ඇතැම් කාන්තාවන් අපරාධවලට යොමුවීමේ යම් ප්‍රවණතාවක් පසුගිය කාලයේ දක්නට ලැබිණි. කොල්ලකෑම්, සොරකම්, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කතුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද මේ වන විට බන්ධනාගාරගතව සිටින බවද රහසක් නොවේ.
කැස්බෑව පොලිස් වසමේ හල්පිට ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයකුගේ නිවෙසට පසුගිය දිනෙක අලුයම කඩා වැදුණ අපරාධකරුවන් කණ්ඩායමක් වෛද්‍යවරයා සහ බිරිය බැඳ දමා රුපියල් ලක්ෂ 24ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකා පලාගොස් තිබිණි.
කොල්ලකරුවෝ වෛද්‍යවරයාගේ නිවෙසට ඇතුළු වී තිබුණේ අදාළ නිවෙසේ මුළුතැන්ගෙය දෙසිනි.
එදින අලුයම වෛද්‍යවරයාගේ බිරිය තේ සාදමින් සිටියදී මීයකුගේ දැඟලීමක් ඇසී මීයා එලවීම සඳහා නිවෙසේ ඉදිරිපස සහ පිටුපස දොරවල් විවෘත කර තිබියදී මුහුණු ආවරණය කර ගත් පුද්ගලයෝ තිදෙනෙකු නිවෙසේ ඉදිරිපස සහ පිටුපස දොරටුවලින් දෙදෙනා සහ එක් අයකු බැගින් ඇතුළුවී වෛද්‍යවරයාගේ බිරියට පිහි පෙන්වා ඇය මරා දමන බවට තර්ජනය කර පසුව වෛද්‍යවරයාගේ සහ බිරියගේ අත්පා බැඳ දමා බිරියගේ ගෙල බැඳි රන්මාලය ඇතුළු රුපියල් විසිහතර ලක්ෂ තිස්දෙදහසක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකා පලාගොස් තිබිණි. රන් කරාබු ජෝඩුවක්, පෙණ්ඩනය සහිත රන්මාලයක්, රන් අත්පලඳනාවක්, මුදු එකක්, පෙණ්ඩන්ට් එකක්, ධර්ම චක්‍රය සහිත පෙණ්ඩන්ට් එකක්, රන්කාසියක්, කොටු හැඩයේ පංචායුධයක්, කරාබු ජෝඩු තුනක්, පිරිමි මඟුල් මුද්දක්, කාන්තා අත් ඔරලෝසුවක්, මුදලින් රුපියල් ලක්ෂ 2ක්, රුපියල් හතළිස්දහසක් පමණ වටිනා ජංගම දුරකතනයක් හා රුපියල් පනස් එක්දහසක් මෙලෙස කොල්ලකා තිබුණ අතර කොල්ලකෑ රන් ආභරණ බර ප්‍රමාණය ග්‍රෑම් 54 කි.
වෛද්‍යවරයා බැමි ලිහාගෙන බිරියවත් බේරාගෙන කැස්බෑව පොලිසියට මේ ගැන පැමිණිලි කිරීමෙන් අනතුරුව කැස්බෑව පොලිසිය මේ ගැන විමර්ශන ආරම්භ කරන අතරතුරේ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්රාහ්මණගෙගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ද මේ ගැන විමර්ශන ආරම්භ කැර තිබිණි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න ඇතුළු කණ්ඩායමක් මේ සිද්ධිය වූ නිවසට ගොස් එහි වෛද්‍යවරයා සහ බිරියගෙන් ද තොරතුරු ලබාගෙන ඇඟිලි සටහන් ද විමර්ශනයට ලක්කරමින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කළ අතර කොල්ලකරුවන් පලා ගිය බවට සැකකරන මාර්ගය දෙපස පිහිටි සීසීටීවී කැමරා දර්ශන ද කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ගේ නිරීක්ෂණයට ලක්විය.
