දෙහිවල – ගල්කිස්ස ප්‍රදේශ මුල්කොට ගෙන ද මේ වන විට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි අතර ගැටුම් නිර්මාණය වී තිබේ. එම ගැටුම් හේතුවෙන් වෙඩි තබා සිදුකරන ලද මිනිස් ඝාතන හතරක් සිදුවී අවසානය. එහි ආසන්නතම ඝාතනය ඉකුත් නොවැම්බර් 13 වැනිදා සිදුවිය. ඒ ගල්කිස්ස බඩෝවිටදීය. එදින ඝාතනය වූයේ බඩෝවිට අසංක කුඩු ජාවාරමෙන් උපයන මුදල් එකතු කරන එක්දරු පියකු වන ගයාශාන් නමැත්තෙකි.
දෙහිවල – ගල්කිස්ස ප්‍රදේශවල ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි අතර ගැටුම් නිර්මාණයට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ දෙහිවල, ගල්කිස්ස ප්‍රදේශයේ බහුලව පවත්නා මත්ද්‍රව්‍ය ජාවාරම බව පොලිසිය මේ වන විට සිදුකරන විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබේ. එලෙස මත්ද්‍රව්‍ය ජාවාරම නිසා මිනී මරා ගන්නේ ගල්කිස්ස බඩෝවිට පදිංචිකරුවෙක් වන බඩෝවිට අසංකගේ කල්ලිය සහ එම ප්‍රදේශයේම සිටින චුවා සමන්ත සහ දෙහිවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන කොස් මල්ලි කල්ලිය අතරය. චූවා සමන්ත සහ කොස් මල්ලි සමීප හිතවතුන්ය.
මේ වන විට බඩෝවිට අසංක, චූවා සමන්ත සහ කොස් මල්ලි යන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනාම ඩුබායි රාජ්‍ය වෙත පලාගොස් සිටින බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
ඉකුත් සැප්තැම්බර් 15, 18 සහ 20 යන දිනවලදී ඝාතන ත්‍රිත්වයක් සිදු වූයේ එම දෙපාර්ශ්වයේ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙසිනි.
එහිදී 15 වැනිදා ගල්කිස්ස, බඩෝවිට හතරවැනි අදියරේ නිවසක සිටියදී 31 හැවිරිදි තරිඳු මධුෂාන් සුවාරිස් සහ 18 වැනිදා කළුබෝවිල, සරණංකර පාරේ හෝටලයක් පවත්වාගෙන ගිය නායගම් විශ්වඥානම් හෙවත් ආනන්ද යන දෙදෙනාම වෙඩි තබා සිදුකළ ඝාතන චූවා සමන්ත සහ කොස් මල්ලි පාර්ශ්වය විසින් සිදුකළ බවට අනාවරණය විය. එම ද්විත්ව ඝාතන සිදුකළ වෙඩික්කරු ද මේ වන විට පොලිසියට කොටුවී අවසානය. තරිඳු සුවාරිස් ඝාතනය කර තිබුණේ චූවා සමන්තගේ ගෝලයකු ඝාතනය කිරීමට ගිය මොහොතක ඔහු නිවසේ නොසිටි හෙයින් අනතුරුව එම පුද්ගලයාගේ පුත්‍රයා කපාකොටා බරපතළ තුවාල කිරීමේ සිදුවීමක්ද මූලික කරගෙනය. අනතුරුව කළුබෝවිල හෝටලය තුළදීම විශ්වඥානම් ඝාතනයට ද හේතු වූයේ තරිඳුගේ අවමංගල්‍යයට කෑම සපයමින් ඔහු දැක්වු සහාය සහ ඔහු බඩෝවිට අසංකගේ සමීපතමයකු වූ නිසා බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.
ආනන්ද ඝාතනයෙන් දින දෙකකට පසු එනම් සැප්තැම්බර් 20දා පෙරවරුවේදී දෙහිවල, නැදිමාල ක්‍රීඩාංගණය අසලදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කෙරිණි. එම ඝාතනය ඊට පෙර සිදුවූ ඝාතන ද්විත්වයට එකට එක කිරීමක් ලෙස සිදු වූවක් බව හෙළිදරව් විය. 20 වැනිදා ඝාතනය වූයේ නාරාහේන්පිටගේ අනුර කොස්තා නමැති අයෙකි. ඔහු 46 හැවිරිදිය. හෙතෙම චූවා සමන්තගේ මස්සිනාය. චූවා සමන්ත විවාහ වී සිටියේ අනුරගේ සහෝදරියක සමඟය.
