– මුන්දලම මහමාඑළියේ දිලිනි මධුශානි ඝාතනයට සැමියා සැකපිට අත්අඩංගුවට
– බිරිය ඝාතනයෙන් අනතුරුව සැකකරු පොලිසියෙන් බේරෙන්න සැඟවිලා
අඹුසැමියන් අතර සැකය ඇති වන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයාගේ භාර්යාවගේ ආදරය අඩුවී වෙනත් කෙනෙකුට එම ආදරය හිමිවේවි යැයි සිතන අනියත බිය සිත් තුළ ජනිත වීමෙනි. එහි ආරම්භය සාමාන්‍ය සැකයක් විය හැකියි. ඉන්පසුව එම හැඟීම් ඔඩුදුවා මානසික රෝගයක් ලෙස ඉස්මතු වේ.
මෙම තත්ත්වයට එකිනෙකා මුහුණ දෙන ස්වරූපය විසමය; විවිධය. අනාගතයට ආරක්ෂිත පියවරක් ලෙස සිතා ඇතැමුන් ගන්නා වූ තීන්දු තීරණවල ඇත්තේ විසඳුම් වෙනුවට සිතාගත නොහැකි පැටලීම්ය. සාධාරණ සැකයට එහා ගිය සැක කිරීම් බොහෝ අවස්ථාවල ජීවිතවලට ගෙන දුන්නේ දුකක්, කරදරයක්, පසුතැවීමක් එසේත් නැත්නම් ජීවිතවලින් වන්දි ගෙවීමයි.
දිලිනි මධුශානීගේ හා නිමල් රංජිත්ගේ යුගදිවිය අවසාන වන්නේ ද සැකය නිසාය.
දිලිනි සහ නිමල්ගේ සිත්වල පැලපදියම් වූ ළෙන්ගතුකමේ අංකුර දලුලා වැඩුණේ පාසල් සමය අහවර වීමත් සමඟය. ඒ ඔවුනගේ ගම් ප්‍රදේශය වූ මුන්දලම මහමාඑළිය ප්‍රදේශයේ කළපු රැකියාවේ නිරත වන අතරතුරදීය.
මහමාඑළිය ගමේ බොහෝ දෙනෙකු ජීවිත සරිකර ගන්නේ ධීවර රැකියාවේ නිරත වෙමිනි. නිමල් ද ඒ අතරය. දිනක් දිලිනි කළපුවට එන්නේ මාළු ගැනීමටය. දිලිනි වෙසෙන්නේ ඒ ගම්මානයේමය. ඇය ද පාසල් කාලය නිම වීමටත් පෙර සමු දුන්නේ ගම්මානයේ බොහෝ දෙනෙකුගේ පාසල් දිවිය නිම වීමට පෙර සමු දෙන හේතුවක් වන දිළිඳුකම කරපින්නාගෙන මෙලොව එළිය දුටු නිසාය. ඇය රූ සපුවෙන් පොහොසත්ය. දිගු වරලසත් මුවඟේ රැඳි අව්‍යාජ සිනහවත් ඇය කෙරෙහි නිතැතින් ආකර්ෂණය ගෙන දුන්නේය. මේ නිසා ගමේ තරුණයන් බොහෝ දෙනෙක් ඇයව තම වසඟයට ගැනීමට මාන බලමින් සිටියෝය. ඒ අතර නිමල් ද පෙරමුණේ සිටියේය. මේ අතර ඇය බොහෝ කලකින් කළපුවට ආවාය. වෙනදා එන්නේ ඇගේ මවයි. දියණියගේ පැමිණීමෙන් දැඩි ලෙස සතුටට පත් නිමල් ඇය සමඟ කතා කළාය.
“අද ඔයා මොකද මේ මාළු ගෙනියන්න ඇවිත්” කලක සිට නිමල්ට ඇය හා සමඟ කතාබහ කිරීමට තිබූ වුවමනාවට ලද අවසරයෙන් කතාවට මුල පිරුවේය.
“අම්මට අද ටිකක් අසනීපයි… ඒ නිසයි ආවේ…” එසේ පවසමින් මාළු ගන්නා අතර කතාබහ අහවර වී දිලිනි ‘මම යනවා අයියේ’ කියමින් ආපසු හැරුණාය. “අම්මා හෙටත් අසනීප වුණොත් හොඳා…” නිමල්ගේ පිළිතුර විය.
“ඒ ඇයි…? ඔයා මාර කෙනෙක්නෙ…“දිලිනි නුරුස්සන ස්වරූපයෙන් කීවාය.
