Home » මෙරටට ආ තායි සුරූපිනියගේ ගමන්මල්ල හෙළි කළ රහස

මෙරටට ආ තායි සුරූපිනියගේ ගමන්මල්ල හෙළි කළ රහස

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

– නාඳුනන පුද්ගලයකු බැංකොක් ගුවන් තොටේදී දුන් බෑගය මෙරටට ගෙනැවිත්
– සැකකාරියගේ ගමන් බෑගයෙන් කූෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 22ක්
– වටිනාකම රුපියල් දහඅට කෝටියක්

මත්ද්‍රව්‍ය මෙරටට ගුවනින් රැගෙන ඒමේ අවදානම ඉහළ මට්ටමක පවතින නිසා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ පසුගියදා රැකවල්ලා සිටියේ ජාවාරම්කරුවන් අල්ලා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමිනි. කෙමෙන් කෙමෙන් මධ්‍යම රාත්‍රිය එළැඹෙමින් තිබුණි.

ඒ අතර එදින මධ්‍යම රාත්‍රී 11.55ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී. 307 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

එම ගුවන් යානයෙන් පැමිණි මඟිහු කෙමෙන් නිෂ්කාශන ක්‍රියාවලිය නිමවා ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියහ.

ඒ අතර තායිලන්ත ජාතික 37 හැවිරිදි තායි කතක් ද වූවාය. ඇය තායිලන්තයේ රූපලාවණ්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් සිටියාය. ඇය සුරූපිනියකි. ඇය කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියාය.

සාමාන්‍යයෙන් මෙම ගුවන් යානයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන් නොපැමිණෙන බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් හොඳාකාරවම දැන සිටිය ද පුරුද්දක් ලෙස මෙම ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන් සහ ඔවුන් රැගෙන ආ බඩුබාහිරාදිය ද පරිලෝකන යන්ත්‍ර (Scan Test) පරීක්ෂාවකට ලක් කළේ සුපුරුදු පරිදිය.

තායි කතගේ ගමන නවතාලු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඇය විසින් රැගෙනවිත් තිබු ගමන්මලු ද පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා කිරීම සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබුණේ ඒ මොහොතේදීමය.

එම නිලධාරීන් ද මවිතයට පත් කරමින් තායි කතගේ ගමන් මලු තුළ කිසියම් පාර්සල් කීපයක් ඇති බවට පරිලෝකන යන්ත්‍ර වාර්තා කළේ තවත් මිනිත්තු කීපයක් ඇතුළතදීය.

ඒ අනුව තායි කත රේගු කාර්යාලය වෙත කැඳවා ඇය විසින් රැගෙනවිත් තිබූ ගමන් මලු එකිනෙක විවෘත කර පරීක්ෂා කර බලන්නේ රේගු නිලධාරීන් විසිනි.

පරිලෝකන යන්ත්‍රය සැපයූ තොරතුරු සියල්ල නිවැරැදි බව ප්‍රකාශ කරමින් තායි කතගේ ගමන් මලු තුළින් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සහ “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට රේගු නිලධරයන්ට හැකි විය.

මෙම ගමන් මලු තුළ “කුෂ්” මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 05 ක් සහ “හෂීෂ්” අඩංගුව පාර්සල් 05ක් ලෙස සකස් කර ගමන් මලු දෙකක් තුළ අසුරා තිබූ අතර ඒවායේ මුළු බර කිලෝ ග්‍රෑම් 22ක් පමණ විය. ඒවායේ වටිනාකම රුපියල් දහඅට කෝටි හැට ලක්ෂයක් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ගණනය කර තිබිණි.

වහාම මෙම කාන්තාව අත්අඩංගුවට ගත් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඇගෙන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පැවසුවේ තමාට මෙම ගමන් මලු තමන් නොදන්නා පුද්ගලයෙකු විසින් තායිලන්තයේ බැංකොක් නුවර ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකාවට රැගෙන ගොස් භාර දීම සඳහා ලබා දුන් බවය.

පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත මෙම තායි ජාතික කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය භාර දීමට රේගු විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබිණි.

කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මෙම කාන්තාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇය රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දෙන ලදි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි.

කටුනායක - ටී. කේ. ජී. කපිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division