විවාහකයකු වන අනුර දෙහිවල, සරණංකර ප්‍රදේශයේ ගුණාලංකාර පාරේ පදිංචිකරුවෙකි. ඔහු දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ගණ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ රැකියාව කළේය. බඩෝවිට අසංක සහ චූවා සමන්ත, කොස් මල්ලි පාර්ශ්ව අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ සීමා මායිම් නිසා ඇතිවී තිබෙන ගැටුමෙන් ඝාතනය වූ අනුර කොස්තාට වෙඩි තබා ඝාතනය කළ කුලී ඝාතකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ ඇතුළු කණ්ඩායමට හැකි විය. ඒ ඉකුත් නොවැම්බර් 18 දා හෝමාගම, පනාගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකිනි.
මෝටර් බයිසිකලයකින් රැකියාවට යමින් සිටියදී ඉකුත් සැප්තැම්බර් 20දා අනුර කොස්තා ඝාතනය කළ වෙඩික්කරු සහ පැදිකරු අත්අඩංගුවට ගත් ආකාරය මෙලෙසිනි.
පසුගිය 18 වැනිදා පෙරවරුවේ බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකුට තොරතුරක් ලැබී තිබුණේ සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙනි.
“සර්… දෙහිවල නැදිමාලේ ග්‍රවුන්ඩ් එක ළඟ මර්ඩර් එක ගහපු ෂූටර්… ඌ පාදුක්කේ ඉඳන් බයික් එකකින් කොට්ටාවට එනවා කියලා ආරංචියක් තියෙනවා… ඒකා හයිලෙවල් පාරේ තමයි එන බව කියන්නේ…“ යැයි එම තොරතුරුකරු පොලිස් කොස්තාපල්වරයා එලෙස දැනුවත් කෙළේය.
එම තොරතුරට අනුව ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ ඇතුළු කණ්ඩායම හයිලෙවල් මාර්ගයේ පනාගොඩ යුද හමුදා කඳවුර ආසන්නයේ මාර්ගයේ රැකවල්ලා සිටියේ අදාළ පුද්ගලයා පැමිණෙනතුරු උකුසු ඇස් යොමාගෙනය.
එලෙස පැය කීපයක් සිටියදී සවස දෙක පසු වූවා පමණි. තොරතුරුකරු කී පුද්ගලයා මෝටර් බයිසිකලයකින් පොලිස් නිලධාරින් සිටි ස්ථානයට ළඟා වෙමින් සිටියේය. ඒ මොහොතේ මෝටර් බයිසිකලය නතර කළ පොලිස් නිලධාරින් කණ්ඩායම ඔහු අත්අඩංගුවට ගත්තේ එදා අනුර කොස්තා ඝාතනයට යොදාගත් ටී8 තුවක්කුව සහ ජීව උණ්ඩ හයක් ද සමඟිනි.
එලෙස අත්අඩංගුවට ගැනුණේ පාදුක්කේ නිවසක් කුලියට ගෙන සිටි හඳපාන්ගොඩ පදිංචි අයෙක් වන චරියා නමැත්තාය. 31 හැවිරිදි චරියා ගුවන් හමුදා පොලිසියේ සේවය කිරීමෙන් පසු ඉවත් වූ අයෙකි.
අත්අඩංගුවට ගත් චරියා සියල්ල පාපෝච්චාරණය කරන්නට වූයේ අනුර කොස්තා ඝාතනයට මෝටර් බයිසිකලය පැදවූ තැනැත්තා ගැන ද හෙළි කරමිනි. එලෙස එදා යතුරුපැදිය පැදවූ තැනැත්තා ගැන හෙළිවීමත් සමඟ ක්‍රියාත්මක වූ අයි.පී. වීරසිංහගේ කණ්ඩායම අතුරුගිරියේ, මොරටුවාහේනේ පදිංචිකරුවකු වන 27 හැවිරිදි පොඩි නමැති එම සැකකරු ද සොයා ගියේය. මොරටුවාහේනේ නිවසේ සිටියදී විවාහකයෙකු වන පොඩී ද අත්අඩංගුවට ගැනිණි.