“නෑ… ඉතින් හෙටත් ඔයාට මාළු ගෙනියන්න එන්න පුළුවන්නෙ…“ නිමල්ගේ ඒ කියමනේ ගැබ්ව තියෙන අරුත ඇයගේ හිතට වදින්නට වැඩි වෙලාවක් ගත නොවීය. ඒ මොහොතේ එකිනෙකාගේ දෑස්වල, මුහුණුවල ඇති ඉරියව්වලින් කියා පෑ බැඳීම අහවර වුණේ දෙහදේ සදාකාලික බැඳීමෙනි. ටික කලකින් එම හමුවේ අවසානය වූයේ දෙදෙනා එක වහලක් යටට පැමිණීමය.
මේ කෝඩුකාරයන්ට දරු සුරතල් බැලීමට ද වැඩි කල් ගත නොවීය. ඉතා සතුටින් ඔවුන් දිවි ගෙව්වේය. නිමල් රැකියාවට යන නිසා දිලිනිට දරුවා සමඟ නිවසේ කටයුතු කිරීමට නොහැකි නිසා නිමල්ගේ ආච්චි අම්මා (මවගේ මව) නිෙවසට ගෙන්වා ගැනීමට කටයුතු කළේය. පසුව දෙදෙනාගේම කැමැත්ත මත ආච්චි අම්මාට එම නිෙවසේ ජීවත්වීමට ඉඩකඩ වෙන්වූවාය.
මෙසේ කාලයක් ගත විය. දරුවා උස්මහත් වී පාසල් සමය ආරම්භයත් සමඟ නිමල්ගේ කිසියම් වෙනසක් ඇතිවී තිබෙන බව දිලිනිට තේරුම් ගියාය. ඇයටත්, දරුවාටත් තිබෙන ආදරය ළෙන්ගතුකම ටිකෙන් ටික අඩු විය. සැමියාගේ වෙනස තේරුම් ගැනීමට දිලිනිට බොහෝ කල් ගත නොවීය.
“එයා කුඩු ගහනවා… මං ගැන තියා ළමයා ගැනවත් බලන්නෑ. කිසිම උවමනාවක් නෑ. එන්නෙත් රෑ වෙලා. මට නම් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ… පිස්සු වාගේ” නිමල්ගේ වෙනස ඇයගේ මවුපියන්ට නිමල්ගේ දෙමාපියන්ට මෙන්ම සමීපතමයින්ට නොසඟවා ඇය කීවේ මෙම කාරණය සැඟවීමට හැකි රහසක් නොවන නිසාය. වෙනදා නිෙවසට පැමිණි පසු දරුවාත් ළඟට ගෙන උසුළු විසුළු කරමින් ආදර වදන් කියමින් කාලය ගත කළ ඔහුගේ ඇති වූ වෙනසින් පසු ඒවා අවලාද, ඇනුම් පද, පරුෂ වචන බවට පත්විය. නිමල් මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි විය. ඔහුගේ මනස විකෘති විය. උදෑසන නිෙවසින් පිටත්වන අයුරින්ම රාත්‍රී කාලයේ නිෙවසට පැමිණ නිදා ගැනීමට කටයුතු කරන්නේ ඇඟපතවත් සෝදා නොගෙනය. මෙසේ පැමිණෙන ඔහු ඇතැම් දිනවලදී දිලිනිගේ සමීපයට යාමට කටයුතු කළ ද ඇය ඔහුව තදින් ප්‍රතික්ෂේප කළාය. බොහෝ විට එම විරුද්ධත්වයට නිමල්ගේ ප්රතිචාරයන් අතින් පයින් පහරදීම්වලින් කෙළවර වූ අවස්ථා ද ඇතිවිය. ඇය තමා මෙසේ ප්‍රතික්ෂේප කිරීම ගැන නිමල්ගේ සිත තුළ ජනිත වූයේ දැඩි කුකුසක්ය; දෙගිඩියාවක්ය. එම මානසිකත්වය තුළ ඔහු ඇයට දොස් පැවරුවේ වෙනත් කෙනෙකුගේ ඇසුර පවතින බව කියාපාමින්ය. මෙසේ කියමින් රණ්ඩු සරුවල් ඇති වූ හැම අවස්ථාවකම නිමල්ගෙ ආච්චි අම්මා ඔහුට දොස් කීවේ බොරු විගඩම් නොකරන ලෙසත් ඇය හොඳ ගැහැනියක් බවත් පවසමිනි.
