමක්කාරයා වන්නේ අන් කවරකු නොව හිටපු ජනපති ජෝස් “පෙපේ” මුජිකා ය. එබැවින්, නව ජනපති ඔර්සි හට ස්වකීය වාමාංශික පක්ෂයේ සමාජ ප්‍රතිපත්තීන් නැවත බෙදාහරිමින් ඒවා සුරක්ෂිත කරමින් උරුගුවේ රාජ්‍යයේ ස්ථාවරත්වය සුරැකීමේ මහඟු වගකීම පැවරී ඇති බව පැවසුවහොත් එය වඩාත් නිවැරදිය.

උරුගුවේ රාජ්‍යය, ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාපිත භාවය ඉතා හොඳින්ම පිළිබිඹු කරන ආකෘතිය බවට පත්ව ඇති ලතින් අමෙරිකානු කලාපීය රාජ්‍යය ලෙස ලොව දේශපාලනික, රාජතාන්ත්‍රීය පිරිස් හඳුන්වන්නේ මේ නිසාවෙනි.

අමෙරිකා එක්සත් ජනපද හිටපු ජනපති ජෝ බයඩින්ගේ ශුභාශිංසන

ජනපති බයිඩන්, තේරී පත්වූ උරුගුවේ 44 වැනි නව ජනපති යමන්ඩු ඔර්සිට ස්වකීය හෘදයාංගම සුභපැතුම් පිරිනමමින් ප්‍රකාශ කර ඇත්තේ, උරුගුවේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය තුළ මනා කැපකිරීමෙන් යුතුව මූලික අයිතිවාසිකම් පදනම් කරගනිමින් ඉතාම ඉහළින් ඡන්දය පාවිච්චි කිරීමෙන් ස්වකීය කාර්යභාරය මනාව ඉටුකර ඇති බවය. වසර 150ක ට එහා ගිය අමෙරිකා එක්සත් ජනපද – උරුගුවේ රාජතාන්ත්‍රික සබඳතා ඉදිරියටත් එලෙසම පවත්වා ගැනීමටත් දෙපාර්ශ්වය අතර අගයන්, වටිනාකම් හුවමාරු කරගැනීමේ මහඟු අවස්ථාව ද වැදගත් කර දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අමෙරිකානු අර්ධගෝලයේ මධ්‍යම පාන්තිකයන්ගේ නව ආර්ථික අවස්ථා හා ආර්ථික සෞභාග්‍යය උදා කරගැනීම උදෙසා උරුගුවේ රාජ්‍යය දක්වන සාර්ථක හා මනා සහයෝගය ද උරුගුවේ රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයට දෙනු ලබන නියමාකාර අර්ථකතනය ද බයිඩින් දැඩිව අගය කර ඇත. ඉදිරි කටයුතුවලදීත් ජනපති යමන්ඩු ඔර්සි සමඟ එකතු වී දෙපාර්ශ්වය අතර වඩාත් සුභදායි සම්බන්ධතා ගොඩනඟා ගන්නා බව මෙම ශුභාශිංසන පණිවිඩය හරහා දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පී.ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division