Home » ගම්වැසියාගෙන් සල්ලි ඉල්ලා කරදර කළ පුන්සිරිට ලැබුණු දඬුවම

ගම්වැසියාගෙන් සල්ලි ඉල්ලා කරදර කළ පුන්සිරිට ලැබුණු දඬුවම

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

– ගමේ අයකුගෙන් අතමාරුවක් ඉල්ලා පස්සෙන් ගිය පුන්සිරිට ගම්වැසියා පිහියකින් ඇන මරලා
– සැකකරු අත්අඩංගුවට, ඝාතනය වූ පුද්ගලයා තනිවම ජීවත්වන අයෙක්

කෙනෙකු දුක් මහන්සියෙන් සාධාරණව උපයා ගන්නා මුදල් තවත් අයකු නිතර ඉල්ලා කරදර කිරීම එම පුද්ගලයාට මහත් වධයකි. එවැනි හේතුවක් මත සිදුවූ අවාසනාවන්ත මරණයක් පිළිබඳ පසුගියදා වාර්තා වූයේ කළුතර දකුණ පොලිස්බල ප්‍රදේශයෙනි.

කළුතර, සේරුපිට, කොහොලාන ගම්මානය හැඳින්විය හැක්කේ ක්‍රමයෙන් දියුණුව කරා ගමන් කරමින් පවතින ප්‍රදේශයක් වශයෙනි. සේරුපිට හමුදා කඳවුර දෙපස ඇති බෝසෙවණගමත් ඇල්විටිපොළ වත්තත් එකිනෙකට මීටර් හාරසීයක් පමණ දුරින් ඇති කුඩා ගම්මාන දෙකකි. ඇල්විටිපොළ වත්තේ පදිංචිව සිටි ගාමිණි 65 හැවිරිදි වියේ පසුවන අහිංසක පුද්ගලයෙකි. ඔහුගේ බිරිය සිටියේ දරුණු වකුගඩු රෝගයකට ලක්ව එක තැනය. විවාහක එක් දරු මවක වන දියණිය ද පිළිකා රෝගයකින් පෙළුණේ ඔහුගේ ලෝකයම කඩා බිඳ දමමිනි. තිස්අට හැවිරිදි දියණිය ද දරුවා සමඟ ගාමිණිගේ නිවෙසට පැමිණෙන්නේ පියාගෙන් පිළිසරණක් බලාපොරොත්තුවෙනි. රෝගීන් දෙදෙනෙකුට ඇප උපස්ථාන කිරීමත් ඔවුන් රැක බලා ගැනීමත් ඔවුන් පෝෂණය කිරීමත් ගාමිණීගේ කර මත පැටවී තිබූ විශාල වගකීම් සමුදායක් මෙන්ම යුතුකමකි. එපමණක් නොව දියණියගේ දරුවා රැකබලා ගැනීම මෙන්ම දරුවාට අධ්‍යාපනය ලබාදීමේ කටයුතු පැවරී තිබුණේ ද ගාමිණී මතය. මේ නිසා ඔහු දිවා රෑ වෙහෙසී කටයුතු කළේ තම බිරිය, දියණිය සහ මුනුපුරා මොහොතක් හෝ සතුටින් තැබීම සඳහාය.

ඔහු රැකියාව කළේ කළුතර බෝධියේය. උදේ සවස මල් ආසනවල ගොඩ ගැසෙන පර මල් අස් කිරීම මෙන්ම බෝ මළුව අතුපතු ගා පිරිසිදු කිරීම ද ඔහුගේ දෑතෙන් සිදු කෙරුණේ දිනපතාමය. ගාමිණී සේරුපිට ගම්මානයේ සිට කළුතර නගරයට රැකියාව පිණිස පැමිණියේ පරණ පාපැදියෙනි. වැඩ කරන අතර ගලක් මත තබා පුවක් කෑල්ලක් තලා ගන්නා ඔහු බුලත්විටක් හැපීමට ද පුරුදුව සිටියේය.