නිමල්ගේ මේ හැසිරීම දරාගත නොහැකිව පවුලේ වැඩිහිටියන්ගේ මැදිහත් වීමෙන් ඔහු වෛද්‍යවරයෙක් වෙත යොමුකර අංගොඩ මූලික රෝහලේ මානසික වෛද්‍ය ඒකකයට ඇතුළත් කිරීමට කටයුතු කැරිණි. ඒ ඉකුත් ඔක්තෝබර් මස 18 වැනි දිනය. මාස තුනක පමණ කාලයක් ඔහු ප්‍රතිකාර ලබමින් සිට තරමක් යහපත් අතට පත් වීමෙන් පසු නිෙවසට පැමිණ දින කිහිපයක් ගත කළ ද ඔහුගේ සිත තුළ කාවැදී ඇති සැකය පහව නොගියේය. කොතරම් ඇවිටිලි කළද ඔහු සමීපයට දිලිනි නොපැමිණීම නිසා ඇය කෙරෙහි දැඩි වෛරයක් ඇති විය. ඔහු සැම විටම සිතුවේ වෙනත් සම්බන්ධයක් මෙයට හේතුවී ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ පසුගිය දහවැනි දින රාත්‍රියේ ඔහු දිලිණි ළඟට ගොස් ඔහුගේ අවශ්‍යතාවන් කියා සිටියද ඇය ඊට කන් නොදීම හේතුවෙන් ඔහුට දැඩි කෝපයක් ඇති විය. එකවරම ඇයට පහර පිට පහර එල්ල කළේය. ඇය ඔහුගෙන් මිදීමට උත්සාහ කරන අතරේ ඔහු තියුණු ආයුධයකින් ඇයට පහර දීමට කටයුතු කර ඇයගේ ගෙල මිරිකා නිෙවසින් පලා යාමට කටයුතු කළේය.
මෙම සිදුවීම නිෙවසේ සිටින ඔහුගේ ආච්චි අම්මාට හා පුතාට නොදැනෙන සේ සිදු කිරීමට ඔහු වග බලා ගත්තාය.
පසුව කිසියම් අවශ්‍යතාවකට නිමල්ගේ ආච්චි අම්මා දිලිනි නිදන කාමරයට පැමිණි විට නිෙවසේ ඇඳ මත ඇය ලේ විලක් මත වැතිරී සිටිනු දැක මුන්දලම පොලිසියට දැනුම් දීමට කටයුතු කළාය. පසුව මුන්දලම පොලිස් ස්ථානාධිපති අසිත ලක්රුවන් ඇතුළු පිරිසක් එහි පැමිණ සිද්ධිය සම්බන්ධව විමර්ශනය කරමින් පලා ගිය සැකකරු ගිය ප්‍රදේශ හඳුනා ගනිමින් පොලිස් කණ්ඩායම් හතරක් යොදවා සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කළේය. මේ අතර සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු මුන්දලම පොලිස් වසමට අයත් පිංකට්ටිය ප්‍රදේශයේ නිමල්ගේ ඥාතියෙකුගේ කිසිවෙක් පදිංචි නොමැති නිෙවසක රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට සමත් විය.
අත්අඩංගුවට පත් සැකකරු මානසික වෛද්‍යවරයෙකුට යොමු කිරීමෙන් පසු ඔහු මත්කුඩුවලට තදිත් ඇබ්බැහි වී මනස විකෘති වීමෙන් ලිංගික ඊර්ෂ්‍යාව යන මානසික තත්ත්වය මත මෙම ඝාතනය සිදුකර ඇති බවට නිගමනය විය.
ගෙල සිර කිරීමෙන් ශ්වසන මාර්ගය අවහිර වීමෙන් ඇති වූ මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. සැකකරු පුත්තලම දිසා අධිකරණයට යොමු කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කැරිණි.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරී උදය කුමාර යන නිලධරයන්ගේ උපදෙස් මත කල්පිටිය සහකාර පොලිස් අධිකාරී සුජීව ද සොයිසාගේ අධීක්ෂණයෙන් මුන්දලම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන්ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක හේරත්, සැරයන්වරුන් වන 38685 අසූ අමරසිංහ, 38071 පෙරේරා, 54756 ඉර්ෂාඩ්, කොස්තාපල් 75872 ජයසේකර යන නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කළහ.
මිහිර විජේසේකර - මාරවිල සමූහ