දෙදෙනාගේ පාපෝච්චාරණ අනුව එදා අනුර කොස්තා ඝාතනයට යොදාගත් යතුරුපැදිය ද ඝාතනයෙන් පසු ‘කැබැලි‘වලට ගලවා පාදුක්කේ සහ දෙදෙනාගේ මිතුරන්ගේ නිවෙස්වල මෙන්ම කොට්ටාවේ ස්ථානයකට කැබැලි කීපයක් විකුණා තිබියදී සොයා ගැනිණි. අනතුරුව දෙදෙනාගෙන් ප්‍රශ්න කෙරුණේ අනුර කොස්තා ඝාතනය කළේ ඇයිද යන්න විමසමිනි.
“සර්… අපිට ලක්ෂ 10ක කන්ට්‍රැක් එකක් හම්බ වුණා… දෙහිවල අනුර කොස්තා මරන්න කියලා… අපිට ඒ කන්ට්‍රැක් එක දුන්නේ අතුරුගිරියේ ලැටා… එයා අඳුර ගත්තේ මගේ යාළුවෙක් මාර්ගයෙන්…“ යැයි ද චරියා පොලිස් නිලධාරින් ඉදිරියේ පැවැසීය.
ඒ ඔස්සේ පොලිසිය දෙදෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ එම ඝාතන කොන්ත්‍රාත්තුව දී ඇත්තේ බඩෝවිට අසංක විසින් ඩුබායිහි සිටින හබරකඩ සුදුවා නමැත්තාට බවය. සුදුවා විසින් අසන්ත කුමාර හෙවත් අතුරුගිරියේ ලැටා නමැත්තා සේ පෙනී සිටිමින් මෙකී ඝාතනයට චරියා සම්බන්ධ කරගෙන තිබෙන බව පොලිස් විමර්ශනයේදී හෙළි විය. අතුරුගිරියේ ලැටා ද ඩුබායිහි සිටින අයෙකි. ඔහු රණාලේ සමයං ඝාතනයට ද හවුල් වූ අයෙකි.
බඩෝවිට අසංකගෙන් ලැබුණ කොන්ත්‍රාත්තුවට අනුව හබරකඩ සුදුවා එලෙස ලැටා සේ චරියා සම්බන්ධ කරගැනීමත් සමඟ චරියා විසින් මෙකී ඝාතනයට යතුරුපැදිය ධාවනයට පොඩි සම්බන්ධ කරගෙන තිබිණි. අනතුරුව දෙදෙනා හබරකඩ සුදුවා ලබාදුන් යතුරුපැදියකින් ගොස් සැප්තැම්බර් 20 දා පෙරවරුවේ අනුර කොස්තා ඝාතනයෙන් පසු හඳපාන්ගොඩට ගොස් සැඟවී සිට අනතුරුව තැනින් තැනට පලා යමින් මාස කීපයක් සැඟවී සිටිය ද බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධරයෝ අනුර කොස්තා ඝාතනයට පෙර චූවා සමන්ත සහ කොස් මල්ලි එක්ව සිදුකළ බඩෝවිට අසංකගේ සමීපතමයන් දෙදෙනා වන තරිඳු සුවාරිස් සහ ආනන්ද ඝාතනය කළ වෙඩික්කරු සහ පැදිකරුවන් ද අත්අඩංගුවට ගත්තේ එම ඝාතනයට යොදාගත් පිත්තලවලින් නිපදවා තිබූ පිස්තෝලය ද සමඟිනි.
චරියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ද හෙළිවී තිබුණේ ඔහු ටී8 තුවක්කුව රැගෙන එදින තවත් ඝාතනයකට යමින් සිටි බවයි. ඒ කොස් මල්ලිගේ ඥාතියකු ඝාතනයටය. එහෙත් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාස නිලධාරින්ගේ ක්‍රියාත්මක වීමෙන් එම ඝාතනය වැළකිණි.
බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජනක කුමාරගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ, සැරයන්වරුන් වන 40248 ප්‍රසන්න, 69598 අනිල්, 56805 ගුණසේකර, 72338 ලලන්ත, 72979 චමින්ද, කොස්තාපල්වරුන් වන 84762 කුමාර, 87699 චානක, 19363 සේනානායක, 104675 වීරකෝන්, 104888 සාලිත සහ කොස්තාපල් රියැදුරු 14940 ජස්වාන් යන නිලධාරිහු විමර්ශනවලට එක් වූහ.
අමිල මලවිසූරිය