‘පුන්සිරි කුමාර’ පදිංචිව සිටියේ කොහොලාන, බෝසෙවණගම ප්‍රදේශයේය. අවුරුදු හතළිස් එකක් වයස වන පුන්සිරි ද විවාහකයෙකි. එහෙත් මේ වන විට ඔහුගේ බිරිය සිටින්නේ ඉංගිරිය ප්‍රදේශයේය. ඒ දහඅට හැවිරිදි පුතු ද සමඟය. ඇය පුන්සිරිගෙන් නීත්‍යනුකූලව වෙන්වී නැතත් වසර 12ක පමණ කාලයක සිටම සිටින්නේ ඔහුගෙන් වෙන්වය.

කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පුන්සිරි දැනට කොහොලානේ නිවෙසේ පදිංචිව සිටින අක්කා විසින් කුඩා කාලයේදීම රැගෙනවිත් හදා වඩාගෙන ඇත්තේ ඔවුන්ගේ නමට ‘කුල වද්දා’ ගැනීමෙනි. අක්කා විසින් ඔහු රැකබලාගෙන හදාවඩා ගත්තත් අධ්‍යාපන කටයුතු පවා හරිහැටි සිදුකර නොගත් පුන්සිරිට සිදු වූයේ පොල් කැඩීම මෙන්ම වෙනත් කුලී රැකියාවල නියුතු වීමටය. විවාහ වීමෙන් පසු අක්කාත් පුන්සිරිත් වෙන වෙනම පදිංචිව සිටියත් අක්කා නිතරම මල්ලි ගැන සොයා බැලීමට කටයුතු කළාය. හිතුවක්කාර දඩබ්බරයෙකු වන පුන්සිරි අක්කාගේ වචනය පවා පිළිනොපැද කටයුතු කර ඇත්තේ යම් වැරදි ක්‍රියාවලට ද යොමු වෙමිනි. මේ නිසා ඔහුට මුදල් ටිකක් වැඩියෙන් වුවමනා වී තිබිණි.

එදින ගාමිණීගේ පඩි දිනයයි. ඔහුගේ වේතනය වූ රුපියල් තිස්එක් දහසක් ඔහු අතට ගත්තේ එයින් කළ යුතු දහසක් රාජකාරි ගැන මෙනෙහි කරමිනි. රෝගීන් දෙදෙනෙකු ඇතුළු සිවුදෙනෙකුගේ කෙසේ වෙතත් තමන්ගේ තනි වියදමටවත් එම මුදල ප්‍රමාණවත් නොවන බව සිහිපත් කරමින් ඔහු පාපැදියට නැගුණේ නිවෙසට යාම සඳහාය.

රාත්‍රී 7.30 ට පමණ සේරුපිට ගුවන් පාලමට මීටර් 75ක පමණ මෙහායින් ඇති කුකුළු මස් කඩයට ඔහු ගොඩවන්නේ කුකුළු මස් මිලදී ගැනීම සඳහාය. පුන්සිරි ඇතුළු කීප දෙනෙකු එම අවස්ථාවේ එහි රැඳී සිටියේය. ගාමිණී කුකුළු මස් කිලෝවක් මිලදී ගන්නා බව දුටු පුන්සිරි ඔහුගෙන් මුදල් ඉල්ලා කරදර කළේ ඔහු අත යහමින් මුදල් ඇති බව අවබෝධ කරගෙනය. පුන්සිරිට මුදල් දීම ප්‍රතික්ෂේප කළ ගාමිණි පාපැදිය තල්ලු කරගෙන නිවෙස බලා යාමට කඩයෙන් පිටත් වුවත් පුන්සිරි ද ඔහු පසුපස ආවේ මුදල් ඉල්ලමිනි.

