Home » අන්තර්ජාලයෙන් මිනිසුන් ඇන්දූ දෙන්නාට වැඩ වැරදුණු හැටි

අන්තර්ජාලයෙන් මිනිසුන් ඇන්දූ දෙන්නාට වැඩ වැරදුණු හැටි

by thanushika
December 7, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

අන්තර්ජාලයේ සැරිසරමින් අසරණ අහිංසක පුද්ගලයන් ඉතා සූක්ෂ්මව රවටා ඔවුන් සතු මිල මුදල් වංචා කළ තක්කඩි පුද්ගලයන් දෙදෙනකු පසුගියදා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඒ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කරන ලද දීර්ඝ විමර්ශන දෙකක ප්‍රතිඵලයක් ලෙසිනි.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් එලෙස අල්ලා ගන්නා ලද පුද්ගලයා සිදුකර තිබුණේ අන්තර්ජාලයේ දැන්වීම් පළ කරන පුද්ගලයන් ඉතා සූක්ෂ­්මව රවටා ඔවුන් සතු මිල මුදල් වංචනිකව ලබා ගැනීමයි.

ඉඩකඩම් දේපළ මෙන්ම යානවාහන අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පළ කරන පුද්ගලයන්ට කතා කරන මේ වංචනික තැනැත්තා එම ඉඩකඩම් දේපළ මිලදී ගන්නා බව හඟවා ඊට අත්තිකාරම් මුදල් ගෙවීමට යැයි කියා අයිතිකරුවන්ගේ බැංකු ගිණුම් අංක මෙන්ම ඕ පී ටි අංකයද ඉතා සූක්ෂ­්මව ලබාගෙන දේපළ අයිතිකරුගේ බැංකු ගිණුමට ඉතා සූක්ෂ්මව ඇතුළු වී එහි ඇති මිල මුදල් වෙනත් බැංකු ගිණුම්වලට මාරුකර ගෙන ඒවා ලබාගෙන තිබූ බව විමර්ශනවලදී හෙළි විය.

මහරගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරන ලද නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. ව්‍යාපාරිකයා ඔහුට අයත් ලැප්ටොප් පරිගණකයක් අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයේ දැන්වීමක් පළකර තිබූ අතර එය දැක ව්‍යාපාරිකයාට කතා කළ සැකකරු එය මිලදී ගන්නා බව දන්වා ඊට අත්තිකාරම් මුදලක් ලබා දෙන බව කියා එම මුදල් බැංකු ගිණුම් අංකය සහ ඉතා සූක්ෂ­්මව ඔහුගේ ඕ ටී පී අංකය ලබාගෙන තිබේ. ඉන් අනතුරුව ඔහු ව්‍යාපාරිකයාගේ බැංකු ගිණුමට පිවිස මුදල් ලබාගෙන ඇති බව හෙළි විය. මෙලෙස මොහු රටේ විවිධ පළාත්වල පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් ඉතා සූක්ෂ්මව රවටා රුපියල් ලක්ෂ ගණනක් අන්තර්ජාලය ඔස්සේ මෙසේ වංචාකර ඇති බවට සැක කෙරේ.

සැකකාර පුද්ගලයා 28 වැනි වියේ පසුවන අයෙකි. ඔහු ගාල්ල ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර විවාහකයකු බව ද හෙළි වී ඇත. සැකකරු හෙරොයින් මත්ද්‍රව්‍ය පානය සඳහා තදින්ම ඇබ්බැහි වී සිටින අයකු බවද විමර්ශනවලදී හෙළි විය.

සැකකාර මත්ලෝලියා අන්තර්ජාලය උපයෝගී කරගෙන එහි දැන්වීම් පළ කරන පුද්ගලයන් සොයාගෙන ඔවුන් සූක්ෂ්මව රවටා මුදල් වංචා කිරීම සඳහා ජංගම දුරකතන අංක කීපයක් භාවිත කර ඇති බවද අනාවරණය වන්නේ පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදීය.

සැකකරු සන්තකයේ තිබුණු ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකතන සහ ක්‍රෙඩිට් කාඩ්පත් පොලිසිය විසින් සොයාගෙන තිබුණි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පේ.ජි.එස් ජයමහගේ ඍජු අධීක්ෂණයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහගේ මෙහෙයවීමෙන් ඒකක අංක 01 ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් වීරතුංග, සැරයන් (68011) විජේරත්න, (94555) කුමාර, කොස්තාපල්වරුන් වන (630) රණසිංහ, (94790) යෝගනාදන් යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරන ලදි.

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරන පුද්ගලයන් රවටා ඔවුන්ගේ භාණ්ඩ මුදල් නොදී වංචා කරන සෙසු පුද්ගලයා අල්ලා ගන්නේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි. මේ පුද්ගලයා වෛද්‍යවරයකු ලෙසින් පෙනී සිට සිදුකර ඇත්තේ ජංගම දුරකතන වංචා කිරීමයි.