එහිදී පොලිසියට නිරීක්ෂණය වූයේ සුරූපී කතුන් දෙදෙනෙකු ද මේ කොල්ලයට හවුල් වී ඇති බවයි. එම දෙදෙනා ගැන සියලු තොරතුරු හෙළිකරගත් අතර පොලිස් නිලධාරීන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නේ තලාහේන ප්‍රදේශයේදීය.
මේ දෙදෙනා අවුරුදු 25 සහ 37 වයස්වල පසුවන අය බව විමර්ශනවලදී හෙළිවූ අතර මේ කොල්ලය සැලැසුම් කර ඇත්තේ මේ සුරූපී කතුන් දෙදෙනා බවට පොලිසිය සැක කළේ ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය.
අදාළ කොල්ලය වූ දින අලුයම ප්‍රධාන සැකකාරිය, ඇගේ ඥාති සොයුරිය සහ තවත් පුද්ගයන් තිදෙනකු වාහනයකින් වෛද්‍යවරයාගේ නිවෙස අසලට පැමිණ ඇති අතර එසේ ආ පිරිමි තිදෙනා කොල්ලය සඳහා ගොස් ඇති බවද අනාවරණය විය.
වෛද්‍යවරයාගේ නිවෙසින් කොල්ලකන ලද රන් ආභරණවලින් කොටසක්, ජංගම දුරකතන දෙකක් සහ බර මැනීමේ රිසිට්පත් කීපයක් පොලිසිය සොයාගෙන තිබිණි.
මේ කොල්ලයට ආ සෙසු තිදෙනා අතර ‘ටැටූ’ ශිල්පියෙක් සහ මනුෂ්‍ය ඝාතනයක් ඇතුළු අපරාධ කීපයකට සම්බන්ධ පුද්ගලයන් සිටින බවට විමර්ශනවලදී හෙළිවූ නිසා කොට්ඨාස අපරාධ විමර්ශන නිලධරයන්ගේ ඊළඟ අරමුණ වූයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමයි.
එලෙසම ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හෙළිකර ගත්තේ කොල්ලය සිදුවීමට දින කීපයකට කලින් ප්‍රධාන සැකකාරිය වෛද්‍යවරයාගේ නිවෙසට ගොස් තිබුණ බවයි. ඒ කිසියම් හේතුවකටය.
පලාගිය සැකකරුවන් ගැන සැකකාරියන්ගෙන් ලද තොරතුරු අනුව විමර්ශනය කළ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන නිලධරයන් ඔවුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදීය. ඉන් එක් අයෙක් මනුෂ්‍ය ඝාතන දෙකක් ඇතුළු අපරාධ කීපයකට සම්බන්ධ පුද්ගලයෙකි. ඔහු මාලබේ, මිහිඳු මාවතේ පදිංචිකරුවකු වන අතර 39 හැවිරිදිය.
එලෙස අල්ලා ගන්නා ලද සෙසු සැකකරු බිංගලයාය ජය මාවතේ පදිංචි අයෙකි. ඔහු 31 හැවිරිදිය. ඔහුට විරුද්ධව ද අපරාධ චෝදනා ඇති බව හෙළි වී තිබේ. ඒ සම්බන්ධ නඩු කීපයක් ද අධිකරණවල විභාග වෙමින් පවතින බවද අනාවරණය විය. සැකකරුවන් සතුව තිබුණ හෙරොයින් මිලිග්‍රෑම් 21300ක්, රන් ආලේපිත අත් ඔරලෝසුවක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.
ප්‍රසන්න බ්‍රාහ්මණගේ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත පොලිස් අධිකාරී රොහාන් පුෂ්පකුමාරගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න, උප පොලිස් පරීක්ෂක කවිෂංක, සැරයන් (75769) ජයතුංග, කොස්තාපල්වරුන් වන (103022) කරුණාරත්න, (1020664) බුද්ධික, කොස්තාපල් රියැදුරු (80965) එදිරිසිංහ, කාන්තා කොස්තාපල් (11391) මධුෂිකා යන නිලධාරීන් හා නිලධාරිනියන් වැඩිදුර විමර්ශන සිදු කරති.
ඡායාරූප – විනිතා මානෙල් ගමගේ -හල්තොට සමූහ
දීපාල් සමරසේකර