දෙදෙනාගේ කතාව දුර දිග යන විට පුන්සිරි ගාමිණීට පහර දෙන්නේ ගුවන් පාලම යටදීය. මීට පෙර දෙවතාවක් මුදල් ඉල්ලා තමන්ට පහර දී තිබූ බැවින් පුවක් කැපීමට එදින රැගෙන ගොස් තිබූ කුඩා පිහිය ක්ෂණිකව ගාමිණීගේ අතට ආවේ ඔහු තුළ තිබූ කෝපය මුදා හැරීම සඳහාය. මේ කතාවේ අවසානය එලෙස සටහන් වේ යැයි කිසිවකුත් දැන සිටියේ නැත.

රාත්‍රී ආහාර පිළියෙල කළ අක්කා පුන්සිරිගේ කෑම පිඟාන රැගෙන ඔහුගේ නිවෙසේ තබා ආපසු තම නිවෙසට පැමිණි විට දුරකතන ඇමතුමක් ලැබුණේ ගුවන් පාලම යටට පැමිණෙන ලෙස පවසමිනි. ඇය එහි ගොස් බලන විට දුටුවේ පුන්සිරි ගුවන් පාලම යට වැටී සිටින බවයි. ඇය පොලිස් හදිසි ඇමතුම් අංකයට මෙන්ම සුවසැරිය ගිලන් රථ සේවයට ද මේ පිළිබඳ දැනුම් දීමට කටයුතු කළාය.

කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරින් මෙම ස්ථානයට පැමිණෙන්නේ ඒ අනුවය. ඔවුන්ට දැක ගැනීමට ලැබෙන්නේ ප්‍රාණය නිරුද්ධව සිටි පුද්ගලයෙකුගේ සිරුරය.

එසේ මියගොස් සිටියේ යද්දෙහිකන්දගේ පුන්සිරි කුමාර කොස්තා නමැති 41 පුද්ගලයකු බවටත් ඔහු බෝසෙවණගම, සේරුපිට, කොහොලාන, කළුතර දකුණ පදිංචිකරුවෙකු බවටත් අනාවරණය වන්නේ ඉන් පසුවය.

උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කළ කළුතර දකුණ පොලීසිය අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ මහේස්ත්‍රාත්වරයා එහි කැඳවීමට ද කටයුතු කළේය. මේ අනුව කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් හිමාෂි ලියනාරච්චි සිද්ධිය වූ ස්ථානයට සහ කළුතර නාගොඩ රෝහලට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය කළාය.

කළුතර නාගොඩ රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වන්නේ පිහියෙන් ඇනීම නිසා සිදුවූ තුවාල මත අභ්‍යන්තර රුධිර වහනය වීමෙන් පුන්සිරිගේ මරණය සිදුවී ඇති බවය.

මේ සිද්ධියෙන් පසු නිවෙසට ගොස් කිසිවක් සිදු නොවූ ගාණට තම වැඩ කටයුතු සිදු කරගෙන සිටි ගාමිණී පොලිස් අත්අඩංගුවට පත්වන්නේ අනතුරුවය.

තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් මුදලක් තමන් විසින් සොයා ගැනීමෙන් තොරව අන් අයට කරදර කිරීමට යාමෙන් ජීවිතයක් අකාලයේ මිලින වී ගිය අතර තවත් පුද්ගලයෙකුගේ ජීවිතය අඳුරට ඇද දැමුවේ මේ අයුරිනි. කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී 01 දුමින්ද රාජපක්ෂගේ අධීක්ෂණයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත, උප පොලිස් පරීක්ෂක වන්නිආරච්චි, උප පොලිස් පරීක්ෂක ශ්‍රී රංගා, සැරයන් 7859 ප්‍රියදර්ශන, සැරයන් 6024 සම්පත්, කාන්තා පොලිස් සැරයන් 7377 ප්‍රියංකා, කොස්තාපල් 66782 ශ්‍රීමාල්, කාන්තා පොලිස් කොස්තාපල් 12065 චන්දු යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.

විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division