ජංගම දුරකතන අලෙවි කරන පෞද්ගලික ආයතනයක් අන්තර්ජාලයේ පළ කරන ලද දැන්වීමකට අනුව එය නරඹා ඇති මේ පුද්ගලයා තමා වෛද්‍යවරයකු බව පවසා ජංගම දුරකතන 04 ක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා එම ජංගම දුරකතන 04 ද රැගෙන කොළඹ තමා සේවය කරන අදාළ පෞද්ගලික රෝහලට එන ලෙස නියෝජිතයාට දන්වා ඇති අතර රුපියල් ලක්ෂ 20 ක් වටිනා එම ජංගම දුරකතන 04 ද රැගෙන නියෝජිතයා ගොස් ඇත්තේ වෛද්‍යවරයා සඳහන් කළ පෞද්ගලික රෝහලටය. රෝහල් භූමියේදී වෛද්‍යවරයා අදාළ ජංගම දුරකතන නියෝජිතයා හමුවී ඇති අතර ඔහු ජංගම දුරකතන 04 නියෝජිතයාගෙන් ලබාගෙන තමන් ඒවා ඇණවුම් කළ වෛද්‍යවරුන්ට ලබා දී මුදල් ලබාගෙන නැවත එන බව පවසා පිටවී ගොස් තිබේ.

අලෙවි නියෝජිතයා රෝහල් භූමියේ පැය කීපයක් රැඳී සිටියද වෛද්‍යවරයා පැමිණෙන බවක් පෙනෙන්නට නොතිබුණු නිසා ඔහු ලබා දී තිබුණ ජංගම දුරකතන අංකයට කතා කළද එයද ඒ වන විටත් විසන්ධි කොට තිබී ඇත. තමන් වංචාකාරයෙකුට රැවටුණු බව දැනගත් දුරකතන අලෙවි නියෝජිතයා ඒ ගැන නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය. නාරාහේන්පිට පොලිසියට කළ පැමිණිල්ල විභාග කරන්නේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් කණ්ඩායමක් විසිනි. ඒ කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටියගේ උපදෙස් මතය. කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් මේ සැකකරු පිළිබඳ හෝඩුවාවක් අන්තර්ජාලය ඔස්සේම සොයා ගැනීම සඳහා විමර්ශන පවත්වමින් ඇස ගසාගෙන සිටියදී පාණදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ද මිල අධික ජංගම දුරකතන කීපයක් ‘කුණුකොල්ලයට’ අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයේ දැන්වීමක් පළකර තිබුණු අතර මේ ගැන සැක කළ විමර්ශන නිලධාරීන් අදාල පුද්ගලයා ගැන දිගින් දිගටම සොයා බලමින් ඔහුගේ ‘කල්ක්‍රියාව’ ගැන විමසිල්ලෙන් පසු වෙමින් සිට සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී වෛද්‍යවරයකු ලෙසින් පෙනී සිටිමින් ජංගම දුරකතන අලෙවි නියෝජිතයකු රවටා කොළඹ පෞද්ගලික රෝහල් පරිශ්‍රයකදී රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා ජංගම දුරකතන 04ක් වංචාසහගතව ලබා ගත් පුද්ගලයා මොහු බවට තොරතුරු හෙළි කරගන්නා ලදි.

ඒ අනුව මොහු විසින් වංචනිකව ලබාගත් ජංගම දුරකතන 07ක් නුවරවීදිය , මඩකළපුව, පාණදුර ප්‍රදේශවල පුද්ගලයන්ට අඩු මිලට අලෙවි කර තිබියදී සොයා ගැනිණි.

එලෙසම මේ පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේදී වංචා කරන ලද තවත් ජංගම දුරකතන දෙකක් සහ වැල්ලවත්ත ප්‍රදේශයේදී වංචා කරන ලද ජංගම දුරකතනයක් ඇතුළු ජංගම දුරකතන 07 ක් පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

සැකකාර පුද්ගලයා මෙලෙස ජංගම දුරකතන වංචාවලින් සොයා ගන්නා මුදල් සිය බිරිය සහ දරුවා වෙනුවෙන් අත දිග හැර වියදම් කර තිබු බවද හෙළි විය. ඔහු මීට පෙර ලී බඩු මිලදීගෙන මුදල් වංචා කිරීමේ සිද්ධියකට ද අධිකරණය මඟින් වැරදිකරු කළ පුද්ගලයකු බවද අනාවරණය වී තිබේ.

ඡායාරූප – නුගේගොඩ සමීර අබේසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division