Home » බාර් ළඟ නවත්වන මෝටර් බයිසිකල් ‘ගල්’ කරන කුඩ්ඩෝ

බාර් ළඟ නවත්වන මෝටර් බයිසිකල් ‘ගල්’ කරන කුඩ්ඩෝ

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

– පොලිස් උපාය දූතයාට සැකකරුවන් දෙදෙනාම කොටුවෙලා
– බාර් අසලින් ඉස්සූ මෝටර් බයික් 4ක් සොයා ගනී : විමර්ශන අතුරුගිරිය පොලිසියෙන්
– අතුරුගිරියේ බාර් එකක් ළඟ නැවැත්වූ මෝටර් බයිසිකලයක් උස්සා අඩුවට විකුණන්න මුහුණුපොතේ දැන්වීම් දාලා

ත්‍රිරෝද රථ සහ ස්කූටි ඇතුළු මෝටර් බයිසිකල් සොරකම්වල වර්ධනයක් පොලිසියට නිරීක්ෂණය වී ඇත්තේ මීට ටික කලකට පෙර සිටයි. මේ වාහන වර්ග දෙක මෙලෙස වැඩිපුර සොරකම් කිරීමට ප්‍රධාන හේතු තුනක් පොලිසිය මේ වනවිට නිරීක්ෂණය කර තිබේ. පළමුවැන්න ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් සොරකම් කර ඒවායේ චැසි අංක සහ ලියාපදිංචි අංක තහඩු වෙනස් කර අඩු මිලට විකිණීමයි. දෙවැන්න ඒවා කැබලිවලට ගලවා අමතර කොටස් වශයෙන් අලෙවි කිරීමයි. තෙවැන්න ඒවා අපරාධ සඳහා යොදා ගැනීමයි.

තෙවැනි හේතුව ගැන පොලිසිය කළ නිරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ මත්ලෝලීන් වැඩිපුරම මේ වාහන දෙකට ‘ඇස ගසාගෙන’ සිටින බවයි. සොරකම් කරන හෝ පැහැරගන්නා මෝටර් බයිසිකල්, ත්‍රිරෝද රථ වැඩිපුරම යොදාගන්නේ රන්මාල කොල්ලකෑම් හෝ වෙනත් අපරාධ සඳහාය.

පසුගිය කාලයේ සිදුවූ සැකකරුවන් නොදන්නා අපරාධ ගණනාවකට යොදාගෙන තිබුණේ රටේ මොන යම් ප්‍රදේශයකින් හෝ පැහැරගන්නා ලද හෝ සොරකම් කරන ලද මෝටර් බයිසිකල් හෝ ත්‍රිරෝද රථය.

රටේ විවිධ ප්‍රදේශවලින් මෙසේ සොරකම් කරන ලද මෝටර් බයිසිකල් සහ ත්‍රිරෝද රථ ගණනාවක් සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවීම ද සුවිශේෂීය. ඒ පසුගිය දිනවල සිදුකරන ලද විමර්ශනවලදීය.

මත්පැන්හල් අසල නවතා යන මෝටර් බයිසිකල් සොරකම් කිරීමේ නිරතව සිටි මත්ලෝලීන් දෙදෙනෙකු දීර්ඝ විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට පසුගියදා හැකිවීම ද සුවිශේෂී සිද්ධියකි.

මහමඟ අයිනේ නවතා යන මෝටර් බයිසිකල් සොරකම් කිරීමේ සිදුවීම් පොලිස් ස්ථානවලට වාර්තා වෙද්දී අතුරුගිරිය පොලිසියට ද එවැනි පැමිණිල්ලක් ලැබෙන්නේ පසුගියදාය. පැමිණිල්ල කළ පුද්ගලයාගේ ප්‍රකාශයෙන් හෙළි වූයේ ඔහු අතුරුගිරිය නගරයේ පිහිටි මත්පැන් හලක් අසල නවතා ගිය මෝටර් බයිසිකලයක් මෙසේ සොරකම් කර ඇති බවයි. සිය මෝටර් බයිසිකලය සොරකම් කර ඇති බව දැනගත් අයිතිකරු අතුරුගිරිය පොලිසියට ගොස් එවෙලේම පැමිණිලි කරන්නේ ඒ බව අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් ද දැනුම්වත් කරමිනි.

අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දුගේ උපදෙස් මත මේ පිළිබඳව විමර්ශන ආරම්භ කරන්නේ අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධනුක වීරසිංහ ඇතුළු කණ්ඩායමක් විසිනි.

පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂක ධනුක වීරසිංහ ඇතුළු කණ්ඩායම යන්නේ මෝටර් බයිසිකලය සොරකම් කළ ස්ථානයටය. සොරකම සිදුවී තිබුණේ නගරයේ මත්පැන් ශාලාවකට නුදුරිනි.

පොලිස් නිලධාරින්ගේ ඊළඟ සැලසුම වූයේ අදාළ ස්ථානයේ පිහිටි ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂාවයි. මෝටර් බයිසිකලය සොරකම් කරන පුද්ගලයන් දෙදෙනාගේ දර්ශන එහි පැහැදිලිව සටහන් වී තිබුණි. සැකකරුවන් දෙදෙනා කවුදැයි හඳුනා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි වන්නේ ඒ අයුරිනි.

මේ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කරද්දී පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දුට තොරතුරක් ලැබුණේය. ලොකු වටිනාකමක් ඇති මෝටර් බයිසිකලයක් පුද්ගලයන් දෙදෙනෙකු ඉතා අඩු මිලට විකිණීමට සූදානම් කර ඇති බවයි.

අතුරුගිරිය පොලිසියේ නිලධරයකු උපාය දූතයකු ලෙස යොදවා අදාළ මෝටර් බයිසිකලය මිලදී ගැනීමට යන මුවාවෙන් ගොස් සැකකරුවන් දෙදෙනා සමඟ මෝටර් බයිසිකලය අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධරයනට පසුව හැකිවිය.

එලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර ඔවුන් පරික්ෂා කරද්දී එක් සැකකරුවකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6ක් සහ මිලිග්‍රෑම් 250ක් සොයා ගන්නා ලදි.

විමර්ශන නිලධාරීන් මෝටර් බයිසිකල් පරික්ෂා කරමින්

විමර්ශන නිලධාරීන් මෝටර් බයිසිකල් පරික්ෂා කරමින්

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් විසින් මීට පෙර සිදුකරන ලද මෝටර් බයිසිකල් සොරකම් කීපයකම තොරතුරු අනාවරණය කර ගැනිණි. එම මෝටර් බයිසිකල් සියල්ලම මේ සැකකරුවන් විසින් සොරකම් කර තිබුණේ මත්පැන්හල් අසල නවත්වා තිබියදී වීම ද සුවිශේෂීය.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරද්දී අනාවරණය වූ තොරතුරුවලට අනුව මේ දෙදෙනා විසින් සොරකම් කර තිබුණ මෝටර් බයිසිකල් හතරක් සොයා ගැනිණි. මීගොඩ, තලංගම, නවගමුව සහ බියගම පොලිස් වසම්වලදී මෙලෙස මේ දෙදෙනා මෝටර් බයිසිකල් සොරකම් සිදුකර තිබුණි.

එලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙක් නවගමුව ජල්තර රනාල නවකන්ද පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු 24 හැවිරිදිය. කම්කරුවකු ලෙස රැකියාව කරන මේ පුද්ගලයාට එරෙහිව අධිකරණ කීපයකින් වරෙන්තු 23ක් නිකුත් කර ඇති බවද හෙළිවන්නේ එහිදීය.

සෙසු සැකකරු පාදුක්ක මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ වයස අවුරුදු 33කි. වෘත්තියෙන් රියැදුරෙකි. එම රියැදුරුට අයත් මෝටර් බයිසිකලයෙන් ගොස් මොවුන් මෙලෙස මෝටර් බයිසිකල් සොරකම් කරන බව හෙළිවන්නේ පොලිසිය සිදුකරන ලද දීර්ඝ විමර්ශනයේදීය.

අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දුගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධනුක වීරසිංහ, උපපොලිස් පරීක්ෂක රුසිරු, සැරයන්වරුන් වන (30709) සුකුමාරන්, (67354) මධුරංග, කොස්තාපල්වරුන් වන (23687) එරන්ද, (84498) හර්ෂ, (938) සුසන්ත, (98694) විනුරංග, (104805) පතිරණ යන නිලධාරීන් වැටලීම සිදුකරන ලදි.

ඡායාරූප – මීරිගම බී.කේ. කත්‍රිආරච්චි

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division